නමින් ජවිපෙද හවුල්වී ඉදිරිපත් කළ “පොහොසත් රටක් - ලස්සණ ජීවිතයක්” නම් වන ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශණයේ 60 වන පිටුවෙහි ඇති මූලධර්ම අතරින් ය. මූලධර්ම ලෙස එවැනි මාතෘකා ගණනාවක් ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශණයේ ප්‍රධාන තේමා කිහිපයක සඳහන්ව ඇත. “විනිවිදභාවය සහ වගවීම”, “මහජන සහභාගිත්වය, දැනුවත් කිරීම සහ නිපුණතාවය”, “විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව” එවැනි මූලධර්ම කිහිපයකි.
ඒ හැමකින්ම ඔවුන් කියන්නේ එකම කාරණාවකි. මැතිවරණ ප්‍රකාශණයේ පූර්විකාවේ පළමු පරිච්ඡේදයේ අවසන් වාක්‍ය මගින් ඒ සියලු මූලධර්ම කැටි කෙරෙන්නේ, “ජාතික ජන බලවේගය අපේක්ෂා කරන පාලනය පුනරුද යුගයක් වන්නේ එය විසිවන සියවස තුළ ඇති වූ එහෙත් යටපත් කළ දියුණු ලංකාවක් පිළබඳ සිහිනය, විසි එක්වන සියවස තුළ සැබෑවක් වීමේ හේතුව නිසා මෙන්ම, එය දැවැන්ත සාමූහික ජනතා මැදිහත්වීමක් මගින් සිදුවන රට ගොඩනැගීමේ ක්‍රියාවලියක් වීම හේතුවෙනි.”
පූර්විකාවේ සිට විවිධ තේමා යටතේ කියන්නාවූ ඒ සියල්ලෙහි ඇත්තේ, ජවිපෙ/මාලිමා ආණ්ඩුව පොරොන්දු වන “පුනරුද” යුගය, “විවෘත, පාරදෘශ්‍යභාවයකින් යුතු, ජනතාවට වග කියන්නාවූ සහ ජනතාව සහභාගි කර ගන්නාවූ” ජනතාවගේ ආණ්ඩු පාලනයක් වන බවය. ඒ සියලු පොරොන්දු, ප්‍රතිපත්ති, අපේක්ෂා, මූලධර්ම සමග ශ්‍රී ලාංකික ජනතාව කැඳවාගෙන “පුනරුදයට” යන මේ ගමන මෙතෙක් කෙරුණු දේ සමග සැසඳෙන්නේ කෙසේදැයි බලන්නේ නම් මැනවි.
01. මේ පාර්ලිමේන්තුවෙහි පළමු කතානායක ලෙස ජවිපෙ/මාලිමා බහුතරය විසින් පත්කර ගනු ලැබූ “ආචාර්ය” අසෝක රංවලගේ ආචාර්ය උපාධිය විපක්ෂය විසින් අභියෝග කළ පසු මසක් ඇතුළත සහතිකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ පොරොන්දුවටද, තමන්ගේ නමට පෙර ව්‍යාජ “ආචාර්ය” නාමයක් යොදා තමන් අවමානයට ලක් කර ඇතැයි, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලටද අවුරුද්දකටත් වැඩි කාලයක් ගත වූවත් ඒ සම්බන්ධ කිසිදු කතාවක් දැන් නැත.
02. වෙළඳපල පැවති සහල් හිඟය මඟ හරවා ගැනීමට 2024 දෙසැම්බරයේදී වෙළඳ ඇමතිගේ නිර්දේශ මත සතොස විසින් කැඳවනු ලැබූ ටෙන්ඩර සිව් වරක් එක පෙළට අවුල් කර ගැනීම නිසා එහි වාසිය පෞද්ගලික වෙළඳුන් කිහිප දෙනෙකු අත බෙදුනේ යැයි වන චෝදනා සම්බන්ධව අද වන තුරු කළ පරීක්ෂණයක් ගැන අසන්නට නැත.
