ඒ අනුව පරාජිත බලවේගයන් සමඟ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ද එකට තබා පරාජය කර ජන අරගල ව්‍යාපාරය රාජ්‍ය බලය අත්පත් කර ගන්නා බව ඔවුන්ගේ අවබෝධයයි.
මෙය කෙතරම් බොළඳ හා වගකීම් විරහිත සිහින දැකීමක් ද යන්න ගැඹුරින් අවබෝධ වන්නේ රාජ්‍යය බලය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කළ කැපකිරීම මෙනෙහි කරන විටයි.

දීර්ඝ කාලයක් තිස්සේ 3%ක පමණ ඡන්ද පදනමක සිටි ජනතා විමුක්ති පෙරමුණ 2019 වර්ෂයේ දී පුළුල් සංධානයකට ගියේ සමාජවාදී ඉලක්කයන් පවා පසෙකින් තබමිනි. ඒ සමඟ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් සකස් කරගත් අතර ඒ වටා සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් හා ස්වාධීන උගතුන් ඒකරාශී කර ගන්නා ලදි. ඒ අර්ථයෙන් ජනප්‍රිය වාම දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය. ඒ අනුව ධනේශ්වර රාමුවේ වූ වාමවාදී ආණ්ඩුවක් නිර්මාණය කර ගන්නා ලදි.
පෙරටුගාමීන් එය දුටුවේ දේශපාලනික පල්ලම් බැසීමක් ලෙසිනි. ඇත්තෙන්ම එය සමාජවාදයෙන් පල්ලම් බැසීමකි. එසේ නොකර ගෝලීය ධනේශ්වර ලෝකයක හුදකලා රාජ්‍යයක බලය ඇල්ලීම සිහිනයකි. දැන් එවැනි සිහිනයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පහළ ස්ථර දකිමින් සිටින්නේ පවතින දේශපාලන සංධර්භයේ වෙනසක් ද සිදුකර ගැනීමට ද අකැමැත්තෙන් සිටිමිනි. එය නම් කිසිදා සැබෑ නොවන සිහිනයකි.
පෙරටුගාමීන්ගේ කල්පිත සමාජවාදී රාජ්‍ය ආකෘතිය දියුණු මාක්ස්වාදී සංකල්ප මත නිර්මාණය වූවක් බව පෙනෙන්නට නොමැත. ඔවුන් නියෝජනය කරන්නේ අහෝසිවෙමින් පවතින වැඩවසම් නිෂ්පාදන මොඩලයයි. බොහෝවිට සුබසාදනවාදය මූලික කර ගත් රාජ්‍ය කේන්ද්‍රීය වෙළෙඳ පළ ද ඊට අයත් ය. දියුණු සමාජවාදී රාජ්‍යයක් ගෝලීය ප්‍රාග්ධනය විසින් නොඉවසනවා මෙන්ම වැඩවසම් නිෂ්පාදන මාදිලියකින් යුතු රාජ්‍යයක් ද ගෝලීය ප්‍රාග්ධනය විසින් නොඉවසන්නේ ය. එනිසා පවතින පක්ෂ ආකෘතියේ වෙනසකින් තොරව රාජ්‍ය බලය ලබා ගැනීමට සිහින දැකීම අර්ථවිරහිත ය.

පවතින ආර්ථිකය තුලනය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බව පෙරටුගාමීන් තේරුම් ගන්නේ නැත. මූල්‍ය අරමුදලේ සහාය ක්ෂණිකව නතර කිරීම තුළ ආර්ථිකය කඩා වැටී විශාල විනාශයට ඇද වැටෙන බව ඔවුන්ට නොතේරේ. ඔවුන් කල්පනා කරන්නේ රට කියුබාවක් බවට පත්වීමට ඉඩ හැරීම හා දුක්විදීමට ජනයා සූදානම් විය යුතු බව ය. මිරිඟුවක් පසුපස යෑමට සමාජය සූදානම් නැතිවීම තිත්ත ඇත්තයි.
ධනේශ්වර හෙජමොනික ලෝකයක ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ මහන්සිය පමණක් ප්‍රමාණවත් ය. මේ යුගය තුළ හැකි උපරිම ප්‍රගතිශීලී ආණ්ඩුව ඔවුන් නිර්මාණය කර ඇත. ඊට වඩා ප්‍රගතිශීලීවීමට පවතින දේශපාලන සංදර්භය තුළ ඉඩක් නොමැත. ඊට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහන්සිවීම ජවය නාස්ති කර ගැනීමකි.
ලෝකය පුරා විප්ලවාදී ව්‍යාපාර පසුබැස ඇත්තේ විෂයික හේතූන් නිසා ය. එනිසා අඩු මාසෙන් දරුවන්ට උප්පත්තිය දීම පෙරටුගාමීන් අතහැරිය යුතුය. ඔවුන් සූදානම් විය යුත්තේ න්‍යායාත්මක අරගලයකට ය. එය පසෙක තබා පරාජිත බලවේග විසින් අනාදෙන මඩ ආණ්ඩුවට එල්ල කරමින් සිටීම විප්ලවීය දේශපාලනයක් නොවේ.
(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com




