The Leader News
BREAKING
Top Ad
Opinion

කර්ම විපාක දෙවෙන ආකාරය බලන්න | එරන්ද ගිනිගේ

T

The Leader Desk

September 25, 2025 • 11:26 AM

කර්ම විපාක දෙවෙන ආකාරය බලන්න | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා ප්‍රාඥයන් ද මරණයට පත් විය.
  • මෙය ලියන මමත්, කියවන ඔබත් මරණයට පත් වනු ඇත.
  • ඒ අතර විදෙස් රටකින් පැමිණි භික්ෂූන් ද සිටි බව සැල වේ.
  • කර්ම විපාක දෙවෙන ආකාරය බලන්න… බුදුන් වහන්සේ දේශනා කළේ ආරණ්‍ය ගත වීමට ප්‍රිය භික්ෂුවට ආරණ්‍ය ගත විය හැකි බවත් ආරණ්‍ය ගත නොවීමට ප්‍රිය භික්ෂුවට ආරණ්‍ය ගත නොවීමට හැකි බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහා ප්‍රාඥයන් ද මරණයට පත් විය. එමෙන් ම අන්තිම මෝඩ දුප්පතුන් ද මරණයට පත් විය. මෙය ලියන මමත්, කියවන ඔබත් මරණයට පත් වනු ඇත. නා උයන ආරණ්‍යයෙහි ඊයේ රාත්‍රියේ සිද්ධ වූ රිය අනතුරින් භික්ෂූන් වහන්සේ කිහිප නමක් මරණයට පත් වීම පිළිබඳව ශෝකයක් දැනේ. ඒ අතර විදෙස් රටකින් පැමිණි භික්ෂූන් ද සිටි බව සැල වේ. කර්ම විපාක දෙවෙන ආකාරය බලන්න…

බුදුන් වහන්සේ දේශනා කළේ ආරණ්‍ය ගත වීමට ප්‍රිය භික්ෂුවට ආරණ්‍ය ගත විය හැකි බවත් ආරණ්‍ය ගත නොවීමට ප්‍රිය භික්ෂුවට ආරණ්‍ය ගත නොවීමට හැකි බවත් ය. ඝන වනයේ දෘඩ කුටි තුළ විසීම සමන්ත භද්‍ර හාමුදුරුවන් විසින් ගර්හාවට පත් කරනු මා දැක තිබේ. නමුත් සැබැවින් ම නෙක්ඛම්මය කරන්නා හුදකලාව ම ප්‍රිය කරයි. කාම රූප ගැටීම හැකිතාක් අවම කර ගැනීම විදර්ශනාවට මහත් පහසුවකි. එහෙත් හුදකලා වූ පමණින් චිත්ත චෛතසික ක්ලේශයන් දුරුවන්නේ ද නැත. එහෙම වෙනවා නම් වැද්දන් මාර්ගඵල ලැබිය යුතු ය. නමුත් උමන්දාවේ කාමභෝගී කලබලයට වඩා නම් ආරණ්‍යයක විවේක සුවය විමුක්තියට ළඟ බව පැහැදිලි ය.

 

aranya n
නමුත් නා උයන ආරණ්‍යයේ කර ගෙන තිබෙන්නේ උමන්දාවට වඩා වෙනස් දෙයක් නොවේ. ඔවුන් ජීවත් වීම අපහසු කර ගෙන ඇත. බුදුන් වහන්සේ කිසි දිනෙක රියකින් ගමන් කළ බවක් අප කියවා අසා නැත. උන්වහන්සේ යොදුන් දහස් ගණනක් වන දුර්ග ගිරි දුර්ග මහා මාර්ග මත වැඩම කළේ සිය නග්න ශ්‍රී පාදයෙන් ම ය. සිටු මැදුරටත් අතුපැලටත් වැඩම කළේ පයින් ම ය. අනේ ඒ ධූලි වැකුණු ශ්‍රී පා පියුම් වරක් හෝ සිහිල් පැනින් දොවා පිස දා නමදින්නට හැකි වූවා නම් කියා සිතෙන්නේ එවිට ය. මා විසින් ලියූ අවතරණය නමැති ඓතිහාසික නවකථාවේ අවසාන පරිච්ඡේදයේ ඒ ගැන ලියා තිබෙන්නේ එම භක්තියෙනි. බුදුන් වහන්සේ ජීවත් වී ඇත්තේ පහසුවෙනි.

