ආණ්ඩු කරන්න පටන් ගත්තට පස්සේ තමයි අරක තේරුණේ… මේක තේරුණේ කියලා ඔයාගේ කටින් රැස්වීම්වල කියවෙන්නේ ඒකයි. ඒක ඔයා කියන්නේ අවංකව බව අප පිළිගන්නවා. රටක් කරනවා කියන්නේ කෝච්චියේ කඩල විකුණන එකවත්, බොළඳ කැම්පස් කොල්ලො කෙල්ලෝ කැට හොල්ලලා එකතු කරලා දෙන රුපියලෙන් ක්‍රිප්ටෝ බිස්නස් එකවත්, වෘත්තීය සමිති, NGO, ඩයස්පෝරා ඩීල්වලින් පක්ෂයක් කරන එකවත් නොවන බව දැන් හරි ඔයාට තේරුණු එක ලොකු දෙයක්. හැබැයි ඔයා තාම හිතනවා ඔයාට මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා. සෝ ස්වීට් බ්‍රෝ!
ඔයාට වැඩිය ගොඩාක් දැනුම තිබෙන, ගොඩාක් ජීවිත සහ වෘත්තීය අත්දැකීම් තිබෙන, ගොඩාක් අධිෂ්ඨානය තිබෙන, ගොඩාක් පින් කරලත් තිබෙන නායකයන්ටත් මේක වෙනස් කරන්න බැරි වුණා. එහෙම වෙද්දී ඔයාට පුළුවන් කියලා හිතන එකේ අවුලක් තිබෙනවා නේද… ඒක ටිකක් නාසිසිස්ටික් ඊගෝඉස්ටික් සිතුවිල්ලක්. නමුත් ඔයාට එහෙම හිතන්න අයිතියක් තිබෙනවා. හැබැයි ඔයාට තියා කාටවත් මේ රට වෙනස් කරන්න නම් බැහැ සහෝ. ඒකට තාර්කික හේතුවක් තිබෙනවා.
රටක් වෙනස් කරන්න තනියම බැහැ බ්‍රෝ. ඒකට ඉන්න ඕනා පතා ගෙන එන සුපිරි කණ්ඩායමක්. දැනුම, බුද්ධිය, අත්දැකීම් වගේම නිශ්චිත දැක්මක් සහිත අවංක වැඩ්ඩො ඉන්න ඕනා. ඔයාට දැන් තේරෙනවා ඔයාගේ කණ්ඩායම සත පහකට විශ්වාස කරන්න බැරි ගොන් බානක් කියලා. උන් හත් පොළේ ගාගන්න හැම වෙලාවෙම ඔයාට ඇවිල්ලා උන්ව හෝදන්න වෙන්නේ ඒකනේ... නැත්නම් අයියේ අවුරුද්දක් යන කොට ආණ්ඩුව ඔහොම පජාත වෙන්නේ නැහැනේ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවනේ.
ගාල කඩාගත්ත හරක් ටික වගේ එහෙ දුවනවා - මෙහෙ දුවනවා මිසක් කිසිම නිශ්චිත අරමුණක් අනුව සැලසුම් කළ වැඩපිළිවෙලකට ඔතන කාටවත් වැඩ කරන්න බැරි බව ඔයාට දැන් හොඳට ම තේරෙනවා. ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් ඔතන වැඩිපුර ඉන්නේ ඔයාගෙම වචනයෙන් මාලිමාවේ පාපිස්සෝ. උන්ට දේශපාලන දර්ශනයක් නැහැ. එක වෙලාවකට උන් සමලිංගික, තව වෙලාවකට සංක්‍රාන්ති ලිංගික, තවත් වෙලාවකට බහුලිංගික. ඔයාම තමයි හැබැයි උන් ටික අරගෙන ෆෝර්ම් කළේ. අනෙක් කාරණය තමයි මාලිමා වේවා ජවිපෙ වේවා ඔතන හැම එකාම මංපොර වෙන්න හදනවා මිසක් කිසිම කණ්ඩායම් හැඟීමෙන් නෙවෙයි වැඩ කරන්නේ. අර උවිඳු කියන එකා ඔයාව ෆේස්බුක් එකේ නැතිම කරලා තමයි නවතින්නේ. මේක ඔයාට විතරක් නෙවෙයි - මේ රටේ හැම දේශපාලන පක්ෂයකටම පොදු සත්‍යයක්.
