The Leader News
BREAKING
Top Ad
Opinion

විවෘත වෙළඳපල ආර්ථිකයේ දූෂණ නතර කරන්න ජවිපෙ/මාලිමා ආණ්ඩුවට බැහැ

T

The Leader Desk

February 8, 2026 • 11:32 AM

විවෘත වෙළඳපල ආර්ථිකයේ දූෂණ නතර කරන්න ජවිපෙ/මාලිමා ආණ්ඩුවට බැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇයි විවෘත වෙළඳපල ආර්ථිකය ගැන කතා කරන්නේ?
  • ඒක කර තියාගෙන “දූෂණ වංචා නතර කරන්න” කවුරුන් කොහොම පොරොන්දු දුන්නත් ඒ කිසිවක් වලංගු නැති බව, අවුරුදු 48 ට පස්සෙවත් තේරුම් නොගන්න නිසා ඒ ගැන කතා කළ යුතුයි.
  •   ගිණිකොන ආසියාවේ හැම රටකම රාජ්ය අංශය අතිශය දූෂිතයි කියලා TheGlobalEconomy.com, වෙබ් අඩවිය 2024 දී සඳහන් කරලා තිබුණා.
  • “ට්රාන්ස්පේරන්සි ජාත්යන්තරය” කියන ආකාරයට ඒවායේ වඩාත්ම දූෂිත, දේශපාලන පක්ෂ සහ පොලීසිය ඇතුළු රාජ්ය සේවාවන්.
අකුරු ප්‍රමාණය (Font Size):


ජයවර්ධන ජනාධිපති අවුරුදු 48 ට පෙර 1978 දී විධායක ජනාධිපති ධූරයත් එක්ක, මේ විවෘත වෙළඳපල ආර්ථිකය හඳුන්වා දුන්නට පස්සේ ආණ්ඩු මාරු කෙරුවට, පක්ෂ මාරු කෙරුවට, නායකයෝ මාරු කෙරුවට, මේ විවෘත වෙළඳපල එක්ක වැදගත් ශීලාචාර සමාජයක් හදා ගන්න බැරි උනා. ඒක කර තියාගෙන “දූෂණ වංචා නතර කරන්න” කවුරුන් කොහොම පොරොන්දු දුන්නත් ඒ කිසිවක් වලංගු නැති බව, අවුරුදු 48 ට පස්සෙවත් තේරුම් නොගන්න නිසා ඒ ගැන කතා කළ යුතුයි.

AKD 22

පළමුවෙනි සහ මූලික කාරණාව නම්, විවෘත වෙළඳපල ආර්ථිකයක් කියන්නේ නාගරික වෙළඳපලකටයි. නගරයක වෙළඳපල විශාල වුනාට, ඒකෙන් රටක් දියුණු කරන්න බැහැ. විවෘත වෙළඳපල ආර්ථිකයක් පවතින්නේ සල්ලි තියෙන නාගරික මැදපංතිකයින්ගේ තරගකාරී පරිභෝජනය එක්කයි. වෙළඳුන් ලාභ එකතු කරන විශාල පාරිභෝගික කේන්ද්‍රස්ථානයක් හැටියටයි. එවැනි විවෘත වෙළඳපල ආර්ථිකවල දූෂණ වංචා ආවේනික ලක්ෂණ. විවෘත වෙළඳපල ආර්ථික පවත්වා ගන්නේ ජාවාරම්කාරයින් මිසක් ධනපතීන් නෙවෙයි. ජාවාරම්කාරයින් කියන්නේ, පෞද්ගලික අයිතිය නීතියෙන් ආරක්ෂා කරන සමාජයක, දේශපාලන බලය මත තමන්ගේ ලාභය තීන්දු කරන ගනුදෙනුකරුවන් පිරිසකට. රාජ්ය බලය හසුරුවා ගැනීමේ දේශපාලන බලය තමන්ට රිසි සේ කලමනාකරණය කරගැනීම, ඔවුන්ගේ වත්කම් ගොඩ ගසා ගැනීම සඳහා අනිවාර්ය වෙනවා.

