The Leader News
BREAKING
Top Ad
Opinion

ලෙනින් නිවැරැදිව කියවමු !

T

The Leader Desk

January 27, 2026 • 12:15 PM

ලෙනින් නිවැරැදිව කියවමු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු 15 ක පමන කාලයක සිට අවුරුදු පතා ලෙනින් කියවන බව පවසන ලාල් කාන්ත ඇමතිවරයා ඔහු නියෝජනය කරන පක්ශය තවමත් ලෙනින්ගේ අඩි පාරේ ගමන් කරන බව පැවසුවේ පසුගිය ජනවාරි 21 වනදා මහවැලි කේන්ද්‍රයේ පැවති "ලෙනින් කියවමු" නැමති ජන හමුවකදීය. එය සංවිධානය කොට තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසිනි.
  • එය එකවර කල නොහැකි වූවත් අදියර කීපයකින් හෝ කල යුතු බව අවධාරනය කලේය.
  • ආණ්ඩුව වැඩකරගෙන යන්නේ ඒ න්‍යායික පදනම මත බව පැවසූ ඇමතිවරයා ඒ සදහා ගෙනයන උපක්‍රමික වැඩපිලිවෙල මාධ්‍යය ඉදිරියේ ප්‍රසිද්ධව පැවසිය නොහැකි බව කීය.
  • එම වැඩපිලිවෙල හෙලිදරව් කල හැක්කේ තම පක්ශයට පමනක් බවත් එය දැනටමත් කර තිබෙන බව වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂකරනයට වඩා ආණ්ඩුකරනය පහසුබව කී ඇමතිවරයා ඊලගට තියෙන්නේ රාජ්‍යය බලය අල්ලාගැනීම බවත් ඊට රටේ මතවාදයක් සෑදියයුතු බවද පැවසුවේය. එය එකවර කල නොහැකි වූවත් අදියර කීපයකින් හෝ කල යුතු බව අවධාරනය කලේය. ආණ්ඩුව වැඩකරගෙන යන්නේ ඒ න්‍යායික පදනම මත බව පැවසූ ඇමතිවරයා ඒ සදහා ගෙනයන උපක්‍රමික වැඩපිලිවෙල මාධ්‍යය ඉදිරියේ ප්‍රසිද්ධව පැවසිය නොහැකි බව කීය. එම වැඩපිලිවෙල හෙලිදරව් කල හැක්කේ තම පක්ශයට පමනක් බවත් එය දැනටමත් කර තිබෙන බව වැඩිදුරටත් පැවසීය.

 



තවටික කාලයකදි, යම් මොහොතකදී, අපට කියන්න පුලුවන් වෙන්න ඕන ආණ්ඩුවත් රජයත් දෙකම එකයි කියලා. නමුත් ආණ්ඩුව ගන්න කලා වගේ කැපවීමක් ඒකට තියෙනවද යන ප්‍රස්නය අඩු වැඩි වශයෙන් තමන් තුල තිබෙන බව ලාල් කාන්ත ඇමතිවරයා පැවසීය. එහෙම කැපවීමක් නෑ වගේ කියල තමන්ට දැනෙන බවද ඔහු කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදී ඉතිහාසය

 

