The Leader News
BREAKING
Top Ad
Opinion

නව ගෝලීය ආධිපත්‍යයේ ශ්‍රී ලංකාව කලාපීය 'ආර්ථික සන්ධානයක' සිටිය යුතුය | කුසල් පෙරේරා

T

The Leader Desk

March 24, 2026 • 11:59 AM

නව ගෝලීය ආධිපත්‍යයේ ශ්‍රී  ලංකාව කලාපීය 'ආර්ථික සන්ධානයක' සිටිය යුතුය | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද කියූ කතාව හෙට ප්‍රතික්ෂේප කරන්නෙක් ලෙස දැන් ලෝකප්‍රසිද්ධ රාජ්‍ය නායකයෙකි.
  • එහෙත් ඇමෙරිකාව සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවට ඉරානය නොපමාව ප්‍රකාශ කළේය.
  •     ජනාධිපති ජෝජ් බුෂ්ගේ හිතුවක්කාර තීන්දු සමග 2003 මාර්තුවේදී ඇමෙරිකානු හමුදා, බ්‍රිතාන්‍ය සහායද ඇතිව ඉරාකය ආක්‍රමණය කළහ.
  • එහෙත් 2002 ඔක්තෝම්බරයේදී ඉරාකයට එරෙහිව හමුදා බලය යෙදීමට කොංග්‍රස් අනුමැතිය ලැබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

එනිසා ඉරානයේ ඉන්ධන බලාගාර වලට ප්‍රහාර එල්ල නොකරන මෙන් ආරක්ෂක අංශ වෙත දැනුම් දෙමින්, දින 05 ට සියලු ප්‍රහාර අත්හිටුවන බවට ඉකුත් සඳුදා (මාර්තු 23) උදය ප්‍රකාශ කරන්නට වූයේ ඉරානය සමග කෙරුණු සාකච්ඡා බලාපොරොත්තු සහිත යැයි කියමිනි. එහෙත් ඇමෙරිකාව සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවට ඉරානය නොපමාව ප්‍රකාශ කළේය. ඊළඟට කියන්නේ මොනවාදැයි හෙට අනිද්දා වන විට දැනගත හැකිය.

 



ඉරානය විසින් තහනම් කරනු ලැබූ, ගෝලීය ඉන්ධන හා ස්වාභාවික දියර වායු (Liquid Natural Gas - LNG) තොග වලින් හෝමුස් සමුද්‍රවංකය හරහා ප්‍රවාහනය කෙරෙන සියයට 20 ට වැඩි ප්‍රමාණයේ හිඟය නිසා ඉන්ධන හා ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් වර්ධනය වන බල ශක්ති හිඟයත් මිත්‍ර රටවලටද තදින් බලපාන බව සළකා, ඉකුත් මාර්තු 13 වන දින, චීන යුආන් මුදලින් මිලට ගන්නා ඉන්ධන සඳහා පමණක් ඉරානය හෝමුස් සමුද්‍රවංකය විවෘත කළේය.

එය හුදු ඇමෙරිකානු විරෝධයක් නොවුනි. දේශපාලන තේරීම් මත කෙරෙන රුසියානු ඉන්ධන වෙළඳාම හැරුණු විට, සමස්ථ ගෝලීය ඉන්ධන හා ගෑස් වෙළඳාම සහමුලින්ම වාගේ කෙරෙන්නේ ඇමෙරිකානු ඩොලර් මත ය. ඉන්ධන ගනුදෙනු වලදී “පෙට්රෝ ඩොලර” යැයි කියනුයේ එනිසා ය. අරාබිකරයේ මහ පරිමානයෙන් ඉන්ධන නිෂ්පාදනය කෙරෙන රටවලට ඇමෙරිකානු බලපෑමෙන් මිදෙන්නට නොහැක්කේද, ඇමෙරිකාව ඔවුන්ගේ අණසක අරාබිකරයේ පවත්වා ගන්නේද “පෙට්රෝ ඩොලර” වල වෙළඳපල හයියට යුධ ශක්තියද එකතු කරමිනි.  

