The Leader News
BREAKING
Top Ad
Opinion

ජනතාව ආගම්වල පටලවා බලය තහවුරු කර ගැනීමේ දේශපාලන කූටෝපාය යළිත් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

April 19, 2026 • 7:16 AM

ජනතාව ආගම්වල පටලවා බලය තහවුරු කර ගැනීමේ දේශපාලන කූටෝපාය යළිත් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප රටේ දේශපාලනඥයන් මහජනතාව ඉදිරියේ සිය ආගමික කටයුතු හුවා දැක්වීම හුදු සටකපට ක්‍රියාවක් බවත්, තමන්ගේ ආගමික කටයුතුවලදී මාධ්‍යවේදීන් පිරිවරාගෙන යෑම එම සටකපටකම විදහා දක්වන නිදසුනක් බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන් ජනාධිපතිවරණයට පෙර පැවසූ ප්‍රධානතම කරුණකි.
  • එහෙත් අද වන විට ඔවුන්ගේ එම දැක්ම එලෙසින්ම පවතී ද යන ගැටලුව අප හමුවේ පැනනැඟී තිබේ.
  • එමෙන්ම සමාජයක ප්‍රගමනය තීරණය වන්නේ එම සමාජයේ පුරවැසියන් සතු තාර්කික චින්තනය සහ විචාර බුද්ධිය මත බව ද නොරහසකි.
  • එම පූජක ආධිපත්‍යය කෙතරම් උත්තුංග ලෙස නැඟී තිබුණේ ද යත්, පූජකවාදය (Clericalism) යන්න සමාජයීය වශයෙන් ප්‍රතිගාමී බලවේගයක් ලෙස ද විද්වතුන් විසින් හඳුන්වා දෙන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

එය සමාජ මානව විද්‍යා විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද වැදගත් ප්‍රකාශයකි. එහෙත් අද වන විට ඔවුන්ගේ එම දැක්ම එලෙසින්ම පවතී ද යන ගැටලුව අප හමුවේ පැනනැඟී තිබේ.

ආගමික සදාචාරය සහ දේශපාලනික ව්‍යාපෘති

WorldReligions 164107922 c72cce704d4d4521962046df4fa8ce3f

ලොව පුරා පවතින පොදු සම්මුතියට අනුව ආගම යනු මිනිසාගේ මෙලොව සේම පරලොව පැවැත්ම යහපත් කරවීම පිණිස ඉදිරිපත් කෙරෙන, විශ්වාස මත පදනම් වූ චර්යා ධර්ම පද්ධතියකි. එහෙත් දේශපාලනය යනු හුදෙක් රටක ජනතාවගේ ලෞකික යහපැවැත්ම තහවුරු කර ගැනීම පිණිස පාලක පක්ෂය විසින් ඉදිරිපත් කළ යුතු සාධනීය මෙන්ම තිරසාර ව්‍යාපෘති මාලාවකි.

එමෙන්ම සමාජයක ප්‍රගමනය තීරණය වන්නේ එම සමාජයේ පුරවැසියන් සතු තාර්කික චින්තනය සහ විචාර බුද්ධිය මත බව ද නොරහසකි. එසේ වුව ද ආගමික සහ දේශපාලනික ක්ෂේත්‍රයන්හි බලය හසුරුවන පුද්ගලයන් පටු වාසි තකා ජනතාව නොමඟ යවන විට, එම සමාජයේ සමස්ත යහපැවැත්ම බිඳ වැටීම නොවැළැක්විය හැකි සංසිද්ධියකි.

ආගමික අවභාවිතය සහ පූජක ආධිපත්‍යය

va religions header

ආගම යනු මිනිසාගේ ආධ්‍යාත්මික සැනසීම උදෙසා පවතින සංකල්පීය පදනමකින් යුතු චින්තන ධාරාවක් වුව ද, ඉතිහාසය පුරාම ඇතැම් පූජකයන් ආගමික සංකේත සහ විශ්වාසයන් අවභාවිත කරමින් බැතිමතුන්ගේ බිය හා තෘෂ්ණාව කුළුගන්වා තමන්ගේ මඩි තර කර ගැනීමට කටයුතු කර ඇත. එම පූජක ආධිපත්‍යය කෙතරම් උත්තුංග ලෙස නැඟී තිබුණේ ද යත්, පූජකවාදය (Clericalism) යන්න සමාජයීය වශයෙන් ප්‍රතිගාමී බලවේගයක් ලෙස ද විද්වතුන් විසින් හඳුන්වා දෙන ලදී.

බුද්ධ කාලීන සමාජයේ මුල් බැසගෙන තිබූ වෛදික බ්‍රාහ්මණ ආධිපත්‍යය විසින් සමකාලීන සමාජ සමානාත්මතාව බරපතල ලෙස අහිමි කළ පසුබිමක, සිද්ධාර්ථ ගෞතම සහ වර්ධමාන මහාවීර වැනි රජකුමාරවරු ඊට සපුරාම එරෙහි වෙමින් ශ්‍රමණ සම්ප්‍රදාය බලගැන්වූහ. එම මෙහෙවර එක්තරා දේශපාලනික විප්ලවයක් සේ සමාජවාදී දෘෂ්ටියකින් විවරණය කළ මහාචාර්ය කඹුරුගමුවේ අරියසේන වැනි විද්වත් හිමිවරුන් ඒ බව අවධාරණය කර තිබේ.