ජවිපෙ ඉන්දියන් විරෝධය ඇත්තක් ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ජවිපෙ නායකයන් එදා සිට විවිධ මාක්ස්වාදී නායකයන් කී දේ උපුටා දක්වමින් ඒවා තමන්ගේ දේශපාලනයට ගැලපෙන ලෙස අවබාවිතා කලේය. සුලු ධනේශ්වර පංතියට නායකත්වය සැපයූ ජවිපෙ ආරම්භයේ සිටම විවිධ දේශපාලන මතවාද හරහා වමට සහ දකුණට දෝලනය වූ පක්ශයකි. එම පංතියේ ස්වභාවය එසේ බව පවසා ඇත්තේ ඔවුන්ම උපුටා දක්වන මාක්ස්වාදී ගුරුවරුන්ය. මුල් අවදියේදී ඉංදියානු ව්‍යාප්තවාදයක භීතියක් සමාජගත කල ජවිපෙ ඉන් ටික කලකට පසු දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය (වෙන්වීමේ අයිතිය) පවා පිලිගන්නා රැඩිකල් ස්ථාවරයකට මාරුවිය. නමුත් ඊලග කාල පරිච්ඡේදයේදී ජාතිවාදී දක්ශිනාංශිකයින් සමග එකට පෙලගැසෙමින් උතුරු නැගෙනහිර පලාත්වලට පලාත්සබා බලය ලබාදීමට පවා විරුද්ධවූයේය. එම පලාත්සබා විරෝධී අරගලය මිනීමරු යුද්ධයක් දක්වා ප්‍රවර්ධනය කලේය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිගත් වාමාංශිකයින්, වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය නායකයන්ගේ සිට සාමාන්‍ය චන්දදායකයින් පවා කුරිරු ලෙස මරා දැමීමට තරම් ඔවුන් සහාසික විය.

මේ සෑම අවස්ථාවකදීම තමන්ගේ ක්‍රියා පටිපාටිය සාධාරණය කිරීමට විවිධ මාක්ස්වාදී කියමන් උපුටා දක්වන ලදී. මාක්ස්වාදය රටට ගැලපෙන ලෙස යොදාගතයුතු යැයි පවසමින් ඒවා විකෘති කරමින් අවස්ථාවාදී ලෙස පාවිච්චි කලේය. ලාල්කාන්තලා අදත් කරමින් සිටින්නේ ඒ වැඩේමය.

 

accordiuytv45
එදා ඉංදු ලංකා ගිවිසුමට සහය දැක්වූ වාමාංශිකයින් හඹාගොස් ඝාතනය කලේ ලෙනින් කීවා යැයි කියන දුරස්ථ සතුරාට කලින් සමීප සතුරා විනාශ කලයුතු යැයි කියන පාටයක් යොදා ගනිමිනි. ලෙනින් අවධාරණය කලේ අධිරාජ්‍යවාදී සතුරා පරාජයකිරීමට වඩා දේශීය පාලක පංතිය සහ රාජ්‍යය පරාජය කිරීමට මූලිකත්වය දිය යුතු බවයි. ඔහු මේ බව අවධාරණය කලේ පලමුවන ලෝක යුද්ධයේදී විප්ලවවාදීන් විදේශීය සතුරා පැරදවීමට දේශීය ධනපතියන්ට සහය පල කිරීමට විරුද්ධවයි. ජවිපෙ මේ අදහස තමන්ගේ මිනීමරු වැඩපිලිවෙල සාධාරණීකරණය කිරීමට පාවිච්චි කලේය.

ජවිපෙ දක්ශිනාංශික ආණ්ඩු සමග සභාග ගතවී සිටි අවදියේත්, ජාතිවාදීන් සමග පෙරමුණු ගැසූ කාලයෙත් කිසිම හිරිකිතයකින් තොරව කාල් මාක්ස්, ලෙනින් සහ එංගල්ස්ගේ පිංතූර සහ රතු කොඩි ගෙන පෙලපාලි ගියේ තමන් මාක්ස් ලෙනින්වාදීන් යැයි පවසමිනි. අදත් පැලවත්ත කාර්‍යාලයේ සංකේත ලෙස මේ නායකයින්ගේ පිංතූර එල්ලාගෙන සිටින්නේ එදා දැඩි ලෙස හෙළා දුටු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ඉතා කැපවීමකින් ක්‍රියාත්මක කරමිනි. නමුත් ලාල් කාන්තට අනුව ඔවුන් තවමත් සිටින්නේ ඒ සමාජවාදී ව්‍යාප්පෘතියේමය. දැන් ආණ්ඩු බලය අත්පත්කර ගෙන සිටිනා ඔවුන්ගේ ඊලග අරගලය රාජ්‍යය බලය අල්ලාගැනීමය.