1f4ce1a9 0001 0004 0000 000000209910 w1200 r1.33 fpx30.47 fpy52.92

 

ජනාධිපති ජෝජ් බුෂ්ගේ හිතුවක්කාර තීන්දු සමග 2003 මාර්තුවේදී ඇමෙරිකානු හමුදා, බ්‍රිතාන්‍ය සහායද ඇතිව ඉරාකය ආක්‍රමණය කළහ. ඊට හේතු ලෙස සදාම් හුසේන් යෝධ විනාස සඳහා අවි (Weapons of Mass Destruction) නිෂ්පාදනය කරන්නේ යැයිද 2001 සැප්තැම්බර් 11 වන දින (9/11) ඇමෙරිකාවට එල්ල කෙරුණු අල්-ඛිඩා ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉරාකය සහායවී ඇතැයිද ජනාධිපති බුෂ් සහ ආරක්ෂක කටයුතු විශේෂඥයින් සමහරක් කීහ. ඇමෙරිකානු බුද්ධි තොරතුරු අනුව ඒ කිසිත්  සනාථ නොවුනි. එහෙත් 2002 ඔක්තෝම්බරයේදී ඉරාකයට එරෙහිව හමුදා බලය යෙදීමට කොංග්‍රස් අනුමැතිය ලැබිණ. 2003 මාර්තුවේදී ඇමරිකන් හමුදා ඉරාකය ආක්‍රමණය කළහ. දෙසැම්බරයේදී සදාම් හුසේන් අත් අඩංගුවට ගනු ලැබිණ. ඇමෙරිකානු ආක්‍රමණික හමුදා නායක ජෙනරාල් ෆ්‍රෑන්ක් ඒ ගැන මාධ්‍යවේදීන්ට කියා තිබුණේ ඔවුන්ගේ ඊළඟ වගකීම් වන්නේ, සදාම් හුසේන්ගේ ඉරාකයට පැනවූ සම්බාධක නිදහස් ඉරාකයේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ඉවත්කර දීමත් සදාම් පාලනය කළ තෙල් නිධි ඉරාක ජනතාව වෙනුවෙන් අත්පත් කර ගැනීමත් ඉරාක ජනතාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තහවුරු කර ගැනීමට අවශ්‍ය පසුබිම හැදීමත් යැයි කියා ය. අවධාරණයක් නොවුනත් වැදගත් වන්නේ ලොව රටවල් අතුරින් සනාථ කෙරුණු තෙල් නිධි ඇති පස් වන විශාලම රට ඉරාකය වීමය.      

ඉන් වසර 08 ට පසු 2011 මාර්තුවේදී ඇමෙරිකානු මෙහෙයවීම සමග නේටෝ හමුදා ලිබියාව ආක්‍රමණය කළහ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1973 සම්මත කර ගත් “සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධ යෝජනාව” ඔබාමා පාලනය ප්‍රයෝජනයට ගත්තේ එය “ආක්‍රමණ සඳහා නැවුම් ආකෘතියක්” යැයි කීමෙනි. ඔවුහු මාස 08 ක යුද්ධයකින් රටින් අඩක් විනාශ කර, 2011 ඔක්තෝම්බරයේ ලිබියානු නායක මුඅමාර් ගඩාෆිද ඝාතනය කළහ. ලිබියාව ප්‍රජාතන්ත්‍රීය කිරීම කෙසේ වෙතත් ඇමෙරිකාව යටතේ ලිබියාව කැබලි විය. කැබලි කෙරුණු ලිබියාවේ බලය සඳහා සන්නද්ධ කල්ලි, එකිනෙකා හා ගැටුනි. ලිබියානු රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ කතාව එපමණක්ම නොවේ. ලොව සනාථ කෙරුණු විශාල තෙල් නිධි ඇති රටවල් 10 න් එක් රටක් ලිබියාව වීම ය.

