The Leader News
BREAKING
Top Ad
Opinion

බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි !

T

The Leader Desk

February 5, 2026 • 10:50 AM

බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වූ බලශක්ති ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි.*නැතිනම් වහා ඉවත් කළ යුතුයි*ජනතා අලාභය අයකර ගත යුතුයි
  • එම චෝදනා නිවැරදි නම්, එය ඩොලර් බිලියනකට වැඩි දූෂණයක් බවත් එවැනි දූෂණ වලට එරෙහි ඇමතිවරයෙකු යටතේ එය සිදුවිය නොහැක්කක් හෙයින්, ඒ සම්බන්ධ සියලු තොරතුරු මන්ත්‍රී ඩී.වී.
  • එම ගල් අඟුරු ආනයනය සඳහා අවසර ලබා දෙනු ලැබූ ගැසට් නිවේදනය සභාගත කරමින් මන්ත්‍රී චානක කියුවේ, එම දූෂණය සම්බන්ධ පරීක්ෂා කිරීම් ආණ්ඩුව ඒ වනවිට ආරම්භකර ඇති බවත් එම ගනුදෙනුවට අවසර දිය නොහැකි යැයි අදාල සංස්ථා සභාපති ඉල්ලා අස්වී ඇති බවත් ය.
  • ඔහුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි විමර්ශනයෙන් පසු,රුපියල් මිලියන 08 ක පොහොර සංස්ථාවේ දූෂණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් නඩු පැවරීමට පියවර ගන්නා බවට පසුගිය මාසයේ වාර්තා පළ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නොරොච්චෝලේ බලාගාර සඳහා ප්‍රසම්පාදනයේ පිළිගත් සම්මත පිළිවෙත් මග හරිමින් ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු තොග ආනයනය කිරීමේ ටෙන්ඩර පිළිගැන්වීම පිළිබඳව පළමු වරට පාර්ලිමේන්තුවේ අනාවරණය කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 21 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසිනි. එම චෝදනා නිවැරදි නම්, එය ඩොලර් බිලියනකට වැඩි දූෂණයක් බවත් එවැනි දූෂණ වලට එරෙහි ඇමතිවරයෙකු යටතේ එය සිදුවිය නොහැක්කක් හෙයින්, ඒ සම්බන්ධ සියලු තොරතුරු මන්ත්‍රී ඩී.වී. චානක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ස.ජ.බ මන්ත්‍රී අජිත් පෙරේරා කියා සිටියේ ය.


එම ගල් අඟුරු ආනයනය සඳහා අවසර ලබා දෙනු ලැබූ ගැසට් නිවේදනය සභාගත කරමින් මන්ත්‍රී චානක කියුවේ, එම දූෂණය සම්බන්ධ පරීක්ෂා කිරීම් ආණ්ඩුව ඒ වනවිට ආරම්භකර ඇති බවත් එම ගනුදෙනුවට අවසර දිය නොහැකි යැයි අදාල සංස්ථා සභාපති ඉල්ලා අස්වී ඇති බවත් ය.

 

ඉන් තෙමසකට පසු නොවැම්බරයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති අනුර කුමාර යටතේ තුනෙන් දෙකකට වැඩි බලයක් සහිත ජවිපෙ/මාලිමා ආණ්ඩුව නොවැම්බර 18 වන දින දිවුරුම් දෙනු ලැබුවේ දූෂණයෙන් තොර, ජනතාවට පූර්ණ ලෙස වග කියන්නාවූ, පිරිසිදු, පාරදෘශ්‍ය ආණ්ඩු පාලනයක් පොරොන්දු වෙමින් ය. තමන්ගේ කඳවුරෙහි දූෂණ වංචා සම්බන්ධ චෝදනාවක් හෝ දූෂණ වංචාවල ගෑවිලා හෝ ඇති කිසිවෙකු නැතැයි ජනාධිපති අනුර කුමාර කියූ නමුත් ඒ ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ බල ශක්ති ඇමති ලෙස පත් කිරීමේ තේරීම වූයේ, 2015 වසරේ ශ්‍රී ලංකා පොහොර සංස්ථාවේ රුපියල් මිලියන 08 ට වැඩි දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් රැකියාව අහිමිව සිටි, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනෙනු ලැබූ කුමාර ජයකොඩි නැමැති ජනාධිපති අනුර කුමාරගේ හිතවතෙකි. ඔහුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි විමර්ශනයෙන් පසු,රුපියල් මිලියන 08 ක පොහොර සංස්ථාවේ දූෂණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් නඩු පැවරීමට පියවර ගන්නා බවට පසුගිය මාසයේ වාර්තා පළ විය.