 

ලාල් කාන්ත මේ කරන්නේ පහල සාමාජිකත්වය තවත් වටයකින් ගොනාට ඇන්දවීමය. පංති පහ කොට මොළ සෝදා ඇති පාක්ශිකයන්ට පවසන්නේ ධනවාදය හරහා සමාජවාදයට යන බවයි. ධනවාදයට නොහැකිවූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කාරනා තමන් ඉටුකරමින් සිටිනා බවයි. ලාල් කාන්ත කියන ප්‍රජාතන්ත්‍රවාදී කාරනා ඉශ්ට කිරීමට ධනවාදයට නොහැකිබව කීවේද ලාල් ඉහලින් අදහන ලෙනින්ම බව ඔහු සාමාජිකත්වයට පවසන්නේ නැත. ධනේශ්වර ආර්ථිකයක් තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීමට නොහැකි බව ලෙනින් නැවත නැවතත් තර්ක කළේය. මන්ද ධනවාදය යටතේ සැබෑ බලය පවතින්නේ තේරී පත් වූ ආයතන සමඟ නොව ප්‍රාග්ධනයේ, බැංකු සහ ඒකාධිකාරයේ හිමිකරුවන් සමඟ ය. ලෙනින්ගේ මතය අනුව, ධනවාදය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු විධිමත් හෝ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් පමණි.

ජාතික ජන බලවේගය සහ "රාජ්‍ය බලය අල්ලා ගැනීමේ" මායාව

ජාතික ජන බලවේගය බලයට පත් වූයේ "රාජ්‍යය අල්ලා ගන්නා" බවත් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කළ ප්‍රභූ ජාලයන් විසුරුවා හරින බවත් පවසමිනි. වාම දේශපාලන න්‍යාය තුළ, රාජ්‍ය බලය අල්ලා ගැනීම යනු රජයක් පිහිටුවීම හෝ අමාත්‍යාංශ අත්පත් කර ගැනීම නොවේ. එහි තේරුම රාජ්‍යය කෙරෙහි ප්‍රාග්ධනයේ ආධිපත්‍යය, විශේෂයෙන් මූල්‍ය ප්‍රාග්ධනයේ බලය, ඒකාධිකාරී ව්‍යාපාරික අවශ්‍යතා, මැතිවරණ ප්‍රතිඵල නොසලකා ආර්ථික ප්‍රතිපත්තිය නියම කරන බාහිර ක්‍රියාකාරීන් යන ආදිය බිඳ දැමීමයි. මෙම ප්‍රමිතියට අනුව, IMF වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වන රජයකට රාජ්‍ය බලය අල්ලා ගත නොහැක. ජාත්‍යයන්තර අරමුදලේ කොන්දේසි මගින් මූල්‍ය සීමාවන් නිර්වචනය කරයි, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරයි, සමාජ වියදම් අඩු කරයි, සහ ප්‍රජාතන්ත්‍රවාදී තේරීම් පටු කරයි. මෙම පරාමිතීන්ට අනුව ක්‍රියා කරනවා යනු රටේ ස්වෛරීභාවය අතහරිනවා යන්නයි.

Nandalal Weerasinghe 01ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ශක වරයෙකි. ඔහු එම තනතුරට කැදවාගෙන එන්නේම එම අරමුදලේ විශ්වාසය ගොඩනැගීමට සහ එහි වැඩපිලිවෙල ක්‍රියාත්මක කිර්‍ර්මටයි. එසේ තිබියදීත්, ජාතික ජන බලවේගය IMF රාමුව වැළඳගෙන ඇතිවා පමණක් නොව, එය ආරක්ශා කරන්නේ නොවැළැක්විය හැකි සහ වගකිවයුතුව ආරක්ෂා කලයුතු වැඩපිලිවෙලක් ලෙසයි.

