අග විනිසුරු ඇන්.ඩී.එම්. සමරකෝන්, අයි.එම්, ස්මයිල්, ජේ.ජී.ටී වීරරත්න, එස්. ශර්වානන්ද, ආර්.එස්. වනසුන්දර යන පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයම ඒකමතික වූ LAND REFORM COMMISSON Vs. GRAND CENTRAL LIMITED වාර්තාගත නඩු තීන්දුවේ හරය The Attorney-General is the Chief Legal Officer and adviser to the State and thereby to the sovereign and is in that sense an officer of the public යනුවෙන් දැක්වේ. තවත් සාරාංශ කර කියයි නම් රාජ්‍යයේ නීති නිලධාරියා ඒ අර්ථයෙන්ම මහජන නිලධාරියෙකි.
රටේ මැදහත් බොහෝ දෙනාට අනුව, දිලීප පීරිස් පෙනී සිටින නඩුවක විනිශ්ය කාරයෙක් නීතිපතියෙක් හෝ නීතියක් විනයක් නැත. දිලීප පිරිස් ඒ තරමට ආක්‍රමණශීලි වේ. හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පිළිබඳ මූලික විමර්ශණයට පෙනී සිටි රජයේ නීතිඥ දිලීප පීරිස්, ''මෙයා ටයි එකක් දාගෙන හිටියට මෙතෙන්ට එන්න තියෙන්නේ දන ගාගෙන'' වැනි අධිකරණ ක්‍රියාවලියට උසාවිය වැනි තැනකට නො ගැලපෙන නැහැදිච්ච කතා කී ඇතුළත් මාධ්‍ය වාර්තා නිරීක්ෂණය සමහරු විමසා සිටියේ උසාවියකට පුරවැසියෙක් ආ යුතු විදිය අඳින ඇඳුම තීරණය කරන්නේ රජයේ නීතිඥයාද කියලා. ඔවුන්ගේ නිරීක්ෂණය අනුව පෝරකයට නියම වූ වරදකරුවෙකු හෝ එවැනි අවමානයකට ලක් නොවේ.
වෛද්‍ය ෂාෆි
දොස්තර ෂාෆිගේ නඩුවේදී උසාවියේදී රජයේ නීතිඥ දිලීප පීරිස්ගේ හැසිරීම ගැන තෘප්තිමත්වූ මහාචාර්ය චන්න ජයසුමන පන්නයේ උදවිය දොස්තර ෂාෆි එල්ලා මැරිය යුතු යයි ප්‍රාර්ථනා කළද අවසානයේ දොස්තර ෂාපි නිදොස් කොට නිදහස් වුණා පමණක් නොව ඔහුට සියළු හිඟ වැටුප්ද ලබා දීමට සිදුවිය. ජයනී නටාෂා එදිරිසූරියගේ නඩුව...? දිලීප පීරිස් රඟ පෑ තවත් චිත්‍රපටයකි. ජයනි නටාෂාද නිදහස් විය. මේ දිලිප පීරිස්ගේ අතීතය මිස රටේ අධිකරණ පද්ධතියේ ස්වරූපය නොවේ. එසේ කියන්නේ නඩුවක හෝ පරීක්ෂණයක මූලික කරුණු යටපත් කොට උසාවිය කෝලම් මඩුවක් කර ගත්තාට ගරු අධිකරණය නොමග යැවීම පහසු නැති නිසාය.
LAND REFORM COMMISSON Vs. GRAND CENTRAL LIMITED තීන්දුව අනුව නීතිපති සහ ඔහුගේ සහ පිරිවර මහජන නිලධාරින් හැටියට සැලකෙයි. රජයේ නීතිඥ වරයෙක් හැටියට දිලීප පීරිස් පබ්ලික් ඔෆීසර් කෙනෙක් නම්, ග්‍රාම නිලධාරි සිට ආණ්ඩුවේ ඒජන්ත දක්වා නිලධාරින් මෙන් රස්සාව කිරීමේදී නිහතමානි විය යුතුවේ. තමා සේවය කරන රටේ නීතියට ගරු කළ යුතුවේ. රාජ්‍ය නිලධාරින් නිල මට්ටමෙන් පුරුවැසියන් වෙත යොමු කරන ලිපියක් අවසානයේ සිය අත්සන තැබීමට ඇති අවකාශයට ඉහළින් ''මීට යටහත් සේවක'' යනුවෙන් සඳහන් කිරිම හරහා රටේ පුර වැසියා කෙරෙහි දැක්විය යුතු නිහතමානිත්වය සහ අවනත භාවය තේරුම් ගත යුතුවේ.