maduro983rමත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ට්‍රම්ප් වැනිසියුලානු ජනාධිපති මදුරොට එරෙහිව නගන චෝදනා එරට තෙල් නිධි පැහැර ගැනීමේ ඇත්ත හේතුව වසන් කිරීමකි.
ඉකුත් ජනවාරියේ ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු විශේෂ ප්‍රහාරක බල ඇණියක් යොදවා පැහැර ගනු ලැබුවේ, ලොව සනාථ කෙරුණු විශාලම තෙල් නිධි ඇති රටේ ඡන්දයෙන් පත් රාජ්‍ය නායක ජනාධිපති නිකොලස් මදුරො සහ ඔහුගේ බිරිඳව ය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ට්‍රම්ප් වැනිසියුලානු ජනාධිපති මදුරොට එරෙහිව නගන චෝදනා එරට තෙල් නිධි පැහැර ගැනීමේ ඇත්ත හේතුව වසන් කිරීමකි. ඒ සමග ඉරානය ට්‍රම්ප්ට වැදගත් වන්නේ එය අරාබිකරයේ  ඇමෙරිකානු-ඊශ්‍රායෙල ආධිපත්‍යයට හරස්වන බලයක් වීමට අමතරව, ලොව සනාථ කෙරුණු තෙල් නිධි ඇති රටවල් අතුරෙන් තුන් වන විශාලම රට වන හෙයින් ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය පද්ධතිය (Global Order) ප්‍රධාන යුරෝපීය රටවල සහාය ඇතිව මේ දක්වා තම බලය යටතේ පවත්වා ගන්නට ඇමෙරිකාවට හැකි විය. ඉන් පිටත නැගෙනහිර යුරෝපීය රටවල් කිහිපයද එකතු කරගත් පසු 1980 වන විට ලෝක වෙළඳපල පාරිභෝගිකයින්ගෙන් සියයට 25 ක් පමණ සෝවියට් රුසියාව හා චීනය විසින් කොටුකර ගෙන සිටියහ. ඔවුන්ගේ බලාධිකාරය ගෝලීය වශයෙන් ප්‍රසාරණය නොවන්නට, ඇමෙරිකාව මූලිකවූ බටහිර යුරෝපීය රටවල් “කොමියුනිස්ට් විරෝධී” විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගත්හ. ඒ ගෝලීය පද්ධතියෙහි තුලනය වෙනස් නොවන්නට, දෙපාර්ශවයම වග බලා ගත් බවක්ද දැකිය හැකි විය.    

China 2025

 

ගෝලීය බල පද්ධතියෙහි එවැනි සංහිඳියාවකට හේතුවූ වැදගත් දේශපාලන සාධකයක් විය. දියුණු පළමු ලෝකයේ වූ කම්කරු පංතියට ජෝසෆ් ස්ටාලින්ගේ සෝවියට් රුසියාව හා මාඕ සෙඩොංගෙ චීනය ආකර්ශනයක් නොවීය. සෝවියට් නිලධරවාදී පරිපාලනය දූෂිත, පක්ෂ ක්‍රියාකාරීන්ගේ බලහත්කාරී යාන්ත්‍රණයක් වූවකි. මාඕ ගේ චීනයද එවැනිම විය. බටහිර යුරෝපයේ ශ්‍රමිකයින් බුක්ති විඳි ප්‍රජාතන්ත්‍රවාදී, දියුණු පාරිභෝගික, සංස්කෘතික සමාජ ජීවිතය, සෝවියට් රුසියාවේ හා රතු චීනයේ නොවීය.

ඒ පීඩාකාරී සෝවියට් පාලනයට එරෙහිව සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ගොනුවූ මතවාදී විරෝධතාවය ‘80 දසකයේ මිහායිල් ගොර්බචෙව් ගේ දේශපාලනය, අර්ථ ගැන්වූවකි. ගොර්බචෙව් “පෙරෙස්ත්‍රොයිකා” ලෙසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන බලය විමධ්‍යගත කිරීමකටද ඉඩ තැබුවකි. “ග්ලස්නොස්ට්” මගින් තීන්දු ගැනීමේ ක්‍රියාවලියෙහි යම් වග වීමක් හා විවෘත භාවයක් ඇති කළේය. ඒ සියල්ල සමාජීය ගනුදෙනු සඳහා ලබා දී තිබුණේ සීමිත ඉඩක් වූවත්, “පරණ ඇණ බුරුල් කළ පසු, ඒවා ආයේ තද කිරීම පහසු නැත” යැයි සෝවියට් රුසියාවේ බිඳ වැටීම ගැන, දෙවන ලෝක යුද්ධයෙන් පසු දසක දෙකකට ආසන්න කාලයක් සතරවන ජාත්‍යන්තරයේ නායකත්වයෙහි වූ බෙල්ජියානු ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරයෙකු වන අර්නෙස්ට් මැන්ඩෙල් කියා තිබුණි.

මැන්ඩෙල් ඇඟවූ අයුරු සෝවියට් රුසියාව 1991 දෙසැම්බර් මාසයේ නිල වශයෙන් විසුරුවා හැරීමෙන් ජාතිකවාදී රාජ්‍ය 15 ක් අලුතින් ලෝක සිතියමට එකතු විය. රුසියාව සමග ඒ සියලු රටවල් ස්ටලින්වාදී රාජ්‍ය යාන්ත්‍රණ අතහැර ගෝලීය වෙළඳපලට විවෘත විය. ඒ සමග, ඇමෙරිකාව හා රුසියාව අතර වූ “සීතල යුද්ධයද” අවසන් විය.

denමාඕ 1976 මිය ගිය පසු, 1978 දී ඩෙං සියාපිං පක්ෂ නායකත්වය තහවුරු කරගත්තේය.

