මානව සංහතියේ මෙතුවක් ඉතිහාසය පුරාම දැකිය හැකි යථාර්ථයක් තමයි දෘෂ්ටිවාදය පාලක පන්තියේ අධිපතිවාදී බලය සුජාතකරණය කර, නීත්‍යනුකූල කර පවත්වාගෙන යන අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වෙනවා කියන එක.
දාර්ශනික කියවීමට අනුව නම් දෘෂ්ටිවාදය කියලා කියන්නේ පුද්ගලයින්, සමාජය සහ එහි වෙසෙන ප්‍රජාවගේ ස්වභාවය, තත්ත්වය, තේරුම් ගන්නා ආකාරය හැඩගස්වන අදහස්, විශ්වාස, සහ වටිනාකම්වල සුසංයෝගී පද්ධතියක් ලෙස එය ක්‍රියා කරනව කියන එක. එය බොහෝ විට සදාචාරාත්මක හෝ සංස්කෘතික සත්‍ය සමූහයක් ලෙස දිස් වුව ද, දෘෂ්ටිවාදය බොහෝ විට ආධිපත්‍යයේ මෙවලමක් ලෙස තමයි ක්‍රියා කරන්නේ.
දෘෂ්ටිවාදී පාලනයක දැකිය හැකි දාර්ශනික පදනම් හඳුනා ගන්නේ කොහොම ද?
බලයේ යාන්ත්‍රණයක් ලෙස දෘෂ්ටිවාදය අධ්‍යයනය කිරීමට ගැඹුරු දාර්ශනික මූල බොහොමයක් ශාස්ත්‍රාලිය අවකාශයේ දී හමුවෙනවා.
කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස්කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස්, යනාදි දර්ශනිකයෝ The German Ideology (1846) හි තර්ක කළේ "පාලක පන්තියේ අදහස් සෑම යුගයකම පාලක අදහස් වෙනවා" කියලයි.
පවතින පිළිවෙළ ස්වාභාවික හෝ නොවැළැක්විය හැකි ලෙස පෙනෙන්නට සැලැස්වීමෙන් දෘෂ්ටිවාදය සූරාකෑමේ ද්‍රව්‍යමය යථාර්ථ ආවරණය කරන බවට ඔවුන් තර්ක කළා.
ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චි මෙම තර්කනය ඔහුගේ සංස්කෘතික ආධිපත්‍යය පිළිබඳ සංකල්පය (බන්ධනාගාර සටහන් පොත්, 1930 ගණන්) සමග තවදුරටත් පුළුල් කළා. ධනවාදී සමාජවල ආධිපත්‍යය බලහත්කාරයෙන් පමණක් නොව කැමැත්තෙන් ද පවත්වා ගෙන යන බව පැහැදිලි කරමින්, යටත් පන්ති පාලක ප්‍රභූවේ නායකත්වය පොදු බුද්ධියක් ලෙස පිළිගන්නා පරිදි සංස්කෘතික හා බුද්ධිමය ජීවිතය හැඩගස්වා ගත්තා කියලා ඔහු කිව්වා.
ලුවී අල්තුසර්ලුවී අල්තුසර්, ඔහුගේ දෘෂ්ටිවාදය සහ දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ (1970) යන රචනාවේ දී, පාසල්, පල්ලි සහ මාධ්‍ය යනාදි ආයතන දෘෂ්ටිවාදය ප්‍රතිනිෂ්පාදනය කිරීමට ක්‍රියා කරන ආකාරය තවදුරටත් විශ්ලේෂණය කරලා, ධනවාදී නිෂ්පාදන සබඳතාවල අඛණ්ඩතාවය සහතික කළා.
දෘෂ්ටිවාදී පාලන ව්‍යුහයක නිරීක්ෂණය කළ හැකි ඓතිහාසික උදාහරණ මොනවා ද?
