F මෑත කාලයෙ හිටපු එකම ස්වාධීන නීතිපති සිවා පසුපති විතරයි!
F ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොතකා පළාත් සභා මැතිවරණ කල් දාන්න නීතිපති ජයන්ත ජයසූරිය රනිල්ට උපදෙස් දුන්නා
F ඒකට තෑග්ගක් විදියට ජයන්ත ජයසූරිය අගවිනිසුරු කළා
F නීතිපති විදියට සිරිසේන ගෙ නීති විරෝධී කුමන්ත්‍රණය නීත්‍යානුකූලයි කියල තර්ක කළෙත් ඔහු
F මේ සේරම record තියෙද්දි අනුර, ජයන්තට තානාපති පදවියක් දුන්නා
අන්තිමට රැවටුණේ කවුද?
Sunday Times සතියේ බොරුව මෙවරත් බැක් ෆයර්! | Sanath Balasooriya
රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්නගේ ඍජු අධීක්ෂණය යටතට පත්කිරීමට අලුත්ම තීන්දුවක් ගෙන ඇතැයි ඇඟවෙන පරිදි සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා (18) පළකළ පුවත ද, සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත්ව කරන කරුණු විකෘති කිරීමක් හා නොමඟ යැවීමක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ව්‍යූහය, නිල ධූරාවලිය හා සාමාන්‍ය ක්‍රියා පටිපාටිය දන්නවුන්ට රහසක් නොවේ.
ප්‍රවෘත්ති වටිනාකමක් නැති ප්‍රවෘත්තියක්!
සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න යනු නීතිපති දෙපාර්තමේන්තුවේ නිල ධූරාවලියේ නීතිපතිවරයාට පමණක් දෙවැනි වන නිලධාරියා ය. ඊට අමතරව ඔහු මේ මොහොතේ එහි අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.
රනිල් වික්‍රමසිංහ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යි. නීතිපති දෙපාර්තමේන්තුව තුළ නඩුකටයුත්ත අයත් වන්නේ අපරාධ අංශයට යි. ඒ අනුව, සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ ද මේ විමර්ශනවල ඍජු අධීක්ෂණ නිලධාරියා වන්නේ විරාජ් දයාරත්න ම මිස වෙන කිසිවකු නොවේ. එබැවින් මේ විමර්ශන අධීක්ෂණය සඳහා නීතිපතිවරයා විසින් අමුතුවෙන් දෙපාර්තමේන්තුවේ අපරාධ අංශ ප්‍රධානියා පත්කිරීමට අවශ්‍ය නැත. ඔහු කොහොමත් එහි ඍජු අධීක්ෂණ නිලධාරියා ය.
එසේනම් මෙවර රනිල්ගේ සිද්ධියට අදාළව ‘කීර්තිමත්’ ඉංග්‍රීසි පුවත්පතකැ’යි කියන සන්ඩේ ටයිම්ස් තකහනියක් වාර්තා කර ඇත්තේ කිසිදු ප්‍රවෘත්ති වටිනාකමක් ඇති දෙයක් නොවේ.
ප්‍රවෘත්තියක් වීමට නම්...
මේ කතාව ම ප්‍රවෘත්ති වටිනාකමක් ඇති කතාවක් බවට පත්වීමට තරම් වැදගත් වන්නේ, බැරිවෙලාවත් නීතිපතිවරයා මේ විමර්ශන අධීක්ෂණය සිය දෙපාර්තමේන්තුවේ නිල ධූරාවලියේ තෙ වැනි තැන ඉන්නා අතිරේක ජ්‍යේෂ්ඨ සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධනට හෝ, ඉන් අනතුරුව ඉන්නා අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දරට භාර දුන්නේනම් ය.
එහෙත් පත්තරේත් දමාගනිමින් සොලිසිටර් ජනරාල් විරාජ්ට මේ අධීකෂණ අමුතුවෙන් බාරදෙන්නට නීතිපතිට කිසිදු හේතුවක් ඇත්තේ නැත. ඔහු කොහොමත් දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය භාරව සිටින නිලධාරියා බැවින් මේ අතිශය ආන්දෝලනාත්මක විමර්ශනය නිල බලයෙන් ම අධීක්ෂණය කරන්නේ ය.