ඒ සමඟම, ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමේ හවුල්කරුවන් ලෙස බලවත් දේශීය ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගෙන ඇත. මෙය ප්‍රායෝගික විසදුම බව ඔවුන් පවසති. නමුත් යථාර්ථය නම් ජාතික ජන බලවේගය විසින් විසුරුවා හැරීමට පොරොන්දු වූ ප්‍රභූ ව්‍යුහයම ඔවුන් විසින් නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි. ශ්‍රී ලංකාවේ ඊනියා දේශීය ධනපතියන් ප්‍රගතිශීලී ජාතික ධනේශ්වරයක් නොවේ. ඔවුන් ආනයන ඒකාධිකාරයන්, රාජ්‍ය ආරක්ෂාව, බදු වරප්‍රසාද සහ විදේශ ප්‍රාග්ධනය මත ගැඹුරින් යැපෙන කොටසකි. ඔවුන් සමඟ සන්ධානගත වීම ප්‍රභූ බලය දුර්වල කරනවා වෙනුවට එය තවත් ස්ථාවර කරයි.

එබැවින් NPP ය කරන්නේ රාජ්‍යය බලය අල්ලා ගැනීමක් නොව, පිරිසිදු ප්‍රතිරූපයක් මවාපාමින් සහ වාමාංශික වාචාල කතා කියමින් ධනවාදී අර්බුදය කළමනාකරණය කිරීමයි. දූෂණ විරෝධය, පරිපාලන කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය යන කාරානා මගින් ආණ්ඩු පාලනය වැඩිදියුණු කළ හැකි නමුත්, ආර්ථික බලය පාලනය කරන්නේ කවුරුන්ද යන්න හෝ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සකසන්නේ කවුරුන්ද යන්න වෙනස් නොකරයි. ඔවුන් මුල් බැසගෙන ඇති මේ ධනවාදී බල සබඳතා ශක්තිමත් කරන ප්‍රතිපත්තීන් නීත්‍යානුකූල කිරීමට වාම භාෂාව භාවිතා කරයි. එය හිතාමතා හෝ නැතිව කරන දේශපාලන රැවටීමකි.

imf nov

 

NPP ය අවංක නම්, එය එහි ව්‍යාපෘතියේ සීමාවන් පිළිගත යුතුය. IMF අධීක්ෂණය යටතේ සහ ප්‍රභූ අනුග්‍රහය යටතේ රැඩිකල් පරිවර්තනයක් කළ නොහැකි බව පිළිගත යුතුය. විකල්පයක් ලෙස, සැබවින්ම රාජ්‍ය බලය අල්ලා ගැනීමට අදහස් කරන්නේ නම්, IMF මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍යය සේවා සහ සහන කප්පාදුව, බදු වැඩිකිරීම්, සහ දේශීය ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම යන දේ සමඟ අනුකූල වන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතුය. මෙතෙක් ඒ දෙකම කර නැත.

NPP හි ප්‍රවේශයේ අන්තරාය වන්නේ එය සියල්ල සමග සම්මුති ගත වීම පමණක් නොවේ. අන්තරාය වන්නේ එය වාමාංශික භාශාව උපයෝගී කරමින් වාම දේශපාලනයේ අර්ථය සම්පූර්ණයෙන්ම නැති කර දැමීමයි. පක්ෂයක් ප්‍රභූ ආධිපත්‍යයට අභියෝග කරන බව පවසමින් බලයට පැමින දැඩි සීමාවන් තුළ පාලනය කරන විට, එය පද්ධතිමය වෙනසක් පිළිබඳ ඇතිකල අදහස අපකීර්තියට පත් කරයි. ඒ අර්ථයෙන් ගත් කල, NPP වැඩපිලිවෙල එය පරිවර්තනය කිරීමට පොරොන්දු වූ ධනවාදී පද්ධතිය විනාශ කිරීමට නොව එය තවත් ශක්තිමත් කිරීමට දායක වෙමින් සිටී.