 

මාඕ ගේ චීනය ලෝක වෙළඳපලට හවුල් වූ ආකාරය ඊට බෙහෙවින් වෙනස් ය. මාඕ 1976 මිය ගිය පසු, 1978 දී ඩෙං සියාපිං පක්ෂ නායකත්වය තහවුරු කරගත්තේය. ඉන්පසු, චීනය ලෝක වෙළදපලට ප්‍රවේශ වීම, ඉතා ප්‍රවේශමෙන්, සැළසුම්ගතව හා ඉවසීමෙන් සිදු කෙරුණකි. ඔහු, මාඕගේ “සංස්කෘතික විප්ලවීය” මතවාදය පක්ෂයෙන් අතුගා දැමීය. පක්ෂ ඉහළ නායකත්වයේ තීන්දු ගැනීම ප්‍රජාතන්ත්‍රීය කිරීමත්, පක්ෂ විනය හා මධ්‍යගත පාලනය ශක්තිමත් කිරීමත් අනතුරුව සිදු කෙරින. ගොර්බචෙව් ගෙන් ඩෙං සියාපිං වෙනස් වූ මූලික කාරණා වූයේ ගොර්බචෙව් පළමුව පක්ෂය හා රාජ්‍ය අතර සම්බන්ධය ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයක් කළ අතර, ඩෙං සියාපිං පක්ෂ නායකත්වයේ බලය රාජ්‍ය හැසිරවීමේදී වඩාත් මධ්‍යගත බලයක් බවට පත් කළේය.

“පෙරෙස්ත්රොරයිකා” ලෙසින් ගොර්බචෙව් රුසියානු ආර්ථිකය නිදහස් කළ නමුත් ඩෙං සියාපිං එවැනි ආර්ථික නිදහසක් චීන ජනතාවට එකවර ලබා නොදුන්නේය. ඔහු පළමුව තීන්දු කරනු ලැබුවේ චීන ආර්ථිකය ප්‍රතිපත්තිමය වශයෙන් ලෝක වෙළඳපල හා හවුල්වීම ය. එය සිදු කෙරුණේ පක්ෂ නායකත්වය යටතේ පවත්වා ගත් මධ්‍යගත රාජ්‍ය මගින් ය. ඒ වෙනුවෙන් චීනයේ පැවති මිල පාලනය ඉවත් කෙරුණි. ප්‍රජා කමිටු සතුව තිබූ ඉඩම් පෞද්ගලික අයිතියට පවරනු ලැබිණ. පෞද්ගලික සමාගම් මෙන් රාජ්‍ය ව්‍යවසායන් ද වෙළඳපල ගනුදෙනු වලට යොමු කෙරුණි. අපනයන නිෂ්පාදනයට විදේශ ආයෝජන වෙනුවෙන් “විශේෂ ආර්ථික කලාප” ගණනාවක් පිහිටුවනු ලැබිණ. ඇපල්, ටෙස්ලා, කොකා කෝලා, නයික්, වොල්මාට්, ඉන්ටෙල් වැනි යෝධ ඇමෙරිකානු සමාගම් චීන ආර්ථිකයේ ආයෝජකයින්, නිෂ්පාදකයින්, ගනුදෙනුකරුවන් වූහ.

ආරම්භයේදී ඇමෙරිකානු ව්‍යාපාරිකයින් ගණන් හැදුවේ, රුසියාව හා චීනයද ඔවුන්ගේ ව්‍යාපාරික ගනුදෙනු සඳහා විවෘත වීමේ වාසිය විය. එහෙත් ඇමෙරිකානු ප්‍රභූ දේශපාලනයට එය තර්ජනයක් ලෙස හැඟෙන්නට විය. පෙට්‍රො ඩොලරයේ ආධිපත්‍ය ඇතිව ලෝක ඉන්ධන ඒකාධිකාරිය සියතට ගැනීම ඇමෙරිකානු උපාය වූයේ ඒ අනුවය.

