The Leader News
BREAKING
Top Ad
Opinion

සම්මුති - විසම්මුති : ආණ්ඩුව, හෘද සාක්ෂිය සහ උගත යුතු පාඩම් | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

January 30, 2026 • 12:11 PM

සම්මුති - විසම්මුති : ආණ්ඩුව, හෘද සාක්ෂිය සහ උගත යුතු පාඩම් | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 20 දා ඊශ්‍රාලය, ජෙරුසලමේ පිහිටි මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) සුන්නත් දූලි කර දැම්මේ, දැවැන්ත යන්ත්‍රෝපකරණ යොදා ගනිමිනි.
  • UNRWA හි කොමසාරිස් ජෙනරාල් පිලිප් ලසරිනිට අනුව, 2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් UNRWA කාර්ය මණ්ඩල සාමාජිකයින් 300 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
  • ඊශ්‍රාලයේ මෙම දුෂ්ඨ පියවර ලෝකයෙහි හෙළා දැකීමට ලක් වු පසුගිය 20දා මෙරට වාර්තා වූයේ ඇදහිය නොහැකි වර්ධනයකි.
  • එනම් ඊශ්‍රාලයෙහි සාත්තු සේවය පිනිස ලාංකියින් 1000ක් යැවීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


UNRWA යනු පලස්තීන සරණාගතයින්ට සහන සැපයීම සදහා ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ ආයතනයයි.

UNRWA හි කොමසාරිස් ජෙනරාල් පිලිප් ලසරිනිට අනුව, 2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් UNRWA කාර්ය මණ්ඩල සාමාජිකයින් 300 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ඊශ්‍රාලයේ මෙම දුෂ්ඨ පියවර ලෝකයෙහි හෙළා දැකීමට ලක් වු පසුගිය 20දා මෙරට වාර්තා වූයේ ඇදහිය නොහැකි වර්ධනයකි. එනම් ඊශ්‍රාලයෙහි සාත්තු සේවය පිනිස ලාංකියින් 1000ක් යැවීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන බවයි.

 

මෙම සාත්තු සේවය යනු වයස්ගත සහ විකලාංග බවට පත් ඊශ්‍රායල ජාතිකයින්ට උවටැන් කරමින් ඔවුන් බලා ගැනීමය. මෙම පිරිස් අතර නොවරදවාම ගසා තීරයෙහි යුද අපරාධ කරන ලද  පිරිස් ද සිටිනු ඇත.

අමාත්‍යවරුන් වන ලාල් කාන්ත සහ බිමල් රත්නායක රුසියානු විප්ලවයේ නායකයා වූ ලෙනින් හැදැරීමට කොළඹ මහජන පුස්තකාලයට මහා ජනයාට ආරාධනා කරන්නේ ද මේ අතරතුරය. ලෙනින් යනු සියලු ආකාරයේ යටත් විජිතවාද සහ රටවල් අල්ලා ගැනීමට විරුද්ධව සිය පෑන මෙන්ම ආණ්ඩු බලය ද මෙහෙය වූ දේශපාලන නායකයෙකි. මහජන පුස්තකාලයෙහි ලෙනින් හදාරන අතරතුර වත්මන් ලෝකයේ කුරිරුතම ජන ඝාතක යුද්ධයක් ගෙන යන ඊශ්‍රායල නම් ත්‍රස්ත රාජ්‍යයේ බැල මෙහෙවර පිණිස‍  ලාංකිකයින් පටවන්නේ  කුමන දේශපාලන සාධාරනීයකරණයක් අනුවද?

ශ්‍රී ලංකාව සම්ප්‍රදායික වශයෙන් පලස්තීන ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි රජයකි. සමාජයකි. එවැනි සන්දර්භයක් තිබිය දීත් අනුර කුමාර ආණ්ඩුව පලස්තීන ජනයා ලක්ෂ පහකට වඩා ඝාතනය කර ඇති ඊශ්‍රාලයට පඬුරු පාක්කුඩම් පුදන්නේ මන්ද? නැගෙනහිර වෙරළ තීරයේ ආරුගම්බේ කොටසක් ජන ඝාතක ඊශ්‍රායල් සොල්දාදුවන්ගේ සුඛ විවරණය නොනිල වශයෙන් ලියා දී ඇත්තේ මන්ද?  මේ ඩොලර් ටිකක් ලබා ගැනීමට පමණක් විය නොහැක. මෙම පියවරෙහි ඊට වඩා ගැඹුරට ගිය දේශපාලනයක් තිබිය යුතුය.


ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මන බඳින කතා දැන් නීරස පුනරුච්චාරණයන් බවට පත් වෙමින් තිබෙන පරිදි මෙන් මෙම ඊශ්‍රායල ගැති කම පෙන්වන්නේ ඔහුගේ දේශපාලනයට හෘද සාක්ෂියක් නැති බවයි. පලස්තීන ජනයා මුහුණ දෙන නෑසූ විරූ ම්ලේච්ඡත්වය හමුවේ ස්වකීය දේශපාලන හෘද සාක්ෂිය ඊශ්‍රාලයට පාවා දීම පෙන්වන්නේ වෙනත් ඕනෑම දේශපාලන සංසිද්ධියක් සම්බන්ධයෙන් ද එලෙස ම ක්‍රියා කිරීමේ භයානක විභවතාවයයි.

 


දේශපාලන හෘද සාක්ෂිය නැති වීම යනු අන්ධකාරය කරා යන මාවතේ පළමු පියවරකි.  පසුගිය කාලය පුරා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගමන් කරමින් තිබී ඇත්තේ ආලෝකය කරා ද අඳුර කරා ද යැයි විමසිලිමත් වීමට මෙය අපට අවස්ථාවක් සලසයි.

1971 දී මා 05දා ප්‍රහාරයට පෙර මා පියන් බලා ඒමට එම තීරණය ගත් අප්‍රේල් 02දා රැයෙහි ගෙදර ගියෙමි. 03 දා උදෑසන මා පිටත් වී යන විට මට පැරණී කොමියුනිස්ට් පාක්ෂිකයකු වූ ජිනදාස මාමා හමුවිය.

‘ රංජි ගොලුවන්ගේ විප්ලවයක් නම් කරන්න එපා!’ යැයි ඔහු මට ආදරයෙන් කිවේය. ජවිපෙ ‘ජනතා විමුක්ති’ පුවත් පතෙහි නිල කර්තෘ වූ සිසිල් අයියාගේ මාමා ද වූ ඔහු අප අද හෙටම විප්ලවය දියත් කිරීමට සූදානම් වන බව දැන සිටින්නට ඇත.

අපි එදා කිසිදු වෙනස් අදහසකට සවන් නොදුන් පරිදි අද ජාතික ජන බලවේගය ද තමන් සියල්ල දත් යැයි සිතා සිටී. කවරකුගේ  හෝ මිත්‍රශීලී වේවා පසමිතුරු වේවා අදහසකට ජාජබ ඇහුම්කන් දෙන්නේ නැත. හබුරු කොළයට වැටෙන සීතල ජල බිංදු රෑරා ගොස් මඩට පොළොවට පතිත වන සේ එම අදහස් ඉබේම ඉවතට ගමන් කරයි.

දේශපාලන පක්ෂ විපක්ෂයේ හෝ ආණ්ඩුවේ සිටිය ද ඒවා සර්ව නිර්දෝශී වන්නේ නැත. වැරදි සිදුවීම ස්වභාවිකය. ජවිපෙ -ජාජබ මැතිවරණ සමයේ තමන්ට අන්දවා ගත් සුපිරිසිදු පිරුවට ව්‍යාජය. සුපිරිසිදු මිනිසුන් යැයි කොටසක් නැත. එනයින් කට වාචාලකම්  මුදා හරින ඇමතියන් සහ මංත්‍රීන් පමණක් නොව දූෂණයට බර මැති ඇමතිවරුද ජාජබ ආණ්ඩුවේ සිටිති.

In Mud 61

 

මොණරාගල ජාජබ මංත්‍රීවරියක් අලි ඇතුන්ට වෙන් විය යුතු දෙමළිය වනය ගොවියන්ට බෙදා දීමට සැරසෙයි. නියෝජ්‍ය කෘෂි ඇමති සිය ගෝල බාල දේශපාලනඥයින්ට අනවසරයෙන් පසු කපා ගෙන යෑමට දිය යුතු බවට නිලධාරීන් සමඟ තර්ක කරයි. දූෂණයට බර ජාජබ දේශපාලනඥයින් ගැන කතාන්තර හිමිහිට නමුත් වර්ධනය වෙයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ලක්ෂයක් හෝ මරා කළ යුතු දේ කරන බව කියයි. වසර විස්සක් පාර්ලිමේන්තු මංත්‍රීවරයකු හෝ මංත්‍රීවරියකු ලෙස සේවය කළ ද විශ්‍රාම වැටුපකට හිමිකමක් නැති කරයි.

