නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එය සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් තිබෙනවා.”
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය - (විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ස්ථාවර නියෝග 27/2 යටතේ ඇසූ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුර/2025 දෙසැම්බර් 19 වන දින පාර්ලිමේන්තුවේදී)
“ඕවා බයිලා....” යැයි ඇතැම් අවස්ථාවල සමහරුන් කියන්නේ, අදාල කාරණාව සම්බන්ධව පැහැදිලි සෘජු පිළිතුරක් නොදී වැල්වටාරම් කියන විට, විය යුතු ය. “නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකි” යැයි හරිනි කියන්නේ කාගේ නීති දැනුමක් අනුවද? “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එය සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යයනයක්” කරන්නේ යැයි කියන්නේ, දසක 03 ට වැඩි කාලයක් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධ නොයෙක් විද්වත් කව වල කෙරුණු සාකච්ඡාවල හෝ ලියැවී ඇති අධ්‍යයනවල, එම ධූරය අහෝසි කිරීම පිළිබඳ මොනවා හෝ විසඳීමට නොහැකි ගැටළු මතු කර ඇති නිසා වෙන්ද?
ජයවර්ධන ගේ නායකත්වයෙන් 1977 ජූලි මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 5/6 ක ඉතිහාසගත ජයක් එ.ජා.පය ලබා ගත් පසු ජේ.ආර් ජයවර්ධන දිවුරුම් දෙනු ලැබුවේ අගමැති ලෙස ය. ඔහු විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දෙනු ලැබුවේ, 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට ‘77 ඔක්තෝබරයේ ගෙනෙනු ලැබ සම්මත කෙරුණු දෙවන සංශෝධනය, 1978 පෙබරවාරි 04 වන දින බලාත්මක කිරීමෙන් පසුවය. එදා විධායක ජනාධිපති ධූරය නිර්මාණය කරනු ලැබුවේ, “මෙම සංශෝධනය බලාත්මක කෙරෙන විට අග්‍රාමාත්‍ය ධූරයෙහි ඉන්නා පුද්ගලයා, ජනරජයේ ජනාධිපති ධූරයට පත් කෙරෙන අතර, එම ධූරයට හිමි බලය හා වගකීම් අනුව කටයුතු කළ යුතුය” යනුවෙන් 03 වන වගන්තියෙහි නිශ්චිතව සඳහන්වූ ප්‍රතිපාදනය සමගින් ය.

විධායක ජනාධිපති ධූරය නැවත තහවුරු කළ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව විසින් 1978 ජූලියේ සම්මත කර සැප්තැම්බරයේදී බලාත්මක කෙරුවකි. එම දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් විධායක ජනාධිපති ධූරය මහජන ඡන්දයෙන් තෝරා පත් කෙරෙන්නක් ලෙස ව්‍යවස්ථාගත කරනු ලැබූවකි. එම ධූරය අහෝසි කිරීමට එබැවින් ජනතාවගේ අනුමැතිය තිබිය යුතු යැයි, 2022 ජුනි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවේ, පාර්ලිමේන්තුවට 21 වන සංශෝධනය ලෙස ඉදිරිපත් කරනු ලැබූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශ කරමින් ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුවෙහි කොතැනකවත්, අගමැතිනී හරිනි අමරසූරිය කියන අයුරු, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සිදු කළ යුත්තක් යැයි නොකියවේ. එහි කියැවෙන්නේ, ජනාධිපති ධූරයට පුද්ගලයෙකු තෝරා පත් කෙරෙන්නේ ජනතාව විසින් හෙයින්, එම ධූරය අහෝසි කරන්නේද නැතිද යන්න තීන්දු කළ යුත්තේද ජනතාව යැයි කියා ය. ඒ අනුව, 1978 පෙබරවාරියේ විධායක ජනාධිපති ධූරය පළමු වරට ස්ථාපිත කළ ආකාරයේ සංශෝධනයක් සඳහා වන ජන මත විමසීමකින් ජනතාවගේ අනුමැතිය ලබා ගන්නේ නම්, විධායක ජනාධිපති ධූරය අහෝස කළ හැකිය.

