The Leader News
BREAKING
Top Ad
Opinion

'මොනා උනත් හොරකම් කරන්නෙ නැහැ' කියලද කිව්වේ? | කුසල් පෙරේරා

T

The Leader Desk

January 11, 2026 • 12:08 PM

'මොනා උනත් හොරකම් කරන්නෙ නැහැ' කියලද කිව්වේ? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂ පරාජය වූ 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ නායක කාරකාධීන් විසින් “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට” රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුණු දූෂණ ගණනාවක් සම්බන්ධව පැමිණිලි කරනු ලැබිණ.
  • “රාජපක්ෂලා සල්ලි රටින් පැන්නුවේ ගුවන් යානා පුරවලා” “උගණ්ඩාවේ හොර තැන්පතු ඩොලර් බිලියන 18 ක් තියෙනවා” “ඩුබායි මැරියට් අල් ජඩාෆ් හෝටලය රාජපක්ෂලා අරගෙන” “ලොකු කොන්තරාත්වල කොමිස් මෙහෙ ගෙනාවෙ නැහැ.
  • වෙන නම් වලින් පිට රට තියෙන්නේ”   එදා 2015 වරදකරුවන් නොවුනත් මෙවැනි ලොකු දූෂණ කතා සමග රාජපක්ෂ විරෝධය ජවිපෙ/මාලිමා මැතිවරණ වේදිකාවල වෛරයක් බවට පත් කෙරුණකි.
  • රාජපක්ෂ දූෂණ පිළිබද සාක්ෂි සමාජගත කිරීමට යැයි 2022 මැයි මාසයේ 04 වන දින, කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඔවුහු වර්ණවත් උත්සවයක්ද පැවැත් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලන බලය අහිමිව සිටියත් රාජපක්ෂලා ඒ පැමිණිලි සම්බන්ධයෙන් වරදකරුවන් නොවුනි.


“රාජපක්ෂලා සල්ලි රටින් පැන්නුවේ ගුවන් යානා පුරවලා”

“උගණ්ඩාවේ හොර තැන්පතු ඩොලර් බිලියන 18 ක් තියෙනවා”

“ඩුබායි මැරියට් අල් ජඩාෆ් හෝටලය රාජපක්ෂලා අරගෙන”

“ලොකු කොන්තරාත්වල කොමිස් මෙහෙ ගෙනාවෙ නැහැ. වෙන නම් වලින් පිට රට තියෙන්නේ”

 



එදා 2015 වරදකරුවන් නොවුනත් මෙවැනි ලොකු දූෂණ කතා සමග රාජපක්ෂ විරෝධය ජවිපෙ/මාලිමා මැතිවරණ වේදිකාවල වෛරයක් බවට පත් කෙරුණකි. රාජපක්ෂ දූෂණ පිළිබද සාක්ෂි සමාජගත කිරීමට යැයි 2022 මැයි මාසයේ 04 වන දින, කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඔවුහු වර්ණවත් උත්සවයක්ද පැවැත් වූහ.

 

නාමල්, බැසිල්, යෝෂිත රාජපක්ෂ ත්‍රිත්වයේත් ඔවුන්ගේ සමීපතම ඥාතියෙකු වන තිරු නඩේසන්ගේත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේත් තවත් දේශපාලනඥයින්ගේත් රාජ්‍ය නිලධාරින්ගේත් යෝධ දූෂණ සම්බන්ධ ලිඛිත, ලේඛනගත සාක්ෂි හා තොරතුරු තිබෙන්නාවූ ලිපිගොනු 500 ට අධික සංඛ්‍යාවක් ඔවුන් සතුව ඇතැයි, සභාව අමතමින් අනුර කුමාර දිසානායක කීවේය. එම ලිපිගොනු වලින් කොටසක් යැයි දුසිම් ගණනක් ලිපි ගොනු ගෙනැවිත් මේසයක් මත ගොඩගසා, කතා කළේ රාජපක්ෂලාගේ දූෂණ ගැන ය.

