The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමා ආණ්ඩුවට එරෙහිව පරීක්ෂණත් අවශ්‍යයද? | කුසල් පෙරේරා

T

The Leader Desk

April 18, 2026 • 5:17 AM

මාලිමා ආණ්ඩුවට එරෙහිව පරීක්ෂණත් අවශ්‍යයද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැයකට හමාරකට කලින් ලැබුණු ප්‍රවෘත්තියක් වූයේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ ඔහුගේ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය තනතුරු වලින් ඉල්ලා අස්වූ බවය.
  • ඇතැම් විට ඉන් කියන්නාවූ කතාව විය හැක්කේ, ඔවුන් ඒ තනතුරුවල සිටියදී විශේෂ ජනාධිපති කොමිසමකට හෝ අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ නැතැයි යන්න විය යුතුය.
  • ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධ චෝදනා ඉදිරිපත් වූයේ ඉන් මාස 10 ට පමණ පසුව ය.
  • මෙම දූෂණ වංචා අතරතුර තව දූෂණ වංචා ගණනාවක් සිදුව ඇතැයි සමාජයේ බොහෝ තැන් වලින් දැන් ඇසෙන්නට පටන් ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබූයේ, ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන විමර්ශනයට අපක්ෂපාතීව හා ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසමින්, ඔවුන් දෙපළ ඉල්ලා අස්වූ බවය. ඇතැම් විට ඉන් කියන්නාවූ කතාව විය හැක්කේ, ඔවුන් ඒ තනතුරුවල සිටියදී විශේෂ ජනාධිපති කොමිසමකට හෝ අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ නැතැයි යන්න විය යුතුය.

මේ ආණ්ඩුව බලයට පත්කරනු ලැබුවේ තමන්ගේ පාක්ෂිකයින් තමන්ගේ පක්ෂයේ ක්‍රියාකාරීන් හීනෙකින්වත් දූෂණ වංචා වලට හවුල් නොවුනු අය යැයි ජවිපෙ/මාලිමා නායක අනුර කුමාර, රටේ ජනතාවට ලබාදුන් සහතිකය වෙනුවෙනි. සිව් මසක් ගෙවෙන විට, විශේෂ රේගු පරීක්ෂණයකට ලක් කළ යුතුව තිබූ බහළුම් 323 ක් 2025 ජනවාරි 18 වන දින හදිසියේ නිදහස් කිරීම සම්බන්ධව පරීක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර ගේ නිර්දේශය මත ජනවාරි 30 වන දින පත් කළ සිව් දෙනෙකුගෙන් යුත් කොමිසමෙහි ස්වාධීනත්වය හා වගකීම සම්බන්ධව ප්‍රශ්න කෙරුණි. ඒ වාර්තාව පාර්ලිමේන්තු විවාදයකට හෝ නොතිබුණි. ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධ චෝදනා ඉදිරිපත් වූයේ ඉන් මාස 10 ට පමණ පසුව ය.

