The Leader News
BREAKING
Top Ad
Opinion

ලෝකයේ 'දියුණු' ධනවත් රටවල් ගැන කතාව ලොකු බොරුවක් | කුසල් පෙරේරා

T

The Leader Desk

February 5, 2026 • 5:32 AM

ලෝකයේ 'දියුණු' ධනවත් රටවල් ගැන කතාව ලොකු බොරුවක් | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ලෝකයේ පොහොසත් බලසම්පන්න, “දියුණු” රාජ්‍යයන් ගණනාවක් ඇතැයි අපට කියා දී ඇත. අපි එය විශ්වාස කරන්නෙමු.
  • ඒ රටවල අති බහුතරය ඔවුන්ගේ ජාතික ආර්ථිකයේ හිමිකරුවන් නොවන බව කිව හැකිය.
  •   ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ දේශීය වත්කමෙන් සියයට 70 ක් හිමි වන්නේ ජනගහනයෙන් පොහොසත්ම සියයට 10 ටය.
  • වාර්ෂික ආදායමෙන් සියයට 50 ක් ලබන්නේද ඔවුන්ම ය.
අකුරු ප්‍රමාණය (Font Size):


“දියුණු බලසම්පන්න” රටවල් යැයි අපට පෙන්වන්නේ, දුප්පත් රටවලට ණය ආධාර දීමේ ආර්ථික ශක්තිය ඇති සහ හමුදා බලයක් ප්‍රදර්ශනය කළ හැකි රටවල් ය. මේ බල ධූරාවලියේ ඉහළින්ම ඉන්නා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික රටවල් 05 වන ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, ප්‍රංශය, රුසියාව හා චීනය වැනිම පොහොසත් බලවත් තවත් රටවල් කිහිපයක් ඇතත් ඒවාට, ඓතිහාසිකව ගොනු කර ගත හැකි වූ ජාත්‍යන්තර දේශපාලන බලයක් නැත. කැනඩාව, ඕස්ත්‍රේලියාව, ජපානය එවැනි රටවල් ය.

මේ රටවල් සම්බන්ධයෙන් අප ඇසිය යුතු වැදගත් හා ප්‍රධානම ප්‍රශ්නය වන්නේ, ඒ රටවල ආර්ථිකය හිමි රටේ ජනතාවටද නැතිනම් කාටදැයි යන්නය. ඒ රටවල අති බහුතරය ඔවුන්ගේ ජාතික ආර්ථිකයේ හිමිකරුවන් නොවන බව කිව හැකිය.

 

us poor p

ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ දේශීය වත්කමෙන් සියයට 70 ක් හිමි වන්නේ ජනගහනයෙන් පොහොසත්ම සියයට 10 ටය. වාර්ෂික ආදායමෙන් සියයට 50 ක් ලබන්නේද ඔවුන්ම ය. සමාජයේ සියයට 50 ක් වන දුප්පත් පුරවැසියන්ට හිමිව ඇත්තේ ජාතික වත්කම් වලින් සියයට 03 ත් 05 ත් අතර ප්‍රමාණයකි. මැතිවරණ වල ඔවුන් ඡන්දය භාවිත කළද, ආණ්ඩු පාලනය ඇත්තේ පොහොසත් ධනවත් සියයට 10 ට හිමි යෝධ ව්‍යාපාරිකයින් වෙනුවෙනි. ඇමෙරිකාව පොහොසත් බලවත් රටක් යැයි කියන්නේ මේ සියයට 10 ක පිරිසට හිමි ආර්ථික වර්ධනය වෙනුවෙන් වොෂිංටනයේ ලොක්කන් ලෝක ආර්ථිකයට මැදිහත්වන ආකාරය අනුවය. සරළව කියන්නේ නම්, ඇමෙරිකානු ආර්ථිකය යැයි කියන්නේ රටේ බහුතර ජනතාවට හිමි ආර්ථිකයකට නොව, යෝධ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගේ ආර්ථිකයකට ය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව වැනි රටවලද ආර්ථික හසුරුවනු ලබන්නේ යෝධ බහුජාතික ජාවාරම්කාර ව්‍යාපාර විසින් ය.

zj shelters

 

පසුගිය දසක තුන හතරක කාලයේ පොහොසත් වූ චීනය, වියට්නාමය, ඉන්දියාව වැනි රටවල ආර්ථිකද එවැනිම ය. චීන ආර්ථිකයෙහි 2025 වන විට චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානීන් හෝ පක්ෂ අනුග්‍රහය ලැබූ ඩොලර බිලියනාධිපතීන් 1,021 ක් වූහ. ලොව වැඩිම බිලියනාධිපතීන් ඉන්නා රටවල් අතුරෙන් ඔවුන් දෙවෙනි වන්නේ ඇමෙරිකාවට ය. චීනයේ පවුල් මිලියන 470 කින් පමණ පොහොසත්ම පවුල් 1,30,000 ක් චීන ජාතික වත්කමෙන් සියයට 58 ට හිමිකම් කියති. ජාතික ආදායමෙන් සියයට 41 ක් ඔවුන් ලබා ගනිති. චීනය ඔවුන්ගේ දුප්පත්කම ගණන් හැදිල්ලේ “අතිශය දුප්පත්” (Extreme Poverty) යැයි වන ඩොලර් 01.9 (යුආන් 13.2) ක මට්ටම අතහැරි පසු 2022 වසරේ ඔවුන්ගේ ග්‍රාමීය දුප්පත්කම සියයට 17 ක් විය (හුරුන් පර්යේෂණ ආයතනය, ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාල හා බී.බී.සි තොරතුරු ඇසුරෙනි).