1. පූර්ව-නූතන සමාජවල ආගම සහ දෙවියන්ගේ අයිතිය
පුරාණ ඊජිප්තුවේ, මෙසපොතේමියාවේ සහ මධ්‍යකාලීන යුරෝපයේ පාලකයෝ ඔවුන්ගේ අධිකාරිය සඳහා දිව්‍ය අනුමැතිය ඉල්ලා සිටියා. 16වන සහ 18වන සියවස් අතර යුරෝපයේ ප්‍රචලිත වූ රජුන්ගේ දිව්‍ය අයිතිය පිළිබඳ මූලධර්මය රජවරුන් තම බලය සෘජුවම දෙවියන් වහන්සේගෙන් ලබා ගත් බවත් ඔහුට පමණක් වගකිව යුතු බවත් ප්‍රකාශ කළා.
මෙම ආගමික දෘෂ්ටිවාදය කැරැල්ල අධෛර්යමත් කළා. ඒ හා සමානව 'අධිරාජ්‍යය ස්වර්ගයේ වරමක් ය' කියන සංකල්පය අධිරාජ්‍යයන් දෙවියන්ගේ නියෝජිතයින් ලෙස නීත්‍යනුකූල කළා විතරක් නොවෙයි, රාජවංශික වෙනස දේශපාලනික එකක් නොව විශ්වීය ප්‍රපංචයක් ලෙස නිරූපණය කළා. එවැනි මූලධර්ම සමාජ ධුරාවලි ස්වභාවිකකරණය කිරීමට සහ අධිකාරියට අභියෝග වැළැක්වීමට සේවය පිටිවහලක් වුණා.
2. ජාතිකවාදය සහ යටත් විජිත දෘෂ්ටිවාදය
19වන සියවසේ දී, යුරෝපීය බලවතුන් ඔවුන්ගේ අධිරාජ්‍ය පුළුල් කරන විට, යටත් විජිතකරණය සාධාරණීකරණය කිරීම සඳහා දෘෂ්ටිවාදය නග්න විදිහට භාවිතා කළා.
"ශිෂ්ටාචාර මෙහෙවර" හෝ "සුදු මිනිසාගේ බලය" පිළිබඳ විශ්වාසය ඊනියා පහත් ජාතීන් නගා සිටුවීමේ සදාචාරාත්මක යුතුකමක් ලෙස අධිරාජ්‍යවාදය ගෙනහැර දැක්වුවා. මෙම දෘෂ්ටිවාදාත්මක ආඛ්‍යානය කරුණාව සහ ප්‍රගතිය මුවාවෙන් සූරාකෑමේ සහ සම්පත් නිස්සාරණයේ ආර්ථික අභිප්‍රායන් සඟවා ගත්තේ අශිෂ්ට විදිහටයි.

නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන අධිරාජ්‍යයට පක්ෂපාතීත්වය ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ක්‍රම මත පවත්වාගෙන ගිය මිෂනාරි අධ්‍යාපන ක්‍රම ප්‍රවර්ධනය කිරීම පෙන්වල දෙන්න පුළුවන්. බටහිර උසස් බව උගන්වමින් දේශීය දැනුම ආන්තික කළා.
3. ඒකාධිපති පාලන තන්ත්‍රවල දෘෂ්ටිවාදය
20වන සියවසේ දී, ඒකාධිපති පද්ධති තුළ දෘෂ්ටිවාදය එහි වඩාත්ම ප්‍රසිද්ධ භාවිතයට ආවා. නාසි ජර්මනිය යටතේ: ආර්ය ආධිපත්‍යයේ දෘෂ්ටිවාදය, ජන සංහාරය, යුද්ධය සහ ඒකාධිපති පාලනය සඳහා සුජාතකරණය ලබා දුන්නා.
ස්ටැලින්වාදී රුසියාවේ, මාක්ස්-ලෙනින්වාදය පක්ෂය උත්කර්ෂයට නංවන සහ සමාජවාදී පාරිශුද්ධත්වය ආරක්ෂා කිරීමේ මුවාවෙන් විරුද්ධ මත නිහඬ කරන රාජ්‍ය දෘෂ්ටිවාදයක් බවට පරිවර්තනය වුණා. මේ අවස්ථා දෙකේදී ම දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වුණේ හුදෙක් විශ්වාසයක් ලෙස නොව: අධ්‍යාපනය, කලාව සහ භාෂාව පවා පාලක පෙළැන්තියේ බලය සමග පෙළගැස්වීම සඳහා හැඩගැස්වීමේ පාලන උපකරණයක් ලෙස.