එසේනම් නීතිපතිවරයා හා ටයිම්ස් පුවත්පත එක මල්ලේ ලුණු කමින් මෙවැනි ප්‍රවෘත්තියක් නොවන කතාවක් උළුප්පා දක්වන්නේ ඇයි?
නීතිපති - ටයිම්ස් යටි අරමුණ
එහි යටි අරමුණ ලෙස පෙනීයන්නේ මේ විමර්ශනය භාරව කටයුතු කරන අතිරේක සොලිසිටර් ජනරාල්ගේ රාජකාරිය සම්බන්ධයෙන් කිසියම් අප්‍රසාදයක් ඇතිකිරීමේ උත්සාහයකි. දිලීපගේ අධීක්ෂණය අස්සට සිය හිතෛශිවන්ත නිලධාරියකු ලෙස දෙපාර්තමේන්තුව තුළ ප්‍රකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා යෙදීම හරිගියේ නැති තැන, දැන් නැවතත් දිලීප පිළිබඳ අප්‍රසාදයක් ඇතිකිරීමට මෙවැනි පුවතක් ‘ප්ලාන්ට්’ කර ඇති බව ය අපේ නිරීක්ෂණය.
ටයිම්ස් සිය වාර්තාවේ අවසානයට නැවත එක් කරන්නේ සීඅයිඩීය තාමත් ලන්ඩන් විමර්ශනවල උදෘත නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී නොමැති බව ය. එහෙත් එම විමර්ශනවලට අදාළ සම්පිණ්ඩන දැනටමත් ලබාදෙනු ලැබ, රජයේ ජේෂ්ඨ නීතීඥ සමදරී පියසේන විසින් අධ්‍යයනය කරනු ලැබ ඇති බව හෙළිකරන පුවතක් අප විසින් මීට පෙර පළකළෙමු. ඉන් කියැවුණේ ලන්ඩනයේදී ප්‍රකාශ සටහන් කරගත් පිරිසගෙන් කියැවුණු තොරතුරු මොනවාදැ’යි නීතිපති පාරින්ද රණසිංහ සමදරී පියසේනගෙන් දුරකතන මාර්ගයෙන් විමසූ ආකාරය ගැන යි.
ලන්ඩන් උදෘතම ඉල්ලා වලිකෑම
මේ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ලබාගත් කටඋත්තරවල සම්පිණ්ඩන නීතිපති දෙපාර්තමේන්තුවට යවමින්, සීඅයිඩීය ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා උපදෙස් නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතත්, මාස එක හමාරකට වැඩි කාලයක් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නීතිපතිවරයාගේ පාර්ශ්වය දිගින් දිගටම සන්ඩේ ටයිම්ස් ඔස්සේ කියවන්නේ ලන්ඩන් උදෘත තමන්ට ලබාදී නොමැති බව ය.
මේ නඩුවේ අතිශය තීරණාත්මක ප්‍රකාශ කිහිපයක් වන බව කියන ලන්ඩන් උදෘත සම්බන්ධයෙන් නීතිපතිගේ පාර්ශ්වය මේ තරම් වදවීම අප මීට පෙරද සටහන් කළ පරිදි අතිශය සැක සහිත වේ.
මෙම Sunday Times පුවත ද වාර්තා කර ඇත්තේ Ranjith Padmasiri විසිනි.
(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
නීතිපති වරයා දඩුකදේ ගැසිය හැකිද? | Shiral Lakthilaka
පරින්ද රණසිංහ නීතිපතිට එරෙහිව පදනම් විරහිත දෝෂාභියෝගයක් ගෙන ඒමට දරන නිරර්ථක උත්සාහය සමාජයක් ලෙස අධෛර්මත් කල යුතුය!
මාධ්‍යවේදීන් වන සාරෝජ් පතිරණ සහ සනත් බාලසූරිය යන මහත්වරුන් විසින් දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ වත්මන් නීතිපති පාරින්ද රණසිංහ මහතාට එරෙහිව දැඩි චොදනා එල්ල කරමින් සිටී.
ඔවුන්ගේ එම උත්සාහයේ අරමුන වී ඇත්තේ නීතිපති වරයාට එරෙහිව ආන්ඩුව ලවා දෝශාභියෝගයක් ගෙන ඒමට බව පෙනෙති.
