The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

රට යළි ගොඩ නැගීමේ දේශපාලනය | සුමිත් චාමින්ද

T

The Leader Desk

December 19, 2025 • 8:06 AM

රට යළි ගොඩ නැගීමේ දේශපාලනය | සුමිත් චාමින්ද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුළි කුණාටුව හමුවේ ආණ්ඩුවට අවාසි සහගතව කැළඹුණු ජන මතයේ වායු ගෝලය මේ වනවිට පැහැදිලිවම යළිත් සාමාන්‍ය අතට හැරී ඇත.
  • දක්ෂිණාංශික විපක්ෂයේ කණ්ඩායම් ආපදා තත්ත්වය තුළ ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැංවීමට විශාල ප්‍රයත්නයක යෙදුණු බැවින් පශ්චාත්-ආපදා කළමනාකරණ ව්‍යාපෘතිය තුළ විපක්ෂය ආන්තිකකරණය කිරීමේ ආණ්ඩුවේ උපක්‍රමයට දැන් කිසියම් යුක්ති සහගත භාවයක්ද ලැබී ඇත.
  • විපක්ෂ නායකවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවමත් ආපදාවට ලක් වූ ප්‍රදේශවල සැරිසරමින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවල අඩු පාඩු සොයමින් සිටීම ඔවුනගේ දේශපාලන ප්‍රතිරූපවල වර්ධනයට හේතු වනු ඇතැයි කල්පනා කළ නොහැකිය.
  • නමුත් නව දේශපාලන කාලගුණ තත්ත්වය විසින් තරඟයේ වාසිය හිමි කරදෙන්නේ තමන්ට නොවන බව වටහාගන්නට විපක්ෂය අසමත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් ප්‍රධාන මාතෘකාව බවට ඇත්තේ පශ්චාත්-ආපදා කළමනාකරණය පිළිබඳ තේමාවයි. ඒ වනාහී රාජ්‍යය ප්‍රධාන භූමිකාව රඟ දක්වනු ලබන්නා වූ කාර්යයකි. එබැවින් එහිදී ආණ්ඩුවට එතරම් ආයාසයකින් තොරව දේශපාලන දාම් පොත හැසිරවීමට හැකිය. දක්ෂිණාංශික විපක්ෂයේ කණ්ඩායම් ආපදා තත්ත්වය තුළ ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැංවීමට විශාල ප්‍රයත්නයක යෙදුණු බැවින් පශ්චාත්-ආපදා කළමනාකරණ ව්‍යාපෘතිය තුළ විපක්ෂය ආන්තිකකරණය කිරීමේ ආණ්ඩුවේ උපක්‍රමයට දැන් කිසියම් යුක්ති සහගත භාවයක්ද ලැබී ඇත.

 



විපක්ෂ කණ්ඩායම් නිරතව සිටින්නේ හුදෙක් ආණ්ඩුවේ සහන සේවා කටයුතු සහ නැවත ගොඩ නැංවීමේ කටයුතු විවේචනය කරමින් සිටීමේ කාර්යයක පමණක්ය යන ජන මතය ගොඩ නැංවීම ආණ්ඩුවට දැන් කිසිසේත්ම අසීරු කාර්යයක් නොවේ. විපක්ෂ නායකවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවමත් ආපදාවට ලක් වූ ප්‍රදේශවල සැරිසරමින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවල අඩු පාඩු සොයමින් සිටීම ඔවුනගේ දේශපාලන ප්‍රතිරූපවල වර්ධනයට හේතු වනු ඇතැයි කල්පනා කළ නොහැකිය. නමුත් නව දේශපාලන කාලගුණ තත්ත්වය විසින් තරඟයේ වාසිය හිමි කරදෙන්නේ තමන්ට නොවන බව වටහාගන්නට විපක්ෂය අසමත්ව ඇත. එබැවින් සති කිහිපයකට පෙර වලංගු බවක් පෙනී ගිය ඔවුනගේ ඇතැම් දේශපාලන උපක්‍රම තවමත් එලෙසින්ම ක්‍රියාවට නගන්නට ඔවුන් දරන්නා වූ ප්‍රයත්නය ජනතා උපහාසයට සහ ඇතැම් විට උදහසට පවා ලක්වීමට ඉඩ තිබේ.

