The Leader News
BREAKING
Top Ad
Opinion

පොලිසියේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවෙන් දිග හැරෙන සමාජ ඛේදවාචකය | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

January 15, 2026 • 6:57 AM

පොලිසියේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවෙන් දිග හැරෙන සමාජ ඛේදවාචකය | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස හා දූෂණයට චෝදනා එල්ල වන බහුතර පොලිස් නිලධාරීන් ඊට පෙළඹී ඇත්තේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වීම නිසා යැයි නිරීක්ෂණය වී තිබෙන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගිය දිනෙක පවසා තිබේ.
  • මෙහි ප්‍රතිඵලයක් ලෙස සූදුව, මත්ද්‍රව්‍ය සහ අනවශ්‍ය විනෝදාස්වාදය වැනි අශිෂ්ට වියදම් සඳහා එම මුදල් යොමු වීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබේ.
  • අනවශ්‍ය ලෙස දේපළ මිල දී ගැනීම හෙවත් අධි-පාරිභෝගිකත්වය, අධික මිල අධික වාහන ආදිය භාවිතය හෙවත් අධි-පරිභෝජනය හෝ ව්‍යාජ ව්‍යාපාරික වියදම් පෙන්වීම හෙවත් ආටෝපය මෙහි දී බහුලව සිදු වේ.
  • එනිසාම කළු සල්ලි සුදු කිරීමේ අවශ්‍යතාව හෙවත් මුදල් විශුද්ධිකරණය (Money Laundering) ද නූතන සමාජ අවශ්‍යතාවක් බවට පත් වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ එම ප්‍රකාශය පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදු කරන ලද විධිමත් නිරීක්ෂණ අධ්‍යයනයන් මත පදනම්ව ඇතැයි අපි විශ්වාස කරමු. එමෙන්ම එය සත්‍ය නම්, ඒ ඔස්සේ බරපතල සමාජ අර්බුද රැසක් නිර්මාණය වීමේ පහසු හැකියාවක් පවතී.

තමන්ට ලැබෙන වැටුප මුළුමනින්ම පාහේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවට යෙදවීම මත, අල්ලස් ආදී විෂමාචාර ක්‍රියාවන් මගින් මෙම නිලධාරීන් මුදල් ඉපයීමට පෙළඹී ඇතැයි ද මෙය නෛතික රාමුවක් තුළ පාලනය කළ නොහැකි තත්ත්වයක් වී ඇතැයි ද පොලිස්පතිවරයා කළ ප්‍රකාශය අතිශයින් බරපතල සමාජ ඛේදවාචකයක් පිළිබඳ අනතුරු සංඥාවකි. පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බොහෝ දෙනකු ද ඔන්ලයින් සූදු ක්‍රීඩාවට පෙළඹී ඇතැයි වාර්තා වන බවත්, ඊට අමතරව රාජ්‍ය අංශයේ නිලධාරීන් ද එම තත්ත්වයට ලක්ව සිටින බවත් පවසා ඇති පොලිස්පතිවරයා, මේ තත්ත්වය මත සියදිවි නසා ගැනීම්, පවුල් ආරවුල්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට කොට ඇති ප්‍රකාශය සමාජ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට යොමු විය යුත්තකි.

 

violence
ඕනෑම අයකු උත්සාහයකින් තොරව ලබා ගන්නා “කළු සල්ලි” නොවිධිමත් හෙවත් නාස්තිකාර පරිභෝජනය සඳහා යෙදවීම ඉතා සුලබ සමාජ සම්භාවිතාවකි. ඊට හේතුව නොමනා ආදායම් (Improper Income) සහ නොමනා වියදම් (Improper Expenditure) අතර ඉතා සමීප සහ චක්‍රීය සබඳතාවක් පැවතීමය. ඒ අනුව යම් පුද්ගලයකු හෝ ආයතනයක් වැරදි ක්‍රමවේද හරහා මුදල් ඉපයීමට යොමු වූ විට, එම මුදල් වැය කරන ආකාරය ද බොහෝ විට සාමාන්‍ය රටාවෙන් බැහැර වනු දක්නට පුළුවන.