4. සමකාලීන ධනවාදයේ දෘෂ්ටිවාදී පාලනය
මයිකල් ෆූකෝල්ට්නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, දෘෂ්ටිවාදය වඩාත් සියුම්ව සහ ඒ තරමටම බලවත් ලෙස ක්‍රියාත්මක වෙනවා. 20වන සියවසේ අගභාගයේ දී මතු වූ නව ලිබරල්වාදය, නිදහස් වෙළඳපොළ සහ පුද්ගල තරකාරිත්වය ස්වාභාවික සහ නොවැළැක්විය හැකි බවට අදහස ප්‍රවර්ධනය කරනවා. මයිකල් ෆූකෝල්ට් ඔහුගේ ජෛව දේශපාලනයේ උපත (1979 දේශන) හි සාකච්ඡා කළ පරිදි, නව ලිබරල් දෘෂ්ටිවාදය අධ්‍යාපනයේ සිට පුද්ගලික සබඳතා දක්වා ජීවිතයේ සෑම අංශයකට ම වෙළඳප තාර්කිකත්වය ව්‍යාප්ත කරල තියෙනවා. ආර්ථික තර්කනයට අනුව තමන්ව පාලනය කරන "ස්වයං-විනයගරුක" විෂයයන් නිර්මාණය කරනවා. මෙම දෘෂ්ටිවාදය පවත්වා ගැනීම සඳහා ජන මාධ්‍ය සහ ඩිජිටල් සංස්කෘතිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව කිව හැකියි.

පාරිභෝගිකවාදය සහ ද්‍රව්‍යමය සාර්ථකත්වය නිදහසේ ඉහළ ම ආකාර ලෙස රාමු කරනවා. මෙය හර්බට් මාර්කස් "ඒකමාන මිනිසා" (One-dimensional man) ලෙස හැඳින්වූ දේ නිෂ්පාදනය කරනවා. බලහත්කාරයට වඩා සැනසීම සහ අනුකූලතාව හරහා මෙවැනි පද්ධතියකට පුද්ගලයින් ඒකාබද්ධ වෙනවා.
සමකාලීන සමාජයේ දෘෂ්ටිවාදයේ නිරුවත් භාවිතය
අද ගෝලීයකරණය වූ ලෝකයේ, දෘෂ්ටිවාදාත්මක පාලනය වඩ වඩාත් විනිවිදභාවයෙන් යුක්ත වී ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතහොත් 'නිරුවත්' ආණ්ඩු සහ සංස්ථා මහජන මතය කළමනාකරණය කිරීම සඳහා ප්‍රචාරණය, සමාජ මාධ්‍ය අල්ගෝරිදම් සහ නිරීක්ෂණ විවෘතව භාවිතා කරනවා. දේශපාලන පක්ෂ සහ ජනතාවාදී ව්‍යාපාර ස්වකිය පක්ෂපාතිත්වය බළමුළු ගැන්වීම සඳහා දෘෂ්ටිවාදය මෙවලමක් හැටියට භාවිතා කරනවා. ඒ වගේම විවිධ තාක්‍ෂණ සහ සන්නිවේදන සමාගම් සිය පාරිභෝගික සමාජයේ හැසිරීම හැඩගැස්වීම සඳහා දත්ත මත පදනම් වූ මනෝවිද්‍යාත්මක හැසිරවීම උපක්‍රම භාවිතා කරනවා.
නිදසුනක් වශයෙන් ගතහොත් 21වන සියවසේ දේශපාලන ව්‍යාපාර ඔවුන්ගේ දේශපාලන සන්නිවේදනයේ දී සහ ප්‍රචාරණයේ දී දෘෂ්ටිවාදාත්මක අල්ගෝරිදම්, ශක්තිමත් කිරීම සඳහා ක්ෂුද්‍ර ඉලක්ක කිරීම (Micro-Targeting) භාවිතා කරනවා. එමගින් පුරවැසි සමාජය වඩාත් නිශ්චිතව පුරෝකථනය කිරීමට හැකියාව තිබෙනවා වගේම පාලනය කිරීමටත් පහසු වෙනවා.