 

sajith hiriyay
තරඟයේ වාසිය

පශ්චාත්-ආපදා කළමනාකරණයේදී සහ ආපදාවෙන් පසු නැවත රට ගොඩ නැංවීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුවට වාසි සහගත වන සාධක ගණනාවක් අපට හඳුනාගත හැකිය. පළමුවැන්න වන්නේ ලාංකීය දේශපාලන අවිඥානය තුළ රාජ්‍යය ජනතාවට රැකවරණ සපයන්නෙකු විය යුතුය යන උවමනාව ගැඹුරු ලෙස මුල් බැසගෙන තිබීමත් එම වුවමනාව ආමන්ත්‍රණය කිරීමට ජවිපෙ/ජාජබ ආණ්ඩුව මේ වනවිට සමත්ව තිබීමත්ය. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජන සම්මත පාලකයෙකු පිළිබඳ ඓතිහාසික සමාජ පරිකල්පනයට උචිත සංකේතීය නිරූපනයක් ඉදිරිපත් කිරීමට සමත් විය. දේශපාලනය තුළ මාධ්‍ය භූමිකාව අධිපති වී ඇති යුගයක සාර්ථකත්වය සඳහා යමෙකු දේශපාලන අභිවහන කලාවද (performance art) ප්‍රගුණ කර තිබිය යුතුය.

 

wijeweera1

ආණ්ඩුවට වාසි සහගත දෙවන සාධකය වන්නේ ජනතා සහන සැලසීමේ ක්‍රියාවලියේදී සෙසු කිසිදු දේශපාලන පක්ෂයක් සතුව නොමැති සංවිධාන යාන්ත්‍රණයක් ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබීමයි. විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට දක්ෂිණාංශික බහුජන දේශපාලන පක්ෂවල සංවිධාන යාන්ත්‍රණ ක්‍රමානුකුලව බිඳ වැටී යන අතර බොල්ෂෙවික් ආදර්ශය සහිත පක්ෂ කාඩරයක් වන ජවිපෙ ජාතික දේශපාලන අවකාශය ග්‍රහණයට ගන්නට සමත්ව තිබේ. මට හැඟෙන පරිදි, මෙම සාර්ථකත්වයේ ගෞරවය විශාල වශයෙන් හිමි විය යුත්තේ පක්ෂයේ නිර්මාතෘවරයා වන රෝහණ විජේවීර හටය. මන්ද යත්, බොල්ෂෙවික් ආදර්ශය සහිත කාඩර ව්‍යුහයකින්ද ඒ හා සම්බන්ධ කම්කරු, ගොවි, ශිෂ්‍ය, තරුණ, කාන්තා, භික්ෂු, කලා-සංස්කෘතික යනාදී බහුජන සංවිධාන ජාලයකින්  සමන්විත පරිවාර ව්‍යුහයකින්ද සමන්විත නවතම පක්ෂ ආකෘතියක් නිර්මාණය කරන ලද්දේ ඔහු විසිනි. පක්ෂයේ කේන්ද්‍රීය ව්‍යුහය ක්‍රියාකාරීව පවත්වා ගන්නා අතරම පුළුල් බහුජන ක්‍රියාකාරීත්වයකද නිරත වීමේ ශක්‍යතාව ජවිපෙට හිමි වූයේ විජේවීරගේ මෙම නිර්මාණශීලී දායකත්වය නිසාය. (ජවිපෙට ආවේණික මෙම සුවිශේෂී පක්ෂ යාන්ත්‍රණය මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳව සේම වාමාංශික දේශපාලන උපායමාර්ග පිළිබඳවද කෙරෙන ඉදිරි පර්යේෂණ සඳහා කදිම අධ්‍යයන ක්ෂේත්‍රයකි).