නටාෂා එදිරිසූරිය
දිලීප පිරිස්ගේ වෘතීය විෂමාචාරය ගැන කෙරෙන මෙම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ නම් දේශපාලනඥයා මගහැර සමන් ඒකනායක නම් රාජ්‍ය නිලධාරියාට දිලිප පීරිස් අධිකරණයේදී සැලකූ ආකාරය ගැන කතා කිරීමට කැමැත්තෙමි. ඒ අර්ථයෙන් දොස්තර සාෆි කියන්නේත් සමන් ඒකනායක මෙන්ම රාජ්‍ය සේවකයෙකි. ජයනී නටාෂා එදිරිසූරිය පුරවැසි කාන්තාවකි.
සමන් ඒකනායක නමින් ප්‍රකට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියා ''ඒකනායක මුදියන්සේලාගේ සෝමිසාර ඒකනායක'' වීමත් දිලීප පිරිස්ගේ කෝපයට හේතු විය. ඒ වාසගම මේ විමර්ෂණයේදී වැදගත් වෙන්නේ කෙසේද? ඔහු සමන් ඒකනායක නමින් ප්‍රසිද්ධ වුවද, සිය රාජ්‍ය සේවයේදී රාජකාරි ලිපි නිකුත් කිරීමේදී (භාවිතා කළේ) යෙදූ සිය අත්සනට යටින් තබන රබර් මුද්‍රාවේ සඳහන් කළේ යෙදුවේ ඊ.එම්.එස් බී. ඒකනායක කියාය. අධිකරණයේ පෙනී සිටි පලියට සමන් ඒකනායකගේ කුල ගෝත්‍ර සිහිපත් කොට එසේ හැසිරීමට ආණ්ඩුවෙන් පඩි ගන්නා තවත් රාජ්‍ය සේවකයෙකු වන දිලිප පිරිස්ට හයිය ලැබුණේ ඔහු රජයේ නීතිඥ වීම නිසාය. ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව රාජ්‍ය සේවකයෙකු වන නීති වෘත්තිකයෙකු කිසි විටෙකත් මෙවැනි නැහැදිච්චකමක් අධිකරණයකදී තබා ප්‍රසිද්ධ වැසිකිලියක හෝ ප්‍රදර්ශනය කළ යුතු නැත. වලව්ව මුදියන්සේ වැනි අභිධානයන් පරංගි ලන්දේසි කොච්චි සම්භවයන් සහිත සමහරුන්ට නයාට අඳු කොළ මෙන් බව රහසක් නොවේ.
දිලීප පීරිස්ට නීතිපතී වීමේ ආශාවක් තිඛෙන්නට පුළුවන. එහි කිසිදු දෝෂයක් නැත. ඒ සඳහා ඔහු ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම වෘත්තික දක්ෂතාද පෙන්විය යුතු වේ. දිලීප පීරිස් වැනි ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ රජයේ නීතිඥයන් අභියාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණවල මිස මහේස්ත්‍රාත් අධිකරණවල පෙනී සිටීමෙන් කණිෂ්ඨ නිතිඥයන්ට ලැඛෙන එකම ආදර්ශය මාධ්‍ය හරහා ලැඛෙන ප්‍රසිද්ධිය පසුපස යාම පමණකි. එය නීතිපති දෙපාර්තුමේන්තුවේ කීර්ති නාමයට යහපත් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව වටහා ගත යුතුවේ.
