The Leader News
BREAKING
Top Ad
Opinion

සමන් ඒකනායක සිදුවීමට පසු වදනක් | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

February 1, 2026 • 7:08 AM

සමන් ඒකනායක සිදුවීමට පසු වදනක් | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ධුරයෙන් ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමේ අවස්ථාව ලැබුණේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයකු වූ රනිල් වික්‍රමසිංහට ය.
  • විජේතුංගයන්ට හදිසියේ ජනාධිපති වන්නට ලැබීම මුළු සමාජයම වාගේ සැලකුවේ ඔහුගේ පිනට, වාසනාවට සිදු වූ දෙයක් ලෙස ය.
  • විජේතුංගයන්ට ජනාධිපති වීමට ලැබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අගමැති ලෙස වසර හතරකට වැඩි කාලයක් සේවය කරමින් සිටියදී ය.
  • කොවිඩ් වසංගතය නිමාවී ගෝඨාභයගේ ආණ්ඩුව බරපතළ ආර්ථික අර්බුදයකට ලක් වෙද්දී, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස පත් වූ ඔහුට, අවසානයේ කිසිවකු භාර ගැනීමට අකමැති වූ ගෝඨාභයගේ අගමැති ධුරය භාර ගැනීමට සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


සාමාන්‍යයෙන් ජනාධිපති ධුරයට පත්වීමට අවස්ථාව ලැබීම වාසනාවක් ලෙස සැලකේ. මෙරට මුල්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ ඩී. බී. විජේතුංගයන්ට හදිසියේ ජනාධිපති වන්නට ලැබීම මුළු සමාජයම වාගේ සැලකුවේ ඔහුගේ පිනට, වාසනාවට සිදු වූ දෙයක් ලෙස ය. ඩී. බී. විජේතුංගයන්ට ජනාධිපති වීමට ලැබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අගමැති ලෙස වසර හතරකට වැඩි කාලයක් සේවය කරමින් සිටියදී ය.

 

image f030409393

එහෙත්, දෙවැනි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහයන්, ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවූ පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පවා තේරී පත් වූයේ නැත. කොවිඩ් වසංගතය නිමාවී ගෝඨාභයගේ ආණ්ඩුව බරපතළ ආර්ථික අර්බුදයකට ලක් වෙද්දී, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස පත් වූ ඔහුට, අවසානයේ කිසිවකු භාර ගැනීමට අකමැති වූ ගෝඨාභයගේ අගමැති ධුරය භාර ගැනීමට සිදු විය. අගමැති ලෙස ඔහුට කටයුතු කරන්නට සිදු වූයේ ඔහුගේ සදාතනික විරුද්ධවාදීන් වූ දේශපාලන කණ්ඩායමේ ඇමැතිවරුන් සමඟ ය. ඔහුට විශ්වාසවන්තයෙකු ලෙස පත් කර ගත හැකි වූයේ අගමැති ලේකම්වරයා ලෙස පත් වූ සමන් ඒකනායක පමණි.

image 2842e4adf3

 

අගමැති ලෙස ඔහු පත් වන විටත් ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය රටේ තීව්‍රව පැවතුණි. රනිල් අගමැති වූ පසු එම අරගලකරුවන් ‘රනිල් ගෝ හෝම්’ යනුවෙන් අතිරේක සටන් පාඨයක් ද එකතු කළහ. එසේ කළේ රනිල්ගේ හදිසි ආගමනය නිසා, ගෝඨාභය නෙරපීමෙන් පසු තමන් අරගලයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ දේ කර ගැනීමට නොහැකි වනු ඇතැයි අරගලය පසුබිමේ සිටි බලවේගවලට වැටහුණු බැවිනි. ඒ නිසා ඔවුහු ගෝඨාභයටත් වඩා රනිල්ට කරදර හිරිහැර කරමින්, ඔහුගේ පෞද්ගලික නිවස පවා ගිනිබත් කොට, ඔහුව ද නෙරපා තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගැනීමට ගෝඨාභයට කොන්දේසි දැමීමට ක්‍රියා කළහ. ඒ අතරම කථානායක මහින්ද යාපා අබේවර්ධනට ජනාධිපති ධුරය භාර ගන්නා ලෙස බල කිරීමටත් මෙම බලවේග කටයුතු කළේ රනිල් ජනාධිපති වීම වළක්වාලීමට ය. එහෙත් වැදගත්, නීතිගරුක මහත්මයෙකු වූ මහින්ද යාපා ඊට එකඟ වූයේ නැත.

අවසානයේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වීමෙන් අරගලය පසුබිමේ සිටි බලවේගවලට අවශ්‍ය වූ ‘රූකඩ රාජ්‍යයක්’ ඇටවීමේ අරමුණට මරු පහරක් වැදුණි. එමෙන්ම නහය තෙක්ම එරී තිබුණු ආර්ථික අර්බුදයෙන් කෙටිම කාලයක් තුළ රට ගොඩ ගැනීමේ විස්මිත ලෝක වාර්තාව තැබීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් විය. වෙන අයෙකුට නම් වාසනාවට ලැබෙන ජනාධිපතිකම රනිල්ට අපලයක් බවට පත් කර ඇත්තේ, අරගලය පිටුපස සිටි ගුප්ත බලවේගවලින් යැපෙන දේශීය රූකඩ බලවතුන් විසිනි. මෙම පසුබිම පූර්විකාවක් සේ සඳහන් කළේ, මේ සියල්ලටම මුහුණ දී රනිල් වික්‍රමසිංහට රට ගොඩ ගැනීමට සහය දුන් අවංක රාජ්‍ය නිලධාරියෙකු වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැන කතා කිරීමට ය.

1 49

 

අද වන විට සමන් ඒකනායක සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඒ රක්ෂිත බන්ධනාගාර ගත වූ දෙවන ජනාධිපති ලේකම් ලෙස ය. මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංගට ද රක්ෂිත බන්ධනාගාර ගත වීමටත්, පසුව සිර දඬුවම් විඳීමටත් සිදු විය. එදා ඔහුට සිදු වූයේ ජනාධිපතිවරයාගේ නියමයක් මත රටේ සිල් සමාදන් වන අය අතර බෙදා දීමට සිල් රෙදි මිලදී ගැනීමට රජයේ ආයතනයක අරමුදල් භාවිතා කිරීම ය. ඔහු එම ආයතනයේ නිල බලයෙන් සභාපතිත්වය දැරීය. ඔහු මහාධිකරණයේදී එම චෝදනාවට වරදකරු වී සිර දඬුවම් ලැබීම රාජ්‍ය සේවයේ විශාල කම්පනයක් ඇති කළේ ය.

ස්වාධීන රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු වූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම නඩු තීන්දුවෙන් රාජ්‍ය සේවාවට ඇති වන බලපෑම ගැන පැවැත්වූ සාකච්ඡාවකට මට ද සහභාගි වීමට අවස්ථාව ලැබුණි. එහිදී බොහෝ දෙනා ප්‍රශ්න කළේ ලලිත් වීරතුංග වැන්නෙකු මෙතරම් නොසැලකිලිමත් ලෙස මෙවැනි දෙයකට මැදි වූයේ ඇයිද යන්නයි. අවසානයේ පොදු නිගමනය වූයේ, කවර කරුණකට වුව ද තම විෂය පථයෙන් බැහැරව රාජ්‍ය සම්පත් යොදා ගැනීමේදී අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බවයි. පසුව අභියාචනාධිකරණය මඟින් ලලිත් වීරතුංග නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ අනුව ඔහු අතින් වරදක් වී නැති බව ශ්‍රී ලංකාවේ දෙවැනි ඉහළම අධිකරණය පිළිගෙන ඇත.

Ambassadors 1200px 24 08 21 1000x600 1

 

දැන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙවැනි ජනාධිපති ලේකම්වරයා වන සමන් ඒකනායක සැකකරුවෙකු බවට පත් කර ඇත්තේ තම විෂය පථයෙන් බැහැර කරුණකට නොවේ. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලයේ වියදම් සඳහා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කර දෙන මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධ ‘ගණන්දීමේ නිලධාරියා’ (Accounting Officer) වන්නේ ජනාධිපති ලේකම්වරයා ය. ඔහු අගමැති ලේකම් ලෙස සේවය කරද්දී මූල්‍ය කළමනාකරණය ගැන කෙතරම් අවධානයෙන් සිටියේද යන්න පිළිබඳව මට පුද්ගලික අත්දැකීමක් ඇත.

2016 වසරේ කොලොන්නාව ප්‍රදේශය යට කරමින් මහා ගංවතුරක් ගලා ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වූ අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් මම සහන කටයුතුවල නිරතව සිටියෙමි. එදින පෙරවරු 10.00 ට පමණ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකගෙන් මට ඇමතුමක් ලැබුණි. අගමැතිතුමාට විපතට පත්වූවන් බැලීමට යාමට සුදුසු ස්ථාන දෙකක් ඔහු මගෙන් විමසීය. මම ස්ථාන දෙකක් දැන්වීමි. මඳ වේලාවකින් අගමැති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු මට කතා කර, එම ස්ථානවල සිටින පිරිස ගැන විස්තර අසා, අගමැතිතුමා පස්වරු 1.00 ට එහි පැමිණෙන බවත් මට ද එහි එන ලෙසත් දැන්වීය. වැඩ අධික වුව ද මම ඊට එකඟ වුණෙමි.

