ශිෂ්ඨ සමාජයක් හැදීමේ ගුරු සේවයේ දායකත්වය ඇය අගය කරන බවත් ගුරු සේවයේ වෘත්තීය තත්ත්වය ගුණාත්මකව දියුණු කිරීම උදෙසා “අධ්‍යාපන මණ්ඩලයක්” පිහිටුවීමට දැනටත් පියවර ගෙන ඇති බව එම නිවේදනයට අනුව අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය අමරසූරිය පවසා ඇත.
ඇය කියන “ශිෂ්ඨ සමාජයක් හැදීමේ ගුරු සේවයේ වත්මන් දායකත්වය” ගුරුවර ගුරුවරියන්ට එරෙහිව දෛනිකව අසන්නට ලැබෙන පැමිණිලි වලින් මැන ගත හැකිය. ළමුන්ට කතා කරන අසැබි භාෂාව, කුරිරු දඬුවම්, ශාරීරිකව හා මානසිකව කෙරෙන හිංසන, ලිංගික හැසිරීම්, අපයෝජන හා අතවර ගැන කෙරෙන පැමිණිලි සංඛ්‍යාව, ඇත්තටම පාසල්වල සිදුවන හිංසන සහ අපරාධ වලින් අඩකටත් අඩු යැයි සාමාන්‍ය පිළිගැනීමය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පසුගිය ජනවාරි 23 වන දින නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව, ළමුන් සම්බන්ධ නඩු 4,289 ක් එදින වනවිට උසාවි වල විභාග වෙමින් ඇත. ඉන් අඩකටත් වැඩි ප්‍රමාණය, පාසල් හා පාසල් ළමුන් සම්බන්ධව යැයි කියනු ලැබේ.

ඉතා ආත්මාර්ථකාමී, සදාචාරයක් විනයක් නොමැති, ආකල්පමය වශයෙන්ද බංකොලොත් කුහක සමාජයක, වසරකට ස්ත්‍රීන් හා බාලවයස්කාර දැරිවියන් දහස් ගණනක් දූෂණය කෙරෙන, කොන්තරාත් මිනී මැරීම්, කප්පම් ගැනීම් සිය ගණනින් වාර්තා වන, අන්තරායකර මත්ද්‍රව්‍ය දිනපතා කිලෝ ගණන් අලෙවි වන, පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී නිලධාරීන් හා දෙමාපියන්ද හවුල් වන අප්‍රමාණ දූෂණ වංචා ගැන කතා නොකරන තරමට, ඒ සියල්ල සමාජයේ සාමාන්‍ය පැවැත්ම ලෙස සැළකීමට පත්ව ඇත. දසක ගණනාවක් සංවිධිත ආගමික සංස්ථාද ඇතුළුව සමාජයේ සියලු වෘත්තීන් හා ආයතනත් එළෙස අන්තයට පිරිහී තිබියදී ගුරු සේවයත් පාසලත් පිරිසිදු කළ නොහැක.
පාසලක සියලු කටයුතු සඳහා මුදල් වලට අමතරව මානව සම්පත් එකතු කරනු ලබන්නේත් මේ දූෂිත, පිරිහුණු සමාජයෙන්ම වන විට, පාසලෙන් පසු ළමුන් ඊළඟට තම ජීවිත අරඹන්නෙත් ඒ පිරිහුණු සමාජයෙහිම වන විට, ඒ සමාජය අමතක කර පාසල හා ගුරු සේවයේ දායකත්වය ගැන කතා කිරීමෙන් කිසිවක් කළ නොහැක.

පාසල් අතර ඇති සම්පත් හා යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන විෂමතා අහෝසි කිරීමත් සියලු ළමුන්ට සමාන අවස්ථා ලබා දීමත් අත්‍යාවශ්‍යම කාරණා බව සැබෑය. එහෙත් එවැනි විෂමතා, අවුරුදු 48 ක් නොකඩවා වර්ධනය වූයේ, සමස්ථ සමාජයම අන්ත පිරිහීමට ලක් කළ ජයවර්ධන ජනාධිපති යටතේ ක්‍රියාත්මක කෙරුණු සහ තවමත් පවත්වා ගෙන යන විවෘත වෙළදපල ආර්ථිකයෙහි ය.
මේ තාක් අවුරුදු 48 ක් ඒ ආර්ථිකයෙහි සිදුවූයේ මොනවාදැයි ප්‍රශ්න නොකර හෙට ගැන කතා කරන ආර්ථික විශේෂඥයින්ගේ මාර්ගෝපදේශ සමග වන ඒ දූෂිත, ජාවාරම්කාර ආර්ථිකය ගැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා කාර්යාලය විසින් 2023 දෙසැම්බරයේදී ප්‍රසිද්ධ කරනු ලැබූ සමීක්ෂණ වාර්තාවක් ඇත. ඉන් කියන්නේ, රටේ ජනගහනයෙන් ධනවත්ම සියයට 01 ක සතුව ඇති ජාතික වත්කම් ප්‍රතිශතය සියයට 31 ක් වන විට, දුප්පත්ම සියයට 50 සතුව ඇත්තේ වත්කම් වලින් සියයට 04 ට අඩු ප්‍රතිශතයක් බවය. ඒ අනුව ආසියානු-පැසිෆික් කලපයේ වැඩිම විෂමතාවක් ඇති රටවල් 05 අතර, ශ්‍රී ලංකාවත් ඇත. මේ විෂමතා සමග වර්ධනය වන කාලගුණික ව්‍යසන, වනාන්තර හා පාරිසරික විනාස, ගම හා නගරය අතර විෂමතා හැමකක්ම ජාවාරම්කාර විවෘත වෙළඳපල සමගින් ඵෙන්ද්‍රීයව පවතින පිරිහීම් හෙයින්, ඒ කිසිවකට මෙහි විසදුම් නැත.

මේ ගෝලීය ආර්ථිකයෙහි කොටුවී ඉන්නා අනෙක් හැම රටකටම මෙන් අපටද, මේ පිරිහීම් හමුවේ එක් එක් ක්ෂේත්‍ර වෙන වෙනම ගෙන උත්තර සෙවිය නොහැක. සමාජ “සංවර්ධන” ආකෘතියක් නොවන මේ ජාවාරම්කාර ආර්ථිකයෙහි එවැනි විසඳුම් නොමැති බව අප දැන් දත යුතුය. එකිනෙකට ඈඳුණු විෂමතා ගොන්නක් සමග කර ගසා ගෙන ඉන්නා සමාජ ආර්ථික අර්බුදයට පොදු විකල්ප විසඳුමක් පළමුව සොයා ගත යුතුය. එනිසා අවුරුදු 48 ට පසුව හෝ මේ දූෂිත, අධි තරගකාරී ආර්ථික ක්‍රියාවලියෙන් පිටතට අප යා යුතුය. වෙනත් නිදහස් සමාජ සංවර්ධන මාවතක් සකස් කර ගැනීමට, මෙය අත් හළ යුතුය. “විකල්පය” විවෘත, සමාජ කතිකාවක් තුල දිග හැර ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක නිර්මාණයක් විය යුත්තකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් නොව සෞඛ්‍ය, නිවාස, පොදු මගී ප්‍රවාහනය, යටිතල පහසුකම් දියුණු කිරීම, මේ ආදි සියල්ල ගැන කතා කළ යුත්තේ, අලුත් ජාතික “සංවර්ධන” ආකෘතියක් සඳහාවන සමාජ සම්මුතියක් සමගින් ය.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 පෙබරවාරි 14 වන දින