විවෘත වෙළදපල ආර්ථික නඩත්තු කෙරෙන හැම රටකම තත්ත්වය ඒකයි. ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය, තායිලන්තය, තායිවානය, චීනය, වියට්නාමය, බ්රසීලය, ආජන්තිනාව, දකුණු අප්රිකාව වැනි “දියුණු වන රටවල්” යැයි හැඳින්වෙන හැම රටකම තත්ත්වය ඒකයි.

 

v45y6
ගිණිකොන ආසියාවේ හැම රටකම රාජ්ය අංශය අතිශය දූෂිතයි කියලා TheGlobalEconomy.com, වෙබ් අඩවිය 2024 දී සඳහන් කරලා තිබුණා. ඒ වෙබ් අඩවියට අනුව ගිණිකොන ආසියානු කලාපයේ වැඩිම දූෂණ වංචා සිදුවන්නේ මියන්මාරයේ හා කාම්බෝජයේ. දකුණු ආසියාවේ රටවල් අතර ශ්රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය හා ඇෆ්ගනිස්ථානය විශාල වශයෙන් දූෂණ වංචා සිදුවන රටවල්. “ට්රාන්ස්පේරන්සි ජාත්යන්තරය” කියන ආකාරයට ඒවායේ වඩාත්ම දූෂිත, දේශපාලන පක්ෂ සහ පොලීසිය ඇතුළු රාජ්ය සේවාවන්. අප්රිකානු මහද්වීපයේ රටවල් 28 න් 18 ක් බරපතල ලෙස දූෂණයට හා වංචාවට නතුව තියෙනවා විතරක් නෙවෙයි, අප්රිකානු මහද්වීපයේ දූෂණ හා වංචා සීඝ්රයෙන් වර්ධනය වෙනවා කියලත් “ට්රාන්ස්පේරන්සි ජාත්යන්තරයේ” 2015 වසරේ වාර්තාවක් සඳහන් කරලා තියෙනවා.

මෙයින් කියන්නේ වෙළදපල ආර්ථික පවතින බටහිර යුරෝපීය රටවල, උතුරු ඇමෙරිකාවේ දූෂණ වංචා නැතැයි කියලා නෙවෙයි. ඒවායේද බහුජාතික සමාගම් එක්ක යෝධ දූෂණ වංචා සිදුවෙනවා. නමුත් නීතියට අමතරව, සමාජ සම්මත හා සම්ප්රදායන් එක්ක සැළකිය යුතු වැදගත් ආණ්ඩු පාලනයක් තහවුරු වෙලා තියෙන නිසා, සමාජ බලපෑම් හා විමසීම් හමුවේ ඒවා පාලනය වෙනවා. ඒ රටවල වෙළඳපල හැදෙන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ, සිවිල් අයිතිවාසිකම් හා ආණ්ඩු පාලන සම්බන්ධව සියවස් ගණනාවක් පුරා දිග හැරුණු ඓතිහාසික සමාජ පෙරැළි සමග වීම අනෙක් කාරණාවයි. ඒ සමාජ පෙරැළි සමග දිග හැරුණු දේශපාලන වාද විවාද විසින් දැනුවත් දියුණු සමාජ හදලා තියෙනවා. ඒවයේ සමාජ පැවැත්ම සම්බන්ධ සම්මුතීන් සමාජ සම්ප්රදායන් හැදුනා. එවැනි සමාජ සඳහා ලිඛිත නීති අවශ්ය වන්නෙත් නැහැ. ඇත්තම කතාව, ඒවායේ නීති ලියනු ලබන්නෙත් සමාජ සම්මුතීන් සම්ප්රදායන් හා ඒවාට පදනම් වූ, සමාජ මතවාද අනුවයි.  