යළිත් කතා කළ සමන් ඒකනායක, “මේ අවතැන් වූවන්ට රජයේ වියදමින් දිවා ආහාරය දෙනවා නේද?” කියා විමසීය. මම “ඔව්” යැයි පැවසූ පසු ඔහු කියා සිටියේ, “මෙතන ඉන්න සමහරු අගමැතිතුමා යන තැන්වල අයට විශේෂ දිවා ආහාර පාර්සල් දෙන්න කියලා මගෙන් සල්ලි ඉල්ලනවා. මම ඔවුන්ට කිව්වා එහෙම දෙනවා නම් ඔවුන්ගේ සල්ලිවලින් ඒවා දෙන්න කියලා. ආණ්ඩුවෙන් දෙන කෑම දිස්ත්‍රික් ලේකම් (GA) මඟින් ලබා දෙන බව මම කිව්වා” යනුවෙනි. සෑම අවස්ථාවකදීම ඔහු රජයේ මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට වගබලා ගත්තේ ය.

nan

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තම සහය සඳහා ලේකම් මණ්ඩලයක් පත් කර ගැනීමට බලය ඇත. මෙම ලේකම්වරුන් ජනාධිපතිවරයා නියම කරන සහය ලබා දිය යුතු අතර, ඔවුන්ට තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැක. මීට පෙර සිටි සියලුම ජනාධිපති ලේකම්වරුන් මෙන්ම වත්මන් ජනාධිපති ලේකම් නන්දිත කුමානායක ද පත් වී ඇත්තේ එම නීතිමය විධිවිධානයට අනුව ය. ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ‘රාජ්‍ය නිලධාරීන්’ නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ව්‍යවස්ථාවේ සහ ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇත.

සමන් ඒකනායක හිටපු ජනාධිපති ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියුබාවේ සහ ඇමරිකාවේ සංචාර නිම කර එන අතරතුර ලන්ඩනයේ නැවතී සිටියදී, ජනාධිපති ආර්යාවට වුල්හැම්ප්ටන් සරසවියෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය පදවිය ලබා ගැනීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති කාර්යාලයේ වියදමින් පහසුකම් සැලසීමයි. එමඟින් පොදු දේපල පනත ප්‍රකාරව රජයට අලාභයක් කළ බවට ඔහුට චෝදනා එල්ල වේ.

ජනාධිපතිවරයාගේ සංචාරයකට අවශ්‍ය විධිවිධාන සලසන ලෙස නියෝග කළ විට, “එය ඔබගේ පුද්ගලික සංචාරයක්ද නැතිනම් රාජකාරි වැඩක් ද?” යනුවෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයාට නොහැකි බව මගේ අදහසයි. මීට හොඳම උදාහරණය කේ. එච්. ජේ. විජේදාස මහතාගේ ‘පහන් සංවේග’ ස්වයං ලිඛිත චරිතාපදානයේ සඳහන් වේ. 1984 කාලයේ පවා අගමැතිවරයාගේ පෞද්ගලික වියදම් රජයෙන් දැරීම පිළිබඳ පූර්වාදර්ශ පැවති බව එහි සඳහන් වේ.

ps front

 

සමන් ඒකනායක මෙම සංචාරයට අදාළ වියදම් ඇස්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබාගෙන, එය අනුමත කර ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ප්‍රධාන ගණකාධිකාරීවරයාට නියම කර ඇත. එය ගණන්දීමේ නිලධාරියා ලෙස ඔහුගේ රාජකාරියකි. මුදල් රෙගුලාසි 135(2) අනුව, ප්‍රතිපාදන ලබා දී වියදම් කිරීමේදී සිදුවන වරදකට වගකිව යුත්තේ වියදම කරන නිලධාරියා මිස ප්‍රතිපාදන වෙන් කරන නිලධාරියා නොවේ.

අවසාන වශයෙන් කිව යුත්තේ, හිටපු ජනාධිපති ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදු වී ඇත්තේ රාජ්‍ය මූල්‍ය පාලන රෙගුලාසි පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ දුර්වල නිගමන නිසා මිස වංචාවක් හෝ හොරකමක් නිසා නොවන බව ය. වඳුරාට දැලිපිහිය අසු වූ විට සිදුවන දේ අපි අසා ඇත්තෙමු. නමුත් ඒ පිරුළ යාවත්කාලීන කරමින් වඳුරු රැලකට බාබර් සාප්පුවක්ම අසු වූ විට සිදුවන දේ ප්‍රායෝගිකවම දැක බලා ගන්නට අපට දැන් පුළුවන.

sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...