තෙවනුව, පසුගිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව දේශපාලනයේ අක්‍රීය නරඹන්නන් බවට පරිවර්තනය වෙමින් සිටි තම පාක්ෂික ජනතාව ආපදාවෙන් පසු රට නැවත ගොඩ නැගීම පිළිබඳ ආකර්ශනීය තේමාව වටා නැවත සංවිධානය කරගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණ මෙහෙයවීමේ හැකියාව පවතින්නේද ජවිපෙ/ජාජබ සතුවය. පශ්චාත්-ආපදා කළමනාකරණය සහ රට නැවත ගොඩ නැංවීම පිළිබඳ දෘෂ්ටිවාදී ආවරණය යටතේ රාජ්‍ය යාන්ත්‍රණ මෙහෙයවීම පිළිබඳව ජනතා විරෝධයක් එල්ල වීමට ඉඩක් නොමැත.

අලුත් කතාන්දරයක අවශ්‍යතාව  

 

election rally
ආපදාවෙන් පසුව ශ්‍රී ලංකාව නැවත ගොඩ නැංවීම පිළිබඳ ආණ්ඩුවේ වැඩ පිළිවෙල විසින් පසුගිය වසරක කාල පරිච්ජේදය තුළ ආණ්ඩුව මුහුණ දෙමින් සිටි කිසියම් උභතෝකෝටිකයක් සඳහා විසඳුමක් ඉදිරිපත් කෙරෙනු ඇතැයිද අපේක්ෂා කළ හැකිය. ආණ්ඩුවේ දෘෂ්ටි නියමුවන් විසින් පවා මැනවින් හඳුනාගෙන නොතිබූ එම උභතෝකෝටිකය වන්නේ මෙයයි. ජවිපෙ/ජාජබ කිසියම් දේශපාලන වැඩ පිළිවෙලක් ඔස්සේ ජනතා සහයෝගය දිනා ගන්නටත් එමගින් මැතිවරණ ජයග්‍රහණයක් අත්පත් කරගන්නටත් සමත් විය. එම වැඩ පිළිවෙල ජනප්‍රිය දේශපාලනය තුළ තහවුරු වූයේ දූෂිත ප්‍රභූ දේශපාලන තන්ත්‍රය පෙරළා දමා ජනතාවාදී පාලනයක් ගොඩ නැංවීමේ කතාන්දරයක් ලෙසයි.

නමුත්, පාලන බලය දිනා ගැනීමෙන් පසුව තම පාලනය සඳහා ලැබුණු සක්‍රීය ජනතා කැමැත්ත අඛණ්ඩව පවත්වා ගන්නේ කෙසේද යන්න ජවිපෙ/ජාජබ නායකයින් ප්‍රමාණවත් තරමින් කල්පනා කොට තිබුණු බවක් නොපෙනේ. තමන් බලයට ගෙන ඒමට ඉවහල් වූ කතාන්දරයම තම බලය පවත්වා ගැනීම සඳහාද ප්‍රමාණවත් වෙතැයි ඔවුන් උපකල්පනය කළ බවක් පෙනෙන්නට තිබුණි. ආණ්ඩු බලය දිනා ගත් පසුවද පැරණි පාලක පන්තියට චෝදනා කරමින් සිටීමේ නැඹුරුතාව මගින් ගම්‍ය වන්නේ එයයි. 'අපට ලැබුණේ බිඳ දමන ලද රටක්ය' යන ප්‍රකාශය තවමත් ආණ්ඩුවේ ප්‍රකාශකයින්ගේ මුවින් නිතර ගිලිහෙනු දක්නට ලැබේ. නමුත්, අප මෙහිදී සිහි තබා ගත යුතු කාරණයක් වන්නේ මැතිවරණයට පෙර එම කතාන්දරයට විශාල ජනතා ආකර්ශනයක් හිමි වූයේ එකල ජන පීඩක දූෂිත පාලන තන්ත්‍රයක් ජනතාවගේ පසමිතුරු අනෙකා බවට පත්ව තිබුණු වාතාවරණය තුළය යන්නයි. ජවිපෙ/ජාජබ බලයට පත්ව මාස කිහිපයක් ගත වන තෙක් එම පැරණි කතාන්දරය පුනරුච්ජාරණය කරමින් සිටිය හැකි වුවද දිගටම එසේ කළ නොහැකිය. සරලව, ජනතා ආකර්ෂණය සඳහා නව කතාන්දරයක් නව ආණ්ඩුවට වුවමනා වේ.

