The Leader News
BREAKING
Top Ad
Opinion

මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

T

The Leader Desk

January 23, 2026 • 4:22 AM

මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මේ දිනවල රට පුරා කතිකාවතක් ඇති වී තිබේ. බොහෝ පාර්ශ්වයන් මීට එරෙහිව ද, තවත් පිරිසක් මීට පක්ෂව ද අදහස් දක්වනු මාධ්‍ය තුළින් දක්නට ලැබේ. මෙම කතිකාව ඇරඹුණේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ (Module) අන්තර්ගත වූ අසැබි වෙබ් අඩවියක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය.
  • නමුත් පළමු වසර සඳහා වන ප්‍රතිසංස්කරණ, සැලසුම් කළ පරිදිම මේ මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.
  • දැනට ප්‍රශ්නගතව ඇත්තේ මෙලෙස හඳුන්වා දුන් අලුත් විෂය මාලාවේ එක් විෂයක අඩංගු කරුණක් සම්බන්ධව පමණි.
  • මෙලෙස අධ්‍යාපන විෂයයන් සහ ඉගැන්වීමේ/ඇගයීමේ ක්‍රමවේදයන් ක්ෂණිකව වෙනස් කිරීමේ අවශ්‍යතාවක් තිබේද?
අකුරු ප්‍රමාණය (Font Size):


රට පුරා මීට එරෙහිව නැඟුණු විරෝධතා හමුවේ රජය විසින් හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් තබන ලදී. නමුත් පළමු වසර සඳහා වන ප්‍රතිසංස්කරණ, සැලසුම් කළ පරිදිම මේ මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් අදහස් කරන මූලික කරුණු දෙකක් තිබේ. එනම්:

 



විෂය මාලාව සම්පූර්ණයෙන්ම අලුත් කිරීම.

අධ්‍යාපනය ලබාදෙන ක්‍රමවේදය සහ ඇගයීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කිරීම.

දැනට ප්‍රශ්නගතව ඇත්තේ මෙලෙස හඳුන්වා දුන් අලුත් විෂය මාලාවේ එක් විෂයක අඩංගු කරුණක් සම්බන්ධව පමණි. නමුත් මෙහිදී මීට වඩා සැලකිය යුතු බොහෝ කරුණු පවතී. විෂය මාලා සංවර්ධනය නිරතුරුවම සිදුවෙමින් පැවතිණි. නමුත් ඒ වෙනුවට මෙවර සම්පූර්ණයෙන්ම වෙනස් විෂයයන් රාශියක් හඳුන්වා දී තිබේ.

පැවති විෂය නිර්දේශය සංවර්ධනය කරනු වෙනුවට, අලුත් විෂය නිර්දේශයක් හෝ අලුත් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීම ඉතා සීරුවෙන් කළ යුත්තකි. එය මනා විනිවිදභාවයකින් යුක්තව, අධ්‍යාපනවේදීන්, මනෝවිද්‍යාඥයන් සහ විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව වැනි අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව මනාව සැලසුම් සහගතව සිදු කළ යුතුය. එහිදී එම ක්‍රමවේදයන් සහ විෂය මාලාව රටේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පසුබිමට ගැළපෙන පරිදි සකස් කිරීමට ද වගබලා ගත යුතුය. නැතහොත් සිදුවන්නේ මහා නස්පැත්තියකි.



මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරුවරුන් මනාව පුහුණු කිරීම මෙන්ම නියමු ව්‍යාපෘති (Pilot Projects) තෝරාගත් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම යන සියල්ල වසරක් වැනි කෙටි කාලයකදී අවසන් කොට ක්‍රියාත්මක කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවේ. මුළු රටේම අනාගතය සම්බන්ධ මෙවන් තීරණාත්මක පියවරක් කඩිමුඩියේ ගැනීම කෙසේවත් නොකළ යුත්තකි. මෙලෙස අධ්‍යාපන විෂයයන් සහ ඉගැන්වීමේ/ඇගයීමේ ක්‍රමවේදයන් ක්ෂණිකව වෙනස් කිරීමේ අවශ්‍යතාවක් තිබේද? පවතින ක්‍රමයේ දුර්වලතා මෙමඟින් සැපිරෙන්නේද? යන්න පළමුව ගැඹුරින් සාකච්ඡා කළ යුතුය.

අපේ රටේ මෙන්ම විදේශ රටවලත් ක්‍රිස්තු පූර්ව අවධියේ සිට දැනුම සම්ප්‍රේෂණය වූයේ ප්‍රධාන වශයෙන් කටපාඩම් ක්‍රමවේදය ඔස්සේය. නමුත් 1440 දී ජර්මන් ජාතික ජොහෑන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමෙන් අනතුරුව, යුරෝපීය අධ්‍යාපන ක්‍රමයට පෙළපොත් හඳුන්වා දෙන ලදී. යටත් විජිත යුගයේදී මෙම අධ්‍යාපන ක්‍රමය ලොව පුරා ව්‍යාප්ත විය.

