The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඇඩ්වකාටා වන්දනාව

T

The Leader Desk

March 24, 2026 • 6:06 AM

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඇඩ්වකාටා වන්දනාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවාදයේ එක් පැතිකඩක් වී ඇත්තේ ප්‍රතිවිරෝධතා ගහනවීමය. ජාතික ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ මතවාදී හැරීමක් ලෙස ද මෙය විග්‍රහ කළ හැකිය.
  • මෙය සරලව සටකපටකමක් ලෙස හඳුන්වාදීම පහසු වුවද මෙම පරිවර්තනය වඩා සංකීර්ණ සමාජ-ආර්ථික පසුබිමක් තුළ සිදු වූ එකක් බව හඳුනාගැනීම වැදගත්ය.
  • 2022 ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික සිතුවිලි මූලිකවම වෙනස් කළ මතවාදී හැරීමකි.
  • කලක් නව ලිබරල්වාදය ලෙස දැඩි විවේචනයට ලක්වූ වෙළඳපොළ නිදහස, රාජ්‍ය වියදම් කප්පාදු, පෞද්ගලීකරණය වර්තමානයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ලෙස සම්මත වෙමින් තිබෙන්නේ ඒ අනුවය.
අකුරු ප්‍රමාණය (Font Size):


කලක් දක්ෂිණාංශික බුද්ධි මණ්ඩපයක් ලෙස විවේචනයට ලක්වූ සංවිධාන අද ජාතික ජනබලවේග විවේචකයන්ගේම අගය කිරීමකට ලක්වීම එහිදී කැපී පෙනේ. එම සංවිධාන අතර කැපී පෙනෙන නාමයක් වන්නේ ඇඩ්වාකාටා ආයතනයයි. මෙය සරලව සටකපටකමක් ලෙස හඳුන්වාදීම පහසු වුවද මෙම පරිවර්තනය වඩා සංකීර්ණ සමාජ-ආර්ථික පසුබිමක් තුළ සිදු වූ එකක් බව හඳුනාගැනීම වැදගත්ය.

2022 ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික සිතුවිලි මූලිකවම වෙනස් කළ මතවාදී හැරීමකි. කලක් නව ලිබරල්වාදය ලෙස දැඩි විවේචනයට ලක්වූ වෙළඳපොළ නිදහස, රාජ්‍ය වියදම් කප්පාදු, පෞද්ගලීකරණය වර්තමානයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ලෙස සම්මත වෙමින් තිබෙන්නේ ඒ අනුවය. මෙය පුද්ගලයන්ගේ හදිසි මතවාදී පරිවර්තනයක් නොව ආර්ථික යථාර්ථය විසින් බලෙන් ඇති කරන ලද දෘෂ්ටියක වෙනසක් ලෙසද කිවහැකිය. අප එසේ කියන්නේ රාජ්‍ය ආයතනවල පාඩු, බදු බර සහ ජාත්‍යන්තර ආධාර සඳහා වූ අවශ්‍යතා මත, වෙළඳපොළ-මූලික විසඳුම් ‘අනිවාර්යතා’ ලෙස ජාජබ විවේචකයන්ට පෙනෙන්න පටන් ගෙන ඇති හෙයිනි.

බුද්ධි මණ්ඩපවල බලපෑම

advocata
ඇඩ්වකාටා වැනි ආයතන හරහා සිදු වන ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ මත සම්පාදනයයි. මුලින් සමාජයට අමුතු හෝ හුදු අදහසක් ලෙස පෙනෙන දේ සන්නිවේදනය, පර්යේෂණ සහ මාධ්‍ය හරහා සාමාන්‍යකරණය මෙවැනි ආයතනවල විශේෂත්වයකි. මෙම ක්‍රියාවලිය තුළ හුදු අදහසක් විකල්පයක් ලෙස පෙන්වා විකල්පය සාධාරණ විසඳුමක් දක්වා සමාජ මතය සකසයි. ඊලඟ පියවර වන්නේ එය අනිවාර්ය ප්‍රතිපත්තියක් හැටියට වර නැගීමය. උත්ප්‍රාසජනක කරුණ වන්නේ කලක් ඇඩ්වාකාටා ධනනාත් ප්‍රනාන්දුලා ආර්ථික ඝාතකයන් හැටියට වර නැගූ මාලිමා හිතෛශීන් පිරිසක්ම මේ සූත්‍රය සමාජ මාධ්‍යයේ අභ්‍යාස කරමින් සිටීමය.