මෙම දූෂණ වංචා අතරතුර තව දූෂණ වංචා ගණනාවක් සිදුව ඇතැයි සමාජයේ බොහෝ තැන් වලින් දැන් ඇසෙන්නට පටන් ගෙන ඇත. ඒ අයට මා කියුවේ, මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව උපතින්ම ජානගත දූෂිත ආණ්ඩුවක් වූ බවය. පසුගිය ආණ්ඩුවල දූෂණ වංචා සිදුවූයේ දේශපාලකයින් ඇමති ධූර වලට පත් කෙරුවාට පසුවය. මේ ආණ්ඩුවේ ඇමති ධූර වලට පත් කෙරුණේ හීනෙන් නොව, සැබැහින්ම දූෂණ චෝදනා කර ගසාගෙන පැමිණි පාක්ෂිකයින් ය. වසන්ත සමරසිංහට, මහින්ද ජයසිංහට, රන්ජන් ජයලාල්ට මාලිමා පක්ෂයෙන් නාමයෝජනා දෙනු ලැබුවේ කූඨ ලේඛන මත අනුන්ගේ ගොඩනැගිල්ලක් උකස් කළේ යැයි පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙරුණු පරීක්ෂණ වාර්තා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබියදී ය. මාලිමාවට හිමි වූ පාර්ලිමේන්තු ජාතික ලේඛණයෙන් කුමාර ජයකොඩි මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ රජයේ පොහොර සංස්ථාවේ රුපියල මිලියන 08.8 ක ප්‍රසම්පාදන වංචාවකට රැකියාවද අහිමි වූ වරදකරුවකුව සිටියදී ය. ඔහුව මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර, අනතුරුව මේ රටේ විශාලම ප්‍රසම්පාදන සිදු කෙරෙන බල ශක්ති අමාත්‍යාංශය ඔහුට බාර දෙනු ලැබුණේ පක්ෂයේ අන් සියල්ලන්ට වඩා හොඳින් ඔහු ගැන දන්නා ජනාධිපති අනුර කුමාර විසින් ය.

මෙතෙක් මේ රටේ දැවැන්තම දූෂණය ලෙස කතාවන බාල ප්‍රමිතියක ගල් අඟුරු ආනයනය මගින්, පළමු නැව් තොග 11 න් රුපියල් බිලියන 08 ට වඩා රජයට පාඩු වන්නේ යැයි ගණන් බලා ඇත. තවත් එවැනි නැව් 14 ක් ඉදිරි මාස කිහිපයේ පැමිණීමට නියමිත ය.

 

gal aguru 1

පාර්ලිමේන්තුවේදීත් පිටත මාධ්‍ය සාකච්ඡා වලදීත් මාලිමා මැති ඇමතිවරුන් සැවොම ගල් අඟුරු ප්‍රසම්පාදනය ගැන ජනාධිපති කියූ කතාව කර ගැසූහ. ජනාධිපති මාධ්‍යවේදී හමුවකදී කීවේ, අදාල හැම ලියවිල්ලක්ම, වාර්තාවක්ම ඔහු ආවේග වලට යට නොවී, ඉතා ප්‍රවේසමෙන්, විශ්ලේෂණාත්මකව කියවූ බවත්, ඒ කිසිවකින් ප්‍රසම්පාදනයේ දොසක් සිදුව ඇතැයි නොකියවුනු බවත් ය. එනිසා ඔහුගේ නිගමනය “ඉතා විශ්වාසයෙන් මං කියන්නේ” යැයි ඔහු කීවේ, මෙම අමාත්‍යාංශයේ කිසිදු අඩුපාඩුවක් දොසක් නොවුනු, නොකළ ඇමතිවරයෙක් ඉවත් කිරීමට ඔහු සූදානම් නැතැයි කියා ය.

 



රජයේ විගණකාධිපති වාර්තාවටත් වඩා දැඩිව ජනාපධිතිගේ ප්‍රකාශය විශ්වාස කළ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි පාර්ලිමේන්තු විශ්වාස භංග යෝජනාවේදී ඔහු ඉතා පිරිසිදු, මැතිවරණ සමයේ අනුර කුමාර කියූ “හීනෙකින්වත් දූෂණ වංචා වලට හවුල් නොවුනු” පාක්ෂිකයෙකු යැයි වාද කළහ. ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 159 න් 153 ක් ජයකොඩි ඇමති වෙනුවෙන් ඡන්දය දුන්හ. ඒ සිංහල-දෙමළ අළුත් අවුරුද්දට දින සතරකට පෙර ඉකුත් අප්‍රේල් 10 වන දිනයේදී ය.