මෑතකාලීන ශ්‍රී ලාංකීය දේශපාලන අවකාශයේ අත්දැකීම් විමසීමේ දී මෙම තත්ත්වය නිරවුල්ව නිරීක්ෂණය කළ හැකියි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණය, ඉන් පසුව පැවති මහා මැතිවරණ තත්ත්වය සලකන්න; එහි දී වත්මන් NPP කඳවුර සිය ප්‍රචාරණයේ දී සමාජය තුළ ස්ථාපිත කළ ප්‍රභල මතවාදී ආධිපත්‍යන් වූ: ප්‍රභූ-නිර්ප්‍රභූ කතිකාව, ධනපති - නිර්ධන කතිකාව, දූෂිත - අදුෂිත සංවාදය, නාස්තිය-අරපිරිමැස්ම, සමානාත්මතාවයේ ආඛ්‍යානය, ආදි වූ තව බොහෝ දේ පෙන්වන්න පුළුවන්. සමාජය තුළ මෙවැනි ව්‍යාජ මනෝභාව ගොඩනගන්න ඔවුන් ක්‍රියා කළා පමණක් නොව තවමත් ඒ මනෝභාවය නඩත්තු කරන්න (මෑතකදී AKD මහනුවර දී ප්‍රකාශ කළා කළු සහ සුදු රාජ්‍යතන්ත්‍රයක් පිළිබඳව) කටයුතු කරනවා.
ඒ අනුව: නිදහස, ආරක්ෂාව, සහ ප්‍රගතිය යන බොරුව සහ වාචාලකම අසමානතාවයේ සහ ආධිපත්‍යයේ ගැඹුරු පද්ධති ආවරණය කර තිබෙනවා.
බොහෝ පශ්චාත් යටත් විජිත සමාජවල මෙන් ශ්‍රී ලංකාවේ ද දෘෂ්ටිවාදය මෘදු පාලන යාන්ත්‍රණයක් (soft control mechanism) ලෙස ක්‍රියා කරන අතර පුරවැසියන්: බලය, අධිකාරිය සහ ජාතික අනන්‍යතාව වටහා ගන්නා ආකාරය හැඩගස්වනවා. එය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ: දේශප්‍රේමය, ආර්ථික ප්‍රතිසංස්කරණ, සමාජ සාධාරණත්වය හෝ සදාචාරාත්මක පුනර්ජීවනය, හොරු ඇල්ලීම, වංචා වැළැක්වීම, පිළිබඳ ආඛ්‍යාන හරහා වන අතර, මහජන හැඟීම් සහ විශ්වාසය බලයේ සිටින අයගේ න්‍යාය පත්‍ර සමග පෙළ ගස්වලා තියෙනවා.
ජාතිකවාදී මිථ්‍යාව (Myth of Nationalism)
මෙහි ඇති දෘෂ්ටිවාදී ක්‍රියාකාරිත්වය වන්නේ රාජ්‍යය: ජාතියේ, සංස්කෘතියේ සහ ආගමේ සදාකාලික ආරක්ෂකයා ලෙස පෙනී සිටීම යි. ඒ තුළ සිදුවන බලපෑම් සහගත දේ තමයි මාතෘභූමිය හෝ ජාතික සමගිය ආරක්ෂා කිරීමේ නාමයෙන් ආර්ථික දුෂ්කරතා හෝ සීමිත නිදහස පිළිගැනීමට පුරවැසියන් දිරිමත් කරන එක. ඒ වගේම තමයි රජය විවේචනය කිරීම ජාතියට ද්‍රෝහිකමක් ලෙස නිරූපණය කළ හැකි බැවින් මෙය විසම්මුතිය අධෛර්යමත් කරනවා.
ආර්ථික ජනප්‍රියවාදය සහ සංකේතාත්මක ආර්ථික විෂමතා අවම කිරීම. (Populism and symbolic redistribution)
මෙහි දී දැකිය හැකි දෘෂ්ටිවාදී ක්‍රියාකාරිත්වය වන්නේ: දේශපාලන නායකයින්ගේ රැඩිකල් ආර්ථික වෙනසක්, ආර්ථික විෂමතා අවම කිරීම, දූෂණ විරෝධය, හෝ මහජනතාවට ජනතා බලය ලබාදීම, පොරොන්දු වන අතර ම පවතින අකාර්යක්ෂම ධනේශ්වර ව්‍යුහ බොහෝ දුරට එලෙස ම පවත්වා ගනිමින් ඉදිරියට යෑම යි. මේ තත්ත්වය තුළ වැඩ කරන ජනතාවට දැනෙන්නේ ද්‍රව්‍යමය තත්ත්ව නොවෙනස්ව පැවතුනත් තමන් සංකේතාත්මකව නියෝජනය වෙනවා කියල.

