The Leader News
BREAKING
Top Ad
Opinion

රෝගීන් 'ඇපේට' තියන්න වෛද්‍ය සංගමය නැවත තීන්දු කරලා | කුසල් පෙරේරා

T

The Leader Desk

January 16, 2026 • 10:26 AM

රෝගීන් 'ඇපේට' තියන්න වෛද්‍ය සංගමය නැවත තීන්දු කරලා | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය “නිදහස් සෞඛ්‍ය සේවය” රැක ගැනීමට ජනවාරි 23 දා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට තීන්දු ගෙන ඇතැයි අද (ජනවාරි 15) මාධ්‍ය වාර්තාකර තිබුණි.
  • කහට කෝප්පයේ සිට සෘජු හා සියයට 80 ක් වක්‍ර බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 700 ක පමණ මුදලක් වසරක් පාසා අවුරු 13 ක පාසල් අධ්‍යාපනයට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලැබේ.
  • ඒ විගස, ජවිපෙ සහ පෙරටුගාමී දේශපාලන සහාය ඇතිව “නිදහස් අධ්‍යාපනය” රැක ගන්නට යැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ඔවුන්ගේ විරෝධය රැගෙන පාරට පැමිණියහ.
  •   පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබා දීම සම්බන්ධව ඒ ආසන්න දිනෙක රූපවාහිනි සාකච්ඡාවකදී, වෛද්‍ය සංගමයේ ප්‍රධානියකු සහතික කර කියුවේ රජයේ වෛද්‍ය වෘත්තියෙහි ආරම්භක වැටුම මසකට රුපියල් 26,000 ක් පමණ යැයි කියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් සමග සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඇතිකර ගත් ලිඛිත එකඟතාවට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් පියවර ගෙන නොතිබීම එයට හේතුව යැයි වෛද්‍ය සංගමය කියා තිබිණ.

gmoa k 23

GMOA k 24

“තුච්ඡ ආත්මාර්ථය” කවරක්දැයි නොදන්නේ නම්, වෛද්‍යවරුන්ගේ සංගමයේ තීන්දු, ඉල්ලීම් හා ක්‍රියාපිළිවෙත තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. කහට කෝප්පයේ සිට සෘජු හා සියයට 80 ක් වක්‍ර බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 700 ක පමණ මුදලක් වසරක් පාසා අවුරු 13 ක පාසල් අධ්‍යාපනයට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලැබේ. එය, පාසල් යන හැම දරුවෙකුටම අදාල හෙයින් අවුරුදු පතා වැය කෙරෙන ඒ කෝටි ගණනක මුදල පැත්තකින් තැබුවත්, වෛද්‍යවරුන්ගේ පළමු පත්වීමේ සියලු දීමනා ඇතුළත් රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න ආරම්භක මාසික වැටුපේ සිට විශ්‍රාම යන තෙක්ද, ඉන් පසුව මාසික විශ්‍රාම වැටුපද ඔවුන්ට ගෙවනු ලබන්නේ මහජනතාවගේ බදු මුදලින්ය. ඒ ජනතාවගෙන්ම තමන්ගේ පෞද්ගලික සායනයේදී කෙරෙන වෘත්තීය සේවයට යැයි මුදල් අයකර ප්‍රතිකාර කරන්නාවූ රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමය, “නිදහස් සෞඛ්‍ය සේවය” බේරා ගැනීමට සටන් වදින්නේ යැයි කීම, තුච්ඡ ආත්මාර්ථකාමය වසා ගැනීමේ ප්‍රෝඩාවක් නොවන්නේදැයි නොඇසිය යුතුද?

වෛද්‍යවරුන්ගේ සංගමය කියුවේ යැයි මාධ්‍යයෙහි වාර්තාකර තිබූ ඔවුන්ගේ ඉල්ලීම් වූයේ, චක්‍රලේඛ අංක 22/99 යටතේ ඔවුන්ගේ ප්‍රවාහනයට අදාල ගැටළු නිරාකරණය කිරීම, “ඩැට්” (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, අමතර සේවා දීමනාව ස්ථිර දීමනාවක් කිරීම සහ පර්යේෂණ දීමනාව සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමේ සාකච්ඡා ජනවාරි 05 වන දින සිට මුදල් අමාත්‍යාංශය සමග ආරම්භ කිරීම ය. මේවායින් “නිදහස් සෞඛ්‍ය සේවය” සුරැකෙන්නේ කෙසේදැයි කිව හැකිද?

a035f3ace67f163ef9c2aeb1d725b98989a72891

 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මීට අවුරුදු 13 ට පෙර 2013 දී, පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධියක් ලබා දීම සඳහා පෞද්ගලික අධ්‍යාපනික ආයතනයක් වන SAITM (තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දකුණු ආසියානු ආයතනය) වෙත අනුමැතිය ලබා දුන්නේය. ඒ විගස, ජවිපෙ සහ පෙරටුගාමී දේශපාලන සහාය ඇතිව “නිදහස් අධ්‍යාපනය” රැක ගන්නට යැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ඔවුන්ගේ විරෝධය රැගෙන පාරට පැමිණියහ. එදා පාරට පැමිණියේද “නිදහස් අධ්‍යාපනය” රැක ගැනීමට නොව, ඔවුන්ගේ මඩි තර කර ගැනීමට ය. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ අත හැරියේද බේගල් ය.

