The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

‘නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක’: ශ්‍රී ලංකාවේ නව ප්‍රභූත්වය පිළිබඳ පශ්චාත්-යටත්විජිත විග්‍රහයක් | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 14, 2025 • 8:00 AM

‘නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක’: ශ්‍රී ලංකාවේ නව ප්‍රභූත්වය පිළිබඳ පශ්චාත්-යටත්විජිත විග්‍රහයක් | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක. – The subaltern cannot speak.” – ගයාත්‍රි චක්‍රවර්ති ස්පිවැක්
  • නිර්ප්‍රභූන් යනු සමාජීය, දේශපාලනික සහ භූගෝලීය වශයෙන් බල ව්‍යුහයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැර කර ඇති, කිසිදු බලයකට හෝ සමාජ සංචලනයට (social mobility) ප්‍රවේශයක් නොමැති ප්‍රජාවකගේ අනන්‍යතාවකි.
  • ස්පිවැක්ට අනුව, නිර්ප්‍රභූන්ට කතා කළ නොහැකි යැයි කියන්නේ ඔවුන්ට හඬක් නැති වීම නිසා නොව, ආධිපත්‍යමය ඥාන නිෂ්පාදන ව්‍යුහයේ ප්‍රචණ්ඩත්වය (epistemic violence) තුළ ඔවුන්ගේ හඬට සවන් දීමට හෝ එය තේරුම් ගැනීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අවහිර වී තිබිම නිසාය.
  • ඔවුන් පාලකයන් බවට පත්වීමෙන් පසු නිර්ප්‍රභූ තත්ත්වයෙන් මුළුමනින්ම ඉවත් වී ඇති අතර පාලනය අතට ගැනීම යනු නිර්ප්‍රභූකම නැති වී යාමය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජවිපෙ හා මාලිමාව නියෝජනය කරන දේශපාලන නායකත්වය තමන් නිර්ප්‍රභූ බලවේගයක් යයි කියන්නට, ඒ අනුව හැසිරෙන්නට, සමාජය බෙදන්නට උත්සාහ කරන වර්තමාන සංදර්භය තුළ නිර්ප්‍රභූ (subaltern) සංකල්පය උපත ලද පශ්චාත් නූතන කතිකාව අනුව එය විමසා බැලීමට මෙම ලිපියෙන් උත්සාහ කරනු ලැබේ.

න්‍යායික පසුබිම: නිර්ප්‍රභූවරුන් සහ ඥාන විද්‍යාත්මක ප්‍රචණ්ඩත්වය

 

gayathri sගයාත්‍රි ස්පිවැක්
පශ්චාත්-යටත්විජිත කතිකාවේ ප්‍රමුඛ මැදිහත්කාරියක වන ගයාත්‍රි ස්පිවැක් ‘නිර්ප්‍රභූන්’ යනු හුදෙක් ආර්ථික වශයෙන් යටත් වූ පන්තියක් නොවන බව අවධාරණය කරයි. නිර්ප්‍රභූන් යනු සමාජීය, දේශපාලනික සහ භූගෝලීය වශයෙන් බල ව්‍යුහයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැර කර ඇති, කිසිදු බලයකට හෝ සමාජ සංචලනයට (social mobility) ප්‍රවේශයක් නොමැති ප්‍රජාවකගේ අනන්‍යතාවකි.

ස්පිවැක්ට අනුව, නිර්ප්‍රභූන්ට කතා කළ නොහැකි යැයි කියන්නේ ඔවුන්ට හඬක් නැති වීම නිසා නොව, ආධිපත්‍යමය ඥාන නිෂ්පාදන ව්‍යුහයේ ප්‍රචණ්ඩත්වය (epistemic violence) තුළ ඔවුන්ගේ හඬට සවන් දීමට හෝ එය තේරුම් ගැනීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අවහිර වී තිබිම නිසාය. ශ්‍රී ලංකා සන්දර්භය තුළ, නිර්ප්‍රභූන් යනු ආර්ථික පන්තියට අමතරව, දේශපාලනමය වශයෙන් සහ වාර්ගික/ආගමික සුළුතර තුළ සිටින අයගේ හඬ ද නියෝජනය කරන, වඩාත් සංකීර්ණ, විෂමජාතීය (heterogeneous) කණ්ඩායමකි.