මෙම උත්සාහයේ පිටුපස සිටින්නේ කව්දැයි අපට දේශපාලනිකව හා ආයතනික පදනමෙන් අනුමාන කල හැකි නමුත් මේ දෙදෙනාගේ අඩහැරය සදහා පලමු කොටම ඒ පිලිබදව නීතිමය සංකල්ප ඔස්සේ පිලිතුරක් දිම කාලෝචිත යයි සිතමි.
නීතිපති දෙපාර්තමේන්තුව ඇතැම් කාල වකවානුවලදී දේශපාලනීකරනය වු බවට පවතින චෝදනාව සදහා පදනමක් තිබේ.
එසේ චෝදනා වන්නේ පවතින ආන්ඩුව සමග කරට අතදාගත් කලහිය.
නමුත් මෙවර චෝදනාව නැගෙන්නේ අරුම පුදුම පදනමකිනි. ඒ නීතිපති වරයා රනිල්ගේ කරට අත දමාගෙන ඇතැයි යන පදනමෙනි.
නමුත් මේදෙදෙනා ඒ බව නොකියා දෝෂාභියෝගයක් ඉල්ලා සිටිනුයේ ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගනිමිනි.
සරෝජ් පතිරන ට ඒ සම්බන්දව දීර්ඝ ලයිස්තුවක් පවතී.
ඒවාට පිලිතුරු දීමට කාලය මිඩංගු කිරීම පවා නිරර්ථකය.
නමුත් දෝශාභියෝගයකට පසුබිම සාදන ප්‍රධාන චෝදනා වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීම සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරයේදී සිදු වූයේ යැයි කියන දූෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා පියවර නොගැනීමයි.
නමුත් මෙම චෝදනා දෙකම ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව සහ ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටිය හමුවේ තාර්කිකව බිඳ දැමිය හැකි බොලද තර්ක දෙකකි.
1. රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය සහ නීතිපතිවරයාගේ මැදිහත්වීම ගැන කතා කරන විට,
සනත් බාලසූරිය මහතා මතු කරන ප්‍රධානතම තර්කය වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය සඳහා වූ අධික වියදම් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා ක්‍රියා නොකළ බවයි.
මෙහිදී අමතක නොකළ යුතු නීතිමය කරුණු කිහිපයක් පවතීන බව කිව යුතුව තිබේ.
ඉන් පලමු වැන්න යවස්ථාපිත මුක්තිය (Presidential Immunity): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයෙකු සිය ධුර කාලය තුළ සිදු කරන ලද කිසිදු නිල ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට වන ප්‍රතිපාදනයයි.
සංචාරය සඳහා වැය වූ මුදල් සම්බන්ධ තීන්දු ජනාධිපති ලේකම් කාර්යාලය සහ භාණ්ඩාගාරය විසින් ගනු ලබන පරිපාලනමය තීරණ බව අමතක කරන මොවුන් රනිල් දඩු කදේ ගැසීමට පැලවත්තට ඇති දේශපාලනික උවමනාවේ මතුපිට ප්‍රකාෂකයන් ලෙස මෙම ප්‍රකාශ නිකුත් කරමින් සිටී.
එම නිසා පැලවත්තේ කීමට රනිල්ට ත්‍රිපුද්ගල මහාධිකරනයක් ඉදිරියේ අධිචෝදනා ලබාදී නඩු පැවරුවද නඩුවේ ප්‍රතිපලය නම් ඉරහද ලෙස නිශ්චිත බව කිව යුතුව තිබේ.
අනෙක් අතට රනිල්ට අභිචෝදනා භාරනොදීමේ කුමන්ත්‍රනයක් ගැන කතා කරන්නේ නීතිපති වරයා ඉදිරියේ විමර්ශන නියෝජිතායතනයක වාර්තාවක් තවමත් එලිදැක නොමැති පදනමකය.
එවැනි අවසාන විමර්ශන වාර්ථාවක් පවතින්නේ නම් ඒබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ලවා සමාජය දැනුවත් කිරීම රහස් පොලිසියේ ප්‍රධානියාගේ වගකීම වන්නේය.
නීතිපතිවරයා යනු "විමර්ශකයෙකු" (Investigator) නොව "පැමිණිලිකරුවෙකි" (Prosecutor) එම නිසා එවැනි වාර්තාවක් ලබා දුන්නද ඒ පිලිබදව අවසාන අභිමතය පවතින්නේ නීතිපති දෙපාර්තමේන්තුවටය.
