The Leader News
BREAKING
Top Ad
Opinion

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුල් කළ ආණ්ඩුව 'පාසල් ප්‍රවාහන සේවා' නීතිගත කිරීම | කුසල් පෙරේරා

T

The Leader Desk

February 12, 2026 • 11:33 AM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුල් කළ ආණ්ඩුව 'පාසල් ප්‍රවාහන සේවා' නීතිගත කිරීම | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ප්‍රවාහන ඇමති දන්ත වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට අනුව, මේ ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි ලොකු දතක් ගැලවීමට සූදානම් වන්නේය.
  • අනෙකුත් ප්‍රවාහන සේවා සඳහාත් එළෙසින්ම ප්‍රමිතීන් සකස් කරන බව ඔහු කියා තිබිණ.
  •   පාසල් ළමා ප්‍රවාහන සේවා වාහන හිමිකරුවන් “සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය” ලෙස සංවිධානයවූ පසු “ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ” ලියාපදිංචි වීමේ එකඟතාවකට පැමිණියේ යැයි වාර්තා විය.
  • 2011 සිට පාසල් ළමා ප්‍රවාහන සේවා වාහන රියැදුරන් අදාල පොලිස් ස්ථානයෙන් ප්‍රවාහන සහතිකයක් ලබා ගැනීමටත් ගිවිස ගෙන තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජ්‍ය ඇමතිට අනුව, වාහන හිමිකරුවන්ගේ සංවිධාන සමග කරනු ලැබූ දීර්ග සාකච්ඡා වලින් අනතුරුව, ගාස්තු අයකර පවත්වාගෙන යන පෞද්ගලික පාසල් ළමා ප්‍රවාහන සේවාව වෙනුවෙන් අවශ්‍ය ප්‍රමිතීන් දැන් සවිස්තරාත්මකව සටහන් කර ඇත. අනෙකුත් ප්‍රවාහන සේවා සඳහාත් එළෙසින්ම ප්‍රමිතීන් සකස් කරන බව ඔහු කියා තිබිණ.  

පාසල් ළමා ප්‍රවාහන සේවා වාහන හිමිකරුවන් “සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය” ලෙස සංවිධානයවූ පසු “ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ” ලියාපදිංචි වීමේ එකඟතාවකට පැමිණියේ යැයි වාර්තා විය. 2011 සිට පාසල් ළමා ප්‍රවාහන සේවා වාහන රියැදුරන් අදාල පොලිස් ස්ථානයෙන් ප්‍රවාහන සහතිකයක් ලබා ගැනීමටත් ගිවිස ගෙන තිබිණ.

 

1770634886 school L

පෞද්ගලික පාසල් ළමා ප්‍රවාහනය  සඳහා ඒ කිසිවක, පූර්ණ නිත්‍යානුකූල අවසරයක් නැත. ඔවුන් ධාවනය කෙරෙන දුර ප්‍රමාණ හා කාලය ප්‍රශ්න කෙරෙන්නේද නැත. නිත්‍යානුකූල අවසරයක් හා නිල නියාමනයක් නොමැති වූවත් කිසිදු සීමා තහංචියකින් තොරව පාසල් ළමුන් සඳහා පෞද්ගලික ප්‍රවාහන සේවා පැවතීමට මූලික හේතුවක් ඇත. කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයේ අති-ජනප්‍රිය පාසල් සියල්ල, පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ මූලික කොන්දේසිය වන “පාසල හා පදිංචිය” අතර උපරිම දුර විය යුතු කි.මී.02 ක සීමාව, මුදලට හදාගත් ලිපි ලේඛණ සමග විවෘතවම උල්ලංඝණය කිරීම එයට හේතු වන්නේය. එය නීති උල්ලංඝණයක් යැයි නොසැළකෙන තරමට උල්ලංඝණය වන්නේය.  

ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ගුණසේන මාධ්‍යයට කියූ, අවුරුදු 25 ට වැඩි කාලයක් එළෙසින් සීමා තහංචි නොමැතිව හා අනීතිකව පැවති පාසල් ළමුන් සඳහාවන ප්‍රවාහන සේවා ඔවුන්ගේ ආණ්ඩුව විසින් නීත්‍යානුකූල කිරීමට පියවර ගැනීමෙන් අර්ථ ගැන්වෙන්නේ, අයාලේ පැවති සේවාවක් නිත්‍යානුකූලව සංවිධානයකර වගවීමකට යටත් කෙරෙන බවක් නොවේ. ඉන් කියැවෙන්නේ, විශේෂයෙන් පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේදී “පාසල හා පදිංචිය” අතර දුර ප්‍රමාණය ලිපි ලේඛණ වලට සීමා කෙරෙන හෙයින් පාසල් ළමා ප්‍රවාහනය සඳහා නීතිමය පිළිගැනීමක් දෙන බවය. දරුවන් නගරයේ වඩාත්ම ජනප්‍රිය පාසලට ඇතුළු කර ගැනීම සඳහා පාසලට ඉතා ආසන්න ලිපිනයක තම පදිංචිය සනාථ කිරීම වෙනුවෙන් අවුරුදු පතා තරුණ දෙමාපියෝ ලිපි ලේඛණ හැදීමේ රුපියල් කෝටි ගණනක දූෂණයක පංගුකාරයින් වෙති. එය විදුහල්පතිවරුන්, අධ්‍යාපන නිලධාරීන්, දේශපාලකයින් ඇතුළු කවුරුත් දන්නා, සමහරුන් හවුල් වන දූෂණයකි. එවගේම කිසිවකු කතා නොකරන්නකි.

School Van

 

“පාසල හා පදිංචිය” අතර දුර ප්‍රමාණය උපරිම සැතපුම් 02 ක් විය යුතු යැයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පළමු අගමැති ධූර කාලයේදී 1962 ජනවාරියේ සිට ක්‍රියාත්මක කෙරුණේ, පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ තරගයක් නිසා නොවේ. අද මෙන් එදා, පාසල් ප්‍රවේශය සඳහා මහ විසාල, දූෂිත තරග නොවුනි. එදා පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමත් සමග, පැවති තරගයද තුනී විය. ඊට හේතු වූයේ 1960 දී රට පුරා වූ රජයේ පාසල් 4,394 ක් වූ ලේඛනයට වසර කිහිපයකදී අලුතින් පාසල් 4,100 ක් පමණ එකතුවීම ය. එවැනි විශාල තේරීමක් සමග, “පාසල හා පදිංචිය” අතර දුර ප්‍රමාණය සැතපුම් 02 ක් යැයි තීන්දු කෙරුණේ, පාසල් යාම-ඊම ළමුන්ට දුෂ්කර, වෙහෙසකර ගමනක් නොවන්නට ය. අතුරු කාරණාවක් වූයේ ලොකු වාහන තදබදයක් නොවුනත් නගරබද වාහන තදබදය වර්ධනය වීම කලමනාකරණය කර ගැනීමය. එයද එතරම් බරපතල කාරණාවක් නොවූයේ එදා පැවති පරාර්ථකාමී සමාජයේ ළමුන් පාසල් රැගෙන යාම, මැදපංතික අසල්වැසි ප්‍රජාව අතර බොහෝ විට හවුලේ කෙරුණු හෙයිනි.

ජයවර්ධන ජනාධිපතිගේ 1978 න් ආරම්භ කෙරුණු විවෘත වෙළඳපල ආර්ථිකය සමග ඒ සියල්ල කණපිට හැරුණි. ඔහු තහවුරු කළ නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපල ආර්ථිකය විසින් ඉමක් නොමැති තරගකාරී පාරිභෝගික සමාජයක් හැදූ පසු, දසකයක් යන්නට මත්තෙන් එය කුරිරු ආත්මාර්ථකාමී, දූෂිත සමාජයක් බවට පත් විය. ආචාර ධර්මයක්, විනයක්, සදාචාරයක් නොසැළකූ, සමාජ වටිනාකම්, හර පද්ධතීන් අත හැර දැමූ සහ අනෙකා සමග තරගයම ජීවිතයේ අරමුණ කරගත් පාරිභෝගිකයින්ගේ ආත්මාර්ථකාමී සමාජයක් බවට පත් විය. ඒ තරගකාරී සමාජයේ නාගරික මැදපංතික දෙමාපියන්ගේ තේරීම් අතර ප්‍රධාන වූයේ තම දරුවන් යන පාසල ය.  