 

education

සියලුම පාසල් දරුවන්ට සමාන විෂය නිර්දේශයක් යටතේ, අවම පහසුකම් සහිතව වුවද දැනුම සම්ප්‍රේෂණය කළ හැකි වූ මෙම ක්‍රමය “ගුරුවරයා කේන්ද්‍ර කරගත්” ක්‍රමවේදයක් විය. පෙළපොත් පරීක්ෂා කිරීමෙන් දරුවන්ට ලබාදෙන අධ්‍යාපනයේ පියවරයන් විනිවිදභාවයකින් යුක්තව සමාජයට දැකගත හැකි විය. ළමයින් 40-50 ක් පමණ සිටින පන්තිවලට මෙම ක්‍රමය මනාව ගැළපෙන අතර, මේ සඳහා අධික තාක්ෂණික මෙවලම් භාවිතය අත්‍යවශ්‍ය නොවේ. විභාග ක්‍රමය ද සරල වූ අතර, ජාතික මට්ටමින් ස්වාධීන ගුරුවරුන් විසින් ඇගයීම් සිදු කිරීම නිසා ඒ සඳහා ඉහළ පිළිගැනීමක් තිබිණි.

දකුණු ආසියාවේ ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය මෙන්ම වියට්නාමය, මියන්මාරය, ඉරානය, ඉරාකය සහ ඊජිප්තුව වැනි රටවල් රැසක තවමත් ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ මෙම පෙළපොත් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයයි.

මීට සාපේක්ෂව, දෙවන ලෝක යුද සමයෙන් පසුව (1950 දී පමණ) වැඩිහිටි අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා ඇමෙරිකාවේ හඳුන්වා දුන් “මොඩියුල ක්‍රමය” පසුව පාසල් අධ්‍යාපනයට ද එක් විය. මෙහිදී ගුරුවරයා වෙනුවට “ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත්” අධ්‍යාපනයක් ක්‍රියාත්මක වේ. වාර විභාග වෙනුවට අඛණ්ඩ ඇගයීම් සිදු කෙරේ.

නමුත් ලංකාව වැනි රටක මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු කිහිපයක් පැනනඟී:

 

online education

තාක්ෂණික ගැටලු:
අන්තර්ජාලය සහ තාක්ෂණික මෙවලම් සියලු පාසල්වලට නොමැති වීම.

පන්තිවල සිසුන් සංඛ්‍යාව:
සිසුන් විශාල පිරිසක් සිටින පන්තිවල එක් එක් දරුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කිරීම අපහසු වීම.

අමතර පන්ති (Tuition) සංස්කෘතිය:
රජයේ පාසල්වලින් නිසි මඟපෙන්වීමක් නොලැබේ යැයි බියෙන් දෙමාපියන් දරුවන් තවදුරටත් ටියුෂන් පන්ති වෙත යොමු කිරීම.

ඇගයීමේ අපක්ෂපාතීත්වය:
පන්තිභාර ගුරුවරයා විසින්ම ලකුණු ලබාදීමේදී පෞද්ගලික ලැදියාවන් හෝ වෙනත් බලපෑම් මත ඇගයීම් වෙනස් වීමේ අවදානම ඒ අතුරින් ප්‍රධානය.

අපේ රටේ විශ්වවිද්‍යාල වරම් ලැබීම සඳහා පවතින්නේ දැඩි තරගයකි. විනිවිදභාවයකින් තොරව ගුරුවරුන් ලබා දෙන ලකුණු මත ළමයින්ගේ අනාගතය තීරණය වන්නේ නම්, තම දරුවන්ට අසාධාරණයක් වූ බව පවසමින් දෙමාපියන් විසින් ගුරුවරුන්ට එරෙහිව පෞද්ගලිකව නඩු පැවරීමේ ප්‍රවණතාවක් අනාගතයේදී ඇති විය හැකිය.

Online education 2

එසේම, කුඩා දරුවන් අන්තර්ජාලයට යොමු කිරීම නිසා ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු ද අවතක්සේරු කළ නොහැක. කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් පවා වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට පියවර ගනිමින් සිටින වකවානුවක, අපේ රටේ දරුවන් බලහත්කාරයෙන් ඒ වෙත තල්ලු කිරීමේ ආදීනව බරපතළ විය හැකිය.

සැබැවින්ම අපේ රටේ අධ්‍යාපනය යල් පැන ගොස්ද? පවතින අධ්‍යාපන ක්‍රමය හරහා බිහිවූ උගතුන් සහ බුද්ධිමත්තු ලෝකයේ දියුණු රටවල පවා ඉහළ වෘත්තීන්හි නිරත වෙති. එසේ නම් අපගේ අධ්‍යාපන ක්‍රමය “යල් පැන ගිය” එකක් ලෙස හඳුන්වන්නේ කවුද? ඒ සඳහා පවතින සාධක මොනවාද? යන්න පැහැදිලි කළ යුතුය.

 

education 260121

සම්පූර්ණ සැලසුමකින් තොරව ආරම්භ කරන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය “මෙගා ටෙලිනාට්‍යයක්” මෙනි. එහි අවසානය කුමක්දැයි කිසිවෙක් නොදනී. අධ්‍යාපන ක්‍රමවේදයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුත්තේ විද්වතුන්ගේ පුළුල් සහභාගීත්වයෙන් මිස, අත්තනෝමතික ලෙස නොවේ. නමුත් රජය අවධාරණය කරනුයේ මොන මොන බාධක ආවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නතර නොකරන බවකි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අයිතිය රජයට තිබුණද, එය විනිවිදභාවයකින් තොරව සහ ජාතික කතිකාවකින් තොරව සිදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම “පොදු භාර මූලධර්මය” (Public Trust Doctrine) උල්ලංඝනය කිරීමක් විය හැකි බව ද අවසාන වශයෙන් පෙන්වා දිය යුතුය.

palitha
(සටහන | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ)

| vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙගා ටෙලිනාට්‍ය වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බැහැ | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ | The Leader