The Leader News
BREAKING
Top Ad
Opinion

අද ප්‍රජාතන්ත්‍රවාදීන් සිටිය යුත්තේ කොහේ ද? වොෂිංටනයේ ද? හේග් නගරයේ ද? | කුසල් පෙරේරා

T

The Leader Desk

January 4, 2026 • 11:19 AM

අද ප්‍රජාතන්ත්‍රවාදීන් සිටිය යුත්තේ කොහේ ද? වොෂිංටනයේ ද? හේග් නගරයේ ද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ 2026 ජනවාරි 03 වන සෙනසුරාදා අපගේ වේලාවෙන් දහවල් වන විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීම ඇතිව, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදූරො සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් වෙනසියුලාවේ අගනුවර වන කැරකාස්හි දැඩි ආරක්ෂිත ජනාධිපති මන්දිරයේ සිටියදී ඇමෙරිකානු හමුදා විසින් පැහැර ගෙන ගොස් ඇත.
  • ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධූර කාලයේද, ජනාධිපති මදූරොට එරෙහිව නඩු පැවරීමට, 2020දී චෝදනා පත්‍රයක් කෙටුම්පත් කරනු ලැබිණ.
  • මෙය ජනාධිපති බුෂ් 2003 මාර්තුවේදී “යෝධ විනාස සඳහාවන අවි තොග” විනාශ කරන්නට යැයි ඉරාකය ආක්‍රමණය කළ ආකාරයේම විනාසකාරී බොරු හේතු දැක්වීමකි.
  • මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් හෝ චෝදනා තිබුණද, රටක රාජ්‍ය පාලනය තම හමුදා බලය මත වෙනස් කිරීමේ කිසිදු අයිතියක් ඇමෙරිකාවට හෝ වෙනත් කිසිදු බලවත් රටකට ඇත්තේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

G9wIsP0XEAAYOgW

වෙනිසියුලාවේ පාන්දර 02 වන විට කැරකාස්හි හමුදා කඳවුරු වලට හා අධි ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත එල්ල කෙරුණු පැය කිහිපයක ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වලින් පසු ෆොක්ස් ප්‍රවෘත්ති වාර්තා වලට අනුව, පැහැර ගනු ලැබුණු ජනාධිපති මදූරො සහ බිරිඳ සිලියා, ඇමෙරිකානු යුධ නෞකාවක් වන “අයිවො ජිමා” මගින් නිව්යෝක් බලා රැගෙන යනු ලැබිණ. ඒ පැහැර ගැනීම සම්බන්ධව ට්‍රම්ප් කියා ඇත්තේ එය රූපවාහිනි චිත්‍රපටයක් නැරඹුවා වැනි යැයි කියා ය.

 

ජනාධිපති මදූරොට සහ බිරිඳ සිලියාට එරෙහිව අන්තරායකර තහනම් මත්ද්‍රව්‍ය ටොන් දහස් ගණනක් ඇමෙරිකාවට රහසේ ආනයනය කළ “ලොස් සොලෙස් මත්ද්‍රව්‍ය මාෆියාවේ” නායකයින් ලෙස ඇමෙරිකානු අධිකරණයෙහි නඩු පවරනු ඇතැයි ඇමෙරිකානු නීතිපතිනි පැමෙලා බොන්ඩි ප්‍රසිද්ධියේ පවසා තිබිණ. ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධූර කාලයේද, ජනාධිපති මදූරොට එරෙහිව නඩු පැවරීමට, 2020දී චෝදනා පත්‍රයක් කෙටුම්පත් කරනු ලැබිණ.

