The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ප්‍රමුඛත්වය විය යුත්තේ ළමා දඬුවම් අහෝසියද නැතිනම් පිරිහුණු අධ්‍යාපනය ගොඩ දැමීමද?

T

The Leader Desk

October 4, 2025 • 4:40 PM

ප්‍රමුඛත්වය විය යුත්තේ ළමා දඬුවම් අහෝසියද නැතිනම් පිරිහුණු අධ්‍යාපනය ගොඩ දැමීමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අද ඊයේ දිනවල ඇසුණු අප්‍රසන්න අසික්කිත කතා වැලකින් ගත් එක පුංචි අහුරක් පමණි.
  • ඇතැම්වා කතා හැටියට බෙදා ගැණුනි.
  • මේ හැමකක්ම, ශ්‍රී ලංකාව “විශ්ව ළමා දිනය” ලෙස සමරන ඔක්තෝම්බර් 01 වන දිනට සම්බන්ධවීම විශේෂයකි.
  • ළමා දිනයේදී පමණක් නොව, වෙනත් දිනවලද එවැනි බොහෝ දේ සිදුවන බැව් මාධ්‍යයන්හි විටින් විට වාර්තා වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම්වා මාධ්‍යයෙහි වාර්තා වූහ. ඇතැම්වා කතා හැටියට බෙදා ගැණුනි. මේ හැමකක්ම, ශ්‍රී ලංකාව “විශ්ව ළමා දිනය” ලෙස සමරන ඔක්තෝම්බර් 01 වන දිනට සම්බන්ධවීම විශේෂයකි.

* ළමා දිනයේ සිසුවකු ගුරුවරයෙකුට පහර දී ඇත

* ළමා දින සැමරීමට සිසුන් 03 කු අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇත

* ළමා දින සැමරීමට සා.පෙළ සිසුවියන් පෙම්වතුන් සමග කාමර කුලියට ගෙන ඇත

* ළමා දිනයේ සිසු සිසුවියන් කිහිප දෙනෙකු නිරුවත් “සූම් පාටියක්” පවත්වා ඇත

* ළමා දින සැමරීමේ උත්සවයට ගුරු මණ්ඩලය “බීමේ ජොලිය” වේදිකාවෙහි රඟ දක්වා ඇත

* ළමා දිනය සඳහා පාසල පිරිසිදු කිරීමට ළමුන් ලවා ගල් අද්දවා ඇත

* ළමා දින සඳහා දහවල් කෑමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ඇත

* ළමා දින සැමරීමට ගුරුවරයෙකු සිසුවියක් කාමරයකට කැඳවා ගොස් ඇත


මෙවැනි දේ සහ තවත් දේ තව බොහෝ තැන්වල සිදුවන්නට ඇත. ළමා දිනයේදී පමණක් නොව, වෙනත් දිනවලද එවැනි බොහෝ දේ සිදුවන බැව් මාධ්‍යයන්හි විටින් විට වාර්තා වී ඇත.

මේ අතර, “ළමුන්ට” ශාරීරිකව පමණක් නොව, මානසිකව පීඩනයක් ඇති වන, ආත්ම ගරුත්වය බාල්දු කෙරෙන ආකාරයේ දඬුවම්, නීතියෙන් තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ඉදිරිපත් කර ඇත. ළමයාට මානසික පීඩන ඇති කෙරෙන රැවීම් ගෙරවීම්ද එබැවින් ගුරුවරුන්ට පමණක් නොව, අම්මා තාත්තාටද දඬුම් ලැබිය හැකි වරද විය හැක.


දඬුවමකින් බලාපොරොත්තුවන්නේ වරදක් නිවැරදි කිරීම හෝ නැවත එවැන්නක් නොවීම නම්, කවර ආකාරයේ වූවත් ශාරීරික දඬුවම් මගින් එය නොවන්නකි. ශාරීරික දඬුවම් නොවුනත් ඇණුම් බැණුම් මගින්ද එවැන්නක් නොවන්නේය.