ඒ අතර විවිධාකාර ක්‍රමෝපා මගින් ජනතා විමුක්ති පෙරමුණේ කාඩරය මහජන මුදලින් නඩත්තු කැරෙන උපා යොදා තිබෙන බවට චෝදනා එල්ල වෙයි. රාජ්‍ය පරිපාලනය අපකර්ෂණය වීමට එක් හේතුවක් නම් පන්ති පහ හැර කිසිත් නොදන්නා මේ දේශපාලන කොමිසාර්වරුන්ය. ප්‍රාදේශීය සභා පිහිටුවා මාස හයක් අවසන්ය. අපේ ගමේ කානුව තවම මඩ වගුරකි. කසළ එක් කිරීම එදා මෙන්ම පසුගාමීය.

ඉංග්‍රීසි ගුරුවරයකුව සිටි බව කියන ජාජබ මංත්‍රීවරයකු ඉන්දීය මහ කොමසාරිස්වරයාට ‘ දිස් මෑන් ඉස් අ ගුඩ් මෑන්’ කියා කියයි.

 

ramani jආචාර්ය රමණි ජයසුන්දර

ජාතික කාන්තා කොමිසමට 2025 සැප්තැම්බරයේ දී පත් කරන ලද සභාපතිනිය වූ  ආචාර්ය රමණි ජයසුන්දර දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ඉල්ලා අස් වෙයි. එය හුදු නමට පමණක් ඇති කොමිසමක් බව එහි තවත් කොමසාරිස්වරියක වන ශ්‍රීන් සරූර් කියයි. තොරතුරු කොමිසම අඩපණය. තොරතුරු අයිතියට ආණ්ඩුවෙන් සහායක් නැත. විගණකාධිපති පත් නොකිරීමේ අර්බුදය මාස අටක් ඇදී ගියේය. අල්ලස් කොමිසම නඩු දමයි. ඒවා ඇහෙන්නේ ඉබි ගමනිනි. පොලිසියේ දේශපාලන වහල් බව එහි ප්‍රකාශකයාගේ මුවින් වැමෑරේ. පොලිස් සේවය වෙනසකට ලක්ව නැති බවට මෑතම නිදසුන දේවගැතිවරයකුටපහර දීමයි. අපරාධකාර නිලධාරීහු තවමත් එහි ඉහළ පුටුවල වැජඹෙති.

ත්‍රස්ත පනතට ආදේශකයක් ලෙස ඉදිරිපත් කළ කෙටුම්පත ඊට වඩා භයානකය. සංශෝධිත මාර්ග ගත ආරක්ෂණ පනත ද යහපත් වනු ඇතයි සිතීම දුෂ්කරය. ජනාධිපති අපහසුතාවයට පත් කරන සමාජ මාධ්‍ය සටහන්  හේතු කොට දඬුවම් කළ හැකි යැයි පොලිස් නීති අංශය මුහුණ පොතට ලියයි.


ආණ්ඩුවේ නිලතලවලින් ඉල්ලා අස් වූ ඉහළ පෙළේ නිලධාරීන් දිනෙන් දින ඉහළ යයි. ප්‍රවාහනයේම හතර දෙනෙකි. ග්‍රාම සේවකවරු දිට්වා සහන ලක්ෂ 50 දීමේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙති. දිට්වා සහන ලෙස ජනපති බෙදූ ලක්ෂ 20 චෙක්පත් අගුරු වී ඇතයි වාර්තා පළවේ. සතියක් හැර සතියක් වර්ජනයකි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ එක තැනය. ‘ප්‍රජා ශක්ති දිළිදුකම තුරන් කිරීමේ ව්‍යාපාරය’ යැයි තවත් එකකි. එහි ශක්‍ර දේවේන්ද්‍රයාටවත් දිනා ගත නොහැකි එකකි. එනම්  වර්ෂ 2030 වන විට සියලු සියලු තැන් හි පවත්නා සෑම ආකාරයකම දරිද්‍රතාව අවසන් කිරීමය. දිත්වා ව්‍යසනයෙන් පසු සිංහල හෝ දෙමළ නමක් නැති  Rebuilding Sri Lanka කියා තවත් එකකි. එය යටතේ අගමැතිනිය නායකත්වය දරන ජනා­ධි­පති කාර්ය සාධක බළ­කා­යකි.