නමුත් එම තීරනය ගන්නේද සොලිසිටර් ජනරාල්වරයාට මිස නීතිපති වරයාට නොවේ.
එම නිසා එංගලන්ත සංචාරයේ දූෂණයක් සිදුවී ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම (CIABOC) හෝ රහස් පොලිසිය විසින් නිසි විමර්ශනයක් පවත්වා නීතිපතිවරයා වෙත ගොනුවක් (File) එවා නොමැති නම්, සොලිසිටර් ජනරාල් වරයාට නඩු පැවරීමේ බලයක් ලැබෙන්නේ නැත.
එසේම පවතින සාක්ෂි විශ්ලේෂනය කොට නඩු පවරනවාද නැද්ද යන තීරනය ගන්නේ පහල සිට ඉහලට යන තීන්දු ගැනීමේ ක්‍රියාවලියක බව අමතක නොකල යුතුය.
පරින්ද රණසිංහ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පෙර, එම දූෂණය පිළිබඳ විමර්ශනයක් නොකළ හෝ බොරු චෝදනා මත නඩු කටයුතු ආරම්බ කල විමර්ශන ආයතනවලින් ඒ පිලිබදව ප්‍රශ්න කළ යුතුව තිබේ.
දැන් කෙරෙන්නේ රහස් පොලිසියේ විලි වසා ගන්නට නීතිපති වරයාට දෝශාභියෝගය නමැති තර්ජනාංගුලිය සමාජ මාධ්‍ය හරහා එල්ල කිරීමය.
මේ කරන්නේ සමාජ මාධ්‍ය හරහා ජනාධිපති වරයාට බල කොට ( උදා. දන්ඩ නීති සංඝ්‍රහය සංශෝදනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරන අත්හැරියා සේ) ඒ හරහා නීතිපති වරයාව පදනමක් නැති දෝශාභියෝගයක තර්ජනාංගුලිය මත සිය තනතුර බේරා ගැනීම වෙනුවෙන් යම් පෙලඹවීමක් සිදු කරලන්නටය.
නමුත් මම සිතන්නේ පාරින්ද රනසිංහ පරම්පරාව එවැනි බාල තර්ජනයකට යට නොවනු ඇති බවය.
මේ අයගේ දෙවන චොදනාව වන්නේ ලසන්ත වික්‍රමතුංග නඩුවේ දී සාක්ෂිවල ප්‍රමාණවත්ව තිබියදී පුදගලයන් චෝදනා එල්ල නොකිරීමයි.
අප දන්නා නීතියට අනුව නීතිපතිවරයා පුද්ගලයන් නිදහස් කරනවා නම් කරන්නේ "කරුණාවකට" නොව මහාධිකරණයේදී එම නඩුව පැරදීමට ඇති සම්භාවිතාව 90%කට වඩා වැඩි මට්ටමක පවතින විටය.
මොවුන් නීතිය නොදන්නා කමට චෝදනා කලද නීතිපති දෙපාර්තමේන්තුව මෙවැනි නිදහස් කිරීම් කරන්නේ Autrefois Acquit සංකල්පය එනම් පෙර නිදහස් කිරීමේ මූලධර්මය ආරක්ෂාකර ලීමටය.
ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව කඩිමුඩියේ නඩු පවරා සැකකරුවන් නිදහස් වුවහොත්, පසුව නව සාක්ෂි හමුවුවද ඔවුන්ට එරෙහිව නැවත එම වරදටම නඩු පැවරිය නොහැකි බව නීතිය ගැන දන්නා අයගේ මතයයි.
නීතිපතිවරයා යම් පුද්ගලයකු නිදහස් කර ඇත්නම් එසේ සිදු කර ඇත්තේ නීතිය ආරක්ෂා කිරීමේ උපායමාර්ගයක් බව අප විශ්වාස කරයි.
එසේ නොමැති නම් සනත්ලා සහ සරෝජ්ලා කල යුත්තේ රහස් පොලිසියේ ප්‍රධානියා ලවා නීතිපතිගේ වැරදි තීන්දු හේතු සහිතව ඔප්පු කිරීමට කටයුතු කිරීමයි. එය සිදු කල එක් ආකාරයක් වන්නේ පාර්ලිමේන්තුව ඉදිරියේ දිග හැරෙන දෝශාභියෝග ක්‍රියාවලියකි.