 

පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබා දීම සම්බන්ධව ඒ ආසන්න දිනෙක රූපවාහිනි සාකච්ඡාවකදී, වෛද්‍ය සංගමයේ ප්‍රධානියකු සහතික කර කියුවේ රජයේ වෛද්‍ය වෘත්තියෙහි ආරම්භක වැටුම මසකට රුපියල් 26,000 ක් පමණ යැයි කියා ය. එම සාකච්ඡාවට සහභාගි වූ සම්පත්ධාරියෙකු කීවේ, සීමාවාසික පුහුණුව අවසානයේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වූ පසු රජයේ වෛද්‍ය සේවාවේ පළමු වසරේදීම “මාසෙ අන්තිමට ලක්ෂයකට වැඩිය පඩි හම්බවෙනවා” යැයි කියා ය. එය වහා ප්‍රතික්ෂේප කළ වෛද්‍ය සංගමයේ ප්‍රධානියා ඇසුවේ, “කොහෙද එහෙම පඩි ගෙවන්නේ?” යැයි කියා ය. ඔවුන්ගේ ආරම්භක මාසික වැටුප රුපියල් 26,000 ක් යැයි ඔහු නැවත අවධාරණය කළේ ය.

 

doca34534

ඒ වාදයේදී අනෙකාට ඊට අදාල තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වූයෙන් සමාජය හමුවේ නිවැරදි තොරතුරු සටහන්කර තැබීමට රජයේ වෛද්‍යවරුන්ගේ ආරම්භක වැටුප සම්බන්ධයෙන්, 2016 ජුලි 10 වන ඉරු දින “ලක්බිම” පුවත් පතට, “ජන ජීවිත සමග බූරුවා ගැසීම” මැයෙන් මා ලියූ ලිපියෙහි එම තොරතුරු මෙලෙසින් ලියා තැබුවෙමි. “සීමාවාසික පුහුණුවෙන් පසු වෛද්‍යවරයෙකුගේ පළමු වසරේ ආරම්භක මූලික මාසික වැටුප රුපියල් 26,160 කි. වෛද්‍යවරුන්ගේ සංගමය හැමවිට කතා කරන්නේ, මේ මූලික වැටුප ගැන පමණ ය. එහෙත් විශ්‍රාම වැටුප ගණන් හැදීමට එකතු කරන සහ එකතු නොකරන දීමනා වශයෙන්, ‘හදිසි ඇමතුම් හා කැඳවීම්, ඊට ඇති සූදානම හා ගමන් වියදම’ (DAT) වෙනුවෙන් රු.35,000 ක දීමනාවක්ද ඇතුළු රු.61,840 ක් ඒ මූලික මාසික වැටුපට එකතු වන්නේ ය. එවිට මාසික වැටුප රු.88,000 කි. ඊළගට ඔවුන්ට මාසිකව රු.4,000 ක දුරකතන ඇමතුම් දීමනාවක් ඇත. රජයේ නිවාඩු දිනවල හා සති අග සේවය සඳහා වැටුපෙන් සියයට 20 ක දීමනාවක්ද ඇත. ඒ සියල්ල එකතු වූ විට පළමු වසරේ මාසිකව අතට ගන්නා වැටුප සාමාන්‍යයෙන් රු.1,15,000 ක් පමණ ය. ලක්ෂයකට වැඩි මේ මාසික වැටුපට අමතරව, ජනතාවගේ මුදල් අයකර හම්බ කරන, ජනප්‍රිය වහරෙන් ‘පී.පී’ යැයි කියන පෞද්ගලික සේවය මගින් ඔවුන් මාසිකව කෙතරම් උපයන්නේ දැයි ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ දන්නේ දැයි නොදනිමි”.

gmoa8847crb3qr4

දැන් ඒ බොහෝ දීමනා හා වැටුප් ඊට බෙහෙවින් වැඩි ය. 2025 වසර සඳහා අයවැය ඉදිරිපත් කරන විට රජයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප, කලින් වූ ආණ්ඩු විසින් රු.54,000 දක්වා වැඩිකර තිබිණ. රු.35,000 ක් වූ DAT දීමනාව, 2024 ජනවාරියේ සිට රු.70,000 දක්වා දෙගුණ කර තිබිණ. එය මාසික උපාධිධාරී ගුරු වැටුප වන රුපියල් 51-52,000 මෙන් දෙගුණයකට ආසන්න ය. වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි, වැටුප් හා මෙවැනි දීමනා තීන්දු කිරීමේදී, රෝගී ජීවිත ප්‍රාණ ඇපයට තැබීම හැර කිසිදු තාර්කික, සදාචාරමය හා සමාජ සාධාරණත්වයක් නොමැති බව අවධාරණයෙන් යුතුව කිව යුතුය.

