ළමුන් අඩු පාසල් වැසීම පසුගිය අවුරුදු ගණනාවක් පුරා කතා බහට ලක් වූ මාතෘකාවකි. පසුගිය වසරවල වැඩි අවධානයක් නොමැතිව ළමුන් අඩු යැයි වසා දැමූ පාසල් ඇත. බොහෝ විට ඒවා ගැන කියනු ලැබුවේ “පාසල් වැසී ගියා” යැයි කියා ය.
පාසල් වැසීමට පෙර ගුරු දෙගුරුන් සමග ආණ්ඩුවේ බලධාරීන් කතා කළ යුතු යැයි මා කියන්නේ මේ හේතු දැක්වීම් මත ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ “වාර්ෂික පාසල් සංගණන වාර්තා” වලට අනුව මීට අවුරුදු 10 ට කලින් 2015 දී සමස්ථ පාසල් සංඛ්‍යාව වූයේ 10,144 කි. 2020 දී ඒ පාසල් සංඛ්‍යාව 10,155 ක් දක්වා වැඩි වී ඇත. එවගේම 2015 දී ළමුන් 50 ට අඩු පාසල් 1,515 ක් වූ අතර, 2020 දී ඒ සංඛ්‍යාව 1,439 දක්වා පාසල් 76 කින් අඩු වී ඇත. එළෙසින්ම 2015 දී ගුරුවර ගුරුවරියන් 10 ට අඩු පාසල් 3,113 ක් වූ අතර, වසර 05 ට පසු ගුරුවර ගුරුවරියන් 10 ට අඩු පාසල් සංඛ්‍යාව 3,044 දක්වා අඩු වී තිබිණ.

මේ වසර 05 දී, (2015 සිට 2020 දක්වා) පාසල් අධ්‍යාපනයෙහි දැකිය හැකි ප්‍රවණතාව එවැනි ය. පාසල් සංඛ්‍යාව වැඩි වීමත් ළමුන් අඩු පාසල් සංඛ්‍යාව අඩු වීම සමග ගුරුවර ගුරුවරියන් අඩු පාසල් සංඛ්‍යාවද අඩු වීම ය. එය පාසල් අධ්‍යාපනයෙහි අනෙක් සියලු අඩු පාඩු, පිරිහීම් හමුවේ වූවත් වැදගත් වර්ධනයකි.
ඊළග 2025 වසර සම්පූර්ණ වූයේ පසුගිය දෙසැම්බරයේ වන හෙයින්, 2025 වසරේ සංගණනය කිරීමට කාලයක් නොවන්නට ඇත. එබැවින් 2024 වසරේ සංගණන වාර්තාව සළකතොත්, 2020 න් පසු 2024 වසර අවසන් වන විට තත්ත්වය වූයේ 2020 දී තිබූ පාසල් 10,155, ඊළඟ සිව් වසර තුල 2024 අවසන් වන විට පාසල් 10,047 දක්වා අඩු වී තිබීමය. ඒ අඩුවූ පාසල් 108 වසා දැමුවේද? වැසී ගියේද? ඒ කෙසේද? ඉතිරි වූ පාසල් 10,047 න් ළමුන් 50 ට අඩු පාසල් සංඛ්‍යාව 1,645 දක්වා ඉහළ ගියේ කෙසේද? සමස්ථ පාසල් සංඛ්‍යාව 108 කින් අඩු වන විට, ගුරුවර ගුරුවරියන් 10 ට අඩු පාසල් සංඛ්‍යාව 3,065 දක්වා පාසල් 21 කින් වැඩි වූයේ කෙසේද? මේවා විමසිය යුතු කාරණා ය.
මෙවැනි වෙනස්කම් සිදුව ඇති පසු බිමක, 2015 - 2020 දක්වා වර්ධනයක් තිබෙන්නටත් ඉන් පසු වසර 04 හි ඒ වර්ධනය කඩා වැටෙන්නටත් සැළකිය යුතු හේතු සාධක තිබිය යුතුය. එබැවින් ළමුන් සංඛ්‍යාව 50 ට අඩු යැයි පාසල් වසා දැමීම, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට හා ආණ්ඩුවට පහසු වූවත් එය ළමුන්, දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් හමුවේ අතිශය පීඩාකාරී අසාධාරණ, හිතුවක්කාරී තීන්දුවකි. සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කළ යුතු ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක පාසල් වැසීමට තීන්දු ගැනීම තාර්කික, ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික එළැඹුමක් නොවේ.

මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව 34/2025 චක්‍රලේඛය නිකුත් කරමින් වසා දමන්නට තීන්දු කළ පාසල් 1,506 ඇත්තේ කවර ප්‍රදේශවල දැයි විමසීමේදී ළමුන් 50 ට අඩු පාසල් අතිබහුතරයක් නාගරික ප්‍රදේශ වලින් බැහැර බැව් දැකිය හැකිය. කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් 122 කින් ළමුන් 50 ට අඩු පාසල් ඇත්තේ 02 කි. හෝමාගම හා පිළියන්දල කලාප වල පාසල් 184 කින් එවැනි පාසල් ඇත්තේ 11 බැගින් 22 කි. ඒවා වැඩිමනත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ය. ශ්‍රී ජයවර්ධනපුර පාසල් 85 කින් 06 කි.
බස්නාහිර පළාතෙන් පිටතට ගිය විට, මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 03 හි තෙල්දෙනිය අධ්‍යාපන කලාපයේ පාසල් 96 න් පාසල් 31 ක්ද, විල්ගමුව අධ්‍යාපන කලාපයේ පාසල් 45 න් 15 ක්ද, වලපනේ පාසල් 89 න් 29 ක්ද ළමුන් 50 ට අඩු පාසල් හෙයින් වසා දැමිය යුතුය. ඌව පළාතේ පාසල් 892 න් පාසල් 172 ක් වැසිය යුතුය. මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 132 කින් පාසල් 40 ක් වැසිය යුතුය. මුල්ලතීවු දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 58 න් 25 ක් වැසිය යුතුය. කෑගල්ල දිස්ත්‍රික්කයේ කලාප 03 හි පාසල් 498 න් 120 ක් වැසිය යුතු ය. මේ ග්‍රාමීය ප්‍රදේශ සැළකූ විට ඔවුන්ගේ පාසල් වලින් සියයට 20 - 25 ත් අතර සංඛ්‍යාවක් පීඩිතයින් රැක බලා ගැනීමට පත් කෙරුණු මේ ආණ්ඩුව විසින් වසා දැමීමට නියමිත ය.
මෙහිදී ආණ්ඩුව හා අධ්‍යාපන නිලධාරීන් අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණා 03 ක් වන්නේ, (1) වැසීමට නියමිත පාසල පිහිටි ප්‍රදේශයේ පාසල් යන ළමුන්ගෙන් කොපමණ සංඛ්‍යාවක් වෙනත් පාසල් වෙත යන්නේද සහ ඒ මන්ද? (2) ප්‍රදේශයේ ළමුන්ගෙන් සුළු හෝ ළමුන් සංඛ්‍යාවක් වැසීමට නියමිත පාසලට එන්නේ මන්ද? සහ (3) ප්‍රදේශයෙන් පිටත පාසල් වෙත යන ළමුන්ගෙන් වැදගත් සංඛ්‍යාවක් ප්‍රදේශයේ පාසල දියුණු කරන්නේ නම්, එයට මාරු වනු ඇතිද? යන්න ය.

මා දන්නා තරමින් මෙතුවක් කල් එවැනි නිල සොයා බැලීමක් සිදුව නැත. ඒ වගකීම ඉටු නොකළ අධ්‍යාපන නිලධාරීන්ගේ කීමට පාසල් වැසීම සඳහා තීන්දු ගන්නට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැත. එවගේම පාසල් වැසීමේ හදිසි අවශ්‍යතාවයක් කලබලයක් තිබිය නොහැක. එනිසා, (අ) නවතම 34/2025 චක්‍රලේඛය වහා අත්හිටුවා පාසල් වැසීමද ඒ සැණෙන් නතර කරන ලෙසත් (ආ) පාසලෙහි විදුහල්පති/පතිනිය, දැනට සේවය කරන ගුරුවර ගුරුවරියන් හා ළමුන්ගේ දෙමාපයින් සමගත් ප්‍රදේශයේ සෙසු දෙමාපියන් සමගත් (ඇ) පාසල පිහිටි ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය සමගත් ඉදිරි මාස 03 ඇතුළත සාකච්ඡාකර, ඒ අනුව එළැඹිය හැකි නිගමන හා නිර්දේශ ඇතුළත් වාර්තා දෙමාපියන්ට සහ පළාත් පාලන ආයතනයට ලබාදී, එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතනය විසින් සම්මත කරන යෝජනාව අනුව පියවර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් අනුගමනය කරන මෙන් මම ආණ්ඩුවට යෝජනා කරමි.
වැසීමට සූදානම් මේ පාසල්වල ළමුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සහ ගුරුවර ගුරුවරියන්ගේත් දෙමාපියන්ගේත් එකඟතාවය ලබා ගැනීම වෙනුවෙන් එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් තුල විසඳුම් ඉල්ලා සිටින මෙන් මම ගුරු සංගම් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන්ද ඉල්ලා සිටිමි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජනවාරි 23 වන දින