 

පසුගිය 2024 පාර්ලිමේන්තුමැතිවරණය හේතුවෙන් ප්‍රමාදව තිබූ ප්‍රමිතියකින් තොර ගල් අඟුරු ආනයන කිරීමේ ගනුදෙනු යළි ආරම්භ වූයේ වර්තමාන ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ බල ශක්ති ඇමතිවරයා වන කුමාර ජයකොඩි යටතේය. ජවිපෙ/මාලිමා ආණ්ඩුව පත්ව අවුරුද්දකුත් මාස දෙකකට පසු ඉකුත් ජනවාරි08 වන දින විපක්ෂ මන්ත්‍රී ඩී.වී. චානක විසින් ආනයනය කරන්නාවූ ප්‍රමිතියකින් තොර ගල් අඟුරු මගින් විශාල මුදලක් පිල්ලි ගසා ඇති බවටත් එම ගල් අඟුරු දහනය කිරීමෙන් පළාතට හා පළාතේ ජනතාවට බරපතල පරිසර උවදුරු වලට මුහුණ දෙන්නට සිදුවන බවටත් පාර්ලිමේන්තුවේදී නැවත කරුණු ඉදිරිපත් කළේය.

 

'ප්‍රමිතියකින් තොර ගල් අඟුරු භාවිතය නිසා සැළකිය යුතු පරිසර විනාසයක් නොරොච්චෝල ප්‍රදේශයේ සිදුවන්නේ යැයි පරිසර අමාත්‍යාංශය විසින්ද දැන් පිළිගනු ලබයි. පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි මාධ්‍යයට කියා තිබුණේ, ප්‍රමිතියකින් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් පාරිසරික හානි සිදුව ඇත්තේ නම්, අදාල ආයතන ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවය. එහි අඩංගු ගෙන්දගම් සම්බන්ධ වැඩි කණස්සල්ලක් ඇතැයිද ඔහු කියා තිබිණ. ඒ හේතුවෙන් පාරිසරික ගැටළු ඇති වන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි කියූ නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි, ඒ ගැන මධ්‍යම පරිසර අධිකාරිය සමග සාකච්ඡා කළ යුතු යැයිද කියා තිබිණ.

'ඒ සමග මීට දින දෙකකට කලින් පසුගිය අඟහරුවාදා (පෙබ.03) බල ශක්ති ඇමති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශ හරියාකාරව ප්‍රශ්න කිරීමට තරම් දැනුවත් බවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොමැති බවද ප්‍රදර්ශනය විය. මාධ්‍යයෙහි වාර්තා වන අයුරු, බලශක්ති ඇමතිවරයා පාර්ලිමේන්තුවට කියා තිබුණේ අවශ්‍ය ප්‍රමිතීන්ට අනුව ගල් අඟුරු තොග සැපයූවේ නැති නම්, සැපයුම්කරු අතහැරීමට ආණ්ඩුව පසුබට නොවන බවත් එවැනි විට හදිසි මිලදී ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා බවත් ය. සපයා ඇති බාල ප්‍රමිතියක ගල් අඟුරු වල අලාභය බාර ගන්නේ කවුරුන්ද හා ඒ තොග වලට කරන්නේ කුමක්දැයි විපක්ෂය ඇසුවේත් නැත. ඇමති පැහැදිලි කෙරුවේත් නැත. එවගේම, හදිසි මිලදීගැනීම් සඳහා කැබිනට් අනුමැතියකින් ලබා ගන්නා අවසරය මගින් ගල් අඟුරු තොග සතු ප්‍රමිතීන් සහතික කළ හැක්කේ කෙසේදැයි විපක්ෂය ඇසුවේත් නැත. ඇමති පැහැදිලි කෙරුවේත් නැත. කතා කර තිබූයේ මිල ගණන් වල වාසි අවාසි පමණි. හදිසි මිලදී ගැනීම් ගැන අවධාරණය කෙරෙන්නේ, එවැනි විට ටෙන්ඩර් කැඳවීමකින් තොරව, විවෘත වෙළදපල මිල ගණන් අනුව ඕනෑ මිලකට ගැනීමේ අවසරය ඉන් ලැබෙන හෙයිනි. එහි වාදයක් තිබිය නොහැක.