නව ප්‍රභූවරුන්ගේ නැගීම සහ නිර්ප්‍රභූකම අහිමි වීම

ජවිපෙ යනු වර්තමාන පාලක පක්ෂයයි. ඔවුන් අයත් වන්නේ පහළ මධ්‍යම පන්තියට විය හැකිය. එහෙත්, ඔවුන් ඒ හේතුවෙන් නිර්ප්‍රභූන් වන්නේ නැත. හේතුව ඔවුන් පාලකයන් වීමයි. පාලකයන් කොහොමත් ප්‍රභූන්ය. ඔවුන් පාලකයන් බවට පත්වීමෙන් පසු නිර්ප්‍රභූ තත්ත්වයෙන් මුළුමනින්ම ඉවත් වී ඇති අතර පාලනය අතට ගැනීම යනු නිර්ප්‍රභූකම නැති වී යාමය.

 

JVP2
මෙම තත්ත්වය තුළ, ජවිපෙ වැනි පක්ෂවල නැගීම මගින් සනිටුහන් කරන්නේ පැරණි දේශපාලන ප්‍රභූවරුන් විස්ථාපනය කිරීමක් මිස, ප්‍රභූත්වය (Elitism) මුළුමනින්ම අහෝසි කිරීමක් නොවේ. ජවිපෙ බලයට පැමිණීම යනු ‘නව ප්‍රභූ බලවේගයක්’ බිහි වීමයි. මෙම නව ප්‍රභූත්වය, පැරණි ප්‍රභූත්වය මෙන් නොවූවද, තවමත් ප්‍රභූත්වයම වේ.

නවීන ඥාන විද්‍යාත්මක ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය


නව ප්‍රභූ කණ්ඩායම්, ඔවුන් කෙතරම් ‘වෙනස්’ යැයි කීවද, ප්‍රතිපත්ති සම්පාදනයේදී නිර්ප්‍රභූන්ගේ සැබෑ හඬ සහ තමන් වෙනුවෙන් කතා කිරීමේ හැකියාව (representation) අවහිර කරමින්, තමන්ට අවශ්‍ය පරිදි නිර්ප්‍රභූන් ‘නියෝජනය’ කිරීමට ඔවුහු පෙළැඹෙති. මෙහිදී ස්පිවැක්ගේ ‘නියෝජනයේ ස්ථර දෙක’ (Two Strata of Representation) වැදගත් වේ:

Vertretung (වෙනුවෙන් කතා කිරීම): ඔවුහු දේශපාලනිකව නිර්ප්‍රභූවරුන් වෙනුවෙන් කතා කරන්නේ යැයි පවසති.

Darstellung (නිරූපණය කිරීම): අවසානයේ ඔවුන් සිදු කරන්නේ නිර්ප්‍රභූන්ගේ සැබෑ අත්දැකීම්, තමන්ගේ ප්‍රතිපත්තිමය අරමුණු අනුව නිරූපණය කිරීම පමණි.

බටහිර න්‍යායික රාමු සහ ආර්ථික අවශ්‍යතාවලට අනුව සකස් වී ඇති ජවිපෙ හා මාලිමා අච්චාරු මතවාදයට අනුව හැඩගස්වමින් යන සමාජ දේශපාලනික ව්‍යූහයට, නිර්ප්‍රභූන්ගේ හඬට සවන් දීමට හෝ එය තේරුම් ගැනීමට හැකියාවක් නැත. නිර්ප්‍රභූන්ගේ හඬ ප්‍රතිපත්ති සම්පාදනය තුළදී විකෘති වීම එයට හේතුවයි.
 
1753789315 harini M
උදාහරණයක් ලෙස, යෝජිත අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලින් නිර්ප්‍රභූන්ගේ අවශ්‍යතා කිසිවක් නියෝජනය කරනවාද? අඩු තරමේ නිර්ප්‍රභූන්ගේ හඬට ඔවුන් ඇහුම්කන් දී තේරුම් ගෙන හෝ තිබෙනවාද?
 