සමන් ඒකනායක
නීතියට ගරු කරමින් සාධාරණත්වය අපේක්ෂා කරමින් පිරිසිදු දෑතින් හොඳම ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණෙන පුරවැසියන්ට වෘත්තිය රාමුවට මුවා වී දිලීප පීරිස් කරන්නේ බරපතල වරදකි. වෛද්‍ය ෂාෆි හෝ සමන් ඒකනායක අධිකරණයට පැමිණියේ සාධාරණත්වය අපෙක්ෂාවෙන් මිස මාධ්‍ය ප්‍රසිද්ධියට කෑදර (ඇමති ලාල් කාන්තගේ භාෂාවෙන් කියයි නම්) කළුකෝට්කාර මානසික රෝගින්ගෙන් හිංසාවට ගර්හාවට ලක්වීමට හෝ අවමන් විඳීමට නොවේ. මෙවැනි ලෙඩ්ඩුන් අධිකරණ රාජකාරි සඳහා නො යැවීමට නිතිපති ක්‍රියා නො කරන්නේ නම් රජයෙන් වැටුප් ලබන අධිකරණ නිලධාරින් අධිකරණයේ ගෞරවය පාරිශුද්ධ භාවය වෙනුවෙන් ඊට මැදිහත් වීමේ යම් වගකීමෙන් බැඳී සිටින බව ජනතාවගේ අපේක්ෂාව වේ.
වරක් මහනුවර මහා අධිකරණයේදී යොවුන් වියට ආසන්න සාක්ෂිකරුවෙකු ගෙන් හරස් ප්‍රශ්න අසද්දී බබා යනුවෙන් විත්තියේ නීතිඥ වරයා සාක්ෂිකරුට කිහිප වරක් ආදරයෙන් ආමන්ත්‍රණය කිරීම ගැන නො සතුටට පත් මහාධිකරණ විනිසුරු තුමා, ''මේක උසාවියක්. ළමයි නලවන්න හදන්න එපා'' යනුවෙන් අවවාද කළේය. ඒ ආචාරශීලිත්වය විත්තියේ වාසියට හැරෙන බව තේරුම් ගත් නිසා මිස හැම නීතිඥ වරයාම දිලීප පිරිස් කෙනෙකු විය යුතු නිසා නොවේ.
කෙසේ වෙතත් නිදහස් නීතිඥ වෘත්තිකයන් මෙන්ම බහුතරයක් රජයේ නීතිඥයන් අයිආර්සී කාරයන් මෙන් අධිකරණය තුළ හැසිරෙමින් නඩු කියන්නන් සහ චුදිතයන් අපහසුවට පත් කරන්නේ නැති බව මෙහිදී වෘත්තීය ගෞරවයෙන් සඳහන් කළ යුතුවේ.

වසර 48 ක් පුරා ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමයට හිමි සුවිශේෂ මුක්තිය රනිල් වික්‍රමසිංහ කාරණයේදී දැඩි සේ විවාදයට පාත්‍රව ඇත. රනිල් වැරදිකරු වුණොත් එය රාජ්‍ය තාන්ත්‍රීකව මහා කඩා වැටීමක ආරම්භය වනු නියතය. ඔහුට නඩු නො පැවරුවොත් අනුර කුමාර දිසානායකගේ පටන් අනාගතයේ එකී තනතුරට පත්වන අයවළුන්ගේ ආරක්ෂාවට නම්බුවට එය හේතුවනු ඇත. රනිල් වික්‍රමසිංහ විවාදිත ගමන ගියේ සිය කසාද භාර්යාව සමග නිසා මෙහිදී මා දියවන්නාව අසලදී අසංවරව හැසිරුණ අග විනිසුරුවරයා පිළිබඳව යමක් කීමට උත්සාහ නො කළද ඒ අවකාශයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ආර්යාව 2023 වසරේ දවසක සම්මේනලනයට සහභාගි වීම සඳහා යාපනේට ගියේ දුම්රියෙන් බවට පළවූ වාර්තා සිහිපත් කරනු කැමැත්තෙමි.
විධායක ජනාධිපති ධුරයට හිමි මුක්තියේ පුළුල් නෛතික ස්වරූපය ගැන කළ කතාබහකදී විධායක ජනාධිපති තනතුර දරන්නාගේ භාර්යාවට සිය සැමියාට එරෙහිව දික්කසාද නඩුවක් හෝ පැවරිය නොහැකි තරම් ජනාධිපති මුක්තිය ශක්තිමත් (හෝ දැඩි) බව කියැවිණ. ව්‍යවස්ථාව එකී තත්වය නිර්මානය කර ඇත්තේ විධායක ජනාධිපති තනතුරේ ගෞරවය පිණිස එකී වගකීම දරන්නාගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදූ විධිවිධානයක් ලෙස නො සැලකිය යුතු බව සාකච්ඡාව අතර අවධාරණය කෙරිණ.