එවැනි දෝෂාභියෝගයක පවතින ප්‍රායෝගික සහ නෛතික බාධාවන් වන්නේ නීතිපතිවරයෙකු ඉවත් කිරීම සදහා බරපතල විෂමාචාරයක්" ඔප්පු කළ යුතුවීමයි.
සනත් බාලසූරිය හෝ සාරෝජ් පතිරණ පවසන පරිදි "නීතිමය මතයක් ලබා නොදීම හෝ "නඩු නොපැවරීම" විෂමාචාරයක් නොවේ.
එය නීතිපතිවරයා සතු ස්වාධීන අභිමතයකි. (Prosecutorial Discretion). එම අභිමතය ප්‍රශ්න කිරීමට නම් ඒ සදහා නීතිය ඉදිරියේ පිලිගත් නිර්නායක පවතී.
එම නිසා මුහුණුපොතේ හෝ යූටියුබ් අඩවිවල කෙරෙන "සංස්කෘතික විනිශ්චයන්" (Cultural Trials) මත පදනම්ව නීතිපතිවරුන් ඉවත් කිරීමට ගියහොත්, මෙරටේ ක්‍රියාත්මක කිසිදු නීති නිලධාරියෙකුට ස්වාධීනව තීන්දුවක් ගැනීමට නොහැකි වනු ඇති බව කිව යුතුව තිබේ.
එසේ ඉඩහැරිය හොත් නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ගේ සහ දේශපාලනඥයන්ගේ සිරකරුවන් බවට පත්වීමේ අවධානමද ඉහලය.
අප විශ්වාස කරන්නේ වත්මන් රජය දූෂණයට එරෙහිව දැඩි ස්ථාවරයක සිටියද, ඔවුන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉක්මන් නොවනු ඇති බවය.
ඒ බව දැනටමත් අධිකරන ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කොට තිබේ.
යම් හෙයකින් එවැනි අමනෝඤ හා ආවේගී පියවරකට රජය ප්‍රවිශ්ඨ වුවහොත් එමගින් රටේ ආයතනික ස්ථාවරත්වය මුලු මනින්ම බිද වැටෙනු ඇති බව කිව යුතුව තිබේ.
මක්නිසාද යත් නීතිපති ධුරය සෙලවීම යනු මුළු යුක්ති ධර්ම පද්ධතියම අස්ථාවර කිරීමක් වන නිසාය.
අපට කියන්නට ඇත්තේ සාරෝජ් පතිරණ සහ සනත් බාලසූරිය යන මහත්වරුන්ගේ තර්ක පදනම් වී ඇත්තේ "ප්‍රතිඵලය" (Outcome) මත මිස "ක්‍රියාවලිය" (Process) පිලිබදව පවතින අවබෝදයකින් නොවන බවය.
ලසන්ත වික්‍රමතුංග නඩුවේදී හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරක වියදම් සම්බන්ධයෙන් හෝ නීතිපතිවරයා ගෙන ඇති තීරණ වෘත්තීයමය තීරණ මිස දේශපාලන "ඩීල්" නොවන බව මාගේ පුද්ගලික විශ්වාසයයි.
එම නිසා පරින්ද රණසිංහ මහතාට එරෙහිව පදනම් විරහිත දෝෂාභියෝගයක් ගෙන ඒමට සරන නිරර්ථක උත්සාහය සමාජයක් ලෙස අප අධෛර්මත් කල යුතුව තිබේ.
යම් හෙයකින් ආන්ඩුව එවැන්නකට පෙලඹන හොත් එය ආන්ඩුවේ දේශපාලන අවසානයද වනු නියතය.
මක් නිසාද යත් එවැනි ක්‍රියාවක් නීතියේ ආධිපත්‍යයට එරෙහිව කෙරෙන දේශපාලන ප්‍රහාරයක් වන නිසාය.
අප ශිරානි බන්ඩාරනායක ඉවත් කලදා මේ බව පසක් කරගත්තෙමු. එසේ නම් එවැන්නක් සිදු කොට නැවත විගඩමක් රග දක්වන්නේ කුමකටද?
(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com
@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...
සබැඳි ලිපි :