සදාචාරාත්මක පාරිශුද්ධත්වය සහ දූෂණ විරෝධී බොරුව
මෙහි දක්නට ලැබෙන දෘෂ්ටිවාදී පදනම වන්නේ AKD පරිපාලනය බොහෝ විට සිය පාලනය විසින් පවතින පද්ධතිය පිරිසිදු කරන සදාචාරාත්මකව උසස් ප්‍රතිසංස්කරණවාදීන් හැටියට පෙනී සිටිනු ලැබීම. ඒ අනුව මෙහි මතවාදී බලපෑම් ක්ෂේත්‍රය වන්නේ සදාචාරාත්මක ආඛ්‍යානය ප්‍රායෝගික පාලන ව්‍යුහයේ සමස්ත අසාර්ථක්ත්වයේ අවධානය වෙනතකට යොමු කරනවා වගේම එයට නීත්‍යනුකූල භාවයක් (Builds for legitimacy) ගොඩනගනවා.
මාධ්‍ය ආඛ්‍යාන තුළ දෘෂ්ටිවාදී කාර්යය
තෝරාගත් ප්‍රේක්ෂක කොටස් ආවරණය කිරීමට සංකේතාත්මක අභින (Symbolic gestures) සහ දේශප්‍රේමී භාෂාව හරහා රාජ්‍ය සහ අනුබද්ධ මාධ්‍ය පටිත හරහා දේශපාලන කතිකාව කිසියම් පාලනයකට ලක් කිරීම මේ ආණ්ඩුවේ සුලභ ගතියක් වෙලා තියෙනවා. මේ තත්වය තුළ සිදුවන බලපෑම වන්නේ වත්මන් පාලක දෘෂ්ටිවාදයට හිතකර කාචයක් හරහා දේශපාලන සිදුවීම් අර්ථ නිරූපණය කිරීමට පුරවැසියන්ට මග පෙන්වීම යි.

මෙය නිරීක්ෂණය කිරීමට රාජ්‍ය හිතවාදී මාධ්‍ය නාලිකා කීපයක ප්‍රවෘත්ති විකාශන කීපයක් පමණක් විමසුමට ලක්කිරීම ප්‍රමාණවත්. ඒවා තුළින් සම්මුතියේ මායාව (Illusion of consensus) විවේචනාත්මක විවාදය ප්‍රතිස්ථාපනය කරනවා. අදාළ ප්‍රචාරණ ව්‍යාපෘතිය ප්‍රවෘත්ති විකාශනය සම බාධාවකින් තොරව ම ඒකාබද්ධ වී ඇති බව ඔබට වැටහේවි.
AKD පරිපාලනය විසින් ඔවුන්ගේ ප්‍රතිපති ප්‍රකාශයේ සිට පසුගිය වසරක කාලසීමාව පුරා ම ඩිජිටල්කරණ මිථ්‍යාවක් සමාජගත කළා. මෙහි දෘෂ්ටිවාදී පැතිකඩ පිළිබඳ විමසීම වැදගත් කියල හිතනවා.
ඩිජිටල් ධනේශ්වර යුගයේ දී, දෘෂ්ටිවාදය සමාජ මාධ්‍ය චලන මෙන්ම ඒවායේ අන්තර්ගතයේ බලපෑම්: සංස්කෘතික, දේශපාලනික, ජාතිකවාදී හෝ ජනප්‍රියවාදී අන්තර්ගතයේ ඇල්ගෝරිදම විස්තාරණය හරහා තමයි සංසරණය වෙන්නේ. මෙයින් සිදුවන බලපෑම වෙන්නේ, තොරතුරු ප්‍රජාතන්ත්‍රීයකරණය කළ හැකි ඩිජිටල් මෙවලම් වෙනුවට දෝංකාර කුටි (Echo chambers) ශක්තිමත් කර අව්‍යාජ බහුත්වවාදය (Genuine pluralism) මර්දනය කිරීම යි. ඒ අනුව දත්ත මත පදනම් වූ මනෝවිද්‍යාත්මක ඉලක්ක කිරීම (Sychological targeting) මගින් සියුම් ලෙස මඟ පෙන්වනු ලබනවා.