එවැනි පසුබිමක රාජ්‍ය නායකයා හැටියට නිල කටයුතු වලට සහභාගි වීමට විදේශ ගතවූ අවස්ථාවක ස්වකීය භාර්යාවට ලැබීමට නියමිත ගෞරව උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවට නිල මට්ටමෙන් සහභාගි වීම වරදක් බව කල්පනා කරන අයට යමක් කියනු කැමැත්තෙමි. ඒ ගෞරවයට පාත්‍රවන තැනැත්තිය කොහේදෝ දූපතකින් පැමිණි කවුදෝ කාන්තාවක් නොව එකී ගෞරව බහුමානයට පාත්‍ර වන්නිය විද්‍යාර්ථීයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජන රජයේ රාජ්‍ය නායකයාගේ ආර්යාව බව ප්‍රකාශ වීමෙන් රටට ලැඛෙන ගෞරවය වෙනුවෙන් රටේ කිසිවෙකු වෙනම මිලක් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ආර්යාවට ගෙවා නැති බව තේරුම් ගත හැකි සාමාන්‍ය අවබෝධයක් හෝ බුද්ධියක් දිලීප පීරිස්ට තිබුණා නම් ඔහු සමන් ඒකනායකගේ පරම්පරා නාමයට කිසි විටෙකත් වෛර කරන්න් නැත.
බික් කොස්ච්චන්ලා නිසා හෑල්ලූ වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමලා විසින් ඔපවත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජන රජයේ ගෞරවය ජනාධිපති වික්‍රමසිංහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ කැටුව වුල්හැම්ටන් විශ්වවිද්‍යාලයේ එකී උපාධි ප්‍රධානොත්සවයට යාමෙන් යළි ප්‍රභාමත්වීම ගැන රටක් හැටියට සතුටු විය යුතුවේ ප්‍රචාරක කලාව පැත්තනේ ගත් විට රුපියල් මිලියන 166ක වැය බර ඛෙහෙවින් ලාභදායි ගෙවීමකි.
මේ අර්බුදකාරි සංසිද්ධිය ජනාධිපති මුක්තියේ දිග පළල පිළිබඳ පුළුල් සාකච්ඡාවක් වන හෙයින් රටේ නීති ක්ෂේත්‍රයද ගැඹුරෙන් හැදෑරිය යුතුවේ. එවැනි පලදායි අවකාශයක රජයේ නිතිඥ දිලීප පිරිස් රටේ විධායක ජනාධිපති ධුරය දැරූ එකී 77 හැවිරිදි වයෝර්ධ මිනිසාගේ දුර්වල රුධිර ධමනි ක්‍රියාකාරිත්වය ඉතා අමානුෂික හෙවත් තිරිසන් මනසකින් හාස්‍යට ලක් කළේ රනිල් වික්‍රමසිංහ සවුත්තු කිරිමට විය හැකිය. දිලීප පිරිස් විසි කළ ඒ අසූචි පොදිය සිය වසක් ඉපැරණි නිතිපති දෙපාර්තමේන්තුවේ පියස්සේ සිට පාදම තෙක් ගඳ ගස්සවන දුර්වර්ණ කරන තරමට බරපතල බව ඉතිහාසය ලියා තබනු ඇත.
මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමයද නීතිපති පාරින්ද රණසිංහ සම්බන්ධව සමාජ මාධ්‍ය භාවිතාව ගැන සංවේගය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එකී නිවේදනයෙන් නො නැවතී තම ආයතනික ගෞරවය ආරක්ෂා කිරීමට නිල වශයෙන් පියවර ගත යුතු බව නිදහස් නීති වෘත්තිකයන්ගේ විශ්වාසය වේ.