එය වඩාත් සරළව කියන්නේ නම්, “1978 සැප්තැම්බරයේදී බලාත්මක කෙරුණු ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධායකය - ජනරජයේ ජනාධිපතිවරයා යැයි නම් කෙරුණු සත් වන පරිච්ඡේදයේ 30.1 සහ 30.2 අනු ව්‍යවස්ථා සමග 31.1 සිට 41.7 දක්වා වන අනු ව්‍යවස්ථා සියල්ල මෙයින් අහෝසි කෙරෙන අතර, එම අනු ව්‍යවස්ථා මගින් ජනාධිපති ධූරයෙහි ගොනු කර තිබූ සියලු විධායක බලය, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ව්‍යවස්ථාව - ජනතාව, රජය සහ පරමාධිපත්‍ය මැයෙන් වන පළමු පරිච්ඡේදයේ 04 වන අනු ව්‍යවස්ථාවට අවශ්‍ය ලෙස ඇතුළු කෙරෙන්නේ ය” වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජනතාවගේ මත විමසීමකට ඉදිරිපත් කිරීමෙන්, බහුතරයක් කැමැත්ත දෙන්නේ නම්, එය පාර්ලිමේන්තුවෙහි, මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව සතු 2/3 ට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවෙන් සම්මත කිරීමෙන්, විධායක ජනාධිපති ධූරය සහමුලින් අහෝසි කළ හැකි ය. එහෙත් ආධුනික, සංවර්ධන සැළසුම් නොමැති දේශපාලන නඩයකට, ජනතාව හමුවේ බලසම්පන්න ආණ්ඩුවක් ලෙස පෙනී සිටීමට විධායක බලය සහිත ජනාධිපති ධූරය ප්‍රයෝජනවත් ආවරණයකි.
අගමැතිනිය තවමත් පෙනී සිටින වර්තමාන ජවිපෙ/මාලිමා දේශපාලනය, පසුගිය 2024 මැතිවරණ වලදී, ජනතාවගේ ඡන්ද එකතු කිරීමට හදා ගත් “අන්ධානුගාමික ගාල” සඳහා කියූ තටු සහිත ප්‍රබන්ධ කතා වැනි කතා තවමත් කියන්නා වූ දේශපාලනයකි. ඒ දේශපාලනය ඔවුන්ගේ “පොහොසත් රටක් - ලස්සණ ජීවිතයක්” යැයි වන මැතිවරණ ප්‍රකාශනයෙහිද හරය වූවකි. එනිසා ඔවුන් ඉහතින් සඳහන් කළ ව්‍යවස්ථා සංශෝධනය සමග ජනමත විමසීමකට නොයන බව සක්සුදක් සේ පැහැදිලි ය.
පසු ගිය මැතිවරණ වලදී “වහා අහෝසි කළ යුතු යැයි” කියූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුව සඳහා, ඔවුන්ට දැන් කාල වකවානු, කාල සීමා නැත්තේ එනිසාවෙනි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට ඇතුළු කර, එය අහෝසි කිරීමේ කාල නිර්ණය පිලිබඳ කතාව යට ගසා ඇත. ඔවුන් යෝජනා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා කෙතරම් කාලයක් වැය වන්නේදැයි කොතැනකවත් කියා නැත. අවම තරමින් ඔවුන්ගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරන්නේ කවදාට පෙරදැයි කියා හෝ නොකියති. අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කීවේ, අදාල නිශ්චිත කාල වකවානු ඉදිරියේදී කියන්නේ යැයි කියාය.
එතුමිය පාර්ලිමේන්තුවට කියූ “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එය සිදු කළ හැකි ආකාරය පිළිබද අධ්‍යයනය” අද හෙට අවසන් වන බවක්ද නොපෙනේ. ඒ අතර, මීට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් වන වාර්තා හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෝජනා ඇය කියූ අයුරු “කවුරුන් හෝ” සළකා බලමින් සිටිති. කෙටුම්පත සකස් කරන්නේ කවුරුන්දැයි අගමැතිනිය පාර්ලිමේන්තුවටද නොකීවා ය. අගමැතිනිය ගේ මෙම පිළිතුර, ප්‍රශ්නය ඇසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිගත්තද, සමාජයට දැනෙන, සමාජයට අවශ්‍ය වෙනසක් ඉල්ලා සිටි දැනුවත් පිරිසට ඒ සියල්ල කට මැත දෙඩවීමක් වැනි ය.

එය සැබෑය. එහෙත් මේ ආධුනික රැළ එක ගොන්නකට ගාල් කර ගෙන ගමනක් යෑම, විධායක බලය සහිත ජනාධිපතිවරයෙකු නොමැතිව කළ නොහැකි බව, අන් සියල්ලන්ට වඩා හොඳින් ජනාධිපති අනුර කුමාරට ඒත්තු ගියෙකි. මෙවැනි අවිනිශ්චිත, එල්ලයක් නොමැති කතා සමග වන කල් මැරීම් කියන්නේ, ඊළඟ ජනාධිපතිවරණය 2029 සැප්තැම්බර් මාසයට පෙර පැවත් වීමේ අවකාශයක් ඇති බව ය. මේ සමාජයේ දේශපාලන කුණාටුව ඉතිරි කරන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ විධායක ජනාධිපතිවරණයකට සූදානමක් හෝ ඇති විපක්ෂයක්ද දකින්නට නොමැති නාය ගිය දේශපාලන පිටියකි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 දෙසැම්බර 21 වන දින