 


 
'ඒ කෙසේමුත්, ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ බලශක්ති ඇමති හා විදුලිබල මණ්ඩලයේ ඔවුන්ගේ ප්‍රධානීන් ගෙන්වා ඇති බාල ප්‍රමිතියක ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරවලට පමණක් නොව, අවට පරිසරයට හා පුරවැසියනටද හානි සිදුවන බවට අලුතින් තර්ක කිරීමට අවශ්‍ය නැත. කෙඳිරිල්ලක් ලෙස වූවත් පරිසර අමාත්‍යාංශයද ඒ හානිවීම් පිළිගනු ලබයි. ආනයනය කළ බාල ගල් අඟුරු තොග භාවිත කරන තාක් බලාගාර වලට හා පරිසරයට එවැනි හානි දිගින් දිගටම සිදුවනු ඇත. එනිසා ඒ තොග වහා ඉවත් කළ යුතු වන්නේය. එවගේම පරිසරය පිළිසකර කිරීමට හා ඉන් අගතියට පත් ජනතාවට ඩිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට මෙන් නිගරු චෙක්පත් නොව, සැබෑ වන්දි ගෙවීමක් කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුව ඇත.

'ඉවත් කළ යුතු ගල් අඟුරු තොග සඳහාත් විනාස වූ පරිසරය පිළිසකර කිරීමටත් අගතියට පත් ජනතාවට වන්දි ගෙවීමටත් වැය වන රුපියල් බිලියන ගණනක මහජන මුදල සඳහා පූර්ණ වශයෙන් වගකිව යුත්තේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ එම ආනයන සඳහා නිල වශයෙන් හවුල් වූ ඔහුගේ ඉහළ නිලධාරීන්ය. එබැවින් සියල්ලට පෙර සිදුවිය යුත්තේ, විෂය බාර ඇමති කුමාර ජයකොඩි ගෙන් සහ මේ ගල් අඟුරු තොග ආනයනයට නිල වශයෙන් හවුල් වූ සැමගෙන් ඒවාට ගෙවූ හා ඒ වෙනුවෙන් වැය වූ මුළු මුදල අයකර ගැනීමත් ඇමති ජයකොඩි වහා ඉල්ලා අස්වීමත් ය.

 

මහා ඉල්ලමක් තම අතයට තිබියදී ඔහු ඉල්ලා අස් නොවන බව කිව යුත්තක් නොවේ. එබැවින් ඔහුව අමාත්‍ය ධූරයෙන් වහා ඉවත් කරන මෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටත සමාජයේත් දැඩි ස්වරයකින් ජනාධිපතිට කිව යුතු වන්නේය. විපක්ෂයේ මන්දපෝෂණය ගැනද අවබෝධයක් ඇති හෙයින් අවසන් වශයෙන් කිව යුත්තේ පරිසරකාමීන් හා විදුලිය පාරිභෝගිකයින් ඒ වගකීම අතට ගත යුතු බවය. බලශක්ති ඇමතිවරයා ධූරයෙන් ඉවත් කරන ලෙසත් ඔහු යටතේ ප්‍රමිතියකින් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන් නාස්ති කළ සියලු මුදල් අය කර ගැනීමටත් ජනාධිපති වහා පියවර ගත යුතු යැයි බලකෙරෙන සමාජ මතයක් හා ජන බලයක් හැදිය යුතු බවය.'
 
Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 පෙබරවාරි 05 වන දින

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...