එහෙම කළේ සමාජවාදය වෙනුවෙන් දේශපාලනය කරනවා යැයි කියමින් ජවිපෙ ඊට පරස්පර ගමනක යෙදුන නිසයි. එහෙම නැතිව රාජපක්ෂ, වික්‍රමසිංහ හෝ ප්‍රේමදාස දේශපාලනය මත අප පිහිටමින් නෙවෙයි. ඒ කාලෙ ජවිපෙ නායකයො සමලිංගිකත්වයට එරෙහිවෙන කොට, හාමුදුරුවන් පස්සෙ යන කොට සිංහලබෞද්ධ සදාචාරය වෙනුවෙන් පෙනී ඉන්න කොට අපි කරපු විවේචන සත්‍ය බව කට්ටියට දැන් තේරෙනව ඇති.
හැබැයි සමාජවාදී විළි රුදාවක් දැන් ජවිපෙට නැහැ කියල බිමල් රත්නායක සහෝදරයා සෑහෙන කාලයකට පෙර කියන කොට පක්ෂයේ නව ගමන ගැන අවබෝධයක් අපට ඇතිවුණා. පක්ෂ නායකත්වයට අනුර කුමාර සහෝදරයා පත්වීමත් එක්ක ඒ ගමනට වැඩේ තේරුණ අය සෙට් වුනා. රාජ්‍ය බලය ලබා ගැනීමට අනුර තනි ගේම ගැහැව්ව කියන්නෙ ඒකයි. අනුර කුමාර කළේ යුගයට ගැලපෙන දේශපාලන පෙරළියක්.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන....
ඒකෙන් කියන්නෙ නැහැ අපි සමාජවාදය අත් හරින්න ඕන කියල. ඒ ගමන අපි දිගටම යන්න ඕන. හැබැයි ඒ දිගු ගමන මේ මොහොත තුළ ජවිපෙට කරන්න බැහැ. එයාල කරන්නෙ එයාලට පුළුවන් දේ. ඒ තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන. ඒක ඓතිහාසික කාර්‍යභාරයක්. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය අද කරමින් ඉන්නෙ අන්න ඒ ඓතිහාසික කාර්‍යභාරය.
මේ ළගදි මට මුණ ගැහුණ ජවිපෙ පරණ අරගලකරුවෙක් මට කිව්වෙ ජේආර්ට වඩා එහාට ගිහින් සමාජයට විශාල හානියක් කරමින් අනුර රට පාවල දුන්න බවයි. එයාල එහෙම හිතන්නෙ සෝවියට් දේශය තවමත් පවතිනවා යැයි සිතන ලෙනින්වාදී මානසිකත්වය නිසයි. ඔවුන් තේරුම් අරන් නැහැ ලෙනින්වාදය අසාර්ථක වී ඇති බව. සමාජවාදය වෙනුවෙන් වූ විප්ලවීය බීජයක් හෝ දුටුවිට විනාශ කර දමන ගෝලීය ප්‍රාග්ධනය අධිපති වූ ලෝකයක මොන සමාජවාදයක් ද කියල හිතන්න බැරි තරමට එයාලගෙ විඥාණය මලකඩ කාල.
ග්‍රීසියේ සයිරිසා ව්‍යාපාරය සුණුවිසුණු කරල දැම්මෙ යුරෝපා සංගමයට අභියෝගයක් වූ නිසා මිසක් සමාජවාදය පිහිටුවන්න ගිය නිසා නෙවෙයි. එහෙම බැලුවහම අනුර කුමාර දිසානායක සමාජවාදය වෙනුවෙන් ආණ්ඩු කළොත් ගෝලීය ප්‍රාග්ධනය කොහොම කරාවිද කියල මේ මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. මේ යුගය තුළ රාජ්‍යය බලය ගන්නා දේශපාලන ව්‍යාපාරයකට කරන්න පුළුවන් උපරිමය තමයි අනුර කුමාරල කරමින් ඉන්නෙ.
ජාතික ජනබලවේගයේ මූලිකත්වයෙන් ජවිපෙ ආරම්භ කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ජවිපෙ කාඩරයට පවා තේරුම් ගන්න අපහසුයි. බාහිරින් ඉන්න ජවිපෙ පැරණි සාමාජිකයන් අනුර කුමාර පාවාදෙන්නෙකු ලෙස හදුනා ගන්නා විට එහි අභ්‍යන්තර සාමාජිකයන් කල්පනා කරන්නේ ආණ්ඩුව සමාජවාදී ගමනක යෙදෙන බවයි. ආණ්ඩුවේ මේ ගමන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බව ඔවුන්ට තේරුම් ගන්න බැහැ.
ජවිපෙ කාඩරයේ මේ අනවබෝධය මෙන්ම ආණ්ඩුවේ දේශපාලකයන්ගේ නෝන්ජල්කම ආණ්ඩුවේ ගමනට එල්ල කරන බාධාව අති විශාලයි. ගම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරීන් විලම්භීතව උඩ බලාගෙන සිටිය දී ආණ්ඩුවේ දේශපාලකයෝ වැඩ කරන්නේ කළුවරේ අතපතගාමීන්. ආණ්ඩුකරණය හා බහුජන දේශපාලනය ගැන ඔවුහු හාංකාවිසියක් දන්නා බවක් නොපෙනේ. සටකපට විපක්ෂයේ දේශපාලකයෝ ආණ්ඩුවට එරෙහිව දහන් ගැට ගහද්දී මේ පිරිස අන්දුන් කුන්දුන්ව බලා සිටීම හාස්‍යජනක ය.
ඔවුන්ට හපන් වී ඇත්තේ ජවිපෙට ගැතිව සිට රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු ලැබූ නිලධාරීන් ය. රුසියන් විප්ලවයේ ආශ්වාදජනක පොත පත කියවමින් ජවිපෙ නායකයන්ගේ අදහස්වලින් එහා අදහසක් නොකියවූ මේ පිරිස ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ දඬු අඬුවට අසු වී ඇති අන්දම ලැජ්ජාශීලී ය. ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තිය සමාජ ගත කිරීමට උපාය උපක්‍රම නොදැන රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීහු උඩබිම බලමින් සිටිම හාස්‍යජනක ය.
හානිය සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවට පමණක් නොවේ. ජනාධිපති ධූරයට අනුර කුමාර සහෝදරයා පත්වෙමින් මේ පොළොවේ සිදුවූ දේශපාලන සංස්කෘතික පරිවර්තනයටම අභියෝගයක් එල්ල වෙමින් පවතී. ධනේශ්වර නිෂ්පාදන මාදිලිය කඩාවැටෙන දිනක ඊලග නිෂ්පාදන මාදිලිය බිහිවන්නේ ඒ සදහා මේ වනවිටත් කෙරෙමින් පවතින සමාජ දේශපාලන අරගලය තුළිනි. ආණ්ඩුවේ කඩාවැටීම තුළ මෙම සමාජ දේශපාලන අරගලය ද කඩාවැටිය හැකිය.
ඒ අර්ථයෙන් ආණ්ඩුවට එල්ලවන අභියෝගය සමස්ත සමාජ විමුක්ති ව්‍යාපාරයටම එරෙහිව එල්ලවන අභියෝගයකි. ඒ නිසා ආණ්ඩුවේ උද්දච්ඡ නෝන්ජලයන් අපේ ද සතුරන් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com