 

Mahaweli JR opening Victoria with Thatcher

බලය දිනා ගන්නට පෙර කතාන්දරය තරමටම බලයට පත් වූ පසු කතාන්දරයද වැදගත් බව මනාව දැන සිටි දක්ෂිණාංශික නායකයින්ගෙන් මෙහිදී වාමාංශය උගත යුතු පාඩම් තිබේ. 1977දී ජේ.ආර්. ජයවර්ධන බලයට පත් වූයේ සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව මතුවෙමින් තිබුණු ජනතා කළකිරීමට ආමන්ත්‍රණය කරමින් ධර්මිෂ්ට සමාජයක් සහ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයක් පිළිබඳ කතාන්දරයක් ඉදිරිපත් කරමිනි. නමුත්, බලයට පත් වූ පසුව කඩිනම් සංවර්ධනය පිළිබඳ කතාන්දරය ඔස්සේ වඩා ආකර්ශනීය ලෙස අඩු තරමින් වසර පහක් දක්වා ජනතා කැමැත්ත පවත්වා ගන්නට ඔහු සමත් විය. දේශපාලනයෙහි කතාන්දර යනු හුදෙක් හිස් වාගාලාප නොවේ. එම කතාන්දර වනාහී ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් ඔස්සේ පන ලබන ඒවාය. ජයවර්ධනගේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යනු එසේ ජනතාවට නව බලාපොරොත්තුවක් ලබා දුන් කඩිනම් සංවර්ධනය පිළිබඳ කතාන්දරය ප්‍රායෝගිකත්වයට නැංවීමකි.

මහින්ද රාජපක්ෂ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදී කතාන්දරයක් ඔස්සේ බලයට පත්ව පසුව විශේෂයෙන්ම 2010න් පසුව රටේ ආර්ථික සංවර්ධනය (ආසියාවේ ආශ්චර්යය) පිළිබඳ කතාන්දරය ඔස්සේ බලය පවත්වා ගන්නට ප්‍රයත්න දැරීය. බලයට පත් වූ පසුව ජන සමාජය තම හෙජමොනික ව්‍යාපෘතිය යටතේ නැවත සංවිධානය කරන්නේ කෙසේදැයි සිංගප්පූරුවේ ලී කුවාන් යූගෙන් පවා වාමාංශයට ඉගෙනගත හැකි පාඩම් තිබේ. ඔහු පුරවැසියන් නව සිංගප්පූරුවක් නිර්මාණය කිරීමේ සොල්දාදුවන් සේ සැලකීය. එම ව්‍යාපෘතිය සඳහා නව දෘෂ්ටිවාදයක්, ආචාර ධර්ම පද්ධතියක්, අධ්‍යාපන සහ සංස්කෘතික මැදිහත්වීමක් යනාදිය අවශ්‍ය බව ඔහු වටහාගෙන තිබුණේය.

 

clean sri lanka
ජවිපෙ/ජාජබ ආණ්ඩුව තවමත් අසමත්ව සිටින්නේ මෙසේ තමන් බලයට පත්වූ පසුව මෙරට සමාජය නව කතාන්දරයක් (එය යමක් බිඳ දැමීම පිළිබඳ කතාවක් නොව ගොඩ නැංවීම පිළිබඳ කතාවක් විය යුතුය) වටා නැවත සංවිධානය කිරීම යන කාර්යයේදීය. ඇතැම්විට, මේ අසමත්භාවය පිළිබඳ කිසියම් අවබෝධයක් අනුර කුමාර දිසානායක හට තිබෙනවා විය හැකිය. ඔහු 'ක්ලීන් ශ්‍රී ලංකා' යන තේමාව යටතේ කිසියම් ගොඩ නැංවීමේ කතාන්දරයක් පෙරට ගන්නට ප්‍රයත්න දැරීමෙන් ගම්‍ය වන්නේ එයයි. ආණ්ඩුව තවමත් අසමත්ව සිටින මේ අභියෝගය ජය ගැනීම සඳහා 'ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩ නැංවීමේ' කතිකාව විසින් මාර්ගය හෙළි පෙහෙළි කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.


(සටහන | සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රට යළි ගොඩ නැගීමේ දේශපාලනය | සුමිත් චාමින්ද | The Leader