ඔවුන් නිරාකරණය කර ගත යුතු යැයි කියන්නාවූ කාරණා දෙස මැදහත්ව බැලුවහොත්,


01. අතිකාල ගෙවීම් - මාණ්ඩලික ශ්‍රේණියේ රජයේ සේවක සේවිකාවන්ට අතිකාල ගෙවීම් නොමැත. එයට හේතුව, ඔවුන් රාජකාරියේ යෙදෙන වේලාවන් නිල වශයෙන් සටහන් විය යුතු යැයි පරිපාලන නීතියක් රෙගුලාසියක් නොවීම ය. ආණ්ඩු වෙත කෙරුණු බලපෑම් සමග රජයේ වෛද්‍යවරුද මේ මාණ්ඩලික තත්ත්වය ලබා ගත්හ. ඒ අනුව ඔවුන්ගේද රාජකාරී වේලාවන් සටහන් කිරීමක් කෙරෙන්නේ නැත. නමුත් ඔවුහු අතිකාල ගෙවීම් ලබා ගනිති. ඔවුන්ගේ අතිකාල සේවය ගණන් හදන්නේ වෛද්‍යවරයාගේ පෞද්ගලික දින පොතෙහි ඔහු හෝ ඇය යොදා ගෙන ඇති සටහන් අනුවය. එවැනි අතිකාල මහජන මුදලින් ගෙවිය යුතුද?  

02. DAT දීමනාව - DAT යනු ඉංග්‍රීසියෙන් යෙදෙන කෙටි යෙදුම ය. මෙය නිල වශයෙන් සිංහලෙන් හඳුන්වන්නේ “රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව” යනුවෙනි. එහි සරළ අරුත නම්, රාජකාරියෙන් නිදහස්ව සිටියදී කෙරෙන හදිසි කැඳවීමක් බාර ගෙන, ඒ සඳහා රෝහලට යෑම වෙනුවෙන් ගෙවන දීමනාව යන්න ය. මේ දීමනාව සාධාරණය කළ නොහැක්කකි. එය වහා අත්හිටුවිය යුත්තකි. එහෙත් එය සියලු වෛද්‍යවරුන්ට ගෙවනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු චක්‍ර ලේඛ ලිපි අංක 02-06/2024 දරණ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් 2024 ජනවාරි 11 වන දින නිකුත් කරනු ලැබ ඇති දැන්වීම අනුව, “2024-01-09 දිනැති, අංක 24/0049/601/009 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රු. 70,000.00 ක් ලෙසින් සංශෝධනය කර ඇත.” ඔහුගේ දැනුම් දීමට අනුව, “ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිලධාරීන් සියල්ලන්ට” මේ DAT දීමනාව ගෙවිය යුතුය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් වෛද්‍යවරුන් 17,500 ක් පමණ රජයේ සේවකයින් ය.

gmoacpyr89rrr2342

අවසාන ඉලක්කමට යනකම් නිවැරදි නොවුනත් 2023 වන විට වෛද්‍යවරුන් 13,000 ක් පමණ රෝහල් සේවයේ සිටියහ. ඔවුන්ගෙන් 2,000 ක් පමණ පරිපාලන කටයුතුවල නිරත වන්නාහ. රෝගී ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවල, බාහිර ප්‍රතිකාර සායනවල සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව ඒ අනුව 11,000 ක් පමණ වන්නේ ය. ගෙවනවා නම්, DAT දීමනාව ගෙවිය යුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව ඇත්තේ මේ 11,000 අතර ය. “රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව” අදාල වන්නේ ඔවුන්ගෙන් හදිසියේ කැදවීම් කෙරෙන අතළොස්සකට ය. එහෙත් “On Call” ඉන්නා වෛද්‍යවරුන්ට අමතරව, හදිසියේ වෛද්‍යවරයෙකුට හෝ දෙන්නෙකුට මාසයකට වරක් හෝ දෙකක් විය හැකි එවැනි හදිසි කැඳවීම් සම්බන්ධ ලේඛන රෝහල්වල නැත. මෙහි ඇති අතිශය අසාධාරණය සහ මහජන මුදල් නිරුවත්ව සූරාකෑමක් වන්නේ, මෙම රු.70,000 ක මාසික DAT දීමනාව දළ වශයෙන් රෝහල් සේවයේ ඉන්නා වෛද්‍යවරුන් සියල්ලට ලබා දීමෙහි ය. එහි සාමාන්‍ය එකතුව වසරකට, රුපියල් බිලියන 11 ක් පමණ විය යුතුය.