‘හුදු අදහසක්’ →  ‘විකල්පයක්’

‘විකල්පයක්’ → ‘සාධාරණ විසඳුමක්’

‘සාධාරණ විසඳුමක්’ → ‘අනිවාර්ය ප්‍රතිපත්තියක්’


ඒ අනුව කලක් මෙම ආයතන විවේචනය කළ පිරිස් අද ඒවා අගය කරන බව පෙනෙන්නේ ඔවුන්ගේ මතවාදය වෙනස් වූ නිසා පමණක් නොවේ. සාකච්ඡාවේම සීමා වෙනස් වී ඇති නිසාය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ අවස්ථාව අනුව මත වෙනස් කිරීම නව දෙයක් නොවේ. බලයේ සිටින විට සුබසාධන ප්‍රතිපත්ති අගය කරන පිරිස් අර්බුද කාලවලදී වෙළඳපොළ විසඳුම් අගය කිරීමට පෙළඹෙන්නේ ඒ නිසාය. අනෙක් අතට බලයේ සිටිද්දී වෙළෙඳපොල හොඳ වන අයට විපක්ෂයට ගිය පසු සුබසාධනවාදය සිහිවේ. මේ පරිසරයෙහි ඇඩ්වාකාටා වන්දනාව දේශපාලන අවශ්‍යතා (අවස්ථාවාදය) අනුව සිදුවන්නක් බව අප තේරුම් ගත යුතු නොවේද?

විවේචනවල සාධාරණතාව

f6y56y5wrth

ඇඩ්වාකාටා සහ එයට සම්බන්ධ ජාත්‍යන්තර ජාල පිළිබඳ ජාතික ජනබලවේග හිතෛශීන්ගේම විවේචන අතර පැවැති ප්‍රධාන ප්‍රශ්න කිරීම් කීපයකි. අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පැහැදිලිභාවය, ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම හා මහජනතාවට වගකීම් වීම එයින් මූලිකය. මෙම ප්‍රශ්න සැබවින්ම වැදගත්ය. මහජන මතය හැඩගස්වන ආයතන පිළිබඳ විනිවිදභාවය ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොටසකි. එහෙත් පසුගිය කාලයේ එම ප්‍රශ්න කිරීම් මත පිහිටා සෑම බුද්ධි මණ්ඩපයක්ම (තින්ක් ටෑන්ක්) අපක්ෂපාතී නොවන රහසිගත දේශපාලන මෙහෙයුම් ලේබලය අලවා දැමීම් බහුල විය. අද ඇඩ්වාකාටා දෙවියන් වී ඇති මාලිමා හිතෛශීන් ඇතැමෙකුගේ ෆේස්බුක් ප්‍රොෆයිලවල දිගේ අතීතයේ ආපස්සට ගියහොත් මේ කුමන්ත්‍රණ න්‍යායන් පහසුවෙන් දැකගත හැකිය.

මෙම මතවාදී හැරීම වැඩිපුරම පෙනෙන්නේ නගරවාසී මධ්‍යස්ථ මධ්‍ය පන්තිය තුළය. ආර්ථික අර්බුදයේ සෘජු බලපෑම් වූ බදු වැඩිවීම්, ජීවන වියදම් ඉහළ යාම මෙම පන්තියට දැඩි ලෙස දැනෙයි. කාර්යක්ෂමතාව සහ ප්‍රතිඵල මූලික කරගත් ආර්ථික අදහස් ඔවුන් අතර ජනප්‍රිය වන්නේ ඒ අනුවය. ජාතික ජනබලවේගයට ඡන්දය දී ෆේස්බුක් ඔස්සේ ඇඩ්වාකාටා අදහස් බෙදාහදාගන්නා පිරිසේ වැඩිපුර සිටින්නේ මේ කණ්ඩායමයි. ඒ අනුව ඇඩ්වාකාට ආයතනය පිළිබඳ අද පවතින අගය කිරීම සහ කලක් පැවති විවේචනය අතර පෙනෙන ප්‍රතිවිරෝධය සරලව සටකපටකමේ ප්‍රතිඵලයක් ලෙසම අර්ථකතනය කළනොහැක්කේ ඒ නිසාය. එහෙත් තෙල් මිල ඉහළ දැමීම සාධාරනීකරණයට ධනනාත් ප්‍රනාන්දු උපුටා දක්වන ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටින්නන් මේ වර්ගයට ඇතුලත් කළ නොහැකිය. මක්නිසාද යත් ඔවුන් 2024ට පෙර ලෝකය අර්ථකතනය කළේම මාක්ස් ලෙනින්ගෙන් වන බැවිනි.  

ඒ අනුව උදාහරණයක් ලෙසින් දැක් වූ ඇඩ්වකාටා වන්දනාව ආර්ථික අර්බුදයෙන් ඇති වූ මතවාදී පරිවර්තනයක්, බුද්ධි මණ්ඩපවල මත සම්පාදන බලපෑමක් සහ දේශපාලන අවස්ථාවාදය යන සියල්ලේ සංකීර්ණ ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් මෙහිදී අප මතුකළ යුතු වැදගත් ප්‍රශ්නය වන්නේ කවුරු නිවැරදිද යන්න නොවේ. මතය හැඩගස්වන්නේ කවුද, කෙසේද, කාගේ අරමුණු වෙනුවෙන්ද යන්නයි.


(සටහන | මානෙල් රිචඩ්)

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...