“පාරදෘශ්‍යභාවය” හා තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා නොදීම
03. “රතු” ලේඛනගත බහළුම් රේගුවෙන් නිදහස් කිරීමේදී ඒවා අනිවාර්යෙන් විවෘතකර පරීක්ෂා කළ යුතුව තිබියදී, ජවිපෙ/මාලිමා ආණ්ඩුව යටතේ එවැනි “රතු” ලේඛනගත බහළුම් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ වගකීම ආණ්ඩුව බාර ගන්නේ යැයි නියෝජ්‍ය ඇමති ජනිත් රුවන් කොඩිතුවක්කු පාර්ලිමේන්තුවට කීවත් රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය හමුවක් කැඳවා කියුවේ එම බහළුම් සම්බන්ධ කිසිදු වගකීමක් ඔවුන් නොගන්නා බවය. ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර පත් කළ කමිටුවේ වාර්තාව අවුරුද්දක් ඉක්ම ගොසින්ද තවමත් පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නැත. තොරතුරු දැනගැනීමේ පනත යටතේ කෙරුණු ඉල්ලීම් සඳහා තොරතුරු ලබා දී නැත. අවුරුද්දකට පසු 2026 ජනවාර 21 වන දින අධිකරණ ඇමතිගේ සභාපතිත්වයෙන් ඒ සම්බන්ධ සොයා බැලීමට සති පතා රැස්වෙන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර ඇත.
04. ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත ජනාධිපති මාධ්‍ය ඒකකයේ පත්වීම්, වැටුප්, දීමනා හා වරප්‍රසාද සම්බන්ධ විස්තර තොරතුරු ලබා නොදීම
05. අප්‍රේල් මාසයේදී (2025) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ පැමිණීමත් සමග අත්සන් කරනු ලැබූ ද්වි පාර්ශව ගිවිසුම් 07 ක් පාර්ලිමේන්නතුවට ඉදිරිපත් කරන මෙන් විපක්ෂයත් සමාජ ක්‍රියාකාරීනුත් බල කෙරුවද මෙතෙක් ඒ ගිවිසුම් කිසිවක් ප්‍රසිද්ධ කර නැත. ඒ සම්බන්ධ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළ හැකි යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කීවත්, එවැනි ඉල්ලීම්ද ප්‍රතික්ෂේපකර ඇත.
අයථා පත්වීම් හා හිතුවක්කාර/බලහත්කාර ඉවත් කිරීම්
06. රජයේ ප්‍රධාන ධූර සඳහා සුදුසුකම් ඇති අදේශපාලනික පත්වීම් ලබා දීම අවධාරණය කළ ජවිපෙ/මාලිමා නායකත්වය, තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් හා සැළසුම් කිරීමේ නියෝජ්‍ය ඇමති ලෙස පත් කළ අතර, සය මසකට පසු 2025 ජුනි මස ඔහු නියෝජ්‍ය ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ පසු මුදල් අමාත්‍යාංශයේ හා මහ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස පත් කරනු ලැබිණ.
07. තම දේශපාලනය සමග දූෂිතයින් තබා දූෂණ වංචා චෝදනා ලැබූ කිසිවෙකුද නැතැයි හා එවැනි කිසිවෙකු බාර ගන්නේ නැතැයිද මේ රටේ පිරිසිදු ආණ්ඩුවක් පිහිටුවිය හැකි එකම පිරිසිදු පක්ෂය තම පක්ෂය යැයි මැතිවරණ වේදිකාවල අවධාරණය කළ අනුර කුමාර දිසානායක, ජනාධිපති වශයෙන් තම ආණ්ඩුවේ,
(i) විදුලිබල හ බලශක්ති ඇමති වශයෙන් පත් කරනු ලැබූ කුමාර ජයකොඩි, පොහාර සංස්ථාවේ සේවය කළ වසර 2015 දී රුපියල් මිලියන 08 ක වංචාවකට චෝදනා ලැබ සේවයෙන් ඉවත් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා අල්ලස් හා දූෂණ කොමිසම් සභාව මේ වනවිට ඔහුට එරෙහිව නඩු පැවරීමට තීන්දුකර ඇත. ඊටත් අමතරව, ඔහු යටතේ විදුලිබල මණ්ඩලය විසින් ගල් අඟුරු ආනයනය කිරීමේ සම්මත පිළිවෙත අතහැර ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු වැඩි මිලට ආනයනය කිරීමේ යෝධ වංචාවක් සිදුකර ඇතැයිද, ආනයනය කෙරුණු පළමු ගල් අඟුරු නෞකාවෙන්ම රු.බිලියන 01.4 ක් පමණ පාඩු වී ඇතැයිද වාර්තා විය.
