The Leader News
BREAKING
Top Ad
Opinion

මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල හරිනි සමගම ඉවත් කළ යුතුයි

T

The Leader Desk

January 1, 2026 • 2:57 PM

මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල හරිනි සමගම ඉවත් කළ යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අවුරුද්ද ආරම්භ කරන්නට සිදුව ඇත්තේ සැමට සුභ පතා නොවේ.
  • දෙමාපියන් විසින්ද ඒවා ක්‍රියාත්මක නොකරන ලෙසට තම කලාප අධ්‍යාපන පරිපාලකයින්ට හා විදුහල්පතිවරුන්ට දැනුම් දිය යුතු යැයි කියා ය.
  • මේ රටේ අධ්‍යාපනය විෂයක් ලෙස විමධ්‍යගත කෙරුණු, පළාත් වශයෙන් නියාමනය වන, දැවැන්ත සේවා සැපයුමකි.
  • එහි වසර 30 ට ආසන්න යුද්ධයකින් විනාශ වූ ප්‍රදේශවල අබලි පාසල්වල උගන්වන ගුරුවරුන්ට හා ඉගෙන ගන්නා ළමුන්ගේ දෙමාපියන්ටද අධ්‍යාපනය ගැන කියන්නට බොහෝ දේ තිබිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අදින් මේ අවුරුද්ද ආරම්භ කරන්නට සිදුවන්නේ අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මල්ලත් එක්කම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කලුවැවද සමග වහා ඉවත් කළ යුතු යැයි කියා ය. මේ අවුරුද්ද ආරම්භ කරන්නට සිදුවන්නේ, පාසල් නැවත ආරම්භ කෙරෙන ජනවාරි 05 වන දා සිට පාසලට, පංති කාමරයට ගෙන එන “හරිනිගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” යැයි පොදුවේ හඳුන්වනු ලබන ප්‍රතිසංස්කරණ සියල්ල විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු යැයි කියා ය. දෙමාපියන් විසින්ද ඒවා ක්‍රියාත්මක නොකරන ලෙසට තම කලාප අධ්‍යාපන පරිපාලකයින්ට හා විදුහල්පතිවරුන්ට දැනුම් දිය යුතු යැයි කියා ය.

එවැනි දැඩි විරෝධයකට මුල පුරන්නට සිදු වන්නේ, අධ්‍යාපන ඇමතිනි ලෙස හරිනි අමරසූරිය මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව පසුගිය 2025 ජනවාරියේ විවිධ අවස්ථාවල විවිධ උත්සව වල කතා කරන්නට පටන් ගත් පසු, පෙබරවාරි මස 24 වන දින මා ඇයට “ලබන 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීම” යන සිරස් තලය ඇතිව, ප්‍රතිසංස්කරණ සඳහා වන  ඇයගේ හිතුවක්කාර පිළවෙත අර්බුදකාරී පිළිවෙතක් විය හැකි බැව් අනතුරු ඇඟවීම් කරමින් ලිඛිත ඉල්ලීමක් කර තිබූයෙනි.

 

f9dc3655 3b49 4959 9728 e9e91fc65253

අධ්‍යාපන ඇමතිනි ලෙස අමතා යොමු කළ එම ලිපියෙහි මා ඉතා පැහැදිලිව කියා සිටියේ, “මෙය ඔබ වෙත යොමු කිරීමට තීන්දු කරනු ලැබුවේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළෙස තීන්දු කළ නොහැකි යැයිද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත සමාජ කතිකා ඔස්සේ ගොනු වන අදහස් යෝජනා මත කෙටුම්පත් විය යුතු යැයිද කීමට ය” යනුවෙනි. එය තවදුරටත් අවධාරණය කෙරුවේ, “ ඉහළ තනතුරුවල ඉන්නා නිලධාරීන් හා “විශේෂඥ” හිතවතුන් සමග වන එවැනි තවත් කමිටු මගින් දරුවන්ට, රටට වැඩදායක අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සම්පාදනය කළ නොහැකි ය. මේ රටේ අධ්‍යාපනය විෂයක් ලෙස විමධ්‍යගත කෙරුණු, පළාත් වශයෙන් නියාමනය වන, දැවැන්ත සේවා සැපයුමකි. එහි වසර 30 ට ආසන්න යුද්ධයකින් විනාශ වූ ප්‍රදේශවල අබලි පාසල්වල උගන්වන ගුරුවරුන්ට හා ඉගෙන ගන්නා ළමුන්ගේ දෙමාපියන්ටද අධ්‍යාපනය ගැන කියන්නට බොහෝ දේ තිබිය හැකිය. එනිසා ඔබ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරනවා යැයි කියන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවාදැයි මේ සමාජය කල් ඇතිව දැන සිටිය යුතුවාට අමතරව, ඒවා සම්පාදනය කිරීමේ සංවාද සාකච්ඡා වල, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දෙමාපියන්, වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරීන් හවුල් විය යුතුවද ඇත.” යැයි කියා ය.