වත්මන් NPP ආණ්ඩුව ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාන්විතයේ දී සිට මේ දක්වා ම අන්තර්ජාලය හා බැඳුනු මෙම උපාය අභ්‍යාස කළා. මැතිවරණ සමයේ දී ඔවුන් සතුව ව්‍යාජ ෆේස්බුක් ගිණුම් (Fake Profiles) 65000 කට අධික ප්‍රමාණයක් නඩත්තු කළ බවට වාර්තා පළවුණා. ඒ වගේම සමාජ මාධ්‍ය මෙහෙයුම් මැදිරි සහ ඒ වෙනුවෙන් වූ පුර්ණකාලින සේවක පිරිසක් ද ඔවුන් නඩත්තු කළ බවටත් තොරතුරු වාර්තා වුණා. ඒ විතරක් නොවෙයි, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් විදේශ විශේෂඥ සමාගම්වලින් උපදේශකත්වය ගත් බවට ද තොරතුරු වාර්තා වුණා.
JVP මුලික වූ NPP ආණ්ඩුව විසින් සමාජ ගත කළ බොරු පොරොන්දු සහ දේශපාලන රැවටීම්

ඕනෑම රාජ්‍ය පාලන ව්‍යුහයක් තුළ දෘෂ්ටිවාදී යාන්ත්‍රනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දාර්ශනික චින්තකයින් පළ කර ඇති මතවාද ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ නිර්වචනය කරගැනීම වැදගත් ය. ඒ අනුව,
ග්‍රාම්ස්චි කියන්නේ, "ආධිපත්‍යය සාක්ෂාත් කරගනු ලබන්නේ පාලක පන්තියේ ලෝක දැක්ම පොදු බුද්ධිය බවට පත් වූ විට ය" (Domination is achieved when the worldview of the ruling class becomes common sense) කියලා.
ලුවී ඇල්තුසර්ට අනුව හඳුන්වන්නෙ ''අධ්‍යාපනය, ආගම සහ මාධ්‍ය යනාදි ආයතන කීකරුකම ප්‍රතිනිෂ්පාදනය කරන “දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ” (Institutions such as education, religion and the media are "ideological state apparatuses" that reproduce obedience)කියලයි.
ෆූකෝ පවසන්නේ "බලය ක්‍රියාත්මක වන්නේ මර්දනයෙන් පමණක් නොව, සිතිය හැකි සහ කිව හැකි දේ හැඩගැස්වීමෙනි" (Power is exercised not only by repression, but by shaping what can be thought and said) යනුවෙනුයි.
මේ අනුව අවසන් වශයෙන් කිව හැක්කේ, වත්මන් ශ්‍රී ලංකාවේ දෘෂ්ටිවාදීමය ආධිපත්‍ය වෙනත් තැන්වල මෙන් හුදෙක් ප්‍රචාරණයක් ලෙස නොව, එකඟතාවයේ සංස්කෘතික පද්ධතියක් ලෙස ක්‍රියා කරන බව පැහැදිලි බවයි. දේශප්‍රේමය, සදාචාරය සහ නවීකරණය පිළිබඳ ආඛ්‍යාන පාලනය කිරීමෙන් පාලක ව්‍යාජ නිර්ප්‍රභූ දේශපාලන ලේබලය නොසලකා කීකරුකම ගුණධර්මයක් ලෙසත්, විවේචනය පාවාදීමක් ලෙසත් හැඟෙන වාතාවරණයක් නිර්මාණය කරලා තියෙනවා.

විවේචනාත්මක සාක්ෂරතාව, (Critical literacy) ස්වාධීන මාධ්‍ය සහ සිවිල් අධ්‍යාපනය තුළින් පමණක් පුරවැසියන්ට දෘෂ්ටිවාදයේ අදෘශ්‍යමාන බලපෑම වටහා ගැනීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරෝධය සඳහා ධාරිතාව නැවත ලබා ගැනීමට පටන් ගත හැකි යි.
(සටහන | විජේපාල දිසානායක )





