The Leader News
BREAKING
Top Ad
Opinion

පෙළ පොතක දෝෂයක් දේශපාලන යුද බිමක් බවට පත් කිරීම | ලයනල් බෝපගේ

T

The Leader Desk

January 12, 2026 • 12:49 PM

පෙළ පොතක දෝෂයක් දේශපාලන යුද බිමක් බවට පත් කිරීම | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වගවීම අවශ්‍යයි, පෞද්ගලික ප්‍රහාර නොවේ - ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව ආරක්ෂා කිරීම
  • සෘජු තත්ත්ව පාලන ගැට‍ළුවක් විය යුතුව තිබූ කරුණක් ඒ වෙනුවට පූර්ණ දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත.
  • අධ්‍යාපනික අරමුණු සඳහා සැලසුම් කරන ලද නව 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ තිබුණු වෙබ් අඩවි සබැඳියක්, ඒ වෙනුවට සිසුන් වැඩිහිටි කරුණු ඇතුලත් වෙබ් අඩවියකට යොමු කළේය.
  • අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනිය වන ආචාර්ය හරිනි අමරසූරියගේ NPP ආණ්ඩුව මෙහෙයවන පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස අලුතින් මුද්‍රණය කරන ලද පෙළ පොතේ තැන් තුනක මෙම දෝෂය දක්නට ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතක තිබුන එක් වැරැද්දක් ශ්‍රී ලංකාවේ දැවැන්ත ගිනි කුණාටුවක් ඇති කර තිබේ. සෘජු තත්ත්ව පාලන ගැට‍ළුවක් විය යුතුව තිබූ කරුණක් ඒ වෙනුවට පූර්ණ දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත. මෙය වගවීම, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සහ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අනාගතය පිළිබඳ හදිසි ප්‍රශ්න මතු කර තිබේ.

ගැටලුව බරපතළ එකක් විය. අධ්‍යාපනික අරමුණු සඳහා සැලසුම් කරන ලද නව 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ තිබුණු වෙබ් අඩවි සබැඳියක්, ඒ වෙනුවට සිසුන් වැඩිහිටි කරුණු ඇතුලත් වෙබ් අඩවියකට යොමු කළේය. අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනිය වන ආචාර්ය හරිනි අමරසූරියගේ NPP ආණ්ඩුව මෙහෙයවන පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස අලුතින් මුද්‍රණය කරන ලද පෙළ පොතේ තැන් තුනක මෙම දෝෂය දක්නට ලැබුණි.

607197540 1205141418494549 2669213471622087521 n
මොඩියුල සිසුන් වෙත සේන්දු වන්නට පෙර සමාජ ක්‍රියාකාරීහු වැරැද්ද සොයා ගත්හ. ආණ්ඩුවේ ප්‍රතිචාරය කඩිනම් විය. බෙදාහැරීම වහාම නතර කරන ලදී, ගබඩා තොග මුද්‍රා තබන ලදී, සහ විදුලි සංදේශ බලධාරීන් හරහා ගැටළුකාරී වෙබ් අඩවිය අවහිර කරන ලදී. කිසිදු පාසල් සිසුවෙක් මෙම මොඩියුල වෙත ප්‍රවේශ වී නොමැති බවට අගමැතිනිය පාර්ලිමේන්තුවට සහතික විය.

මෙය අවිවාදයෙන් ම බරපතළ අතපසු වීමකි. ළමා ආරක්ෂාව ප්‍රමුඛස්තානය ගත යුතු යුගයක, එවැනි වරදක් සමාව දිය නොහැකි ය. ප්‍රශ්නය නම් ඊළඟට සිදු වන්නේ කුමක්ද යන්නයි.

පරීක්ෂණ කිහිපයක් දියත් කරන ලදී. ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් දින දෙකක් ඇතුළත මූලික වාර්තාවක් ඉදිරිපත් කළේය. විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකු යටතේ තවත් විමර්ශනයක් ආරම්භ කරන ලදී. එම වරද ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් හිතාමතා කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි තීරණය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. සාධාරණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් සහතික කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියාට තනතුරෙන් ඉවත් වන ලෙස දන්වන ලදි.

 

ජාතික අධ්‍යාපන ආයතනය මතභේදාත්මක පාඩම විධිමත් ලෙස ඉවත් කර තිබෙන අතර, සංශෝධිත මොඩියුල 2026 ජනවාරි 21 වන දින බෙදා හැරීමට නියමිත ය. අධීක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා අනාගත පෙළ පොත් මුද්‍රණය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට සම්පූර්ණයෙන්ම මාරු කරන බව ආචාර්ය අමරසූරිය නිවේදනය කළේය. තාක්‍ෂණ වේදය භාවිතා කිරීමේ දී ළමා ආරක්ෂාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද, අනාගත මොඩියුල අනිවාර්ය වෙබ් සබැඳි මත රඳා නොපවතින බව සහතික කිරීමට ද ආණ්ඩුව කැප වී සිටී.