අද ලෙනින්ගේ අදාළත්වය


ලෙනින් කියවූ ලාල්කාන්ත විවේචනාත්මක විශ්ලේෂණයක් කිරීමට අපොහොසත් විය. පොතේගුරුවාදී ජවිපෙට එසේ කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත. මේ යුගයේ මාක්ස්වාදී බුද්දිමතුන් ලෙනින්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකලත් ලෙනින්ගේ විසදුම් අයිතිහාසික තත්වයන් යටතේ ඉදිරිපත් කල දේ බවත් ඒවා අද දේශපාලන වශයෙන් භයානක හා අකාර්යක්ෂම බවත් පවසයි. ඔවුන් පක්ෂ ප්‍රභූන් විසින් මහජන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතායතන ප්‍රතිස්ථාපනය කිරීම පවතින ක්‍රමයට ආදේශයක් මිස විකල්පයක් නොවන බව පවසයි. විකල්පය ලෙස ඔවුන් යෝජනා කරන්නේ රැඩිකල් විනිවිදභාවය, විමධ්‍යගත ව්‍යාපාර සහ ආයතන ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ධනේශ්වර ක්‍රමයට ආවේනිකවූ සුඛෝපභෝගී දෙයක් නොවන බවත් එය ඕනෑම සමාජවාදී ව්‍යාපෘතියක හරය බවත් අවධාරනය කරයි.

විසම්මුතිය මර්දනය කළ පසු, සමාජවාදයේ නීත්‍යානුකූලභාවය සහ නිවැරදි කිරීමේ ප්‍රතිපෝෂණ යන දෙකම අහිමි වන අතර, එය දූෂණයට හා එකතැන පල්වීමට ගොදුරු වේ. විසි වන සියවසේ සැලසුම් ආකෘති යල් පැන ගිය ඒවා බව පවසන ස්ලාවොයි ජිජැක් වැනි දර්ශනවාදීන්, විශේෂයෙන් AI සහ විශාල දත්ත යුගයක උත්ප්‍රාසාත්මක ලෙස, ලෙනින්වාදී ආර්ථිකය ඓතිහාසිකව යල් පැන ගිය එකක් බව හෙළිදරව් කරයි. සමාජවාදී රාජ්‍යයන්ට වඩා ධනවාදය සැලසුම් කිරීමේදී වඩාත් ඉදිරියට ගොස් ඇති බවට තර්ක කරන ඔහු ලෙනින්වාදී ආර්ථික ක්‍රමවේද යල්පැනගිය ඒවා බව පවසයි.

සමාජවාදී පරිවර්තනය සඳහා තීරණාත්මක පියවර රාජ්‍ය බලය අල්ලා ගැනීම බව ලෙනින් විශ්වාස කළත්, නූතන ධනවාදී රාජ්‍යය තවදුරටත් බලයේ ප්‍රධාන ස්ථානය නොවන බවට ස්ලාවොයි ජිජැක් සහ යානිස් වරුෆාකිස් වැනි බුද්දිමතුන් තර්ක කරති.

මූලධර්මවාදය, ජාතිකවාදය සහ ඒකාධිපතිවාදය පිළිබඳ තියුණු විචාරකයෙක් වූ බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු වූ බර්ට්‍රන්ඩ් රසල් ධනවාදය සේම ලෙනින්ව ද විවේචනය කල අයෙකි. සෝවියට් රාජ්‍යය පිලිබඳව එදා ඔහු කල නිරීක්ශණ ඉතා වැදගත්ය. ධනවාදයට එරෙහිව රසල් පැවසුවේ ආර්ථික බලය ප්‍රජාතන්ත්‍රවාදය විකුර්ති කරන බවයි. ධන සංකේන්ද්‍රණය දේශපාලන සමානත්මතාවය අවතක්සේරු කරන බවයි. නමුත් සෝවියට් දේශයේ සංචාරය කිරීමෙන් පසු ධනවාදය විනාශ කල පමනින් ප්‍රජාතන්ත්‍රවාදය නොලැබෙන බවට ඔහු අනතුරු හැගවීය.

