වැළැක්විය නොහැකි අවසානය පෙනි පෙනී එය නොවේවා යැයි පතමින් ලංකාවෝ හට උගුරින් බට දමා යාන්තම් හෘදය ගස්සවා තබා ගන්නේ කුමට ද! ලංකාවෝ වනාහි දැනටමත් මළ කඳකි.
ලංකාවෝ හට කිසිවක් නොමැත. ඇයගේ ඉතිහාසය පවා දැන් ඇයට අමතකය. ඇයගේ මතකය විකෘති වී ගොසිනි. විටින් විට සිහිය එන ඇය කැඩපතින් දකින සිය රූපය තව දුරටත් හඳුනන්නේ නැත. ඇයගේ වත තවරා ඇති තට්ටු ගණන් අසත්‍යයේ සුණු ස්ථර යටින් ඇති දුඹුරු සම දුගඳ හමන එක ම වණයකි. නහර තුළ දුවන කුණු වතුර නොනවත්වා එළියට ගලා ඒ. අස්ථි බන්ධන පුපුරා ගොස් අත්පා නාය යයි. ඇය නැවත මරණ මංචකයෙන් නැගිටින්නේ නැත. හිස් අපේක්ෂා අත් හරිනු.
ලංකාවෝ හට ජීවත් වීමට පරමාර්ථයක් තවත් ඉතිරිව නොමැත. ඇයට අනාගතයක් නොමැත. ඇයගේ දරුවන් නූගත් අවජාතක දරිද්‍රයන් ය. සිය මවගේ ලොට තනයෙන් වෑහෙන අරක්කු උරා බොමින් සිය අසුචි අතින් මිරිකා සතුටු වන අවිද්‍යාත්මක මිසටුදුවන්ගෙන් ඇයට මෙලොව පරලොව සරණක් නොමැත.
ඇයට ධර්මයේ සරණ ද අහිමි ය. කලකට පෙර ඇයගේ හිස තබා වැඳ පිදූ දන්ත ධාතුව දෙවියන් විසින් තුසිතයට වඩමවා එහි ගර්භ කොට අවසන් ය. තවත් මෙහි කරන්නට දෙයක් නොමැත. ලංකාවෝ අවසාන ය. ලංකාවෝ හට මිය යන්නට ඉඩ දිය යුතුය. ධර්මය ඔබට මග වේවා!(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com
කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 දෙසැම්බර් 16