 

“ලංකාවේ ආර්ථික කඩා වැටීමට, 2019 - 2022 අතර කාලයේ හිටපු රාජ්‍ය නායකයින්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අක්‍රීයත්වය හෝ අවපාලනය” හේතු වූයෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීයැයි “ට්‍රාන්ස්පේරන්සි” ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව සහ සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඒ රාජපක්ෂ විරෝධයේම තවත් පැතිකඩකි. 2023 නොවැම්බර් මස 14 වන දින ප්‍රකාශය කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 05 කුගෙන් 04 කුගේ බහුතර තීන්දුවට අනුව, පෙත්සමෙහි නම් කරනු ලැබූ පුද්ගලයින් 2019 - 2022 අතර කාලයේ ජාතික ආර්ථිකය අපකලමනාකරණය කිරීමේ වරදට වගකිව යුතු විය. එහෙත් එම අධිකරණ ප්‍රකාශනයෙහි දූෂණ වංචා සම්බන්ධ කිසිත් සඳහන් නොවුනි.

1651646186 anura L

 

මේ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය ඔවුන්ට වාසියක් නොවූයෙන්, ඔවුන් රාජපක්ෂ දූෂණ ගැන කියමින් රාජපක්ෂ විරෝධය ඔසවා ගෙන ගියහ. එදා සිට අද වන විට අනුර කුමාරගේ ජනාධිපති ධූරයෙන් වසරකුත් මාස 04 ක් සහ ජවිපෙ/මාලිමා ආණ්ඩුවේද අවුරුද්දක් ගෙවී ගොස් ඇත. ජවිපෙ/මාලිමා නායකයින් මේ කාලය තුල ලිපිගොනු වල ඇතැයි කියූ සාක්ෂි සමග රාජපක්ෂ පවුලේ ප්‍රධාන කිසිවෙකුට එරෙහිව පැමිණිලි කළ බවක් අසන්නට නැත. නමුත් වෙනත් පැමිණිලි මත අත් අඩංගුවට ගනු ලබන්නේ, ලොකු කෙළවල්ලන් නොව, කූණිස්සන් හාල්මැස්සන්ට අමතරව, තැන තැන ඉන්නා සූඩයින් කුම්බලාවන් පමණි.

ඒ ගැන කියන විට අසන්නට ලැබෙන්නේ, “මොනවා උනත් දැන් සොරකම් වංචා නැහැනේ” යැයි කියා ය. ඔවුන්ගේ සහ ඔවුන්ගේ වන්දිභට්ටයින්ගේ මානසිකත්වය වන්නේ, ඔවුන් චෝදනා කරන සියල්ලන් වරුදකරුවන් වූවත්, ඔවුන්ට කෙරෙන චෝදනා සියල්ල “මඩ ගැසීම්” බව ය.

ඔවුන් එසේ සිතුවත්, රාජපක්ෂලාට මෙන්ම ඔවුන්ටත් දූෂණ වංචා සම්බන්ධ “චෝදනා” අඩුවක් නැත. ඔවුන්ට එල්ලවන බරපතල චෝදනා ලේඛනගත කළහොත් එයට පූර්විකාවක් ලෙස කිව යුත්තේ, :-

රටට ජනතාවට වග වන “පාරදෘශ්‍ය” ආණ්ඩු පාලනයක් සඳහා පොරොන්දු වුනු නමුත් මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ මෙන් තොරතුරු, විස්තර වසන් කිරීමක් මෙතෙක් ඉතිහාසයෙහි පැවති කිසිදු ආණ්ඩුවකින් කවමදාවත් සිදුව නැත. අවම තරමින්, ජනාධිපති මාධ්‍ය ඒකකයට පත් කර ඇති පුද්ගල සංඛ්‍යාව හා ඔවුන්ගේ තනතුරු, ඔවුන්ගේ වැටුප් සඳහා මාසිකව වැය වන මුදල හා ඔවුන්ට නිල වශයෙන් ලබා දෙන වරප්‍රසාද පිළිබඳව, ජවිපෙ මන්ත්‍රීවරුන්ද ඡන්දය දී සම්මත කළ 2016 අංක 12 දරණ “තොරතුරු දැන ගැනීමේ පනත” යටතේ කෙරෙන ඉල්ලීම් වලට හෝ තොරතුරු ලබා දෙන්නේ නැත.