එහෙත් ස්වාධීන රටක ව්‍යවස්ථානුකූල පාලනයක රාජ්‍ය නායකයාට එරෙහිව, ජාත්‍යන්තර නීති නොතකා කරනු ලැබූ මෙම සන්නද්ධ ත්‍රස්තවාදී ආක්‍රමණය සහ “මත්ද්‍රව්‍ය” අතර සම්බන්ධයක් නැත. මෙය ජනාධිපති බුෂ් 2003 මාර්තුවේදී “යෝධ විනාස සඳහාවන අවි තොග” විනාශ කරන්නට යැයි ඉරාකය ආක්‍රමණය කළ ආකාරයේම විනාසකාරී බොරු හේතු දැක්වීමකි. වෙනිසියුලාවේ ව්‍යවස්ථානුකූල රාජ්‍ය පාලනය විනාස කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ත්‍රස්තවාදී ආක්‍රමණය, ඔහු කියන අයුරු අන්තරායකර තහනම් මත්ද්‍රව්‍ය මාෆියාවකට විරුද්ධව දියත් කිරීමක් නොවන්නකි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් හෝ චෝදනා තිබුණද, රටක රාජ්‍ය පාලනය තම හමුදා බලය මත වෙනස් කිරීමේ කිසිදු අයිතියක් ඇමෙරිකාවට හෝ වෙනත් කිසිදු බලවත් රටකට ඇත්තේ නැත. කොකේන් ටොන් 400 ක් පමණ ඇමෙරිකාවට හොරෙන් අලෙවි කිරීම වැනි චෝදනා සමග 2024 දී ඇමෙරිකානු අධිකරණයෙන් වැරදිකරුවකු කර වසර 45 ක සිරදඬුවමක් ලබාදී බටහිර ව(ර්)ජිනියාවේ අධි-ආරක්ෂිත බන්ධනාගාරයක රඳවාගෙන සිටි හොන්ඩුරාස් ජනාධිපති හුආන් හෙර්නාන්ඩෙස් ජනාධිපති ට්‍රම්ප් විසින් නිදහස් කරනු ලැබීම, මදූරොට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා මහා මගඩියක් බැව් පැහැදිලිව කියන්නකි. හෙර්නාන්ඩෙස් නිදහස් කිරීම ගැන ට්‍රම්ප් කියා තිබුණේ, එය බයිඩන් පාලනයේ නිවට ක්‍රියාවක් යැයි කියා ය.

 

us oil 1
මීට මාස 05 ට පමණ ඉහතින් ආරම්භ කෙරුණු වැනිසියුලාවට එරෙහි ජනාධිපති ට්‍රම්ප්ගේ බලහත්කාරී සන්නද්ධ වටලෑම් අතර ප්‍රධාන වූයේ වැනිසියුලාවට යන එන තෙල් නෞකා තහනම් කිරීම, හා ඒවාට එරෙහිව පැනවූ සම්බාධක ය. ඒ සම්බන්ධව ඔහු සති කිහිපයකට පෙර කියා තිබුණේ ලතින් ඇමෙරිකානු ඉතිහාසයේ විශාලම ඇමෙරිකානු යුධ මෙහෙයුම එය බවත්, එහි අවසානය සියල්ලන් මවිත කරනු ඇති බවත් ය.

මේ ආක්‍රමණයද ජනාධිපති බුෂ් ඉරාකය ආක්‍රමණය කළ හේතුව අනුවම සිදු කෙරුණකි. 70 දසකය ආරම්භයේ “ඔපෙක් සංවිධානය” පිහිටුවා ගනු ලැබීමේදී වෙනිසියුලාව පුරෝගාමි කාර්යක් කෙරුවෙකි. වෙනිසියුලාවේ අපනයන ආදායමෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් ඉන්ධන අපනයනයෙන් ලබන්නේය. ලොව විශලාම තෙල් නිධි ඇත්තේ වෙනිසියුලාවේ යැයි භූවිද්‍යාඥයින් සනාථකර ඇත. ඊට අමතරව නූතන තාක්ෂණික ලෝකයේ පිරිසිදු කරනු ලබන වෙනිසියුලානු ටැන්ටලුම්, රත්තරං හා දියමන්ති වලටත් වඩා ඉහළ මිලක් ලබන ඛනිජ ද්‍රව්‍යයකි. රත්තරන් හා දියමන්තිද වෙනිසියුලාවේ කණිනු ලබති.

 

ඊයේ පස් වරුවේ, මීට සියවසකට පමණ පෙර ඉදිකෙරුණු කාමර 126 ක් සහිත දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකම් කියන ෆ්ලොරිඩාවේ, මාර්-අ-ලාගො දූපතේ පිහිටි ඔහුගේ සුවිසල් විවේකාගාරයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් කියුවේ, ස්ථාවර පාලනයක් ඇති කරන තෙක් වෙනිසියුලාවේ පාලනය ඇමෙරිකාව විසින් බාර ගනු ලබන බවය. ඒ අතර ඇමෙරිකානු ඛනිජ තෙල් හා ඉන්ධන සමාගම් වෙනිසියුලාවට යනු ඇතැයිද ඔහු කීවේ ය. “ඇමෙරිකාව ලබා ගත් මේ ජයග්‍රහණය, ලෝකයේ වෙන කිසිම රටකට ලබන්න බැහැ” යැයි ඔහු මාන්නාධික ස්වරයකින් එහිදී කියා තිබිණ.

