හැම පරම්පරාවකම රැඩිකල්, කැරැලිකාර, අපරිණත තරුණ තරුණියන් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රචණ්ඩත්ව නැඹුරුව නීති මගින් පාලනය කළ යුතුයි. එහෙම නැතුව රාජ්‍යයක් පවත්වාගෙන යන්නට බැහැ. ජෙන්සී උස්සපු කට්ටිය මේ සමග තියෙන පිංතූරෙ ඉන්න පුංචි ළමයාගේ ඇස් දිහා බලලා මේ පෝස්ට් එක කියවන්න.
බංග්ලාදේශ් විප්ලවයේ අඳුරු සෙවනැලි: හත් හැවිරිදි අයේෂා අක්තාර්ගේ ඛේදවාචකය
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු එරට ඇති වූ දේශපාලන පරිවර්තනය, මේ වන විට පාලනය කළ නොහැකි ප්‍රචණ්ඩත්වයක් සහ අරාජිකත්වයක් දක්වා ගමන් කරමින් තිබේ. මෙම ව්‍යාකූලත්වයේ අලුත්ම සහ ශෝචනීයම බිල්ල බවට පත්ව ඇත්තේ හත් හැවිරිදි අහිංසක දැරියක වන අයේෂා අක්තාර් ය.

පසුගියදා ලක්ෂ්මීපූර් (Lakshmipur) ප්‍රදේශයේදී අමානුෂික මැර ප්‍රහාරයකට ලක්වූයේ අයේෂාගේ පියා වන බෙලාල් හොසේන්ගේ නිවසයි. බෙලාල් හොසේන් යනු බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ප්‍රාදේශීය නායකයෙකි. මධ්‍යම රාත්‍රියේ කඩා වැදුණු මැර කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිනි තැබූ අතර, එම ගින්නෙන් හත් හැවිරිදි අයේෂා දැරිය පණපිටින් පිළිස්සී මිය ගියාය. ඇයගේ පියා සහ සෙසු සහෝදරියන් දෙදෙනා බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම සිදුවීම බංග්ලාදේශ දේශපාලනයේ වර්තමාන ඛේදවාචකය මනාව පෙන්නුම් කරයි. මෙම ප්‍රහාරය එල්ල වන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ෂරීෆ් ඔස්මාන් හාඩිගේ ඝාතනයට විරෝධය පළ කිරීමේ මුවාවෙනි. හාඩි යනු අවාමි ලීගයට එරෙහිව සටන් කළ ‘Gen Z’ පරම්පරාවේ නායකයෙකි. හාඩිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මැර පිරිස් වීදි බැස සිටියද, ඔවුන් පහර දී ඇත්තේ ද අවාමි ලීගයේ විරුද්ධවාදීන් වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) නායකයෙකුට වීම බරපතල උත්ප්‍රාසයකි.

මෙයින් ගම්‍ය වන්නේ බංග්ලාදේශය තුළ දේශපාලන දෘෂ්ටිවාදයන් අභිබවා හුදු පළිගැනීම සහ මංකොල්ලකෑම අරමුණු කරගත් මැර බලය හිස ඔසවා ඇති බවයි. "විප්ලවය" වෙනුවෙන් පෙනී සිටින බව කියන ඇතැම් කණ්ඩායම්, තමන්ගේම දේශපාලන සතුරන් දඩයම් කිරීමට මෙම අවස්ථාව යොදා ගනිමින් සිටිති.
ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අභියස, මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳ වැටී ඇති බවයි. හත් හැවිරිදි අයේෂාගේ අළු මතින් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි බංග්ලාදේශ අන්තර්වාර රජය ලෝකයට පිළිතුරු දිය යුතුව ඇත.

(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි - සංස්කාරක)