එහි ප්‍රවේශ කිහිපයක් විය. වැඩියෙන් කතා වන්නේ ඇමෙරිකානු ආක්‍රමණ හා කුමන්ත්‍රණ මගින් රාජ්‍ය පෙරැළි සිදු කෙරුණු ඇෆ්ගනිස්ථානය හා ඉරාකයේ සිට ලිබියාව හරහා, වෙනිසියුලාවෙන් ඉරානය වෙත යුද්ධය ගෙන යාම ය. ඒ රටවල් ලොව වැඩිම තෙල් නිධි ඇති රටවල් ය. එහෙත් ගෝලීය ආධිපත්‍යය සඳහා එය ප්‍රමාණවත් නොවුනි. ඒ අඩුව පුරවා ගැනීමට අප්‍රිකානු රටවල් ගණනාවක් හා “බල සාධක අතර තත්ත්ව තුලනය” (SOFA – Statu s of Focers Agreement) සම්බන්ධ ගිවිසුම් අත්සන් කෙරුණි. බොහෝ SOFA ගිවිසුම් ප්‍රසිද්ධ කෙරෙන නමුත් එසේ ප්‍රසිද්ධ නොකෙරෙන ගිවිසුම්ද ඇත. ලංකාණ්ඩුව 1995 දී අත්සන් කළ එවැනි ගිවිසුමක් බලාත්මකව තබාගෙන ඉන්නේ 2018 දී එය යාවත්කාලීන කිරීමට හැදූ කෙටුම්පතට එරෙහිව මතුවූ විරෝධය වන්නේය. ඒ වෙනුවට, මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව බලයට පැමිණි විගස “රාජ්‍ය සහයෝගිතා වැඩසටහන” යටතේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කෙරෙන, අවබෝධතා ගිවිසුමක් 2025 නොවැම්බරයේදී අත්සන් කළේය.

thediplomat 2014 01 29 16 14 54ජනාධිපති ඔබාමා යටතේ “නැගෙනහිර ආසියානු උපාමාර්ගය” නැතිනම් “ආසියානු තුලන කේන්ද්‍රය” (Pivot of Asia) ලෙසින් ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියෙහි අලුත් ආසියානු නැඹුරුවක් ඇති විය.
ජනාධිපති ඔබාමා යටතේ “නැගෙනහිර ආසියානු උපාමාර්ගය” නැතිනම් “ආසියානු තුලන කේන්ද්‍රය” (Pivot of Asia) ලෙසින් ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියෙහි අලුත් ආසියානු නැඹුරුවක් ඇති විය. ආර්ථිකමය වශයෙන්ද, භූගෝලීය හෝ දේශපාලනිකවද චීනයට ආසන්න නැගෙනහිර හා ගිනිකොන ආසියානු රටවල් සමග හවුල්වීමට පියවර ගනු ලැබිණ. ද්විපාර්ශවීය ආරක්ෂක සන්ධාන, වෙළඳ හා වානිජ කටයුතු වර්ධනය, කලාපීය බහු-පාර්ශවීය ආයතන සමග කටයුතු කිරීම, මානව හා ප්‍රතන්ත්‍රවාදී අයිතීන් ශක්තිමත් කිරීම වාගේම නැගෙනහිර ආසියානු කලාපයේ පුළුල් ආරක්ෂක හමුදා පැවැත්මක් තහවුරු කිරීමත් විය.

මේ ගෝලීය වර්ධන හමුවේ ගෝලීය බල ආකෘතීන් දෙකක් දැකිය හැකිය. එකක් දෙවන ලෝකයෙන් පසු ඇමෙරිකාව නඩත්තු කරගත් ආර්ථික ශක්තිය සමග වූ යුධ බලය වේ. නව සහශ්‍රයේ දෙවන දසකය අවසන් වන විට, ඇමෙරිකානු විදේශ ණය ඩොලර ට්‍රිලියන 28.6 ත් 29.1 ත් අතර වී යැයි CIEC පර්යේෂණ හා උපදේශක ආයතන වාර්තාවක දැක්වේ. බලහත්කාරයෙන් තෙල් නිධි අල්ලා ගැනීමට ඇමෙරිකාව යොමු වන්නේ එවැනි යෝධ ණය කන්දරාවක් කර ගසන්නට සිදුවීමෙනි. යෝධ තෙල් නිධි අල්ලා ගැනීමේදී ගෝලීය ආධිපත්‍යයෙහි වටිනාකම් වූ ජාත්‍යන්තර නීති, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම කිසිදු ලජ්ජාවක් නැතිව ඇමෙරිකානු බලහත්කාරය විසින් උල්ලංඝණය කෙරුනි. හමුදාකරණයෙන් තොර නව ගෝලීය පද්ධතියක අවශ්‍යතාවක් ගැන මා කතා කෙරුවේ, එවන් සන්දර්භයක ය. 2009 උතුරු-නැගෙනහිර සිවිල් යුද්ධය අවසානයේ ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ යෝජනා සම්මත කෙරෙන විටය. සාක් කලාපීය මානව හිමිකම් කොමිසමක් ගැන මාලදිවයින ජනාධිපති මොහොමඩ් නෂීඩ් 2010 අප්‍රේල් සාක් රාජ්‍ය නායක සමුළුවේදී සඳහන් කළ පසු එවැන්නක අවශ්‍යතාව මා අවධාරණය කෙරුවේ, එක්සත් ජාතීන්ගේ ආයතන සමගවන ඇමෙරිකානු ගෝලීය ආධිපත්‍යය අප විශ්වාස නොකළ යුතු යැයි වූ ස්ථාවරයේ දැඩිව සිටිමින්ය.