 

vijitha herath media

ඉන් සතියකට පසු, අද අප්‍රේල් 17 වන දින, විශේෂ මාධ්‍ය හමුවකදී විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කෙරුවේ, විදුලිය නිෂ්පාදනය සඳහා ගල් අඟුරු භාවිතය පටන් ගත් දින සිට මේ වසරේ මේ මාසයේ 16 වන දින දක්වා ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධ පරීක්ෂණ කිරීමට ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සභාපති වශයෙන් හා අභියාචනාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ සමග මහ අධිකරණ විනිසුරු සංජීව සෝමරත්න ගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිසම් සභාවක් පත් කළ බවය. එය මහජන සාක්ෂි ලබා ගැනීමටද විවෘත යැයි ඇමති හේරත් පැවසීය.

සක්‍රීය අධිකරණ සේවයේ ඉන්නා විනිසුරුවරුන් බලයේ ඉන්නා ආණ්ඩුවේ ඇමතිවරයෙකුද ඉලක්ක වන මෙවැනි දූෂණ පරීක්ෂණ සඳහා කොමිසම් වලට පත් කිරීමේදී දේශපාලන සම්මුතින් ඇති විය හැකි දැයි සමාජයේ යම් කුකුසක් ඇතිවන්නට ඉඩ ඇති අතර, මෙහිදී මා විමතියට පත් වූයේ, ඇමති ජයකොඩි හා අමාත්‍ය ලේකම් මහාචාර්ය හේමපාල ඉල්ලා අස් වූයේ ස්වාධීන අපක්ෂපාති විමර්ශන සඳහා ඉඩ තැබීමට යැයි වූ සඳහන් කිරීම් හේතුවෙනි. ඔවුන් තනතුරු වල රැඳී සිටීම ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ හා මහ අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක විමර්ශන වලට බලපෑම් කෙරෙන්නට තරම් හේතු විය හැකි යැයි ඇඟවීමත් ජනාධිපති අනුර කුමාරගේ මාලිමා ආණ්ඩුව ගැන ලියැවුන අලුත් සහතිකයකි.

 

Kumara vote

ඒ සමග මාලිමා ආණ්ඩුවේ ගෝසාකාරී ආරක්ෂක ආරක්ෂිකාවන් සතියක් යන්නට කලියෙන් වැටුණු අසීරුව අතිශය හාස්‍යජනක ය. සතියකට ඉහතින් රජයේ විගණකාධිපති වාර්තාවද නොපිළිගෙන පිරිසිදු යැයි වාද කළ, පිරිසිදු යැයි ඡන්දය දුන් ඇමතිවරයාගේ කල්කිරියාව පරීක්ෂා කිරීමට ඉහළ පෙළ කොමිසමක් පත් කළ විගස, එහි පරීක්ෂණ වලට බාධාවක් නොවන ලෙස තමන් ඉල්ලා අස්වන්නේ යැයි ඇමති සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වූ විට, ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 153 ට සිදුවූයේ කුමක්ද? ඔවුන් තවත් වටයකින් බොරුකාරයින් වූ බැව් නොවේද?

මැතිවරණ තෙක් දූෂණ වංචා වලින් තොර යැයි දිවුරුම් දුන් මාලිමා ආණ්ඩුවේ දැන් තත්ත්වය කුමක්ද? ගල් අඟුරු ප්‍රසම්පාදනයේ දූෂණ විමර්ශනය වන අතර වාරයේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියේ ලිහා බැලෙන විට, ඔවුන්ගේ දූෂිත හෙළුව වසා ගන්නට තව කොමිසම් පත් කරගන්නට ජනාධිපති අනුර කුමාරට කල් දෙන්නට මාලිමා නොව, ජවිපෙ ක්‍රියාකාරීන්වත් “නිර්ධන පංතිය” වෙනුවෙන් ඉදිරිපත් වේදැයි මට ඇත්තේ බරපතල සැකයෙකි. ඔවුන්ට එරෙහි අවසන් නිවේදනයට ජනතා අත්සන ගැසීමට දැන් කාලය පැමිණ ඇති හෙයිනි.

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 අප්‍රේල් 17 වන දින
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමා ආණ්ඩුවට එරෙහිව පරීක්ෂණත් අවශ්‍යයද? | කුසල් පෙරේරා | The Leader