“පහසුවෙන් ලැබෙන දේ පහසුවෙන් වැය වේ” (Easy Come, Easy Go) යන්න ලොව පුරා පවත්නා පොදු සමාජ සම්මතයකි. අධිෂ්ඨානයක්, උට්ඨාන වීර්යයක්, කැපවීමක් හා නීත්‍යානුකූල පදනමක් නොමැතිව අල්ලස්, වංචා, කළු කඩ ව්‍යාපාර ආදියෙන් උපයන ආදායම් සම්බන්ධයෙන් පුද්ගලයා තුළ පවත්නා අගය හෙවත් වටිනාකම අඩුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සූදුව, මත්ද්‍රව්‍ය සහ අනවශ්‍ය විනෝදාස්වාදය වැනි අශිෂ්ට වියදම් සඳහා එම මුදල් යොමු වීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබේ. මුදලේ අගය නොදන්නා බැවින් එවැන්නන් සැලසුම් සහගත නොවන සෙසු නාස්තිකාර වියදම් කෙරෙහි යොමු වීමේ තත්ත්වයක් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.

අනවශ්‍ය ලෙස දේපළ මිල දී ගැනීම හෙවත් අධි-පාරිභෝගිකත්වය, අධික මිල අධික වාහන ආදිය භාවිතය හෙවත් අධි-පරිභෝජනය හෝ ව්‍යාජ ව්‍යාපාරික වියදම් පෙන්වීම හෙවත් ආටෝපය මෙහි දී බහුලව සිදු වේ. එමෙන්ම ඒ සඳහා පුණ්‍යමය සහ සමාජමය කටයුතු සඳහා ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන් මේවා වියපැහැදම් කිරීමට ඔවුහු පෙළඹෙති. එනිසාම කළු සල්ලි සුදු කිරීමේ අවශ්‍යතාව හෙවත් මුදල් විශුද්ධිකරණය (Money Laundering) ද නූතන සමාජ අවශ්‍යතාවක් බවට පත් වෙමින් තිබේ. ඒ, එම කාර්යය සඳහා යෙදෙන විවිධ උපාය මාර්ග ද හඳුනා ගැනෙමින් පවතින අතරතුර ය.

ආදායම උපයන ක්‍රමය නොවිධිමත් හා සදාචාර විරෝධී වන විට, පුද්ගලයාගේ මනෝභාවය ද වෙනස් වීම බොහෝ විට සිදු වන්නකි. “ඉස්සර හිටපු මිනිහා නෙවෙයි දැන්, සම්පූර්ණයෙන් වෙනස් වෙලා” යනුවෙන් මෑතකදී අසාමාන්‍ය ලෙස ධනවත් වූවන් සම්බන්ධයෙන් පැවසීම ද වර්තමානයේ සුලබව අසන්නට ලැබෙන්නකි. තමා සතු සමාජමය බලය පෙන්වීමට කැපී පෙනෙන අයුරින් අධික ලෙස වියදම් කිරීම හෙවත් නාස්තිකාර හා ප්‍රදර්ශනාත්මක පරිභෝජනයත්, තම වැරදි ආදායම් මාර්ග ආරක්ෂා කර ගැනීමට හා නීතියෙන් බේරීමට කරන වියදම් (නිලධාරීන්ට අල්ලස් දීම වැනි) තවත් නොමනා වියදම් දාමයක් මෙයින් බිහි වේ.

