ඊට අමතරව පරිගණක අපරාධ, පොදු දේපළ, හා දණ්ඩ නීති සංග්‍රහයේ 41 වන පරිච්ඡේදයේ වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන්න එහි 41 වන වගන්තිය යටතේ හැකියාව පවතින බව හෙතමෙ කියා සිටියි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතී විරෝධී ලෙස උපයා ගත් බව කියන රුපියල් කෝටි 74 කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු වන නිමල් සිසිර කුමාර සහ කෙහෙළිය රඹුක්වැල්ල ගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල යන අය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (10) කැඳවූ අවස්ථාවේ දෙවන සැකකරු වන බණ්ඩාර රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල එසේ පැවසිය.
මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල වැඩි දුරටත් මෙසේ පැවසිය.

‘මාගේ සේවාදයකයාට එරෙහිව චෝදනා ගොනුකරලා තියෙන්නේ මුදල් විශුද්ධීකරණ පනත යටතේයි. අල්ලස් කොමිසමට බලය තියෙන්නේ අල්ලස් හෝ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට පමණයි. මීට අමතරව එහි 41 වගන්තිය යටතේ හැකියාව තියෙනවා.
මුදල් විශුද්ධිය කරන පනත යටතේ කටයුතු කරන්න පුළුවන් අල්ලස් දූෂණ හෝ තුටු පඬුරක් ගත් දෙයක් අනාවරණය වුණොත් පමණයි. ඒ අනුව 112 වගන්තිය අනුව චෝදනා ගොනු කරන්නත් පුළුවන්. අල්ලස් ගැනීම සම්බන්ධයෙන් හෝ දූෂණ සම්බන්ධයෙන් තියෙන චෝදනාවලට අමතරව තමයි මුදල් විශුද්ධිකරන පනත යටතේ නඩු කියන්න පුළුවන්.
අල්ලස් හෝ දූෂණයවලින් හොයන සල්ලි කොහේ හරි හංගන්න හැදුවොත් ඒ සම්බන්ධයෙන් චෝදනා දාන්න පුළුවන්. ඊට අමතරව චෝදනා දාලා වරදකරු කරන්න පුළුවන්. එහෙම නැතිව අල්ලස් දූෂණ චෝදනා නැතිව එක පාරටම මුදල් විශූද්ධිය කරන පනත යටතේ චෝදනා ගොනු කරන්න අල්ලස් කොමිසමට හැකියාවක් නැහැ.
නමුත් එක බී වාර්තාවක තියෙන්නේ මුදල් විශුද්ධියකරන පනත යටතේ පමණයි. 2013 අංක 9 දරණ අල්ලස් පනත යටතේ කිසිදු චෝදනාවක් එහි දාලා නෑ. ඒ නිසා එම බී වාර්තාව නීති විරෝධීයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (ආ) වගන්තිය අනුව මෙවැනි බී වාර්තාවක් ගොනු කරන්න අල්ලස් කොමිසමට බලයක් නැහැ. ඒ නිසා තම සේවාදායකයා ඇතුළු සැකකරුවන් තිදෙනාටම නිදහස හිමි විය යුතුව තිබෙනවා යි‘ පැවැසීය.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කරනු ලැබීය.
ඉන් අනතුරුව සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්ය භාරය ?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. දේශපාලනඥයින්ට මෙන් ම රාජ්‍ය නිලධාරින්ට ද මේ දිනවල අධිකරණයේ නඩු ගොනු වීම හෝ ඇතැම් සිදුවීම් පිළිබඳව එම කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබීම ඊට හේතු වී ඇත.
එමෙන් ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙනත් මාධ්‍ය මගින් අල්ලස් හෝ දූෂණ ක්‍රියා සම්බන්ධ පැමිණිලි කරන ලෙසට සහ පැමිණිලි කළ හැකි ආකාර පිළිබඳ දැනුවත් කරනු නිරීක්ෂණය විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව පදනම් විරහිත සහ නොමග යවනසුළු ප්‍රකාශ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම කොමිෂන් සභාව වරක් නිවේදනය කරනු ලැබීය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුක්තිය පසිඳලීමට බාධා කිරීම, දූෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම, අවභාවිතා කළ නොහැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

මේ අතර, තමන්ගේ නිල තත්ත්වය යම් ක්‍රියාවක් කීරීමට, නොකිරීමට හෝ පෙළඹවීම සඳහා යම් තුටු පඬුරක් පිරි නැමීම, ඉල්ලා සිටීම හෝ තුටු පඬුරක් භාර ගැනීම අල්ලසක් ලෙස හැඳින්වේ. යම් මුදලක්, තෑග්ගක්, ඇපයක්, චංචල හෝ නිශ්චල දේපළක්, යම් ධූරයක් හෝ රැකියාවක්, ලිංගික අනුග්‍රහයක්, යම් සේවයක්, උපකාරයක් හෝ වාසියක් තුටු පඬුරක් ලෙස සැලකේ. එමෙන් ම, මෙකී තුටු පඬුරු පිරිනැමීමත්, දීමට බැඳීමත් හෝ පොරොන්දු වීමත් මෙයට ඇතුළත් වේ.
අල්ලසක් ලබා ගැනීමට උත්සහ කිරීම වරදක් වන අතර අතරමැදියෙකු මාර්ගයෙන් සන්තෝෂමක් ඉල්ලා සිටීම හෝ පිළිගැනීම ද වරදක් වෙයි.
යම් තැනැත්තෙකු, තම දැනුවත්භාවයෙන් හෝ කැමැත්ත සහිතව, ඍජුව හෝ වක්‍රව වෙනත් අයෙකු තමා වෙනුවෙන් කටයුතු කරමින් තුටු පඬුරක් ඉල්ලා සිටීම හෝ ලබා ගැනීම වරදකි.