 


බොල්ෂෙවික්වාදය එක් පාලක පන්තියක් තවත් පාලක පන්තියකින් ප්‍රතිස්ථාපනය කරමින්, සැබෑ කම්කරු බලය වෙනුවට වරප්‍රසාද ලත් පක්ෂ නිලධරයක් නිර්මාණය කරන බවට රසල් අනතුරු ඇඟවීය. "තාවකාලික" ලෙස ඉදිරිපත් කරන ලද ආඥාදායකත්වය ස්ථිර වනු ඇති බවත්, දැඩි මධ්‍යගතකරණය අකාර්යක්ෂමතාවයට සහ එකතැන පල්වීමට හේතු වන බවත්, බලහත්කාරය හරහා ගොඩනඟන ලද සමාජයක් කිසි විටෙකත් සැබෑ නිදහසක් ඇති නොකරන බවත් ඔහු අනාවැකි පළ කළේය. රසල්ගේ මූලික අනතුරු ඇඟවීම වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සදාචාරාත්මක සීමාවන් නොමැති සමාජවාදය විමුක්තිය නොව නව ආකාරයක කුරිරු පාලනයක් බවට පත්වන බවයි.

බර්ට්‍රන්ඩ් රසල් පෙර දුටු දේ තමයි රුසියාවෙ පසුකාලීනව සිද්ධ වුනේ. හිට්ලර් කලාටත් වඩා විශාල ජන ඝාතනයකට බොල්ශෙවික් පක්ශය දායක විය. විකල්ප අදහස් දැරූ තම පක්ශයේ නායකයින් සියල්ලම ඝාතනය කරන ලදී. පසු කාලයක මේ දේශපාලන මතවාදය අනුගමනය කල පක්ශ වෙනත් රටවලද මෙවැනිම විනාශයන්ට මග පෑදීය. එනිසා යල් පැනගිය මෙවැනි මතවාද ප්‍රවර්ධනය කිරීම ඉතා භයානකය.

ශ්‍රී ලංකාව දකුනු කොරියාවක් හෝ කාම්බෝජයක් වනවා දැකීම කිසිවෙකුගේ අපේක්ශාව නොවේ. එනිසා ලාල් කාන්තලා නොදන්නා සමාජවාදය අත්හදා බැලීමට උත්සාහ නොකොට දන්නා ධනවාදය කරගෙන යනවානම් එය කාගෙත් යහපතට හොදය. බොරුවෙන් යා හැකි දුර ඉතා කෙටිය.

යානිස් වරුෆාකිස්ට අනුව අද වාමාංශිකයින්ට තියෙන ප්‍රධාන ගැටලුව තමන් වෙනස් කිරීමට සටන් කරන ක්‍රමයට විකල්පය පිලිබඳ අදහසක් නොමැති වීමයි. ධනවාදයට විකල්පය කුමක්ද? නව ක්‍රමය ඊට වෙනස්ව ක්‍රියාත්මක වන්නේ කෙසේද? සමාජවාදීන් ඓතිහාසිකව මේ බැරෑරුම් ප්‍රශ්නය මගහරිමින් සිටින බව යානිස් පවසයි. එනිසා ධනවාදය විවේචනය කිරීම වෙනුවට සවිස්තරාත්මක විකල්ප පද්ධතියක් නිශ්චිතව යෝජනා කිරීම අත්‍යාවශ්‍යය. එය ඉතා බැරෑරුම් සහ අමාරු කාර්‍යයකි.

photo of mine(සටහන | අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...