මේ වන විට, විමර්ශන දිගටම සිදු වෙමින් පවතී. වගකීම ස්ථාපිත කරනු ලැබීමෙන් පසු නීතිමය හෝ විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිනිය පාර්ලිමේන්තුවට සහතික වී ඇත.

image 7a0b5bec58
කතාව නොසන්සුන්කාරී තත්වයකට හැරෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් විපක්ෂය, අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමඟ යි. යුක්ති සහගත කාරණයක් ලෙස ආරම්භ වූ දෙයක්, අඳුරු යමක් බවට පරිණාමය වී ඇත. අගමැතිනියට එරෙහිව පුද්ගලීකරණය කරන ලද ප්‍රහාර එල්ල කිරීමේ කුරිරු ව්‍යාපාරයක් ශිෂ්ටත්වයේ සහ විනීත බවේ සීමාවන් ඉක්මවා ගොස් ඇත.

ප්‍රතිපත්තිමය විසඳුම් හෝ ක්‍රම පද්ධතික වැඩිදියුණු කිරීම් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා, විපක්ෂය ඇයව පෞද්ගලිකව ඉලක්ක කරන බව පෙනේ. බොහෝ නිරීක්ෂකයන් මෙය විස්තර කරන්නේ ආණ්ඩුව අස්ථාවර බවට පත් කිරීම අරමුණු කර ගත් සැඟවුණු, සංවිධානාත්මක ව්‍යාපාරයක් ලෙස යි. ඇයගේ වෘත්තීය ක්‍රියාකාරිත්වය වෙනුවට බලයේ සිටින කාන්තාවක් ලෙස ඇය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ප්‍රහාර වැඩි වැඩියෙන් ලිංගිකත්වය මත පදනම් වන ඒවා බවට පත්ව ඇත.

 

මෙම රටාව ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන්නක් නොවේ. ඕස්ට්‍රේලියාවේ ජූලියා ගිලාඩ් අගමැතිනිය ලෙස කටයුතු කළ කාලය තුළ ද මෙවැනි ම ව්‍යාපාරවලට ඇය මුහුණ දුන්නාය. ගෝලීය වශයෙන් කාන්තා නායිකාවන් බොහෝ විට ප්‍රතිපත්ති කේන්ද්‍ර කර ගත් විවේචනවලට වඩා අසමානුපාතික අන්දමින් පෞද්ගලික ප්‍රහාරවලට මුහුණ දෙන ආකාරය මෙයින් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, මෙම රටාව හඳුනා ගැනීම ලෝකයේ කොතැනකවත් එය පිළිගත හැකි දෙයක් බවට පත් නොකරයි.

දේශපාලන රඟමඩල තුල අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට ප්‍රතිසංස්කරණ දැඩි ලෙස අවශ්‍ය වන්නේය යන කරුණ යි. රටේ අධ්‍යාපන අංශය අරමුදල් හිඩැස්, ග්‍රාමීය-නාගරික විෂමතාව, යල් පැන ගිය විෂය මාලා, ගුරු පුහුණු ඌනතා සහ රැකියා වෙළඳපොළේ වුවමනාවන් සමඟ ඇති දුර්වල පෙළ ගැසීම යනාදී බරපතළ අභියෝගවලට මුහුණ දී සිටියි. සාක්ෂරතාවය අතින් අත් කර ගත් ඓතිහාසික ප්‍රබලතා තිබියදීත්, දුර්වල STEM අවධානය සහ අසමාන ප්‍රවේශය හේතුවෙන් බාධාවන්ට ලක් ව ඇති ශ්‍රී ලංකාව, දැනුම ආර්ථිකයන් සමඟ තරඟ කිරීමට අරගල කරයි.

2026 ජාතික න්‍යාය පත්‍රයේ අරමුණ වන්නේ නිපුණතා පාදක ඉගෙනීම, විභාග කේන්ද්‍රීය ප්‍රවේශයන්ගේ සිට ක්‍රියාකාරකම් පාදක කර ගත් ප්‍රවේශයන් දක්වා සංක්‍රමණය කරවීම තුලින් මෙම ගැට‍ළු විසඳීමයි. මෙම ප්‍රතිසංස්කරණ, දෛනික විෂය කාල සීමාවන් විනාඩි 50 බැගින් වූ සැසි හතකට අඩු කිරීමෙන් සහ 2027 සිට එක සමාන පෙර පාසල් විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමෙන් 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ සිසුන් ඉලක්ක කර ගනියි.