1695609682 law L

 

එවැනි සමාජ කතිකාවන් එක්ක “සමාජ හිමිකාරිත්වය” වෙනුවෙන් සිවිල් අයිතිවාසිකම් හා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සමග, නීති ක්රියාත්මක කිරීමේදීත් වැදගත් සමාජ බලපෑමක් ඇති කෙරෙනවා. එවැනි කිසිම අත්දැකීමක් නැති, එවැනි සමාජ හිමිකාරිත්වයක්ද නැති අපගේ වැනි රටවල, විදේශ අත්දැකීම් මත හැදෙන නීති, සංකල්ප පනත් ලෙස සම්මත කළ පමණින් ඒවාට සමාජ හිමිකාරිත්වයක් ලැබෙන්නේ නැහැ. එනිසා බොහෝ විට, ජාවාරම්කාර දූෂිත ගනුදෙනු පාලනය වීමක් නීතියෙන් සිදු වන්නේද නැහැ. ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ පනත 2019 දී නැවත සංශෝධනය කරන කොට දේශපාලන පක්ෂ සහ අධිකරණයත් අගවිනිසුරු සමග ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුනුත් ඇතුළු කෙරුවේ දූෂණ වංචා හරියාකාරව පාලනය කර ගන්න.

මේ වගේ ජාවාරම්කාරයින්ගේ විවෘත වෙළදපල ආර්ථිකයක දූෂණය තුරන් කිරීමට නෙවෙයි, පාලනය කරන්නත් එවැනි නීති මගින් පමණක් බැහැ. ඉන්දියාවේ, තොරතුරු දැන ගැනීමේ පනත 2005 සම්මත කෙරුවට පස්සේ පළමු අවුරුදු 10 ඇතුළත තොරතුරු ලබා ගැනීමට ඉල්ලුම් පත් ඉදිරිපත් කළ සංඛ්යාව මිලියන 17.5 ක් වෙනවා. ඉන්දියාව පුරා දවසකට ඉල්ලුම්පත් 4,800 ක් ඉදිරිපත් කෙරෙනවා. පොදුරාජ්ය මාණ්ඩලීය මානව හිමිකම් පුරෝගාමිත්වයට අනුව, ඉන්දියාවේ තොරතුරු ලබා ගැනීමට ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීම නිසා විවිධ හිංසනයන්ට, ශාරීරික පහරකෑම් වලට හා මානසික පීඩනයට ගොදුරුවූ, නිවාස වලට බරපතල හානි සිදුවූ සංඛ්යාව 310 ක් වන අතර, ඝාතනය කරනු ලැබූ සංඛ්යාව 50 ක් සහ සියදිවි නසා ගැනීම් 02 ක් සටහන්ව තිබෙනවා.

corruption

ඒත් දූෂණ අඩුවක් නැත. හේතුව, ජාවාරම්කාර විවෘත වෙළදපල ආර්ථිකයක සමාජ පරාර්ථය හා විනයද පිරිහෙනවා. ඒ නිසා සදාචාරයක් නොමැති, අතිශය ආත්මාර්ථකාමී පුරවැසි සමූහයක් සමග විවෘත වෙළඳපල පවතින්නේ එයට අවශ්ය ආකාරයේ ආණ්ඩු පාලනයක් සමග, දූෂිත වෙළඳපලක් හැටියටයි. ඉන්දියාව ඒ සඳහා නැවතත් හොඳ නිදසුනක්. ඉන්දියානු ආර්ථිකය 1991 විවෘත කෙරුවට පස්සේ, “ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහාවන සංවිධානය” විසින් 2024 ජුනියේදී කරන ලද තොරතුරු අධ්යනයකට අනුව, මන්ත්රීවරුන් 543 ක් ඉන්න ලොක් සභාවේ (ඉන්දියානු පාර්ලිමේන්තුව) අපරාධ චෝදනා තිබූ මන්ත්රීවරුන් 125 ක් 2004 වසරේ ඡන්දයෙන් පත්ව සිට ඇත. ඒ සංඛ්යාව, හැම පාර්ලිමේන්තු මැතිවරණයකින්ම වැඩි වෙලා. 2009 දී මන්ත්රීවරුන් 162 ක්ද, 2014 දී මන්ත්රීවරුන් 185 ක්ද, 2019 දී මන්ත්රීවරුන් 233 ක්ද තේරී පත්ව තිබෙනවා. පසුගිය 2024 මැතිවරණයේ වාර්තාගත (මන්ත්රීවරුන්) 251 ක් අපරාධ චෝදනා ලැබූවන්. තවත් 27 ක් වරදකරුවන් වූවන්.