ඒ පසුබිමෙහි, ඒ වන විටද ලොව මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයින් හා මත හුසුරුවන්නවුන් ඇමෙරිකාවට විරුද්ධවීමේ සීමාවන් සොයන්නට පටන් ගෙන තිබුණි. ඇමෙරිකානු දේශපාලනයට වඩා ජනාධිපති ට්‍රම්ප් පුද්ගලිකව ඉලක්ක කරමින් විරුද්ධවන අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් අසන්නට වූයේ ජනාධිපති නිකොලස් මදූරො ගේ අන්තවාදී පාලනය ඉවත්කර වැනිසියුලානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තහවුරුකර ගැනීමට ලැබෙන මේ අවස්ථාවට හරස් වන්නේ කෙසේදැයි කියා ය. වැනිසියුලාවේ ජනතාවට තෝරාගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් නැත. පලස්තීනු ජන සංහාරය නොතකා නෙතන්යාහුගේ ඊශ්‍රායලය පිළිගන්නා සහ ටෙලාවිව් සමග ගනුදෙනු කරන්නාවූ ඔවුන්ගේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සමග ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තහවුරු කළ හැකිද යන්න බරපතල ප්‍රශ්නයකි. ඇයගේ ඊශ්‍රායල ගැති දේශපාලනය නොතකා පසුගිය වසරේ නොබෙල් ත්‍යාගය දෙනු ලැබුවේ, ඇය චාවෙස් සමයේ සිට මදූරෝ දක්වා වැනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂ පාලනයට විරුද්ධවීම වෙනුවෙනි. මාරියා මචාඩෝ ඇයට ලබා දුන් “නොබෙල් සාම ත්‍යාගය” එසවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙනි. මචාඩෝට නොබෙල් ත්‍යාගය දීමේ හේතු පාඨය වූයේ “ඒකාධිපතිත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දක්වා වන සාමකාමී පෙරැළිය වෙනුවෙන් ගෙන ගිය අඛණ්ඩ අරගලය” යන්න ය. ඇයට නොබෙල් ත්‍යාගය දීම පිළිබඳව, ජූලියන් අසාන්ජ් විසින් අපරාධයක් සම්බන්ධයෙන් “නොබෙල් පදනමට” එරෙහිව නඩුවක් පවරා ඇත.

 

machado venමාරියා කොරිනා මචාඩෝ

නොබෙල් ත්‍යාග පිරිනැමීමේ දේශපාලන විහිළුව එළෙස ප්‍රශ්න කෙරුණද, වෙනිසියුලාවේ හා වෙනත් ඕනෑම රටක ආණ්ඩු පාලනය තීන්දු කිරීම, එරට ජනතාවට හිමි වගකීමක් මිස, එය ට්‍රම්ප්ගේ හෝ අපගේ වගකීමක් නොවන බව පමණක් අප මතක තබා ගත යුතු පරම සත්‍යයකි. එනිසා ට්‍රම්ප්ගේ තීන්දුවට ප්‍රජාතන්ත්‍රවාදීන් විරුද්ධ විය යුත්තේ වෙනිසියුලාවේ ජනතාවට “ප්‍රජාතන්ත්‍රවාදී” ආණ්ඩු පාලනයක් පත්කර ගැනීමට හැකිදැයි හෝ නොහැකිදැයි හෝ යන කාරණාව මත නොවේ. ඇමෙරිකාවට හෝ වෙනත් බාහිර බලයකට රටක ආණ්ඩු පාලනය තීන්දු කිරීමට හෝ වෙනස් කිරීමට මේ නූතන ලෝකයේ කිසිදු අයිතියක් නොමැති බව හා එය ඒ රටේ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන බැව් පිළිගැනීම මතය.

1757730533 palastein 6

 

