මැතිවරණ දිනයෙන් පසු කිසිම දෙයක් ගැන ඔබ මෙතෙක් හීනෙකින්වත් සිතා නැත. ඒ කිසිත් ඔබට අදාළ යැයි ඔබ සිතන්නේද නැත. ඔබට අදාළ එක දෙයක් පමණි. කෙසේ හෝ දිනීම පමණි. ඔබ වටා සිටින අයටත් අවශ්‍ය එයම පමණි. ගැටළු තේරුම් ගත නොහැකි, විසඳුම් නැති, හිනා වෙන අපේක්ෂකයින් රටක නායත්වයට පත්කර ගැනීම, අතිශය භයානක යැයි මම කියමි.”

මෙය මා ලියූවේ, මහින්ද රාජපක්ෂව සිංහල-බෞද්ධ අපේක්ෂකයා ලෙස ජ.වි.පෙ කර තබා ගෙන ගිය 2005 නොවැම්බර් ජනාධිපතිවරණයට දින 04 ට කලින් 13 වන ඉරිදා “ඉරුදින” පුවත් පතට ලියූ “මා මිත්‍ර මහින්ද” යැයි නම් කෙරුණු ලිපියෙහි ය. කිසිවකු විසින් එදින එය ඔහුට කියූ පසු අවට සිටි කිහිප දෙන සමග ඔහුගේ සුපුරුදු සිංහල බසින් ඔහු මට බැන වැදී ඇත. ඔහුගේ ඡන්ද වැඩට හවුල් වූ කිහිප දෙනෙකු මට තලන්නට සූදානම් වූවත් එය වැළකූයේද මහින්ද ය. තවමත් මහින්ද රාජපක්ෂ, “මා මිත්‍ර මහින්ද” ය.
පසුගිය කාලය පුරා නාමල් යන එන දේශපාලන ගමන් දුටු මට සිතුනේ මහින්දටද වඩා වැඩි ඉවසීමක් නාමල්ගේ ජනප්‍රිය දේශපාලනයේ ඇතැයි කියා ය. ඔහු පාර්ලිමේන්තු විවාද වලට හවුල්වන ආකාරයේද යම් පැසුණු බවක් දැන් දකින්නට ඇත. පළමු වරට 2010 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණියද, පළමු වරට ඔහුට ඇමති ධූරයක් දෙනු ලැබුණේ ඔහු තෙවන වර පාර්ලිමේන්තුවට තේරී පත් වූ 2020 අගෝස්තු මැතිවරණයෙන් පසුවය. එවර ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ලෙස පත් කරනු ලැබුණු ඔහු වටා සිටියේ අශුද්ධ, සිල්ලර චරිත කිහිපයකි. ඒ වන විටද නාමල් සෙල්ලක්කාරයෙකු යැයි සමාජ මතය විය.
නාමල් රාජපක්ෂට 2024 ජනාධිපතිවරණයට තරග කිරීමට පමණක් නොව, මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරීමටත් මෙහෙයවීමටත් සිදුවූයේ 2022 ඇතිවූ අරාජිකත්වයෙන් රාජපක්ෂලා සමග සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය අවලං මහළු නායකත්වයක් යැයි සමාජ මතයක් හැදුණෙනි. රාජපක්ෂ නායකත්වය සහමුලින් මෙන් අක්‍රීය කෙරුණු පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කොටසක් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහට හවුල් වූහ. තව කොටසක් ශ්‍රී.ල.නි.පට ගියහ. තම හයියෙන් ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ගත් නාමල්, නාමයෝජනා දෙනවිටද, ප්‍රධාන අපේක්ෂකයෙකු නොවුනි.
අනතුරුව රාජපක්ෂ දේශපාලනයේ දැවැන්ත රික්තයක් පුරවන්නට සිදුවූ නොවැම්බර් පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයෙන් නාමල් ලබා ගත් අත්දැකීම, ඔහුව මේ රටේ දේශපාලනයට අනුව සිතන්නට හැසිරෙන්නට පුරුදු කෙරුණු තරුණයෙකු බවට පත් කෙරිණ. නොවැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන්ට ලැබුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකි. එහෙත් ඒ තිදෙනා අතර පමණක් නොව, පාර්ලිමේන්තුවේ 225 අතරත් නාමල් ඉතා දක්ෂ, කැපී පෙනෙන මන්ත්‍රීවරයෙකු බවට පත් විය. අවුරුද්දක කාලයක් තුල ඔහු කෙතරම් කැපී පෙනෙන්නට වූයේදැයි කිවහොත්, ඔහු විපක්ෂ නායක විය යුතුයැයි දැන් කොළඹ සිංහල-බෞද්ධ මැදපංතිකයින් හා සමාජ ජාල හසුරුවන්නන් අතරත් කතා වන්නට පටන් ගෙන ඇත.