ඒ කිසිත් නොකර, ඇයගේ සුපිරි කල්ලියක් සමගින් සම්පාදනය කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාසල් ළමුන්ට කෙතරම් උචිතද යන්න දැන් සැළකිය යුතු විවෘත විමසීමකට ලක් කළ යුතුව ඇත. සය වසර ළමුන් වැඩිහිටි වෙබ් අඩවියකට යොමු කරන අන්තර්ජාල සබැඳියක් හඳුන්වා දීම අත් වැරැද්දක් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ, ළමුන් සඳහාවන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඇති ඔවුන්ගේ නොසැළකිල්ලේ තරම ප්‍රදර්ශනය කරමින් ය. මේ ප්‍රතිසංස්කරණ පංති කාමරයට රැගෙන යන්නට පෙර, එවැනි නොසළකා හැරීම් තව කොපමණ තිබේදැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔවැනිම කමිටු මගින් නොව, සමාජ කතිකා මගින් වහා පරීක්ෂා කළ යුතුව ඇත.

 

aQreFdrf
අධ්‍යාපන ඇමතිනි හරිනිගේ අමාත්‍යාංශ නිලධාරීන් ළමුන් ගැන දක්වන නොසැළකිල්ලට අමතරව, මේ ප්‍රතිසංස්කරණ පංති කාමරයට රැගෙන යාමට පෙර ඒ සියල්ල ප්‍රසිද්ධ කතාකිවකට ලක් කළ යුතු යැයි කීමට තවත් වැදගත් හා බරපතල කාරණාවක් ඇත. මේ කතාවන “මොඩියුල” පිටපත් බෙදා ගුරුවර ගුරුවරියන්ට පුහුණු සැසි පැවැත්වීම ආරම්භ වූයේ “ඩිට්වා” සුළි කුණාටුව පැමිණි දින ආසන්නයේදී ය. ඒ අනුව, දෙසැම්බර් මාසයේ දෙවන සතිය අවසන් වන විට, පුහුණු කිරීමට නියමිත වූ ගුරුවර ගුරුවරියන් 1,35,000 ක පමණ සංඛ්‍යාවෙන් අඩක් පමණ, 60,000 ක් පමණ, පුහුණු සැසි අවසන් කර මොඩියුල අත් පිටපත කියවා තිබිය යුතු විය. එහෙත් ඒ කිසි ගුරුවරයෙකුගෙන් හෝ ගුරුවරියකගෙන් දැන් ළමුන්ට අදාලව මතු කෙරෙන අන්තර්ජාල “සමරිසි” හමුවීම් සබැඳිය සම්බන්ධ කිසිදු අවුලක් පිළිබඳව කොතැනකවත් අදහස් දැක්වීම් නොවුනි. වැඩිමනත් ඉංග්‍රීසි ගුරුවර ගුරුවරියන් කතා කළේ පැය දෙක තුනක් වූ “පුහුණුවෙහි” වැදගත්කම ය.

පළමු වරට අන්තර්ජාල “සමරිසි” හමුවීම් සබැඳිය සම්බන්ධ ප්‍රශ්නය මතු කරනු ලැබුවේ උලපනේ සුමංගල හිමි විසින් දෙසැම්බර් 29 වන දින පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවක දීය. සය වන ශ්‍රේණියේ ළමුන් සඳහාවන පාඩමක වැඩිහිටි “සමරිසි” හමුවීම් සඳහාවන අන්තර්ජාල සබැඳියක් හඳුන්වාදීම හෙළා දකිමින් උන් වහන්සේගේ විරෝධය ප්‍රකාශ කෙරුණු පසු එය අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ වයිරසයක් බවට පත්ව “හරිනි ඉල්ලා අස්වෙනු” යැයි එය ජනප්‍රිය සටන් පාඨයක් බවට පත් විය.