මෙම නව ප්‍රභූන්ගේ ඥාන විද්‍යාත්මක ප්‍රචණ්ඩත්වය පැරණි ප්‍රභූන්ගේ ප්‍රචණ්ඩත්වයට වඩා වෙනස් ආකාරයක් ගනී. පැරණි ප්‍රභූන්ගේ ප්‍රචණ්ඩත්වය බොහෝ විට පදනම් වූයේ විවෘත පන්ති සහ ජාතිවාදී ආධිපත්‍යය මත ය. නමුත් නව ප්‍රභූන්ගේ ප්‍රචණ්ඩත්වය පදනම් විය හැක්කේ ‘සත්‍යය/විද්‍යාව’ (Science), ‘ප්‍රතිපත්ති කාර්යක්ෂමතාව’ (Policy Efficiency), යහපාලනය (Good Governance) වැනි නවීන තර්ක මතයි. ඔවුන් නිර්ප්‍රභූන්ගේ පාරම්පරික දැනුම, අත්දැකීම් සහ ජීවන රටාවන් හඳුනා නොගෙන, ඒ වෙනුවට ‘කාර්යක්ෂම, නවීන, බටහිර ආකෘතිවලට අනුකූල වූ’ විසඳුම් ඉදිරිපත් කරන්නේ නම්, එය වඩාත් භයානක ඥාන විද්‍යාත්මක ප්‍රචණ්ඩත්වයක් විය හැකිය.
‘බේරාගැනීමේ ව්‍යාපෘතිය’ සහ නිර්ප්‍රභූ ස්ත්‍රිය
 
dbt6m78
ස්පිවැක් ස්ත්‍රියගේ ද්විත්ව යටත්කම (Double Bind of the Woman) පිළිබඳ ලියමින්, ඉන්දියානු සති පූජා චාරිත්‍රය උදාහරණයට ගෙන, යටත්විජිතකරණය තම ආධිපත්‍යය සාධාරණීකරණය කළ ආකාරය විවේචනය කරයි. ඇයගේ ප්‍රකට වැකිය නම්: “සුදු මිනිස්සු දුඹුරු මිනිසුන්ගෙන් දුඹුරු කාන්තාවන් බේරා ගනිති” යන්නයි.

යටත්විජිතකරණය, එහි ‘ශිෂ්ටාචාරකරණ මෙහෙයුම’ සාධාරණීකරණය කිරීම සඳහා යටත්විජිත ස්ත්‍රියගේ ශරීරය සහ ජීවිතය යොදාගත් ආකාරය ඇය විවේචනය කරයි. සති චාරිත්‍රය තහනම් කිරීම මගින් ස්ත්‍රියට ඇගේ නිදහස් කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාවද අහිමි වූ බව ඇය තර්ක කරයි.
 
මෙම සංකල්පය වර්තමානයට යෙදීමේදී: “නව ප්‍රභූවරු පැරණි දූෂිතයන්ගෙන් නිර්ප්‍රභූන් බේරා ගනිති” යයි කියනු ලැබේ. මෙම නව “බේරාගැනීමේ” ව්‍යාපෘතිය ද, විමුක්තිය සහ යහපාලනය පිළිබඳ පොරොන්දු පිටුපස, නිර්ප්‍රභූන්ව තවදුරටත් රාජ්‍ය පාලනයේ වස්තුවක් (Object of Governance) බවට පත් කරයි.
නිගමනය: බලයේ පුනරාවර්තනය

ජවිපෙ නිර්ප්‍රභූ මගුලක් පටලවා ගත යුතු නැත. ඔවුන් තම ප්‍රභූ ආධිපත්‍යය තමන්ට අවශ්‍ය පරිදි හැඩගස්වා ගන්නා අතර, ඔවුන් නවීන ප්‍රභූ බලවේගයක් බවට පත් වෙමින් ඇත.

මෙම නව ප්‍රභූත්වය යනු පශ්චාත්-යටත්විජිත රාජ්‍ය යාන්ත්‍රණය තුළ බලයේ පුනරාවර්තනයක් පමණි. නව ප්‍රභූවරුන් පැරණි දූෂිත පාලනයෙන් ජනතාව බේරා ගනී යයි කීවද, අවසාන ප්‍රතිඵලය වන්නේ නිර්ප්‍රභූන්ගේ හඬ මතු වීම නොව, නව ප්‍රභූන් විසින් නිර්වචනය කරන ලද අලුත් ‘විමුක්තියක්’ ඉදිරියට පැමිණීම පමණි.

නිර්ප්‍රභූන්ගේ කර්තෘත්වය (Agency) නැවතත් අහිමි වී යයි. එනම්, දේශපාලන වෙනසක් සිදුවුවද, ‘බේරාගැනීමේ’ ක්‍රියාවලිය තුළදී පවා නිර්ප්‍රභූන්ට කතා කිරීමේ හැකියාව අහිමි වී හමාරය. නිර්ප්‍රභූන්ගේ සැබෑ හඬට ඉඩ දෙනවා වෙනුවට, නවීන දේශපාලන ‘විසඳුම්’ මගින් එය ස්ථිර ලෙසම ප්‍රතිස්ථාපනය කරයි.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...