ගෝලීය බලාධිකාරය සඳහා ඇමෙරිකාව සකසා ගත් යුධ ආර්ථික ආකෘතියට වෙනස් වූ බල ආකෘතියක අවශ්‍යතාව කලින්ම හඳුනා ගත්තේ තමන්ගේ ආර්ථික ශක්තිය සමග චීන නායකත්වය විය යුතුය. එය වර්ධනය කෙරුණේ චීන විදේශ ප්‍රතිපත්තිය සමගින් ය. චීනය ආසියානු පැසිෆික් කලාපයේත් අප්‍රිකානු රටවලත් ලතින් ඇමෙරිකානු සහ කැරිබියානු දූපත්වලත් යටිතල පහසුකම් හා වරාය දියුණු කිරීම්, ආයෝජන කිරීම් හා ව්‍යාපාරික ගනුදෙනු සහතික කරගෙන තිබිණ. හමුදා බලයට යටත් වනවාට වඩා, දැඩි දේශපාලන හා ආර්ථික බැඳීමක් ඒවායෙන් ඇති විය.

 

b702822a66bb4d97911f188a99e45a12චීන නායක සී ජිංපිං
චීන විදේශ ප්‍රතිපත්තියෙහි හමුදා බලයක් දකින්නට නොවුනි. ඔවුන්ගේ ව්‍යාපෘතිය ව්‍යාපාරික හා මූල්ය සංක්‍රමණ මත සිදු වූවකි. චීන නායක සී ජිංපිං ගේ දැවැන්ත හීනයක් වන මුහුදු හා ගොඩබිම් මාර්ග ජාලය (BRI) සම්බන්ධ මුල පිරුම විසින් 2023 දී ආසියාවේ චීන ආයෝජන සියයට 37 කින් ඉහළ ගොස් ඇතැයි, ජපාන පුවත් සඟරාවක් වන “නිකෙයි ඒෂියා” 2024 මාර්තුවල වාර්තාකර තිබුණි.

එවැනි පසුබිමක, ට්‍රම්ප් හා නෙතන්යාහු විශ්වාස කළ ඉරානයට එරෙහි යුධ ජයග්‍රහණය දැනටත් ඔවුන්ට අහිමිව ඇති අයුරු, ජනාධිපති ට්‍රම්ප්ට ඉදිරි සති කිහිපයේ සීඝ්‍රයෙන් පසු බසින්නට සිදුවන්නේය. “BRICS” සාමාජික රටවල් ජා.මූ.අරමුදලට හා ලෝක බැංකුවට විකල්ප ඔවුන්ගේ බැංකු සේවයක් හා මුදල් නෝට්ටුවක් ගැන කතා කෙරෙන අතරවාරයේ, චීන යුආන් සමගින් ගෝලීය ඉන්ධන වෙළඳාමට ඉරානය අවකාශයක් හැදීම, කැබලිවන ගෝලීය පැවැත්මෙහි අලුත් ගෝලීය පද්ධතියකට ඉඩ ලබා දෙන්නකි. එවැනි නව ගෝලීය පද්ධතියක් සඳහා කලාපීය සන්ධාන තහවුරු වනු ඇත. අපට එහි වාසිදායක ස්ථානගත වීමක් ලබන්නට නම්, දකුණු ආසියානු කලාපීය ආර්ථික හවුලක සක්‍රීය පංගුකාරිත්වයක් දැරීමට අප දේශපාලන තීන්දුවක් ගත යුතුව ඇත. එය සර්ව-පාක්ෂික සමුළුවකින් ගැනීමේ වගකීම, මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව සතුය.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 මාර්තු 24 වන දින

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...