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේදී සම්පාදනය කර ඔක්තෝම්බරයේදී බලාත්මක කළ, සියලු සාමාජික රටවල් ක්‍රියාත්මක කිරීමට බැඳී ඉන්නා ප්‍රඥප්තියට අනුව, වෙනත් රටක පැවැත්මට කිසිදු රටක් අත නොගැසිය යුතුය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි 02 වන වගන්තියෙහි 04 වන අනු ඡේදයට අනුව, “සියලු සාමාජිකයින් වෙනත් රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහි තර්ජන හා බලය භාවිත කිරීම තම ජාත්‍යන්තර සම්බන්ධතාවන් වලදී සහ එක්සත් ජාතීන්ගේ අවශ්‍යතා සමග කිසිදු ආකාරයකින් නොගැලපෙන කාර්යන් වලින් වැළකී සිටිය යුතුය”. අවුරුදු 80 ක එක්සත් ජාතීන්ගේ ඉතිහාසයෙහි ඒ වෙනුවෙන් කිසිදු සාමාජික රටක් සක්‍රීය ලෙස හා වගකීමක් ඇතිව පෙනී සිට නැත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි 26 වන වගන්තියට අනුව, ලෝක සාමය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට හා තහවුරු කිරීමට, ලොව මානව හා ආර්ථික සම්පත් යොමු කිරීමේදී අවි ආයුධ වෙනුවෙන් වැය කිරීම් අවම කළ යුතු අතර ඒ සඳහා, 47 වන වගන්තියෙහි සඳහන් හමුදා නිලධාරී කමිටුවේද සහාය ඇතිව අවි ආයුධ නියාමනය සඳහාවන සැළසුමක් ආරක්ෂක මණ්ඩලය විසින් සම්පාදනය කර එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට ඉදිරිපත් කළ යුතුව ඇත. එවැන්නක් ගැන අසන්නට දකින්නට නැත. අසන්නට දකින්නට ඇත්තේ, තීන්දු ගැනීමේදී නිශේධ බලය ඇති ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් 05 දෙනා වන ඇමෙරිකාව, බි්‍රතාන්‍ය්‍ය, ප්‍රංශය, රුසියාව හා චීනය වසරක් පාසා ප්‍රසාරණය වන ලෝක අවි ආයුධ වෙළඳපල බෙදා ගැනීමට තරග වැදීම පමණි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කර ගත් 1946 සිට 2024 අවසන් වන විට මේ පෘථිවියේ, යුද ගැටුම් 259 - 285 ක් අතර සංඛ්‍යාවක් පැවතියේ යැයි ස්වීඩනයේ උප්සලා විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළිකර ඇත. එවැනි යුද ගැටුම් සදහා එකම හේතුව ලොව අවි ආයුද වෙළඳපල ලාභය වන්නේය. ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයයේ මොන්ටෙගු බ(ර්)ට්න් මහාචාර්යවරියක් වන කීර්තිමත් දේශපාලන විශ්ලේෂක නේටා ක්‍රෝෆඩ් ට අනුව, මාසික සාමාන්‍යයක් වූ 7,690 ක් මිය ගිය යුක්රේන යුද්ධයෙන් 2025 ජුලි වන විට 3,23,000 ක් මිය ගොසින් ඇත. එය ගාසාවල මිය යෑමේ මාසික සාමාන්‍ය වූ 2,826 ඉක්ම ගියෙකි.

කතාව කෙටි කළහොත්, උත්පත්තියේ සිටම එක්සත් ජාතීන් අසාර්ථක, අළස සාමාජික සංවිධානයක් වීමට අමතරව, එහි අවසන් තීන්දු ගැනීමේ අයිතිය හා බලය, ආරක්ෂක මණ්ඩලය ලෙස ලොව විශාලම අවි ආයුද වෙළඳුන් 05 දෙනාට බාරකර තිබීම, යුධ ගැටුම් අවසන් කිරීම හා කිසි විටෙක පෑහෙන්නක් නොවීය. අවි ආයුද වෙළඳුන් ගේ ලාභ තීන්දු වන්නේ යුද ගැටුම් අනුව වන හෙයිනි. එබැවින් ට්‍රම්ප් ඔහුගේ න්‍යාය පත්‍රය දිග හැරීමේදී වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට එරෙහිවීම සඳහා කොන්දේසි තිබිය නොහැකි ලෙසින්ම, වෙනිසියුලාවේ පාලනය ගැන තීන්දු ගැනීම වැනිසියුලා ජනතාවට ඉතිරිකර, වැනිසියුලාවේ පාලනය නැවත මදූරෝ ආණ්ඩුවට බාර කරමින් ඇමෙරිකානු හමුදා වහා ඉවත්කර ගන්නා මෙන් ට්‍රම්ප් පාලනයට බල කිරීමේ වගකීම අද ලෝක පුරවැසියන්ට ඇති වගකීම යැයි සැකයකින් තොරව කිව යුත්තකි. ඒ සමග අනාගතය වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් ලෙස අවි ආයුද අලෙවියට සම්බන්ධයක් නොමැති සාමාජික රටවල් 05 ක් වහා පත්කර ගැනීමට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය පියවර ගත යුතු බවත් කිව යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ  බලවත් රාජ්‍ය නොව, ප්‍රතිපත්ති ගරුක ලෝක නායකත්වයකි.

මේ වෙනිසියුලා අර්බුදය ඒ අනුව ශ්‍රී ලාංකීය ආණ්ඩුව ඉන්නේ කවුරුන් සමගදැයි හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්දැයි ප්‍රශ්න කරනු ලබන්නකි. ඒ ප්‍රශ්න කිරීම සමග, ඊශ්‍රායලය සමග වන ගනුදෙනුද ප්‍රශ්න කිරීමට ලක්වන බව කිව යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නම් සිටිය යුත්තේ වොෂිංටනයේ නොව, හේග් නගරයේ යැයි කෙටියෙන් කිව යුතුය.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජනවාරි 04 වන දින  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...