 

Midsection Of Man Giving Bribe To Businesswoman In Office
මෙම සියලු උපාය මාර්ගවලින් ඔවුහු අත්‍යන්ත සතුටක්, සැනසීමක් අපේක්ෂා කරති. එහෙත් ,එය කිසිදා කිසිවකුටත් සාක්ෂාත් කර ගත නොහැකි මායාකාරී ඉලක්කයකි. ඒ, බාහිර සමාජය ඔවුන් කෙරෙන් දකින සතුට සංතෘප්තිය වෙනුවට අසතුට හා අසංතෘප්තිය ඔවුන්ගේ ජීවිත මුළුමනින් ආක්‍රමණය කොට ඇති නිසාය. මෙම තත්ත්වයට පත් වූවෝ බොහෝ විට පුද්ගල සේම පවුල් සංස්ථාමය අර්බුදවලින් නිති පීඩාවට ලක් වන්නෝ ය. නමුත් ඒ බොහොමයක් දේ බාහිර සමාජය හමුවේ එළි නොදක්වති.

නව ලිබරල්වාදයේ දුර්දාන්ත ලක්ෂණ ලෙස පහසුවෙන් හඳුනා ගත හැකි මේවා, රටක ආර්ථිකයට සේම සමාජ සංවර්ධනයට ද අතිශයින් හානිකර වේ. විවිධ පුද්ගලයන් අයථා ලෙස උපයන මුදල් වෙළෙඳපොළට අධික ලෙස ගලා ඒමෙන් භාණ්ඩ හා සේවා මිල අස්වාභාවික ලෙස ඉහළ යාම මේ සම්බන්ධ අතිශය සුලබ තත්ත්වයකි.

ඉහත සඳහන් ආකාරයේ අයථා ධනෝපායන මාර්ග මෙන්ම නොවිධිමත් ආදායම් රටාවන් ඉහළ නැඟීම සමාජ අස්ථායී බවට ද හේතුවකි. නොවිධිමත් ආදායම් යනු රජයේ ලියාපදිංචි නොවූ, නීතිමය රාමුවකට යටත් නොවූ හෝ ස්ථාවර වැටුප් ලේඛනයකට ඇතුළත් නොවන මාර්ග හරහා උපයන ආදායම් වේ. සරලවම කිවහොත්, මේවා බොහෝ විට අසංවිධිත ක්‍රම මගින් උපයන මුදල් වේ. මෙම ආදායම් රටාව සම්බන්ධ පැහැදිලි සමාජමය නිරූපණයක් ලෙස “ඔය මොනවා හරි කරලා කීයක් හරි හොයා ගන්නවා” යනුවෙන් නිතර ඇසෙන වදන සරල නිදසුනකි. ඉන් පැවසෙන “මොනවා හරි කිරීම” හා “කීයක් හරි හොයා ගැනීම” යන්නෙන් ඒවා නොවිධිමත් ආදායම් බව පහසුවෙන් වටහා ගත හැකි ය. ආදායමේ ස්ථාවරත්වයක් නොමැතිකම, ආදායම දිනෙන් දින විචල්‍ය වීම ආදී ලක්ෂණ දක්නට ලැබෙන නොවිධිමත් ආදායම් මාර්ග හා සම්බන්ධ ප්‍රධාන ලක්ෂණ සහ උදාහරණ කිහිපයක් පහසුවෙන් හඳුනා ගත හැකිය.