sirimavo9384
රජයේ පාසල් ලෙස වූවත් ‘50-‘60 දසකවලද නාගරික මැදපංතික අනුග්‍රහය ලැබූ පාසල් දුසිමක් හමාරක් කොළඹ මහ නගර සභා සීමාව තුල හා අනෙක් ප්‍රධාන නගරවල පැවතින. රජයේ ප්‍රධාන කාර්යාල සියල්ලම පාහේ කොළඹ පිහිටි හෙයින් ඉහළ නිලධාරීන් සමග හැදුණු නාගරික මැදපංතියේ අනුග්‍රහය ඇතිව ඒ පාසල් කිහිපය වර්ධනය විය. ඒවායේ ආදි සිසු සිසුවියන් සමාජයේ බලපෑමක් කළ හැකි පෙරටුගාමී ස්ථරයක් වූයෙන් ඔවුන්ගේ ළමුන් සඳහා ඔවුන්ගේ පාසල දියුණු කර ගැනීම, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආශීර්වාදයද ලැබූවක් විය. ඒ පාසල්වල නම්, සන්නාහ නාම බවට අනතුරුව පත් විය. ඒවා සමග පෙළට තැබීමට ආණ්ඩු තෝරා ගත් පාසල් “ජාතික” පාසල් යැයි නම් කළද, ආදි සිසුන්ගේ අනුග්‍රහයෙන් ඔවුන්ගේ පාසල් වලට ලැබුණු පහසුකම් අනෙක් පාසල් වලට ලබා දීමට, ආණ්ඩු වලට සැළසුම් හා ආදායම් නොවුනි. මේ විෂමතා නිසා, නාගරික ඉහළ මැදපංතියට නැග ගැනීමට ඇති සමාජ-ආර්ථික තෙරැපුම සමග, කොළඹ විශිෂ්ඨ පාසල් දුසිම හමාරට දරුවන් ඇතුළත් කර ගැනීමේ තරගය වසරක් පාසා සීඝ්‍රයෙන් තීව්‍ර විය. වසරක් පාසා අති දූෂිත ක්‍රියාදාමයක් බවටද පත් විය.

ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙව්වාට පසු තමන්ගේ පදිංචි නිවසේ සිට පාසලට ඇත්තේ කි.මී.02 ට අඩු දුරක් යැයි සනාථ කෙරෙන පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ තරගයේ හා එහි සිදුවන දූෂණයේ ප්‍රමාණය දැකගත හැක්කේ, කොළඹ මහ නගර සභා සීමාවෙන් පිටත සිට පැමිණෙන පාසල් ළමා ප්‍රවාහන සේවා වාහනවල අලවා ඇති දැන්වීම් බැලූ විට ය. දළ වශයෙන් කි.මී.60 ක් දුර ඇහැළියගොඩ හා අලුත්ගම, කි.මී. 70 ක් දුර මතුගම, කි.මී.25 ක් පමණ දුර ගම්පහ, කි.මී.55 ක් පමණ දුර වරකාපොළ හා වෙන්නප්පුව වැනි ප්‍රදේශවල සිට අවුරුදු ගණනාවක් නොකඩවා පාසල් ළමා ප්‍රවාහන සේවා වාහන එන්නේ කෙසේදැයි හෝ මන්දැයි මේ සමාජයේ කිසිවකු ප්‍රශ්න නොකරන්නකි.

School Van 1

 

එවැනි දුර ඈත ප්‍රදේශවල සිට කොළඹ පාසල් වලට එන ළමුන් උදේ ගමනට සූදානම් කරන්නට අවදි කරනු ලබන්නේ පාන්දර 03 ට 04 ට පමණ යැයි දෙමාපියන් කතා වනු මා අසා ඇත. පාසල් සේවා වාහන ළමුන් එකතු කර ගැනීම පටන් ගන්නේ පාන්දර 05 ට පමණ යැයි කියති. මේ ළමුන්ට නිසියාකාර උදය ආහාරයක් ගැනීමට නොහැකිවීම සාමාන්‍යයක් බවට පත් වූවකි. පාසලේ කෙටි විවේකයේදී කෑමට යැයි මව පාන්දර සාදා දෙන කෑම පෙට්ටිය හිස්කර නැවත ගෙදර රැගෙන ගියද, එය කෑවේ දරුවාදැයි දන්නේ බොහෝවිට පාසල් ගේට්ටුව ආසන්නයට එන බල්ලා ය. නැවත ගෙදර යන විට සවස 03 - 04 වන හෙයින් මේ ළමුන් බහුතරයකට නිසියාකාර දහවල් කෑමක්ද නැත.