 


කොතරම් බරපතළ වූවද, සිදුව ඇති එක දෝෂයක් හේතුවෙන්, මෙම සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම අඩාල කළ යුතුද? කිසිසේත්ම නැත. කෙසේ වෙතත්, එම දෝෂය, වඩා හොඳ තත්ත්ව පාලනය සඳහා, පාර්ශ්ව කරුවන්ගේ උපදේශනය සහ විනිවිදභාවය සඳහා ඇති තීරණාත්මක අවශ්‍යතාවය ඉස්මතු කරයි. පෙළ පොත් දෝෂය මූලික ගැට‍ළුවක් හෙළි කරයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුව දක්වන "වැසූ දොර" (closed-door) ප්‍රවේශය පවත්වා ගෙන යා හැකි නොවේ. මෙය හුදෙක් මුද්‍රණ දෝෂයක් නොවේ. එය, ක්‍රම වෙනසක් ඉල්ලා සිටින, විශ්වාසය පිළිබඳ අර්බුදයකි.

ආණ්ඩුව වඩාත් විවෘත විය යුතුයි. අනාගත ප්‍රතිසංස්කරණ නිලධාරීන්ගෙන් ඔබ්බට ගොස්, අධ්‍යාපනඥයින් වැනි විවිධ විශේෂඥයින්, ආගමික නායකයින්, දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් දැඩි පරීක්ෂා කිරීමට ලක් කළ යුතුය. ජාතික සම්මුතියක් සහ සංස්කෘතික සංවේදීතාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා වඩා පුළුල් පරාසයක උපදේශන සාකච්ඡා ඉතා වැදගත් වේ. ධවල පත්‍රිකා මගින් ප්‍රතිසංස්කරණ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමෙන් හා මහජනතාව අධීක්ෂණයට සම්බන්ධ කර ගැනීමෙන් අනාගත වැරදි වළක්වා, විශ්වාසය ගොඩ නඟනවා ඇත.

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

 

ස්ථර කිහිපයකින් සමන්විත සමාලෝචන ක්‍රියාවලියේ අසමත් වීම් විමර්ශන මගින් හඳුනා ගත යුතුය. මෙම දෝෂය ගිලිහී ගියේ කෙසේද? එක් එක් අදියරක දී වගකිව යුතු වූයේ කවුද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය කරන අතර, වගවීම ඒ අනුව සිදු විය යුතුය.

 
ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කිරීමට, වැරදි හඳුනා ගැනීමට සහ වගවීම ඉල්ලා සිටීමට හැම කෙනෙකුට ම අයිතියක් සහ යුතුකමක් තිබේ. ආණ්ඩුව එවැනි විවේචනවලට අවංකව ප්‍රතිචාර දක්වා, දුර්වලතා ආමන්ත්‍රණය කළ යුතුය. ඇත්ත වශයෙන්ම, ආණ්ඩුව පෙළ පොත් දෝෂය සහ විමර්ශනය සඳහා කරන ඉල්ලීම් ද පිළි ගත්තේය. මේවා විනිවිදභාවය දෙසට තබා ඇති ධනාත්මක පියවරයන් වේ.

කෙසේ වෙතත්, නීත්‍යානුකූල විවේචන සහ විනාශකාරී ප්‍රහාර අතර තීරණාත්මක වෙනසක් තිබේ. කවරෙක් හෝ වේවා කරන විවේචනය වෘත්තීය කාර්ය සාධනය වෙනුවට ලිංගිකත්වය මත පදනම් වූ පුද්ගලාරෝපිත පරිභව කිරීමක් බවට පත් වූ විට, එය ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට හානි පමුණුවා, සමාජ ස්ථාවරත්වයට ද තර්ජනය කරයි.

 

අගමැතිනියට එරෙහිව ගෙන යන අපවාද නැගීමේ ව්‍යාපාරය වහාම නතර කිරීම අවශ්‍ය ය. එකිනෙකට ගැළපෙන ප්‍රතිපත්තිමය විකල්ප නොමැති නමුත් නිසි ලෙස තේරී පත් වූ ආණ්ඩුවක් පෙරලා දැමීමේ අධිෂ්ඨානයෙන් පමණක් සහයෝගයෙන් කටයුතු කරන දේශපාලන දක්ෂිණාංශික කණ්ඩායම්, ජාතිකවාදීන්, මූලධර්මවාදීන් සහ අන්තවාදීන් විසින් මෙහෙයවනු ලබන අස්ථාවර කිරීමේ උපායික මෙහෙයුම් නියෝජනය කරන්නේ භයානක මාවතකි.