ජනවාරි 28 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දිලීප පිරිස් සැලකූ ආකාරය මොහොතකට අමතක කර වෙනත් කරුණක් ගැන නීතිපතිගේ සහ නීති නිලධාරින්ගේ සංගමයේ දැඩි අවධානය යොමු කර සිටිමි. මේ කියන දවසේ රජයේ නීතිඥ දිලීප පීරිස් අධිකරණය අමතා මෙම මෙයාට විරුද්ධව අධි චෝදනා ගොනු කරනවා යයි කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාවාදි ජන රජයේ ආයතන සංග්‍රහය අනුව දිලීප පීරිස් සිය තරාතිරම ඉක්මවා කළ ප්‍රකාශය ගැන මූලික විමර්ෂණයක් කර විනය පියවර ගත යුතුව තිබේ. එසේ නො වන්නේ නම් ඉහතින් සඳහන් කළ නඩු තීන්දුව අනුව නීතිපති රාජ්‍යයේ නීතිඥ වරයාය යන නෛතික නිගමනය දිලීප පිරිස් විසින් කළ නො තකා හැරීමක් තීරණය හෑල්ලූ කිරීමක් වන අතර එය කාල භේදයකින් තොරව උපරිමාධිකරණයට කළ අපහාසයකි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාවාදි ජන රජයේ අංක 535/7- 1988 දෙසැම්බර් 07 වැනි බදාදා නිකුත් කළ ආණ්ඩුවේ නිවේදන යටතේ දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයන් සඳහා බලපාන රීති මාලාවේ විරුද්ධ පාර්ශවයට, සාක්ෂිකරුවෙකුට හෝ වෙනත් යම් තැනැත්තෙකුට නින්දා කිරීම හෝ ඔවුන් හෙළා දැකීම හෝ පිණිස පමණක්ම නීතිඥයෙකු විසින් ප්‍රශ්න නැගීම හෝ ප්‍රකාශයක් කිරිම නො කළ යුතුය. ආදි නියමයන් ඇතුළත් අංක 53 (1) (2) සහ අංක 54 යටතේ විෂාමාචාර සිදු කිරිම මත නීති වෘත්තියේ ගෞරවය මෙන්ම අධිකරණය රටේ ජනතාවට විශ්වාසයෙන් පැමිණිය හැකි දේවාලයක්ය යන විශ්වාසය තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රීති සංග්‍රහයේ පවත්නා උක්ත වෘතීය ආචාර ධර්ම නියමයන් ප්‍රමාණවත් හෙයින් දිලීප පිරිස්ට එරෙහිව පරික්ෂණයක් සිදු කිරීමට නීති නිලධාරින්ගේ සංගමය හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ක්‍රියා කළ යුතුව තිබේ.

මෙම ලිපියේ ප්‍රස්තුතයෙන් පිටස්තර තවත් කරුණක් අවධාරණය කළ යුතුව තිබේ. එනම් දිලීප පීරිස් දෙසැම්බර් 28 වෙනිදින බ්‍රිතාන්‍යයේ වුල්හැම්ටන් විශ්වවිද්‍යාලය පුද්ගලික එකක් බවට අධිකරණය හමුවේ කළ ප්‍රකාශය අධිකරණය නොමග යැවීමකි. නීතිපතිගේ අවසරය නො ලබා රනිල් වික්‍රමසිංහට චෝදනා ගොනු කිරීමට අවශ්‍ය මූලික පරීක්ෂණයට එංගලන්තයට ගිය ශ්‍රී ලංකික පොලිස් විමර්ෂණ කණ්ඩායමට එකී උපාධි ප්‍රදානෝත්සවය ගැන අවශ්‍ය විස්තර ලබා ගත නොහැකි වුණේ ජාත්‍යන්තරය පිළිගත් University Autonomy නම් සම්ප්‍රදාය අනුව ලංකාවේ විමර්ෂණ කණ්ඩායමට එකී තොරතුරු ලබා දීමට එකී විශ්වවිද්‍යාලය බැඳි නැති නිසා බව දීලීප පිරිස් නොදැන සිටියා නම් එයද ගැටළුවකි. හේතුව එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව එවැනි විමර්ෂණයක් කළ හැක්කේ නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත පමණක් බව දිලීප පීරිස් දැන සිටිය යුතු නිසාය.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




