සොච්චම් පඩියට ටියුබ්ලයිට් එළියෙන් දිවා රෑ වහලුන් මෙන් කර බාගෙන සුද්දන්ට ඇඳුම් මහණ මෙරට කාන්තාවන්ගේ ජීවිත ධූලි සහිත කැරකෙන විදුලි පංකා යට දිය වී යද්දී එම අයිතිකරුවන් සහ ඔවුන්ගේ දරුවන් වායුසමීකරණය කළ සුඛෝපභෝගී කාර්යාල සහ මන්දිර තුළ සැපවත් ජීවිත ගත කරයි. රැකියා උත්පාදන මුවාවෙන් හැත්තෑ ගණන්වල සිට මෙරට ක්‍රියාත්මක වූ විශාලත ම ශ්‍රම සූරා කෑමේ ව්‍යාපාරය ඇඟලුම් කර්මාන්තය යි. එය දෑත දෙපයේ ශ්‍රමය පමණක් නොව, ලිංගික ශ්‍රමය දක්වා පවා දිවෙන ඛේදවාචකයකි.
එම සාහසික ව්‍යාපාරය මෙරට පවුල් කිහිපයක් අතර පමණක් බලහත්කාරයෙන් තබා ගන්නා මාෆියා ඒකාධිකාරයකි. අලුත් කිසිවෙකුට එම ක්ෂේත්‍රයට එන්නට ඉඩක් දෙන්නේ නැත. විදේශීය ගැනුම්කරුවන්ට අල්ලස් දී සියලු ඇණවුම් තමා කෙරෙහි පමණක් තබා ගනී. තුල්හිරිය වේයන්ගොඩ ආදි රාජ්‍ය සම්පත් සියල්ල ම ඔවුන් විසින් පැහැර ගෙන තිබේ. රටේ ජලය, විදුලිය, භූමිය සහ ශ්‍රමය සූරා කමින් ඔවුන් උපයා ගන්නා ධනයෙන් වැඩි කොටසක් ලංකාවට ගෙන එන්නේද නැත. කූඨ ලෙස එම ධනය විදෙස් බැංකු ගිණුම් තුළ තැන්පත් කර ගනී. ඔවුන්ගේ කර්මාන්ත හරහා පිට කරන විෂ අපද්‍රව්‍ය මෙරට පරිසරය විනාශ කර දමයි.

එසේ හම්බ කර ගත්තත් ඔවුන්ට මේ රට ගැන අබ මල් රේණුවක ආදරයක් ද නැත. ආර්ථික අර්බුදය එන විට ම ඔවුහු සිය කර්මාන්ත වෙනත් රටවලට රැගෙන ගියෝ ය. සැබැවින් ම ඔය බදු වැඩි කළා කියා ඇඟලුම් කර්මාන්ත හිමියන්ට පාඩුවක් නොවේ. වෙනත් රටවල ඔවුන්ගේ කර්මාන්ත හරහා ඔවුන් දිගට ම මුදල් උපයනු ඇත. ඒ මුදල් ලංකාවට එන්නේ නැත.
ඇඟලුම් කර්මාන්ත හරහා ලංකාවට සිදු වූ බුද්ධිමය ආවස්ථික හානිය ගිණිය නොහැකි තරම් විශාල ය. පාසලෙන් පිට වූ සැණින් ජුකී මැෂිමට බැඳ සිර කළ මෙරට තාරුණ්‍යය විසින් නිර්මාණය කළ හැකි ව තිබූ වෙනත් කර්මාන්ත කිසිවක් බිහි නොවූයේ ඔය ඇඟලුම් බූවල්ලා නිසා ය. ලංකාවේ කර්මාන්ත දශක ගණනාවක් තිස්සේ එක තැන පල් වෙන්නේ මේ නිසා ය. වැඩි ආදායම් ඉපැයිය හැකි තාක්ෂණික රැකියා අපේ රටේ තරුණ තරුණියන්ට අහිමි වූයේ ඇඟලුම් කර්මාන්තය නිසා ය.

වසර ගණනාවක් කිසිදු අලුත් දැනුමක් හෝ කුසලතාවයක් හෝ නොලබා මහන මැෂිම සමග කුරුවල් වන ලාංකික තරුණියට ඉන් අනතුරුව ඉතුරු වන්නේ මැදපෙරදිග මෙහෙකාර සේවයට පමණී. අවසානයේ පවුල ද විනාශ වී සමස්ත සමාජය ම පරිහානියට පත් විය. ලංකාවේ කාන්තාවන්ට ලැබිය යුතුව තිබූ බුද්ධිමය අවස්ථා සාහසික ලෙස කොල්ල කෑවේ ඇඟලුම් කර්මාන්ත චෞරයන් ය. ඒ අනුව ගත් කල ලංකාවේ ආර්ථිකය දියුණු නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය යි.

මේ සියලු කාරණා සලකා බැලූ විට ලංකාවේ ඇඟලුම් කර්මාන්තයෙන් වෙන සමස්ත සමාජ පාරිසරික සහ ආර්ථික පරිහානිය, වසරකට ඉන් හම්බ කරන ආදායමට වඩා බොහෝ වැඩි බව පැහැදිලි වේ. වත්මන් ආණ්ඩුව කළ යුත්තේ ඇමරිකාවේ බදු අඩු කර ගැනීමට පින්සෙන්ඩු වී ගාර්මන්ට් ෆැක්ටරි හිමියන් පෝසත් කිරීම නොවේ. ආණ්ඩුව වහා ම කළ යුත්තේ ලංකාවේ තරුණියන් සඳහා විශේෂ තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දී සියලුම ක්ෂේත්‍ර තුළ නව්‍යකරණ සඳහා දිරිමත් කිරීම ය. තාක්ෂණය භාවිතා කර උසස් ප්‍රමිතියේ ආහාර නිෂ්පාදනයේ සිට ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන දක්වා නව කර්මාන්ත නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උසස් ශ්‍රමය සහිත අභිමානවත් ලාංකීය කාන්තාවක් නිර්මාණය කිරීම ය. ඇඟලුම් කර්මාන්ත නමැති නිරි ගුහා වසා දැමීමට කාලය පැමිණ තිබේ. ධර්මය අපට මග වේවා!
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
උපුටා ගැනීම : ගිනිහුළ
2025 අප්‍රේල් 3



