The Leader News
BREAKING
Top Ad
Opinion

තරුණ අසහනය සහ අරගලය තුළ සැඟවුණු ආන්තික දෝලනය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

March 14, 2026 • 5:32 AM

තරුණ අසහනය සහ අරගලය තුළ සැඟවුණු ආන්තික දෝලනය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ගෝලීය සමාජ සැකැස්ම තුළ තරුණ පරපුර මුහුණ දෙන වඩාත් තීරණාත්මක මෙන්ම සංකීර්ණ අර්බුදය ලෙස තරුණ අසහනය හඳුනාගත හැකි ය. මෙය හුදෙක් පුද්ගල මනෝභාවයක් මත පදනම් වූ නොසන්සුන්තාවයක් නොව, පවතින සමාජ, දේශපාලනික සහ ආර්ථික ව්‍යුහයන්ගේ අස්ථාවරභාවය හමුවේ ජනිත වන සාමූහික ප්‍රතිඵලයකි.
  • කෝට්ටේ යුගයේ ලියැවුණු කාව්‍යශේඛරය වැනි ග්‍රන්ථවල පවා ඝෝෂාව, ශබ්දය යන අරුත් සහිතව ඉදිරිපත් කොට ඇති ‘අරගලය’ යන සිංහල වචනය වර්තමානය වන විට ජාත්‍යන්තර දේශපාලන වචන මාලාවට (Political Vocabulary) එක්ව ඇත්තේ සුවිශේෂී ආකාරයකට ය.
  • මෙයින් ගම්‍ය වූයේ එය හුදු විරෝධතාවයකින් එහා ගිය, පද්ධතිමය වෙනසක් (System Change) අපේක්ෂා කළ සුවිශේෂී ජනතා ව්‍යාපාරයක් බවයි.
  • සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකට අනුව ඉහත සඳහන් තත්ත්වයන්ට තුඩු දෙන ‘ආන්තික දෝලනය’ යනු පුද්ගලයෙකු හෝ සමූහයක් සමාජ ව්‍යුහයන් දෙකක් හෝ කිහිපයක් අතර ස්ථාවරත්වයක් රහිතව නිරන්තරයෙන් හුවමාරු වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම අසහනය ප්‍රායෝගික තලයක ක්‍රියාත්මක වන විට එය ‘අරගලයක්’ ලෙස සමාජගත වේ.

සමාජ විද්‍යාත්මකව බලන කල, භාෂාව යනු හුදු සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොව දේශපාලනික මෙවලමකි. කෝට්ටේ යුගයේ ලියැවුණු කාව්‍යශේඛරය වැනි ග්‍රන්ථවල පවා ඝෝෂාව, ශබ්දය යන අරුත් සහිතව ඉදිරිපත් කොට ඇති ‘අරගලය’ යන සිංහල වචනය වර්තමානය වන විට ජාත්‍යන්තර දේශපාලන වචන මාලාවට (Political Vocabulary) එක්ව ඇත්තේ සුවිශේෂී ආකාරයකට ය.

aragalaya 2022.7.14

2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ තරුණ ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් මහජන නැඟිටීමත් සමඟ BBC, අල් ජසීරා (Al Jazeera), CNN සහ ද නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) වැනි ප්‍රමුඛ මාධ්‍ය ආයතන ‘Protest’ යන පොදු වචනය වෙනුවට ‘The Aragalaya’ යන නාම පදය සෘජුවම භාවිත කොට තිබේ. මෙයින් ගම්‍ය වූයේ එය හුදු විරෝධතාවයකින් එහා ගිය, පද්ධතිමය වෙනසක් (System Change) අපේක්ෂා කළ සුවිශේෂී ජනතා ව්‍යාපාරයක් බවයි. මෙය අරගලය යන්නට කාලීන සමාජමය අර්ථ නිරූපණයකි.