වසක් ඉක්ම ගියද ජාතික ජන බලවේග ආණ්ඩුව එකද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් හෝ කර අත්දැයි කල්පනා කර බලන්න.

රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට ඇමති ලාල් කාන්ත ද්විඝටනාත්මක භෞතිකවාදය ගැන දේශනා තියන අතරේ ලෙනින් කියවීමක් ලෙස තවම ජාතික ජන බලවේගයට රාජ්‍ය අල්ලා ගැනීමට බැරි වූ බව කියයි. ලෙනින්වාදී අර්ථයෙන් රාජ්‍යයට ත්‍රිවිධ හමුදා, පොලිසිය, අධිකරණ පද්ධතිය, සහ බන්ධනාගාර ඇතුළත්ය. ඊට අමතරව සිවිල් සේවය, පරිපාලන සේවය ද ඇතුළත්ය. පාර්ලිමේන්තුව යනු ධනේශ්වර පංති ආඥාදායකත්වයේ උපකරණයකි. ලාල් කාන්ත රාජ්‍යය අල්ලා ගැනීමට සූදානම් වන ලෙස පාක්ෂිකයින් කුල්මත් කරනවා වෙන්නටත් පුළුවන.

මේ අව් අස්සේ ජාතික ජන බලවේගයට බඩ බැඳ ගෙන සහාය දුන් සමාජ මාධ්‍යකරුවන් ගණනාවක්ම විවේචනාත්මක සහ සතුරු ආකල්ප කරා ගමන් කර තිබේ. මුහුණු පොතේ අනුරයියාට හොයියා කියා ලකුණු ගත් මායියෝ දැන් කුණූ බැනුම් මගින් ලකුණූ ගනිති.  මුහුණූ පොත ජාතික ජන බලවේගයේ ඒකාධිකාරයක් ව තිබූ සමය අවසන් වෙමින් තිබේ.

Untitled 18 1
තවමත් ස්ථිර ප්‍රවණතාවක් බවට පත්ව ඇත්දැයි කිව නොහැකි නමුත් සමුපාකාර ඡන්ද ජාතික ජන බලවේගයට පෙන්වන්නේ සොහොන් ලකුණුය. දැන තැන තැන ජනයා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කළ එළියේ එකට එක කියති.

පසුගිය වසර පුරාම ලයනල් බෝපගේ, ලොකු කුමා, වැනි ලේඛකයෝ මිත්‍රශීලී ලෙස ආණ්ඩුවේ දුබලතා මෙන්ම නිවරදිකාරක පියවරද පෙන්වා දුන්හ. සමාජ මාධ්‍ය වසුරු බුදීමෙන් තර වෙන මිනිස් සූකරයින්ගෙන් දූෂිත වී ඇති බව සැබෑය. එනමුත් එහි ද සාධනීය සහ ප්‍රගාමී විවේචකයන් නොඅඩුය. අමාත්‍යාංශය සම්බන්ධයෙන් පළ වන යහපත් අයහපත් අදහස් දැක්වීම් ඇමති මේසයට යන්නේදැයි අප නොදනිමු.

ආණ්ඩුවට ලකුණූ බිංදුව නොවේ. තවම පේල් නැත. තව වසර හතරක් තිබේ. නමුත් එළඹ තියෙන්නේ මා ඕ සේතුං කී ලෙස ‘ ඔලුවට පොල්ලෙන් ගසා හෝ’ සිහි එළවීමේ අවස්ථාවකි. බටර් ගාන අය බටර් ගාන්න. අපේ කාර්යය හොඳ හිතින් වැරදි පෙන්වීමයි.

එළඹ තිබෙන්නේ අනුන් දෙස නොව ආණ්ඩුවට තමන් දෙස බැලීමට අවස්ථාවයි. ඒ සඳහා ‘ හානි පාලනය සහ අවම කර ගැනීමේ’ මෙවලමක් අවශ්‍යයි.  ඒ ගැන පසුවට ලියමි.

sunanda deshapriya 1(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...