The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපති අනුර රටට වගකිව යුතු හරිනිගෙ අධ්‍යාපනය උලා කෑම | කුසල් පෙරේරා

T

The Leader Desk

January 2, 2026 • 12:27 PM

ජනාධිපති අනුර රටට වගකිව යුතු හරිනිගෙ අධ්‍යාපනය උලා කෑම | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමති ලෙස කර ගසා ගෙන ගිය මෙම 2026 ජනවාරි ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගත් පාසල් ඩිජිටල්කරණය සමග වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ දැවැන්තම ව්‍යාපෘතිය වේ.
  • ඒ අවශ්‍යතාව පෙරට ගෙන ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය ලෙස ප්‍රතිසංස්කරණ සම්පාදනය පුදුමාකාර හදිස්සියකින් ඇසගෙන විත් මේ 2026 වසර ජනවාරි මස ආරම්භයේදී ක්‍රියාත්මක කිරීම ඇරඹුවාය.
  • දැන් එහි තත්ත්වය කුමක්දැයි ඇසීමට, අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි තතු දන්නෙකුට කතා කළ විට, “ඔන්න 06 වන ශ්‍රේණි මොඩියුල පොත්වල පිටු ගලවනවළු” යැයි ඇය, නෝක්කාඩු ස්වරයෙන් කීවාය.
  • මීට දින 06 ට පමණ ඉහතින් මහත් ආන්දෝලනයකට තුඩු දුන් 06 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි පාඩම් සඳහා අත් පොත වන “මොඩියුල” පොතෙහි අලුත්ම ඉරණම ගැන ඇසුණේ එවැන්නක් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය රජයේ පාසල් 10,047 ක් සමග පෞද්ගලික පාසල් 94 ක්ද ඇතුළත් 2,43,000 ක ගුරු පරපුරක් නඩත්තු කෙරෙන, වාර්ෂිකව ලක්ෂ 38 ට වැඩි ළමුන් සඳහා දැනුම හා සෞන්දර්යාත්මක රස වින්දනය, ශික්ෂණය, විනය, පෞරුෂ වර්ධනය සමග රැකියාභිමුඛ කුසලතා වර්ධනයක් දළ වශයෙන් අවුරුදු 12 ක කාලයක් තුල ලබා දෙන දැවැන්ත ජාතික සේවාවකි. එය බරපතල ලෙස බිඳ වැටී ඇති හෙයින් අනාගතය සඳහා දුර දිග යන පරිපූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍යව තිබුණි. ඒ අවශ්‍යතාව පෙරට ගෙන ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය ලෙස ප්‍රතිසංස්කරණ සම්පාදනය පුදුමාකාර හදිස්සියකින් ඇසගෙන විත් මේ 2026 වසර ජනවාරි මස ආරම්භයේදී ක්‍රියාත්මක කිරීම ඇරඹුවාය. දැන් එහි තත්ත්වය කුමක්දැයි ඇසීමට, අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි තතු දන්නෙකුට කතා කළ විට, “ඔන්න 06 වන ශ්‍රේණි මොඩියුල පොත්වල පිටු ගලවනවළු” යැයි ඇය, නෝක්කාඩු ස්වරයෙන් කීවාය.

aQreFdrf
මීට දින 06 ට පමණ ඉහතින් මහත් ආන්දෝලනයකට තුඩු දුන් 06 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි පාඩම් සඳහා අත් පොත වන “මොඩියුල” පොතෙහි අලුත්ම ඉරණම ගැන ඇසුණේ එවැන්නක් ය. වැඩිහිටි “සමරිසි සම්බන්ධකම්” සඳහාවන අන්තර්ජාල වෙබ් අඩවියකට ගොඩ විය හැකි සබැඳියක් සය වන ශ්‍රේණියේ ළමුන්ට ඉන් ලබා දී තිබීමේ වගකීම් විරහිත, නොසැළකිලිමත් ඇමතිනියකගේ හා ඇයගේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු විශේෂඥයින්ගේ තරම ඉන් කියන්නකි. වැඩිහිටි “සමරිසි සම්බන්ධකම්” සඳහාවන අන්තර්ජාල සබැඳියක් පමණක් නොව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහාවන සබැඳි කිහිපයක්ද එහි ඇත. ඒවායේ අන්තර්ගත කෙතරම් පාසල් දරුවන්ට ගැලපේද යන්නත් අතිශය ප්‍රශ්නකාරී ය. එවගේම, Global Studies යැයි වන ගෝලීය අධ්‍යයන මොඩියුල පොතද වැරදි රොත්තක් සහිත ය. අනෙක් මොඩියුල පොත් තවමත් බෙදා නොමැති හෙයින් ඒවා ගැන අපි නොදනිමු.