පලස්තීන – ඊශ්‍රායල ගැටුමේදී පලස්තීන මහජන පිබිදීම මුල් කොටගෙන ඉන්ටිෆාඩා (Intifada) වැනි අරාබි වචන ලෝක ප්‍රසිද්ධ වූවාක් මෙන්, වර්තමාන දකුණු ආසියානු දේශපාලන පර්යේෂණ පත්‍රිකාවල පවා ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහිත ශාස්ත්‍රීය වදනක් ලෙස මෙම ‘අරගලය’ යන්න භාවිත වේ. සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකට අනුව ඉහත සඳහන් තත්ත්වයන්ට තුඩු දෙන ‘ආන්තික දෝලනය’ යනු පුද්ගලයෙකු හෝ සමූහයක් සමාජ ව්‍යුහයන් දෙකක් හෝ කිහිපයක් අතර ස්ථාවරත්වයක් රහිතව නිරන්තරයෙන් හුවමාරු වීමයි.

ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ මෙම තත්ත්වය විග්‍රහ කිරීමේදී ඇමෙරිකානු නාගරික සමාජ විද්‍යාඥ රොබට් ඊ. පාර්ක් (Robert E. Park 1864-1944) වැනි විද්වතුන් හඳුන්වා දුන් ‘ආන්තික මිනිසා’ (The Marginal Man) සහ ‘ආන්තික දෝලනය’ (Marginal Oscillation) යන සංකල්ප අතිශය වැදගත් වේ. පාර්ක්ගේ මතයට අනුව, පුද්ගලයෙකු සංස්කෘතීන් දෙකක් අතර මැදි වූ විට ඔහු ‘ආන්තික’ තත්ත්වයකට පත් වේ. උදාහරණයක් ලෙස, ග්‍රාමීය පසුබිමකින් පැමිණ නාගරික පරිසරයක ජීවත් වන තරුණයෙකුට ගමේ සාම්ප්‍රදායික සිරිත් විරිත් පූර්ණ ලෙස අත්හැරීමටත්, නාගරික නවීනත්වයට පූර්ණ ලෙස අනුගත වීමටත් නොහැකිව අන්ත දෙක අතර දෝලනය වීමට සිදු වේ.

සංක්‍රාන්ති සමාජයක ජීවත් වන තරුණයා විවාහය, වෘත්තිය ආදී තම පෞද්ගලික තීරණ ගැනීමේදී දැඩි පීඩනයකට ලක් වේ. මෙහිදී බටහිර ලිබරල්වාදී චින්තනය සහ දේශීය සාම්ප්‍රදායික මතවාද අතර භූමිකා ගැටුමක් නිර්මාණය වේ. අප රටේ මධ්‍යම පාන්තික තරුණ පරපුර ඉහළ පන්තියේ සුඛෝපභෝගී ජීවන රටාවන් සිහින දකින අතරම, පවතින ආර්ථික අර්බුදය හමුවේ පහළ පන්තියේ දරිද්‍රතා අවදානමට මුහුණ දෙමින් සිටී. මෙම පන්තිමය අස්ථාවරත්වය මානසික අසහනය තීව්‍ර කරයි. ගෝලීයකරණයේ බලපෑම සහ දේශීය අනන්‍යතාවය අතර මැදි වූ ලාංකික තරුණයා ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකින් පීඩාවට පත් වන බව නිරීක්ෂණය වේ. ඒ සමඟම ඔවුහු එම පීඩනයෙන් අත් මිදීමේ උපාය මාර්ග සොයති.

 

computer man
අන්තර්ජාලය ඔස්සේ ගෝලීය පුරවැසියෙකු වීමට උත්සාහ කළද, තම ජන්ම සංස්කෘතික ධාරාව තුළ දේශීය උරුමක්කාරයෙකු වීමට ඔහුට බල කෙරේ. මෙම ද්විත්ව අනන්‍යතාවය භාෂාව තුළින් පවා ප්‍රකාශ වන්නේ ‘Singlish’ වැනි දෙමුහුන් සංස්කෘතීන් නිර්මාණය කරමිනි. ඒ අතරේ පැරණි පරම්පරාව අදටත් අගය කරන ‘ආණ්ඩුවේ රස්සාව’ සහ නූතන ලෝකය ඉල්ලා සිටින නිදහස් වෘත්තීය (Freelancing / Entrepreneurship) මානසිකත්වය අතර තරුණයා අතරමං වී සිටී. මෙවන් සංසිද්ධීන් විමර්ශනය කරන සමාජ විද්‍යාඥයා මතුපිට සමාජමය ස්තරය විමසීමෙන් පමණක් සෑහීමකට පත් විය යුතු නොවේ. ඊට හේතුව ඕනෑම සමාජයීය සංසිද්ධියක් විස්තර කිරීමේදී එහි අභ්‍යන්තරික ව්‍යුහය ද විමසා බැලිය යුතු නිසා ය.