මෙවැනි ව්‍යාපාර මගින් සමාජයක් කොතැනකට ගෙන යන්නේ ද යන්න ඉතිහාසය විසින් අපට පෙන්වා දී ඇත. මෙය පාලනයකින් තොරව දිගටම සිදු වන්නේ නම්, එය සමස්ත සමාජය ම අනතුරේ හෙළන අතර ප්‍රචණ්ඩත්වයේ අවදානමක් ද ඇති කරයි.

 



ශ්‍රී ලංකාව අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත. රටට, වඩා හොඳ තත්ත්ව පාලනයක් ක්‍රියාත්මක කිරීමෙන්, විනිවිදභාවය වැළඳ ගැනීමෙන් සහ අධ්‍යාපන ප්‍රතිපත්තිය වටා සම්මුතියක් ගොඩ නැගීමෙන් මෙම අර්බුදය අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කළ හැකිය. නැතහොත් පක්ෂග්‍රාහී රණකාමයේ පූජාසනය මත දරුවන්ගේ අනාගතය කැප කරමින් අවශ්‍ය වෙනස්කම් කඩාකප්පල් කර දමන්නට දේශපාලන අවස්ථාවාදයට ඉඩ දිය හැකිය.

6 ශ්‍රේණියේ මොඩියුල දෝෂය, ආමන්ත්‍රණය කළ යුතු ක්‍රමික දුර්වලතා හෙළිදරව් කරමින් තීරණාත්මක ආතති පරීක්ෂණයක් ලෙස සේවය කරයි. මෙම දෝෂය මගින් සාර්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අස්ථාවර නොකල යුතුය. ඒ වෙනුවට, මෙම අර්බුදය, අධ්‍යාපනය නවීකරණය කිරීමේ අභිලාෂකාමී ඉලක්ක සපුරා ගන්නා අතර මහජන විශ්වාසය පවත්වා ගනිමින්, දොරටු වැසූ සංවර්ධනයේ සිට ඇතුලත් කර ගන්නා පරීක්ෂා කිරීම් දක්වා හැරවීමක් ඇති කළ යුතුය.

 

NPP Campaign Aithiya scaled

ආණ්ඩුවේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණය පුළුල්ව අපේක්ෂා නොකරන ලදි. ජනවරමේ පරිමාණය, එහි නායකත්වය සූදානම් වීමෙන් තොරව ග්‍රහණයට අත් කර ගෙන ඇති බව පෙනේ. එකට ගැළපෙන ප්‍රතිපත්ති සහ පැහැදිලිව ප්‍රකාශ කරන ලද උපාය මාර්ග මතු වූයේ මන්දගාමී අන්දමිනි. අභිප්‍රායයන් සහ තීරණ මහජනතාවට සන්නිවේදනය කිරීම සඳහා මාධ්‍ය ඵලදායී ලෙස යොදා ගැනීමේ දී අත්දැකීම් නොමැතිකම කැපී පෙණිනි. නොවැළැක්විය හැකි ලෙස, මෙය බලයට පත් වූ මුල් දිනවල වැරදි පියවර මාලාවකට හේතු වූයේය. සාම්ප්‍රදායික දින 100 "මධුසමය" කාලය තුළ එවැනි වැරදි වටහා ගත හැකි වුවද, ඉන් ඔබ්බට ඒවාට නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකි අතර එසේ නොකල යුතුය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ පාලනය ශක්තිමත් කරන නිර්මාණාත්මක විවේචන මිස ස්ථාවරත්වයට තර්ජනයක් වන විනාශකාරී පහර දීම් නොවේ. සිවිල් සමාජ කතිකාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියම ආරක්ෂා කරන අතරම, පෙළ පොත් දෝෂය වෙනුවෙන් වග වීම ඉල්ලා සිටිය යුතුය. රටට ඵලදායී ලෙස ඉදිරියට යා හැක්කේ මෙම සමබර ප්‍රවේශය තුළින් පමණකි.

පුද්ගලික ප්‍රහාර නැවැත්වීමට දැන් කාලය එළඹ තිබේ. වඩා හොඳ ක්‍රම පද්ධති ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීමට ද කාලය එළඹ ඇත. ශ්‍රී ලංකාවේ දරුවන්ට - ඔවුන් සියලු දෙනාටම - ඊට වඩා අඩුවෙන් කිසිවක් ලැබීමට සුදුසු නැත.

Lionel Bopage(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2026 ජනවාරි 12 දින

lionel.bopage@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...