(ii) ජවිපෙ වෘත්තීය සමිති නායකයින් වන වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් යන තිදෙන, 2024 නොවැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයටද පෙර දෙහිවල කවුන්සිල් පාරේ ජාතික කම්කරු ආයතනයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් හොර ඔප්පුවක් මගින් රුපියල් මිලියන 03.6 ට උකස්කර ඇතැයි කොළඹ වංචා විමර්ශණ කාර්යාංශය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට වාර්තාවක් ඉදිරිපත්කර තිබියදී සහ ඒ සම්බන්ධයෙන් ඔවුන් තිදෙන අත්අංඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත් විසින් නියෝගකර තිබියදී ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලද අතර, මැතිවරණයෙන් පසු වසන්ත සමරසිංහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂාව සහ සමූපාකාර සංවර්ධන ඇමති වශයෙන්ද, මහින්ද ජයසිංහ නියෝජ්‍ය කම්කරු ඇමති වශයෙන්ද, ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු රන්ජන් ජයලාල් කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති වශයෙන්ද පත් කරනු ලැබිණ. උසාවි නියෝග අනුව තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා 2025 දෙසැම්බරයේදී මාරු කරනු ලැබිණ.
(iii) තමන් ව්‍යාපාරිකයෙකු යැයි පාර්ලිමේන්තුවට දන්වා ඇති, “ඔමොබියො” පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ සභාපති වන, “එයිම්ස්කි බිස්නස් සොලියුෂන්ස්” පෞද්ගලික සමාගමේ සභාපති වන, “ටෙක්ස්ට්වෙයා” පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වන, “මැටි්‍රක්ස් වැවිලි” පෞද්ගලික සමාගමේ සභාපති වන සහ “ස්පයිස් ෆෝට්‍රස්” පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වන, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබූ එරංග වීරරත්න මේ ආණ්ඩුවේ “සංඛ්‍යාංක ආර්ථික” (Digital Economy) නියෝජ්‍ය ඇමති වන අතර, මන්ත්‍රී වශයෙන් දිවුරුම් දීමට පෙර රජය හා ව්‍යාපාරික ගිවිසුම් අත්සන් කර ඇති “ඔමොබියො” සහ “එයිම්ස්කි බිස්නස් සොලියුෂන්ස්” සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ධූර වලින් ඉල්ලා අස් වූයේ යැයි සඳහන් කෙරෙන නමුත්, ඒවායේ කොටස්කරුවෙකු හා ආයෝජකයෙකු ලෙස, ව්‍යාපාරික එරංග වීරරත්න හා නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න අතර ලබැඳියාවන්ගේ ගැටුම් ඇති විය හැකි යැයි නොතකා අදාල විෂය භාර නියෝජ්‍ය ඇමති ලෙස ඔහුව පත්කරනු ලැබ ඇත.
(iv) පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට ජනාධිපති අනුර කුමාර සිව් වරක් ඔහුගේ හිතවතුන් සිව් දෙනෙකු නම් කිරීමෙන්, ඒ සිව් දෙනාම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළ හෙයින් ලබැඳියාවන්ගේ බරපතල ගැටුම් නොතකා පැහැදිලි දේශපාලන පත්වීමක් වන මහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ අධීක්ෂණය යටතට විගණකාධිපති දෙපාර්තමේන්තුව ගෙනැවිත් ඇත. එහි ඇති බරපතල තියුණු ප්‍රතිවිරෝධය වන්නේ, මහ භාණ්ඩාගාර ලේකම් ඉතාම “ස්වාධීන” පත්වීමක් වූවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුව මහජන මුදල් භාවිතය විගණනය කිරීමේ ව්‍යවස්ථාපිත බලය හා වගකීම පැවුරුණු ආයතනය ලෙස, මහ භාණ්ඩාගරයෙන්ද ස්වාධීනව පැවතිය යුතු වීමෙහි ය.
දැන් අනාගතයට ඉතිරි විය හැකි ගැටළුවක් වන්නේ, විපක්ෂය හා සමාජ ක්‍රියාකාරීන් ජනාධිපතිගේ මේ තීන්දුව අභියෝග නොකිරීම නිසා, විගණකාධිපතිවරයෙකු පත් නොකර, විගණකාධිපති දෙපාර්තමේන්තුව මහ භාණ්ඩාගාර අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යාමේ වැරදි දූෂිත සම්ප්‍රදායක් හදා ගැනීමෙහි ය.
මැතිවරණ සමයේ දිවි හිමියෙන් පොරොන්දු වූ “පුනරුදය” අහළකින් හෝ තැබිය නොහැකි, ආණ්ඩු පාලනයේ පාරදෘශ්‍යභාවය, විවෘතව, ජනතාවට වගවීමක් ඇතිව කටයුතු කිරීම හඳුනන්නේවත් නොමැති කොළඹ, මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ කල්කිරියාව පිළිබඳව ලියන්නට තව එවැනි කරුණු කාරණා ඇත.
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජනවාරි 27 වන දින