“අප සමග දූෂණ චෝදන තියෙන කිසිවෙක් නැහැ” යැයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර කියූ මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව යටතේ සිදුව ඇතැයි වන දූෂණ හා වංචා සම්බන්ධ චෝදනා ලේඛනයේ සාරාංශයක් ගතහොත් -

ranwala 2අසෝක රන්වල
01. කතානායක ලෙස පළමුවෙන් පත් කළ අසෝක රන්වල මන්ත්‍රීවරයාට තියෙනවා යැයි කියූ ආචාර්ය උපාධියට අදාල සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකිව කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. ඔහුගේ වංචාවට එරෙහිව ජවිපෙ ගත් විනය පියවරක් නැත. ඊට අමතරව, ඉකුත් දෙසැම්බර 11 වන දින බීමත්ව රිය පැදවීමෙන් සිදුවූ රිය අනතුරකින් අත දරුවකු සහ තවත් කාන්තාවන් දෙදෙනකු රෝහල්ගත කිරීමට සිදුවූවත්, සාමාන්‍ය රිය අනතුරකදී මෙන් පොලීසිය කටයුතු නොකිරීමට හේතුව, මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ බලපෑම් යැයි චෝදනා ඇත.

02. අනිවාර්යෙන් කළ යුතු පරීක්ෂණ නොකර “රතු ලේඛනගත” බහළුම් 323 ක් හදිසියේ 2025 ජනවාරි 22 වන දිනට පෙර නිදහස් කර ඇතැයි “රේගු වෘත්තීය සමිති සන්ධානය” විශේෂ ප්‍රවෘත්ති හමුවක් කැඳවා ප්‍රකාශ කළේය. එහි සභාපති අමිල සන්ජීව මාධ්‍ය හමුවේදී කියුවේ, බහළුම් 323 හි තිබූ භාණ්ඩ සම්බන්ධව ඔවුන් කිසිදු වගකීමක් නොගන්නා බව ය. එම බහළුම් සම්බන්ධයෙන්ද “තොරතුරු දැන ගැනීමේ පනත” අනුව කෙරෙන ඉල්ලීම් සදහා තොරතුරු ලබා දෙන්නේ නැත.

සහල් හිඟයේ නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමේ සැකය -


03. රටේ සහල් හිඟයට හේතුව ලොකු මෝල් හිමියන් සහල් ගොඩ ගසා ගැනීම යැයි චෝදනා කළ ජනාධිපති අනුර කුමාර, 2024 දෙසැම්බර 06 වන දින මෝල් හිමියන් සාකච්ඡාවකට කැඳවා, ඔවුන් ගොඩ ගසාගෙන ඇති සහල් වෙළදපලට නිදහස් නොකරන්නේ නම්, හමුදාව යොදවා ඒ සහල් රජයට පවරා ගන්නේ යැයි තර්ජනය කර, හිටි අඩියේ මේසයටද වැරෙන් පහරක් ගසා, සහල් මිල කිලෝවකට රුපියල් 10 කින් වැඩි කරනවා යැයි කීවේය. දින කිහිපයක් ඇතුළත සහල් හිඟය නොදැනුවත්වම අවසන් විය. ශ්‍රී ලංකාවේ මාසික සහල් පරිභෝජනය මෙ.ටොන් 1,90,000 ක් පමණය. ඒ අනුව මාසිකව වැඩිවන මිල රුපියල් මිලියන 01.9 කි. ඒ ලාභය මුළුමනින් වෙළඳුන්ට ලබුණේ දැයි යන්න ප්‍රශ්න සහගත ය.