 

අධ්‍යාපන අමාත්‍යාංශය එකී අන්තර්ජාල “සමරිසි” හමුවීම් අඩවිය, විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව මගින් අවහිර කර ඇත. ඔවුන්ගේ එම අත්වැරද්ද සම්බන්ධයෙන් පරීක්ෂා කරන මෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බවටද වාර්තා ඇත. අත් වැරදීමක් නම්, පොලීසි යන්නේ මන්දැයි නොදනිමි. එය සොයා බැලිය යුත්තේ අභ්‍යන්තර පරීක්ෂණයකිනි. ඒ සියලු අඳබාල කම් හා දෝස සඳහා වගකීම බාර ගත යුතු හරිනි අමරසූරිය, ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස් නොවන්නේ නම්, ඇයව ඉවත් කිරීමට ජනාධිපති වහා පියවර ගත යුතුය. ඒ ගැන කිසිවෙකුට මතභේදයක් අවුලක් තිබිය නොහැක.

 

එහෙත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සතු අවුල් එතැනින් කෙළවර වන්නේ නැත. එයට හේතුව, මොඩියුල වල ප්‍රශ්නය “සමරිසි හමුවීම්” වෙබ් අඩවිය හදුන්වාදීම පමණක්ම නොවීම ය. සය වන ශ්‍රේණියේ මොඩියුල වල තවත් වෙබ් අඩවි සඳහා අන්තර්ජාල සබැඳි ඇත. ඇතැම්වා සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහාවන වෙබ් අඩවි යැයි කියනු ලැබේ. මේ බොහෝ වෙබ් අඩවි වල නම, ලිපිනය, රැකියාව හෝ ශිෂ්‍ය භාවය, වැනි පුද්ගල තොරතුරුද ඉල්ලති. ඒ සම්බන්ධ සීමා කොන්දේසි වෙනත් බොහෝ රටවල ක්‍රියාත්මක වේ. විශේෂයෙන් වයස අවුරුදු 13 ට අඩු ළමුන්ගේ එවැනි තොරතුරු දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව බාහිර ආයතන, සංවිධාන මගින් සටහන් කර ගැනීම තහනම් ය.

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ නොසැළකිල්ලට අමතරව, තවත් බරපතල සාධකයක් ඇතැයි කියුවේ, ගුරුවර ගුරුවරියන් අතර ළමුන්ගේ පෞද්ගලිකත්වයට අදාල ආරක්ෂාව සම්බන්ධයෙන් වන එවැනි වූ දැනුමක් අවබෝධයක් නොවීම ය. වැඩිහිටි “සමරිසි” හමුවීම් සඳහාවන අන්තර්ජාල සබැඳියක් සය වන ශ්‍රේණියේ ළමුන්ට හඳුන්වාදීම හෙළා දකිමින් උලපනේ සුමංගල හිමි විසින් තම විරෝධය ප්‍රකාශ කෙරුනු පසුවද ගුරුවර ගුරුවරියන් අතර ඒ සම්බන්ධ අනතුරු ඇඟවීම්, විරෝධතා නොමැත්තේද ඔවුන්ගේ අනවබෝධය හේතුවෙනි. එබැවින් ගුරුවරුන්ට මූලික අවබෝධයක් ලබා ගැනීමට වරුණ රාජපක්ෂ ගේ කරුණු පැහැදිලි කිරීමට සවන් දෙන මෙන් මම යෝජනා කරමි.

 



සමාජ ජාල විරෝධතා සීමාවන්ට එහායින් වන ගුරුවරුන් දැනුවත් කිරීමක් හා පුහුණු කිරීමක් අවශ්‍ය බැව් අමුතුවෙන් කිව යුතු නැත. දැනට කෙරෙන ආකාරයේ පැයක දෙකක හිටිවන වැඩක් මෙන් නොව, එය පුළුල් විෂයානුබද්ධ කාර්යක් ලෙස සංවිධානයකර ක්‍රියාත්මක කිරීම, මේ 2026 වසරෙහි කළ යුතුව ඇත. කිසිදු තාර්කික හේතු දැක්වීමක් නොමැති අධ්‍යාපනය “ඩිජිටල්කරණය” කිරීමේ කඩිකුලප්පුව, හරිනි සමගින්ම අත හැර දමා, මේ වසර දැනුවත් දියුණු ගුරු පරපුරක් හැදීමටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමාජ කතිකාවක් සමගින් කෙටුම්පත් කර ගැනීමටත් වෙන් කළ යුතුය. අවසන් වශයෙන් කිව යුත්තේ, “හරිනි සාධකය නොමැතිව” මේ 2026 වසරෙහි අධ්‍යාපනයේ තේමා පාඨය විය යුත්තේ “නවීන අධ්‍යාපනයක් දැනුවත් ගුරු පරපුරක්” යන්න ය.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 ජනවාරි 01 වන දින
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල හරිනි සමගම ඉවත් කළ යුතුයි | The Leader