එනිසා “චීන ආර්ථිකය” යැයි කියන්නේ චීන ජාතිකයින්ගේ ආර්ථිකයට නොවේ. කොමියුනිස්ට් පක්ෂය විසින් චීන පවුල් මිලියන 470 න් අති පොහොසත් පවුල් සියයට 0.03 ක පමණ පවුල් සංඛ්‍යාවකට ලාභ ඉපැයීමට හා රාජ්‍ය බලය රඳවා ගැනීම වෙනුවෙන් හසුරුවන ආර්ථිකයට ය.

hq720

 

ඉන්දියානු ආර්ථිකය ගැන කීමට ඇත්තේද එයම ය. ලෝක බැංකුවට අනුව ඉන්දියාවේ 2023 වසරේ අන්ත දුගී ජනගහනය මිලියන 75 (ක්‍රෝර් 07.5) කි. ඉන්දියානු දරිද්‍රතා රෝඛාවට පහළින් බිලියන 01.1 ක් වූහ. “ඔක්ස්ෆම්” සංවිධානයට අනුව අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා ගැනීමට නොහැකිව හැම අවුරුද්දකම අලුතින් මිලියන 63 ක් දරිද්‍රතාවයට තල්ලු වන්නාහ. එවැනි වූ ඉන්දියාවේ, 2019 සිටි බිලියනාධිපතීන් 07 දෙනා, 2025 දී බිලියනාධිපතීන් 191 ක් විය. මේ ඉන්දියානු ආර්ථිකයේ වත්කම් බෙදී යාමේ විෂමතාව කොතෙක් බරපතලදැයි කිවහොත් ජනගහනයෙන් පොහොසත්ම සියයට 10 ට ජාතික වත්කමින් සියයට 85 ක් පමණ හිමි වන්නේය. බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගෙන් සියයට 65 ක් ඉන්නේ බිහාර්, උත්තර්ප්‍රදේශ්, මහරස්ත්‍රා, බටහිර බෙංගාලය හා මධ්‍ය ප්‍රදේශයේ ය.  

මේ ආර්ථිකය ඉන්දියානුවන්ගේ ආර්ථිකයක් නොව, මෝඩි ආණ්ඩුව නඩත්තු කරන යෝධ ඉන්දියානු ධනකුවේරයන් අතලොස්සගේ ආර්ථිකයකි.

ලෝකයේ “දියුණු” ධනවත් රටවල් යැයි අප ගෞරවයෙන් කතා කරන මේ රටවලින් ගත යුතු ආදර්ශය කුමක්ද? අති බහුතර දුප්පත් ජනතාවක් සමග ජීවත්වීමේ බුක්තියද නැතිනම්, අතළොස්සක් ධනකුවේරයින් වෙනුවෙන් ජීවිතයම කඹුරණ ආර්ථිකයක් නඩත්තු කිරීමේ අවසරයද?

powern0c85ynt

රටේ ජනගහනයෙන් අති බහුතරය බහුවිධ දරිද්‍රතාවයක රඳවා, අතළොස්සක් ජාවාරම්කාර ධනකුවේරයින්ගේ දේශපාලන බලය වෙනුවෙන් ලොව දුප්පත් රටවලට හමුදා ආරක්ෂාවද ඈඳා කෙරෙන ණය ආධාර දීමේ ගෝලීය චණ්ඩිකම අප අනුකරණය කළ යුතු ආදර්ශයක් නොවන්නේ යැයි මම කියමි. අප හදාගත යුත්තේ අති බහුතරයකට සුව පහසු, නිදහස්, ශිෂ්ඨ ජීවිතයක් ගත කළ හැකි ආර්ථිකයක් සතු සමාජයකි. ඒ ආර්ථිකයට හවුල් කරගත නොහැකි සුළුතරයක් වන්නේ නම් ඔවුන් වෙනුවෙන් සමාජ සුභසාධනයක් නඩත්තු කළ හැකි ආර්ථිකයකි.

ඒ වගකීම බාර ගැනීම අප නොකඩවා මග හැර ඇත. වැදගැම්මකට නැති සුළුතරයකගේ චණ්ඩි ආර්ථිකයක් ලෝකයේ “දියුණු” ධනවත් ආර්ථිකයක් යැයි සහතික ලිවීමේ නිවට දේශපාලනය අප දැන්වත් අත හැරිය යුතුව ඇත.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 පෙබරවාරි 04 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...