මීට සියවස් කිහිපයකට පෙර අප රටේ මුල් බැස තිබූ වැඩවසම්වාදී කුල ක්‍රමය මේ වන විට බිඳ වැටී ඇති බවක් මතුපිටින් නිරීක්ෂණය වේ. නමුත් පුවත්පත් මංගල යෝජනා නිරීක්ෂණය කරන විට එම පැරණි කුල ක්‍රමය හා සම්බන්ධ සජීවී මූල පද්ධතිය වත්මන් සමාජය පුරාවටම පැතිර පවතින බව මනාව නිරීක්ෂණය කළ හැකිය. අපගේ සාම්ප්‍රදායිකත්වය හා සබැඳි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, පාරම්පරික ගුප්ත විශ්වාස ආදියෙන් නූතන තරුණ පරපුර මුළුමනින්ම අත් මිදී නැත.

abroad country

ඒ අනුව අප රටේ ග්‍රාමීය තරුණ ප්‍රජාව දේශපාලනිකව ‘පද්ධතිමය වෙනසක්’ හෙවත් ඔවුන්ගේම වචනවලින් ‘System Change’ එකක් ඉල්ලා සිටියද, තීරණාත්මක අවස්ථාවලදී තම පවුල් පසුබිම හෝ පැරණි දේශපාලන රටාවන්ගේ ග්‍රහණයෙන් මිදීමට ඔවුන්ට අපහසු වී ඇත. එවන් අවස්ථාවලදී “මම කවුද?” සහ “මම අයිති කොතැනටද?” යන්න නිශ්චය කර ගත නොහැකි වීම නිසා ඔවුන් තුළ ඇති වන අනන්‍යතා අර්බුදය මානසික පීඩනයට හේතුවන්නකි. කිසිදු අන්තයකට පූර්ණව අනුගත විය නොහැකි වීම නිසා ඇති වන අවිනිශ්චිතභාවය මෙම ආන්තික දෝලනයේ ප්‍රතිඵලයකි. නමුත් ඔවුනට මෙම පද්ධති දෙක දෙසම විවේචනාත්මකව බැලීමේ හැකියාව නිසා නව කලා නිර්මාණ බිහි වීමට ඇති හැකියාව ද අප මෙහිදී සිහිපත් කළ යුතුය. මෙම ආන්තික දෝලනයෙන් අත්මිදෙනු පිණිස වෘත්තීය මට්ටමට අයත් නොවන රැකියා සඳහා විදේශගත වීමේ නැඹුරුව ද මෑත කාලයේ සිට මැනවින් කැපී පෙනෙයි.

මේ සෑම කරුණකින්ම සනාථ වනුයේ ආන්තික දෝලනය යනු සමාජ සංක්‍රාන්ති සමයක සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් බවයි. කෙසේ වෙතත්, වර්තමාන ලාංකික තරුණ පරපුර මුහුණ දෙන මෙම අසහනය හුදු ‘අරගලයකින්’ පමණක් සමනය කළ නොහැකි ය. ඉන් සිදුවනුයේ ඔවුන් අපේක්ෂා කරන පද්ධතිමය වෙනස වෙනුවට පවතින පද්ධතියම නව මුහුණුවරකින් යාවත්කාලීන වීම පමණක් විය හැකිය.

Protest

වර්තමාන දේශපාලන වාතාවරණය වුව ඒ සඳහා වන කදිම නිදසුනකි. එවැනි තත්ත්වයකදී ඔවුන්ගේ අසහනය සමනය නොවන බැවින්, තරුණයින්ට ස්ථාවර අනන්‍යතාවයක් ගොඩනඟා ගත හැකි, ඔවුන්ගේ නව්‍ය අදහස්වලට ගරු කරන සමාජ හා ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම රාජ්‍යයේ මෙන්ම සමස්ත සමාජයේම වගකීමකි. ඔවුන්ගේ අසහනය නිර්මාණශීලී සමාජ වෙනසක් සඳහා මෙහෙයවිය හැක්කේ එවැනි දෘෂ්ටාන්තයක් තුළින් පමණි.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...