ළමුන් මිලියන 03.8 ක් ඉගෙන ගන්නා රජයේ පාසල් පමණක් 10,000 ට අධික වන අධ්‍යාපන පද්ධතියෙහි පසුගිය වසර කිහිපයේ එක ශ්‍රේණියක දළ වශයෙන් ළමුන් 3,50,000 ක් පමණ විය. පළවන හා සය වන ශ්‍රේණි සඳහා මේ 2026 වසරේ ආරම්භ කෙරෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව දෙසැම්බර් 31 ට පෙර දැනුවත් කිරීම් වෙනුවෙන් ගුරුවර ගුරුවරියන් 1,36,000 ක් තෝරා ගෙන තිබුණි යැයි වාර්තා විය. ඒ අනුව මොඩියුල පොත් අවම ලක්ෂ 05 ක් මුද්‍රණය කරන්නට ඇත.

එක විෂයකට අදාල මොඩියුල පොත් අවම ලක්ෂ 05 ක පිටු ගලවා දමන්නේ, ඒ පොත් මුද්‍රණය කිරීමටත් පිටු නැවත ගැලවීමටත් වැය කෙරෙන මුදල කොපමණදැයි මේ වගවීමක් හා පාරදෘශ්‍ය ආණ්ඩු පාලනයක් පොරොන්දු වූ ජවිපෙ/මාලිමා නායකයින් රටට කියන්නේ නැත. ඒ මුදල පියවන්නේද නැද්ද යැයි කියන්නේද නැත. තව කොපමණ මොඩියුල පොත්වල එළෙස පිටු ගලවන්නට සිදුවේද? දැනට ඇති අත්දැකීම අනුව ඇතැම් විට සියලු මොඩියුල පොත් ප්‍රවාහන ගාස්තුද ගෙවා, වාලච්චේනි යවන්නට සිදුවිය හැක.

 

f9dc3655 3b49 4959 9728 e9e91fc65253
මෙය මීට දින කිහිපයකට පෙරද මම කීවෙමි. හරිනි සමග ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන පද්ධතිය අහළකවත් නොතැබිය යුතුය. අධ්‍යාපනයෙහි දිග හැරෙන මේ විනාශය දුටු පසු කිව යුත්තේ, එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වැය වුනු මහජන මුදල අධ්‍යාපන ඇමතිනිය ලෙස හරිනිගෙන්ද, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෙන්ද, ප්‍රතිසංස්කරණ සම්පාදනයට සෘජුව හවුල් වූ අනෙක් සියල්ලන්ගෙන්ද ඉදිරි මාස කිහිපය තුල අය කරගත යුතු අතර, ඔවුන් අතරවන රජයේ සේවකයින් සියල්ල වහා රැකියාවෙන් දොට්ට දැමිය යුතු යැයි කියා ය. (ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙරේදා සිය තනතුරෙන් “තාවකාලිකව” ඉල්ලා අස් විනැයි වර්තා විය)

මේ ආණ්ඩුවේ ජනතාවට හානිදායක එවැනි හිතුවක්කාර, විනාසකාරී වියදම් කිරීම් වලට අමතරව, තව මගඩි ගණනාවක් ඇත. මාස 14 ක් තුල බහළුම් 323 ක් කිසිවකු නොදන්නා ලෙස නිදහස් කිරීම, සහල් ගෙන්වීමට සතොස ටෙන්ඩර ඉදිරිපත් කිරීමේදී සිව් වරක් එක පෙළට වරද්දා ගැනීම, තමන්ගේ විශේෂ තේරීමක් වෙනුවෙන් ජනාපධිති විසින් ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීම වළකා ලීම, බරපතල දූෂණ චෝදනා ඇති ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් ආණ්ඩු පාලනයට නිල වශයෙන් හවුල්කර ගෙන සිටීම, ඉන්දියාව සමග අත්සන් කළ නිල රාජ්‍ය ගිවිසුම් ගණනාවක් පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර වසන් කරගෙන සිටීම වැනි මගඩි ගණනාවකට වගකිව යුතු ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ය. අධ්‍යාපන මගඩියේ වගකීමද ඔහු ප්‍රසිද්ධියේ බාර ගත යුතුය.

ඒ වෙනුවෙන් ජාතිය අමතා, සමාව අයැද සිටිය යුත්තේ, ඉදිරි සය මසක් තුල විධායක ජනාධිපති ධූරයේ සියලු බලතල පාර්ලිමේන්තුවට පවරමින් ජනාධිපති ධූරය, නාම මාත්‍රික, රාජ්‍ය හා ජාතික උත්සව සඳහාවන ජනාධිපති ධූරයක් බවට පත් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ජනමත විචාරණයක්ද සමග සම්මත කරන බවට ජනතාවට දෙනු ලබන පොරොන්දුවක් සමගින් ය.

විපක්ෂය කෙසේ වූවත් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තිකයින්, වෘත්තීය සමිති නායකයින්, මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාධාරීන් බලකර සිටිය යුත්තේ ඒ සඳහා ය. අධ්‍යාපනය ගොඩ දැමීමට ඉන් අනතුරුව අපි එකතු වෙමු.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 ජනවාරි 02 වන දින

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...