අපි යන්නෙත් එහෙම ගමනක් තමයි. ජනතාවට වග කියන, විවෘත පාරදෘශ්ය ආණ්ඩු පාලනයක් හැම මැතිවරණ වේදිකාවකින්ම පොරොන්දු වූ ජවිපෙ/මාලිමා නායකයින්ගේ තරම් රහස්ය ලෙස, තොරතුරු වසන් කරන, තොරතුරු දැනගැනීමේ පනත නොසළකා හරින, කියන දේ නොකරන මෙවැනි ආණ්ඩුවක්, රට කෑවා යැයි කියන අවුරුදු 78 ක ඉතිහාසයේ හොයා ගන්න නැහැ. ආණ්ඩු පාලනයේ පළමු අවුරුද්දේම කිසිම පරීක්ෂණයක් නොකර රතු ලේබල් ගැසූ බහලුම් 323 ක් කිසිවකු නොදන්නා ලෙස වරායෙන් පිටමං කළ තැන සිට ප්රසම්පාදන ක්රියාවලිය මග හැර, රුපියල් බිලියන ගණනින් මහජන මුදල් වංචනික ලෙස වැය කර බාල වර්ගයේ ගල් අඟුරු ආනයනය කිරීම දක්වා, සහල්, සීනි, දිය ලුණු ආනයනය කිරීම ගැන චෝදනා ලබන මෙවැනි ආණ්ඩුවක් මීට පෙර තිබී නැහැ. ඒ වගේම, කූඨ ලේඛන යොදා ගෙන ගොඩනැගිල්ලක් වංචනික ලෙස බදු දීමට චෝදනා ලැබ අධිකරණයේ නඩු පැවරීමට පරීක්ෂණ කෙරෙන දේශපාලකයින් ඇමති ධූර, නියෝජ්ය ඇමති ධූර වෙත පත් කර තබා ගන්නා, රාජ්ය සංස්ථා සේවකයෙකු ලෙස රුපියල් මිලියන 08 ක වංචාවක් හේතුවෙන් රැකියාව අහිමිව, අල්ලස් කොමිසම විසින් පැමිණිලි පරීක්ෂාකර නඩු පැවරීමට සූදානම් කෙරුණු දේශපාලකයෙකු වැදගත් අමාත්ය ධූරයකට පත්කර ඉන්නා ආණ්ඩුවක් මීට පෙර තිබුණ බවක් දන්නේ නැහැ.

Curruption apaisada

එක දෙයක් දන්නවා. විවෘත වෙළදපල සමග ජීවත්වන මේ ආණ්ඩුව, රාජපක්ෂලාගේ ආණ්ඩු වගේම දැනටත් දූෂිතයි. ඔවුන් ඔප්පු කරන්නෙත් මොන විදියේ දූෂණ විරෝධි කතා කෙරුවත් විවෘත වෙළදපල ආර්ථිකයක් සමග වෙන ගමනක් යන්න බැහැ කියන කතාව තමයි.

වෙනත් ශිෂ්ඨ, සාධාරණ ආර්ථික ආකෘතියක් සමග සක්රීය ප්රජාතන්ත්රවාදී සංවර්ධන මාවතක් ගැන කතාව පටන් ගත යුත්තේ ඒ නිසයි.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...