මොවුන්ගෙන් ඇතැම් ළමුන් ආපසු යන්නේ අමතර පංති වලට සහභාගිවී හෝ පාසලේ ක්‍රීඩා පුහුණුවීම්ද අවසන් කිරීමෙන් පසුව රාත්‍රිය ළඟා වන විටය. නාගරික පාසල්වල ළමුන්ගෙන් සියයට 35 ට වැඩි ප්‍රතිශතයක් දැන් උදරයේ ආම්ලික රෝග වලින් - ගැස්ට්‍රයිටිස් වලින් පෙළෙන්නේ යැයි වාර්තා ඇත්තේ නිසියාකාර පිළිවෙතකට ආහාර ගැනීමක් නොමැතිවාට අමතරව, ඔවුන් ගොදුරුව ඇති මානසික ආතතිය හේතුවෙනි. මැදපංතික දෙමාපියන්ගේ, විශේෂයෙන් මව්වරුන්ගේ උද්දච්චකමත් අධිමානයත් වෙනුවෙන් ළමා කාලය විනාස කෙරෙන මේ ළමුන්ගේ තරුණ ජීවිත ගැන කිසිදු විමසුමක් නොවන හෙයින් ඔවුන් බහුතරයකගේ අනාගතය දෙමාපියන් අපේක්ෂා කළ දුර ගමන් නොගිය බැව් සමාජයේ කතා නොවන්නකි.        

School Children

 

එවන් පසුබිමක ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ළමා ජීවිත විනාස කෙරෙන, ළමුන් අසහනයකට, ආතතියකට ගොදුරු කරන “දෙමාපිය අධිමානය” සුවපත් කළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිසි කතාවක් නැති, එළිය වැටෙන්නටත් පෙර අළුයම 03 ට 04 ට පමණ අවදි කෙරෙන, උදය 05 වන විට හරියාකාර කෑම වේලක්වත් නැතිව පිටත්කර හරින පාසල් ළමුන් රැගෙන යන ප්‍රවාහන සේවා වාහන වලට නියම කරන ප්‍රමිතීන්ගෙන් ඒවායේ යන එන ළමුන්ට ලැබෙන සහන මොනවාද, යන්න ය. වාහන හිමියන් සමගින් කතා කර, ළමුන් වෙනුවෙන් හැදිය හැකි ප්‍රමිතීන් මොනවාද, යන්නය. හරියාකාර කෑම වේලක් නැතිව, අඩ නින්දේ කි.මී. 30-40 ට වඩා දුරක් වාහන වල රැගෙන යන ළමුන්ගේ දෛනික ජීවිතයේ ආතතීන් වලට, මග ගෙවන කාලය නිසා වන අසහනයට විසඳුම් ඇත්තේ මාසයකට රුපියල් පහළොස් දාහක් විසි දාහක් අය කරන පාසල් ළමා ප්‍රවාහන සේවා සඳහා ප්‍රමිතීන් හැදීමෙහිද, යන්න ය.

විය යුත්තේ, රාජපක්ෂ යුගයේ කතාවට සීමා කෙරුණු “ළඟම පාසල - හොඳම පාසල” පළාත් පාලන ආයතන යටතේ ප්‍රායෝගික යතාර්ථයක් බවට පත් කරමින්, පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ කී.මී 02 ක දුර සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම සමග, පෞද්ගලික වාහන මගින් පවත්වා ගෙන යන පාසල් ළමා ප්‍රවාහන සේවා අත්හිටු වීමය. අධ්‍යාපන ඇමතිනී ලෙස අගමැතිනිය හා ඇයගේ විශේෂඥ කල්ලිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහමුලින් අවුල්කර ඇති බැවින්, දැන් විය යුත්තේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සමාජ කතිකාවක් ඔස්සේ සම්පාදනය කිරීමය.  

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 පෙබරවාරි 12

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුල් කළ ආණ්ඩුව 'පාසල් ප්‍රවාහන සේවා' නීතිගත කිරීම | කුසල් පෙරේරා | The Leader