අපගේ සිංහල-බෞද්ධ නාගරිකයින්ට අවශ්‍ය ජනප්‍රිය, ප්‍රියමනාප, සුහද නායකයෙකි. මැතිවරණ දේශපාලනයේ රනිල් අසාර්ථක වන්නේත් සජිත් නොපිළිගැනෙන්නේත් ඔවුන් ඒ අච්චුවට හසු නොවන නිසාය. කෙතරම් දූෂිත යැයි කියූවද දකුණේ ඊලඟ නායකයා නැවත සැසඳෙන්නේ සිංහල-බෞද්ධ මහින්ද රාජපක්ෂගේ ජනප්‍රිය, ප්‍රියමනාප, ප්‍රසන්න චරිතය සමඟින් ය. ඒ සැසඳුමෙන් සජිත් අසමත් වන විට, නාමල් ඉන් සමත් වන්නේ යැයි කියන්නේ, පසුගිය කාලයේ ඉතා විවෘතව නාමල් විරෝධී දේශපාලනයක නිරත වූවන්ය. ඔවුන්ටද මනාප චරිතයක් ලෙස දැන් ඔවුන් නාමල්ව දකින බැවින් ය.
සැබෑය. ප්‍රසන්න සිනහවක් ඇති, ප්‍රියමනාප හා සුහද බව සමග නාමල් මේ වනවිට මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න සඳහාද කලබලයක් නැතිව තාර්කික උත්තර දීම, ඔහු කතා කරන විට පාර්ලිමේන්තුවේ හරස් කැපීම් සඳහාවන ඔහුගේ ප්‍රතිචාර යම් පමණකට මහින්ද රාජපක්ෂට වඩා සුමට යැයිද කිව හැක. එහෙත්, මා 2005 දී මහින්ද රාජපක්ෂ සම්බන්ධව කියූ කතාව, අද නාමල්ටද වලංගුවේ. එයට හේතුවක් ඇත. අද නාමල් දේශපාලනය කරන්නේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු වන විට පැවති “ශ්‍රී ලංකාව” තුල නොවේ. අවුරුදු 20 ට ඉහතින් “ගැටළු තේරුම් ගත නොහැකි, විසඳුම් නැති, හිනා වෙන අපේක්ෂකයින් රටක නායත්වයට පත්කර ගැනීම” භයානක යැයි මා කියවන විට පැවති තත්ත්වයට වඩා බරපතල ලෙස පිරිහුණු, අබලන් රටකට අවශ්‍ය වන්නේ එදාටත් නොගැලපෙන්නේ යැයි මා කියූ මහින්ද රාජපක්ෂගේ ජනප්‍රිය, ප්‍රියමනාප චරිතය සමඟින් සැසඳිය හැකි තවත් නායකයෙකු නොවේ.
මේ සමාජයේ ගරා වැටීම, ආර්ථික හෙයියම්මාරුව ඉල්ලන්නේ “ජනප්‍රිය, ප්‍රියමනාප චරිතයකට” වඩා, දේශපාලන ඉදිරි දැක්මක් සමගින් “සමාජ සංවර්ධනය” සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නාවූ නව දේශපාලන ව්‍යාපාරයක නායකයෙකි. නාමල්ගේ ප්‍රසන්න සිනහවට, ප්‍රියමනාප හා සුහද බවට මේ වත්මනෙහි වටිනාකමක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාසට ද නැති, අවුරුදු 44 ක් අසාර්ථක වූ ජයවර්ධනගේ අති දූෂිත, සදාචාරයක් විනයක් හික්මීමක් නොදන්නා විනාසකාරී සමාජයක් බවට මේ සමාජය පත් කළ විවෘත වෙළදපල ආර්ථිකයට විකල්ප “සමාජ සංවර්ධන” වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම් පමණි.
ආර්ථික අර්බුදයට වඩා බරපතල ලෙස ජන ජීවිතය බිඳ දමන සමාජ පිරිහීම සමග නාමල්ට සැබෑ බෞද්ධ නායකයෙකු විය හැක්කේ සිංහල සමාජයේ රේක්කයෙන් ඡන්ද එකතු කරන නායකයෙක් ලෙස නොවේ. ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන හා ලිංගික අපරාධ කිසිවක් ගැන අසන්නට නොමැති කරුණාවන්ත සමාජයක් සහතික කළ හැකි නායකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ නම් පමණි. ආත්මාර්ථකාමයෙන් පෙළෙන, අනෙකාට ඊර්ෂ්යා කරන, කුහක මිනිසුන් වෙනුවට පරාර්ථකාමය අගයන, අනෙකාට ගරු කරන, කප්පම් ගැනීම්, මිනීමැරීම්, අන්තරායකර මත්ද්‍රව්‍ය සොයන්නටවත් නොමැති ශිෂ්ඨ මිනිසුන්ගේ සමාජයක් සහතික කළ හැකි නායකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ නම් පමණි. සියලු ජන වර්ග වලට, සියලු ආගමික ලබ්ධිකයින්ට සමානයින් ලෙස සාර්ථක, ගෞරවනීය ජීවිතයක් සහතික කළ හැකි විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී “සමාජ සංවර්ධන” වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නාවූ නායකයෙකු වන්නේ නම් පමණි.
නාමල් රාජපක්ෂට විපක්ෂ නායකත්වයෙන් නතර නොවී, ජාතික නායකයෙකු විය හැක්කේ ඔහුගේ “ජනප්‍රිය, ප්‍රියමනාප, සුහදශීලී චරිතය” සමග විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී “සමාජ සංවර්ධන” වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම් පමණි. දසක දෙකකට පෙර මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මා කියූ කතාවට උත්තර දිය හැක්කේද එළෙසින්ම පමණි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 නොවැම්බර 18 වන දින