එවගේම මේ DAT දීමනාව ගෙවන්නේ එවැනිම තවත් ගෙවීම් සිදු කරන අතර, ඒවාට අමතරව ය. පසුගිය ජුනි මාසයේ 24 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් ඔහුගේ පොදු චක්‍රලේඛ ලිපි අංක 02-60/2025 (I) දරණ “රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 විධිවිධාන පරිදි අතිකාල දීමනා/අමතර රාජකාරී දීමනා අනුමත කිරීම” මැයෙන් වන දැනුම් දීමට අනුව, 2025 අප්‍රේල් 28 දිනැති පොදු චක්‍රලේඛ ලිපි අංක 02-60/2025 අංක 1 වගුවෙහි ඇතුළත් වෛද්‍ය නිලධාරීන්ට “අමතර රාජකාරී දීමනා ආයතන අධ්‍යක්ධෂ ජනරාල්ගේ අංක EST-7$04$OVT$0029 ^vii& හා 2025.06.09 දිනැති ලිපිය හා ආයතන අධ්‍යක්ධෂ ජනරාල්ගේ අංක EST-7$04$OVT$0029 ^vii& හා 2025.06.24 දිනැති ලිපිය අනුව මෙහි අංක 1 වගුවෙහි (සංශෝධිත) පරිදි සංශෝධනය විය යුතු බව දන්වන අතර, ඒ අනුව ගෙවීම් කිරීමට කටයුතු කරන ලෙස දන්වමි” යැයි දන්වා යවා ඇත.

 

gmoa6bq54
එකී සංශෝධිත වගුවට අනුව, ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා සියලු වෛද්‍යවරුන්ට රා.ප.ච 10/2025 චක්‍රලේඛයෙහි 5.1 වගන්තිය අනුව “අමතර රාජකාරියෙහි යෙදෙන” සෑම පැයකටම එහි නියමිත වන ගෙවීම කළ යුතු ය. එහි සඳහන් “අමතර රාජකාරි” සහ DAT දීමනාව අතර වෙනස කුමක්ද යන්න ගැන කතාවක් නැත. එවගේම, සේවයට පැමිණීම හා පිටත්ව යෑම නිල වශයෙන් සටහන් නොකරන වෛද්‍යවරුන්ගේ “අමතර රාජකාරි” කාලය ගණන් හදන්නේ කවුරුන්ද යන්න දන්නේ එම වෛද්‍යවරුන්ම පමණි.

එවැනි අප්‍රමාණ දෝස සහිත, නොලැබිය යුතු දීමනා ලබන වෛද්‍යවරුන් “චක්‍රලේඛ අංක 22/99 යටතේ ඔවුන්ගේ ප්‍රවාහනයට අදාල ගැටළු නිරාකරණය කිරීම, DAT දීමනාව යාවත්කාලීන කිරීම, අමතර සේවා දීමනාව ස්ථිර දීමනාවක් කිරීම සහ පර්යේෂණ දීමනාව සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමේ සාකච්ඡා ජනවාරි 05 වන දින සිට මුදල් අමාත්‍යාංශය සමග ආරම්භ කිරීම” මගින් නිදහස් සෞඛ්‍ය සේවයට එකතු කරන්නේ මොනවාදැයි කිව යුතුය.

ඔවුන්ට කීමට අපට ඇත්තේ, අතිකාල වැටුප් අවශ්‍ය නම්, කරුණාකර සේවයට පැමිණෙන වෙලාව හා සේවයෙන් නික්ම යන වෙලාව ආයතනයේ නිල පැමිණීමේ ලේඛනයෙහි සටහන් කරනු මැනව. පෞද්ගලික සායනයක අමතර ආදායම් ලබන්නේ නම්, ඒ වේලාවන් රාජකාරි ස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රසිද්ධ කරනු මැනව. කෙටියෙන් කිව යුත්තේ, “ජනතාවගේ සෞඛ්‍ය, වෙළදපලේ අලෙවි නොකරනු මැනව” යැයි කියා ය. වෛද්‍යවරුන් ජනතා බදු මුදලින් වැටුප් හා වරප්‍රසාද ලබන රජයේ සේවය හෝ පෞද්ගලික සායනවල මුදලට ප්‍රතිකාර අලෙවි කිරීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතුයැයි අපි කියමු.  


Kusal 28(සටහන | කුසල් පෙරේරා)

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 ජනවාරි 16 වන දින    

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...