ඉහතින් දක්වා ඇති සියල්ල පසුගිය කාලයේ වර්ධනය වෙමින් පැමිණ අද වනවිට නැහැයටත් ඉහළින් ගොස් තිබෙන්නකි. අනෙක ඒවා දරුවන්ගේ පමණක් නොව, ගුරුවර ගුරුවරියන්ගේද විදුහල්පතිවරුන්ගේද පිරිහීම් ගැන කෙරෙන ලොකු කතාවක හැඳින්වීම පමණි. එවැනි පාසලක කවුරුන් කාට දඩුවම් කළ යුතු දැයි යන්න ප්‍රශ්නයක් නොවන්නේද? එවැනි පාසලක ගුරුවර ගුරුවරියන්ට ළමුන්ගේ වරද සඳහා දඬුවම් නියම කිරීමේ සදාචාරමය අයිතියක් තිබේද? ළමුන්ට දඬුවම්කර ගොඩගත් පාසල් අධ්‍යාපනයක් තිබෙන්නේද?

මෙය විවෘතව, නොඅඩුව කිව යුතුය. අවුරුදු 30 ට 40 ට වැඩි කාලයක සිට අප ඉන්නේ ඉතා වේගයෙන් පිරිහෙන සමාජයක ය. බිඳ වැටී ඇත්තේ ආර්ථිකය පමණක් නොවේ. සමාජයේ පොදු පැවැත්මද බිඳ වැටී ඇත. මේ සමාජයේ වටිනාකම් කිසිත් ඉතිරිව නැත. “දූෂණය” ගැන කතා ආර්ථිකයට පමණක් අදාල නොවන්නකි. දූෂණය ස්ත්‍රීන්ට, දැරිවියන්ට, ළමුන්ට අදාලව බෙහෙවින් කතා වන්නකි. “අනෙකා” යැයි කිසිවකු අදාල නොවන මේ සමාජය ආත්මාර්ථය මත පවතින අධි තරගකාරී සමාජයකි.

මේ සමාජය කුහක ආත්මාර්ථකාමීන්ගේ ගොනුවකි. පාසලේ රැඳෙන පැය 05 ක 06 ක කාලයකින් එවැනි සමාජයක දෙමාපියන්ගේ දරුවන් ඔවුන්ගේ නිවසේ සංස්කෘතියෙන් දුරස්ථ කළ නොහැක. එසේ නොකළ හැකි අනෙක් ප්‍රධානම කාරණාව, ගුරුවර ගුරුවරියන්ද මේ සමාජයේම කුහක ආත්මාර්ථකාමී පංගුකාරයින් වීම ය. පාසලේ පිරිහීමට වැඩි දායකත්වයක් ඇත්තේ ගුරුවර ගුරුවරියන්ගෙන් හා විදුහල්පත්වරුන් ගෙනි.    

 

මෙය කියා අවසන් කරමි. මේ මොහොතේ ප්‍රධානම සහ ඉතාම හදිසි කාර්ය වන්නේ ඊළග පරම්පරා මේ සමාජ පිරිහීමේ ගොදුරු බවට පත් නොකරන්නට, ශිෂ්ඨ සමාජයක් හැදීමේ ජාතික පරිවර්තනයකි. එහි ප්‍රධාන හා අතිශයින්ම වැදගත් සමාජ වගකීම වන්නේ දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට මුල පිරීම ය. එනිසා දඬුවම් කිරීමේ හොඳ නරක ගැන කතා පැත්තකින් තැබිය යුතුය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අගමැතිනියට හිතෙන හිතෙන දේ ඇතුළු කරමින් කාර්යාලීය කමිටුවකින් කළ යුත්තක් නොවේ. එය සමාජ වගකීමක් ලෙස සමාජ මැදිහත්වීමකින් කළ යුත්තකි. ඒ වෙනුවෙන් ආණ්ඩුවකට තිබිය යුත්තේ දේශපාලන අධිශ්ඨානයකි.



kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ඔක්තෝම්බර් 04 වන දින    
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...