ඒකට හේතුව තමයි මේ රටේ එහෙම යහපත් වෙනසක් කරන්න විභවය තිබෙන මිනිස්සු නැති වීම. පක්ෂවල විතරක් නොවෙයි, පාසලේ සුළු සේවකයාගේ ඉඳලා විදුහල්පති දක්වා, රෝහලේ සාත්තු සේවකයාගේ ඉඳලා විශේෂඥ වෛද්‍යා දක්වා, රාජ්‍ය සේවයේ කාකාසගේ ඉඳලා අමත්‍යංශ ලේකම් දක්වා, පෞද්ගලික අංශයේ කම්කරුවාගේ ඉඳලා සභාපති දක්වා ඔයා කියන ඕනෑම ක්ෂේත්‍රයක වෙනසක් කරන්න පුළුවන් මිනිස්සු නැහැ. ඉන්නේ නූගත්, අහංකාර, කම්මැලි, වංචනික, අවස්ථාවාදී හැත්තක්.
මේ වෙනකොට එහෙම නිර්මාණශීලී, පරාර්ථකාමී, සාර්ථක මිනිස්සු වෙන්න හිටිය හැටදාහකට වඩා ඔයාගේ මිනීමරු විජේවීර අංකලුයි, අළුගෝසු ප්‍රේමදාස අංකලුයි මාරුවෙන් මාරුවට 88-90 කාලේ තරුණයන් විදිහට ඝාතනය කරලා දැම්මා. ඒක බුද්ධිමය ජාන සංහාරයක්. ඉතුරු වෙලා ඉන්නේ ධම්මික පෙරේරා, වසන්ත සමරසිංහ සහ ඔයා වගේ මධ්‍යමාන සෙට් එකක්. ඉතින් මේ වැඩේ කරන්න බැහැනේ, බ්‍රෝ.
ඔයා හිතුවට ඔයා කට උල් කරලා මරිසිය දාලා මිනිස්සුන්ට කථා කළාම උන් වෙනස් වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ, අයියේ. ඔයාට වැඩිය ගොඩාක් දක්ෂ කථිකයෝ මේ රටේ හිටියා. ඒත් බැරි වුණා. අපේ රටේ උන් ඔය කට ඇරගෙන හිනා වෙවී අහගෙන හිටියට උන්ට ඊළඟ තත්පරේ ඔයා කියපු දේ අමතකයි. ක්ලීන් ශ්‍රී ලංකා කරලා ගෙදර යන ටිකට අරක්කු බීලා කාලෙ බෝතලේ බෝක්කුවට විසි කරන අපතයෝ ඉන්නේ. ඔයාට මේ මිනිස්සුන්ව වෙනස් කරන්න බැහැ. මිනිස්සු වෙනස් නොකර කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔයා මොන තරම් සිස්ටම් දැම්මත් ඒවා දූෂණය කරන ක්‍රම මේ මිනිස්සු සුටුස් ගාලා හොයා ගන්නවා. ඔයා එක රැයින් මුළු රටේම පාතාලය නැසුවත්, හෙට අලුතෙන් ඊට වඩා දරුණු පාතාලයක් හැදෙනවා. ඔයා කරන්නේ නිෂ්ඵල දෙයක්. ලෝකය දුක්ඛයි, සහෝදරයා.

සමහර විට ඔයා හිතනවා ඇති දෙදහෙන් පස්සේ ඉපදුණු උන් වෙනසක් කරයි කියලා. උන්ට වරුවක් කරන්ට් එක නැතුව ඉන්නවත් බැරි අන්තිම ලොන්ත පරම්පරාවක් බව අපි දැක්කනේ. ෆෝන් එකේ බැටරි බැස්සොත් උන්ට මීමැස්මොරේ හැදෙනවා. උන්ට අතක් පයක් හොල්ලලා වැඩක් කරන්න බැහැ. තමන්ගේ රට ගැන තියා තමන්ගේ පවුලේ මිනිස්සු ගැනවත් සහකම්පනයක් නැති ආත්මාර්ථකාමීන් ඔවුන්. වෙන මුකුත් ඕන නැහැ. උන් කරන ටික්ටොක් ටිකක් බලන්නකෝ. උන් අහන බලන කියවන නිර්මාණ ටිකක් බලන්නකෝ. තේරුමක් නැහැ නේද අයියේ… ඔයාට ටිකක් හරි විශ්වාසයක් තියන්න පුළුවන් අපිට උඩ පරම්පරාවේ මිනිස්සු ගැන පමණයි. ඒ මිනිස්සු දැන් වයසයි. තව ටික කාලයකින් ඔවුන් මියැදෙනවා. එච්චර තමයි. ඔයා හිටියත් නැතත්, සාරය මරපු සමාජයකට නැවත පණ දෙන්න බැහැ. ධර්මය ඔබට මග වේවා!
(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com
කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 ඔක්තෝබර් 20