අප සිතන්නේ පහසුව යනු යාන වාහන තිබීම කියා ය. නමුත් එය සැබැවින් ම පහසුවක් නොවේ. ඒවාට හුරු වූ පසු ඇවිදීම අපහසුවකි. එම යාන වාහන නඩත්තු කිරීම අලුත්වැඩියා කිරීම අපහසුවකි. එකකින් නවතින්නේ නැත. අද පහසු යැයි සිතා යන වාහනයට වඩා පහසු වාහනයක් හෙට දකී. ඉන් පසුව එය ගැනීමට වෙහෙසේ. ඉන පසුව තවත් එකක්… පහසුව පිණිස කියා කර ගෙන ඇත්තේ අපගේ ජීවිතය අපහසු කර ගැනීමකි. ආරණ්‍ය ගත වීමත් ඒ ආකාරයට අපහසු කර ගත හැකි ය. ඕනෑම දෙයක අන්තයට යෑම දුකකි. තමන්ගේ කුටි වෙත යාම බෙහෙවින් සංකීර්ණ කර ගැනීම මුල් අරමුණ බිඳ ගැනීමකි. ආරණ්‍ය ගත විය යුත්තේ පහසුව පිණිස ය.

 

aranaya 5354

ආරණ්‍යවාසි වුවත් විහාරවාසි වුවත් ජීවිතය සරල කර ගත යුතු ය. පහසුවෙන් පෝෂණය කළ හැකි විය යුතු ය. ආරණ්‍ය ගත වන භික්ෂුවගේ ජීවිතය නැවත බොහෝ විට සංකීර්ණ කරන්නේ දායක බැතිමතා ය. ඇතැම් බැතිමතුන් ‘ආරණ්‍ය හන්ටර්’ ලා ය. ඔවුන් සොයන්නේ අමාරු ම තැන්වල ජීවත් වෙන භික්ෂූන් ය. ඔවුන් සිතන්නේ අමාරුව වැඩි වෙන තරමට සීල සමාධි ප්‍රඥා වැඩි වෙන බව ය. එය මිත්‍යා දෘෂ්ටියකි. එසේ සොයා ගන්නා භික්ෂූන්ට ඉන් පසුව ඔවුන් නිදහසේ ඉන්නට දෙන්නේ නැත. කුටිය වඩාත් පහසු කරන්නට යයි. අලුත් කුටි හදා දෙන්නට යයි. සුවපහසු ඇඳන් කොට්ට මෙට්ට දෙයි. ටෙලිවිෂන් දෙයි. ඇපල් අයිෆෝන් දෙයි. පිටරට ඉන්නා අම්මණ්ඩිලා පැමිණ භික්ෂුවට පාස්පෝර්ට් හදා දී වීසා ගසා කේක් ගෙඩිය ප්‍රදර්ශනය කරන්නාක් මෙන් රට රටවල උස්සා ගෙන යයි. භික්ෂුව නොදැනුවත්ව ම නැවත කාම ලෝකයට ගොදුරු වෙයි. විවේකය නැසේ. ධ්‍යානය බිඳේ. එවැනි මෝඩ බැතිමතුන්ගෙන් මිදී ඉන්නා ප්‍රඥාවන්ත භික්ෂූන් ද සිටී.  

දැන් ඉතින් මේ මොනවා ලීවත් මළවුන්ට පණ එන්නේ නැත. නමුත් බුද්ධ පුත්‍රයන් අකාලයේ මිය යෑම ශාසනයට අවැඩකි. අපට ශෝකයකි. ආරණ්‍ය ගත භික්ෂුව පහසුවෙන් විසිය යුතු ය. දායක බැතිමතුන් ද මේ කාරණය සිහි තබා ගත යුතු ය. විහාරවාසි භික්ෂූන්ද පහසුවෙන් විසිය යුතු ය. මහමෙව්නාව මෙන් තට්ටු ගණන් උස කොන්ක්‍රීට් ප්‍රාසාද හදා ගෙන තව ඒවා උඩ චෛත්‍යත් හදා ගෙන කර ගන්නේ ජීවිතය මහත් සේ අපහසු කර ගැනීමකි. පර්චස් දහය පහළොවේ ඉඩම්වල හදන ඇතැම් පන්සල් ගොඩනැගිලි උඩට උඩට නග්ගන හැටි දුටු විට ‘අනේ සංසාරේ’ කියවේ. ඩක්කුවෙන් වැටී මැරෙන්නාක් මෙන් ඔය උච්චස්ථානවලින් ද වැටී මළ හැකි ය. කළ යුත්තේ ඉහළට යෑම නොවේ. කළ යුත්තේ පහළට ඒම ය. අවතරණය ය. ධර්මය අපට මග වේවා!

ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

කර්තෘ - අවතරණය

උපුටා ගැනීම : ගිනිහුළ
2025 සැප්තැම්බර් 25
eranda.ginige@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...