04. වත්මන් ආණ්ඩුවේ වෙළඳ ඇමති 2024 දෙසැම්බර අවසානයේ සහල් ආනයනය සඳහා සතොස මගින් ටෙන්ඩර කැඳවීම් එක පෙළට සිව් වරක් අවුල් කර ගැනීමෙන්, එහි පූර්ණ වාසිය පෞද්ගලික ආනයනකරුවන්ට ලැබිණැයි කියති. එය නොදැනුවත්කමින් සිදුවූ අවුලක්ද, නැතිනම් පෞද්ගලික ආනයනකරුවන් සමග ඇතිකර ගත් ගනුදෙනුවක්ද යන්න විවෘත ප්‍රශ්නයකි.

නීතිය සැමට එක යැයි කියූවාට......


05. බලශක්ති ඇමති කුමාර ජයකොඩි පොහොර සංස්ථා සේවයේ සිටියදී සිදු කෙරුණේ යැයි චෝදනා කෙරෙන රුපියල් මිලියන 08 ක වංචාවකට අදාලව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවට ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලක් අනුව, ඔහුට එරෙහිව ඉහළ උසාවියේ නඩු පැවරීමට අල්ලස් කොමිසම සූදානම් වූවත් මෙතෙක් නඩු පවරා නැත. එහෙත් ඊට පසුව අල්ලස් කොමිසමට කෙරුණු වෙනත් පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පියවර ගෙන ඇතැයි තවත් චෝදනාවකි. ඒ කෙසේ වූවත් අනුර කුමාර ඔවුන්ගේ පක්ෂයේ කිසිවෙකුට දූෂණ චෝදනා නැතැයි ආඩම්බරයෙන් කීවාට, කුමාර ජයකොඩිට ප්‍රබල කැබිනට් අමාත්‍යාංශයක් ලබා දී ඇත්තේ මුදල් වංචා සම්බන්ධ චෝදනා තිබියදී ය. 

 

523108602 740539761912503 3052896282463538757 n

06. හොර ඔප්පුවක් සමග ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 03.6 ට උකස් කිරීමට අදාලව වෙළඳ ඇමති වසන්ත සමරසිංහ, නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ හා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව 2024 අගෝස්තුවේ ගල්කිස්ස උසාවියට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමේ පොලිස් වාර්තා සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා විසින් 2025 ජුලි 25 වන දින, ඔවුන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඔවුන්ද පරීක්ෂණ ලිපි ගොනු වලට ඇතුලත් කරන මෙන් පොලීසියට දැනුම් දෙනු ලැබුණි. පොලීසිය ඒ අනුව කටයුතු නොකළද, අගෝස්තුවේදී ඇයව වෙනත් අධිකරණයකට මාරු කරනු ලැබ ඇත.
නැවත කිව යුත්තේ, ජවිපෙ/මාලිමාවෙහි දූෂණ චෝදනා ලැබූවන් නැතැයි කියූවත් වසන්ත සමරසිංහට ඇමතිකම් හා මහින්ද ජයසිංහට නියෝජ්‍ය ඇමතිකම් දෙනු ලැබුවේ ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා අධිකරණයටද ඉදිරිපත්ව තිබියදී යැයි කියාය.
 
07. ලංවිම ගල් අඟරු ආනයනය කිරීමේදී ටෙන්ඩර් කැඳවීම, ගල් අඟරු නියැදි පරීක්ෂාව වැනි මූලික කාරණා සියල්ල අතහැර හිතු මතේට දකුණු අප්‍රිකාවෙන් ගල් අඟුරු ආනයනය කිරීමේ රුපියල් කෝටි දාහක යෝධ දූෂණයක් ගැන, බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව පාර්ලිමේන්තුවේදී චෝදනා කෙරිණ.