රැකියා සුරක්ෂිතතාවක් නොමැති, විශ්‍රාම වැටුප්, සේවක අර්ථසාධක (EPF/ETF) හෝ රක්ෂණ ආවරණ වැනි වරප්‍රසාද හිමි නොවන එම පිරිස් ලබන ආදායම් රජයේ නිල බදු වාර්තාවලට බොහෝ විට ඇතුළත් නොවේ. ශ්‍රම වෙළෙඳපොළ තුළ ඔවුන් ලබා දෙන සේවා දායකත්වය සම්බන්ධයෙන් සේවායෝජකයා සහ ඔවුන් අතර බොහෝ විට පවතින්නේ වාචික එකඟතාවකි. කුලී වැඩ නමින් හැඳින්වෙන තාවකාලික කම්කරු රැකියා කරන්නන්ගේ සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන පිරිස්, නාටාමිවරුන්, පදික වේදිකාවේ හෝ ජංගම රථ මගින් එළවළු/මාළු අලෙවි කරන්නන් සේම, නිවසේ සිට සිදුකරන ස්වයං රැකියා (අත්කම්, ආහාර ද්‍රව්‍ය සකසා අලෙවි කරන්නන්) දක්වා වන සීමිත ආදායම් උපයන්නෝ මේ අතරින් කැපී පෙනෙති. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනාගේ ආර්ථිකය ස්ථාවර නොවීම මත, යම් සමාජ ආර්ථික බිඳ වැටීමකදී අන් සියල්ලන්ටම පෙර ඔවුහු අසරණ වෙති. පසුගිය කාලයේ ඇති වූ කොවිඩ් වසංගතය සේම රාජ්‍ය මූල්‍ය බිඳ වැටීම මේ සම්බන්ධ ආසන්නතම නිදසුන් දෙකකි.

නමුත් ඔවුනට අමතරව අද වන විට නොවිධිමත් ආදායම් රටාවන් පදනම් කර ගත් නව ධනේශ්වර පන්තියක් බිහිවීම දක්වා මෙම සමාජ අර්බුදය ඔඩු දුවා තිබේ. “අපි මෙච්චර දුක් විඳලත් ජීවත් වෙන්න විදියක් නැතුව දඟලනවා, උන් පැත්තකට වෙලා ඉඳගෙන රජ සැප විඳිනවා” ආදී වශයෙන් රාජ්‍ය සේවකයන් ඇතුළු විධිමත් ආදායම් උපයන්නන්ගේ අවලාදවලට බහුලවම ලක් වන්නෝ මොවුහු ය. ඒ අතර දේශපාලනමය කයිවාරු කෙසේ වෙතත්, මේ වන විටත් මෙරට ජන ජීවිතය හා සම්බන්ධ ගෘහ ආර්ථිකය දුබල මට්ටමක පැවතීම මත, ඉහත සඳහන් රජයේ සේවකයන් ඇතුළු ස්ථිර ආදායම් ලබන්නන්ගෙන් නව දිළිඳු පැලැන්තියක් සේම, ඉහත සඳහන් නොවිධිමත් ආදායම්ලාභීන්ගෙන් නව ධනේශ්වර පැලැන්තියක් හිස එසවීමේ පැහැදිලි අවදානමක් පවතී.

Casino 1200px 2024 06 10 1000x600

ඔවුන් අතර අල්ලස්, දූෂණ, වංචා ආදී නොවිධිමත් ආදායම් යාන්ත්‍රණයන් හා සම්බන්ධ පොලිස් සේම සෙසු රාජ්‍ය නිලධාරීන් ද සිටින බව මේ වන විට සනාථ වී තිබේ. එය ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වීමේ සිට සංවිධානාත්මක අපරාධ ජාලයට සම්බන්ධ වීම දක්වා වන පුළුල් පරාසයකි. එහි බිහිසුණුම ප්‍රතිවිපාකය වනුයේ, අල්ලස් ගැනීම ආදී අයථා ධනෝපායන ක්‍රමවලින් පොලිස්පතිවරයා කී ලෙසම සියදිවි නසා ගැනීම්, පවුල් ආරවුල්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ නැඟීම වැළැක්විය නොහැකි වීමය. එමෙන්ම එහි අවසන් ප්‍රතිඵලය වනුයේ, අප රට තුළින් ද ලොව පුරා සමාජ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති, මිනිසා සහ තිරිසනා අතර පවත්නා වෙනස්කම් අවප්‍රමාණ කෙරෙන සාරධර්ම විරහිත අනෝමීය සමාජයක් (Anomic Society) බිහි වීමය.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසියේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවෙන් දිග හැරෙන සමාජ ඛේදවාචකය | ප්‍රණීත් අභයසුන්දර | The Leader