08. ටෙන්ඩර්ද නොකැඳවා, අයදුම් කළ සමාගම් අතරින් සුදුසුකම් ඇතැයි තෝරා ගත් සමාගම්ද නොසළකා ගජමිතුරු සමාගම් 07 ට සූර්ය හා සුළං බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කර ඇතැයිද ඉන් සමාගම් 02 ක් අනුර කුමාරගේ ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දැක්වූ ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරු දෙදෙනකුගේ සමාගම් 02 ට ලබා දී ඇතැයි චෝදනාවකි.



09. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්නට පවුලේ ව්‍යාපාර ලෙස හැඳින්වෙන ඔමොබියෝ හා එයිම්ස්කි සමාගම් ඔහුගේ අමාත්‍යාංශය යටතේ රජයේ කොන්ත්‍රාත් කිරීම නිසා ළබැඳියාවන්හි ගැටුමක් ඇතිවන්නේ යැයි චෝදනා ඇත. එම සමාගම්වල පාලනාධිකාරයෙන් තමන් ඉවත්ව ඇතැයිද, එම රජයේ කොන්ත්‍රාත් පසුගිය ආණ්ඩු පාලනය යටතේ අත්සන් කරනු ලැබූ හෙයින්ද එවැන්නක් නොසිදුවන්නේ යැයි නියෝජ්‍ය ඇමති වීරරත්න කීවත්, පාලනාධිකාරයෙන් ඉවත් වූ පමණින් ඒ සමාගම් දෙකෙහි ඔහුට කොටස් මුදල් තිබෙන තාක් කල්, ලබැඳියාවන්ගේ අඩුවක් නොමැති හෙයින් ඒ චෝදනා වලංගු වන්නේ ය.
 
ජනාධිපති හා ජාතික විගණනය ගැන -

10. ජනාධිපති අනුර කුමාරට ගනුදෙනු කළ හැකි විගණකාධිපතවරයෙකු පත්කර ගැනීමේ උත්සාහය හමුවේ, ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ඔහු නිර්දේශ කළ පුද්ගලයින් අනුමත නොකිරීම නිසා, 2025 අප්‍රේල් 09 වන දින සිට මේ වනවිට මාස 09 ක් විගණාකාධිපතිවරයෙකු නොමැතිව, නිදහස් ලංකාවේ පළමු වරට මහජන මුදල් විගණනය හා මූල්‍ය විනයක් නොමැතිව අප අයාලේ පැමිණ ඇත.
 
මේ සියල්ල, රාජපක්ෂලාට වාගේම, චෝදනා පමණි. ඒවාට වරදකරුවන් වන්නේ පරීක්ෂා කිරීමකින් පසුව ඇති අධිකරණ ක්‍රියාවලියක අවසානයේ වරදකරු යැයි තීන්දු කෙරුණහොත් පමණි. අනුර කුමාරලාට ඉදිරිපත් කෙරෙන යෝධ දූෂණ සම්බන්ධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ කිරීමට, රාජපක්ෂලාගේ උගණ්ඩා සල්ලි, ඩුබායි මැරියට් හෝටලය සම්බන්ධ පරීක්ෂණ කිරීමට මෙන් විදේශගත වන්නට අවශ්‍ය නොවන්නේ ය. අවශ්‍ය වන්නේ තමන් දූෂණයෙන් තොර යැයි කියා ගන්නා ආණ්ඩුව, තමන්ට එරෙහි දූෂණ චෝදනා සඳහා ස්වාධීන පරීක්ෂණයකට ඉඩ දෙන්නේද නැද්ද යන තීන්දුව පමණ ය.
තමන්ද ඡන්දය දී සම්මත කළ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමට පවා ඉඩ නොදෙන ආණ්ඩුවක යහපාලනයක් ගැන කතා කිරීම, කිකිළියන් මෙන් කුකුළන් බිත්තර නොදමන්නේ ඇයිදැයි වාද කරනවා වැනියැයි කිව යුතු නැත.
 
Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 ජනවාරි 11 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...