මිථ්‍යාව සහ බුද්ධිමය වර්ධනය අඩාල වීම

n5u5tyhfghf54
කාල් මාක්ස් පෙන්වා දුන් පරිදි, “ආගම යනු ජනතාව මත් කරන අබිං” (Religion is the opium of the people) බවට පත්වන්නේ, පාලක පන්තිය හෝ ආගමික නායකයන් විසින් ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සෙවීම වෙනුවට මිථ්‍යා විශ්වාස තුළ ඔවුන් රඳවා තබා ගන්නා බැවිනි.

මෙලෙස විද්‍යාත්මක චින්තනය යටපත් වී මිථ්‍යාව රජ වීම නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතාවලට වඩා මිථ්‍යා චාරිත්‍ර පසුපස ජනතාව හඹා යෑමෙන් සමාජයේ බුද්ධිමය වර්ධනය දැඩි ලෙස අඩාල වන බව පෙන්වා දී තිබේ. මෙය කූට දේශපාලකයන්ට අතිශය වාසිදායක තත්ත්වයකි. එහෙත් මෙය චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර ධර්ම මත පදනම් වන දාර්ශනික ගණයේ ශාස්තෘ දේශනාවලට එතරම් අදාළ වන බවක් නොපෙනේ. නමුත් ගැටලුව පවතින්නේ අද වන විට සියලු ආගම්වලින් එම දාර්ශනික ලක්ෂණ ගිලිහෙමින් තිබීමය.

ඒ අනුව අප විසින් කළ යුත්තේ කාල් මාස්ක් ගේ එම ප්‍රකාශය පදනම් ව ඉහත කී ආගමික සංස්කෘතික ධාරාවන් ගෙන් මතු වන සැබෑ සදාචාරාත්මක හරය සමාජ ගත කොට ආගම යන්නෙහි අර්ථ නිරූපණය වඩාත් ප්‍රබල හා ශක්තිමත් කර ගැනීම මිස ඔහුට “තුහ් නොදකින්”කීම නොවේ. එවන් තත්ත්වයන් සුරක්ෂා කර ගැනීමෙහි ලා විශිෂ්ට මෙහෙවරක් කළ කිතුනු පාර්ශවයෙන් බිහි වූ ගරු ඇලෝසියස් පීරිස් වැනි පූජකතුමන්ලා අහිමි වීමෙන් ඇති වූ හිඩැස යළි පිරවෙන බවක් පෙනෙන්නට නැත.

දේශපාලනික කපටිකම සහ ඡන්දදායකයාගේ වගකීම

Lying politician 1200x800

ආගමික ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ ද කපටි දේශපාලනඥයන් බලය තහවුරු කර ගැනීම සඳහා ජනතාවගේ ජාතිය, ආගම වැනි හැඟීම් උපයෝගී කර ගනිමින් ව්‍යාජ සිහින මැවීම නිරතුරුව සිදු වන්නකි. ඡන්දදායකයා මෙම ව්‍යාජ සිහින මායාවන්ට රැවටීම හේතුවෙන් රටක පද්ධතිමය බිඳවැටීමක් සිදු වන අතර, ප්ලේටෝ සිය “The Republic” කෘතියේ සඳහන් කළ පරිදි, ඡන්දදායකයා දේශපාලනයට සම්බන්ධ වීමට අකමැති වීමට හිමි දඬුවම වන්නේ තමාට වඩා පහත් පුද්ගලයන්ගේ පාලනයට යටත් වීමට සිදු වීමය.

ඡන්දදායකයා විචාර බුද්ධියෙන් තොරව කටයුතු කරන විට අමනෝඥ දූෂිතයන් රාජ්‍ය බලය තහවුරු කර ගන්නා අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දූෂණය, නාස්තිය සහ අකාර්යක්ෂමතාව රජ වීමෙන් රටක ආර්ථිකය මෙන්ම නීතියේ ආධිපත්‍යය ද පිරිහීමට ලක් වේ. මෙය ශ්‍රී ලාංකික දේශපාලනය තුළ අපි එදා මෙන්ම අද ද අත්විඳින්නෙමු.

දේශපාලක-පූජක අනුග්‍රාහක සබඳතාව සහ සමාජ බිඳවැටීම

 

501100016 univ lsr lg
මෙම විනාශකාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වන්නේ කපටි පූජකයන් සහ දේශපාලනඥයන් ‘ජාඩියට මූඩිය’ මෙන් එකිනෙකා ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යන අයථා සබඳතාව නිසාවෙනි. එහිදී පූජකයා දේශපාලනඥයාට ආගමික වටිනාකමක් ලබා දෙන අතර, දේශපාලනඥයා පූජකයාට පංචකාම සම්පත් විඳීමට අවශ්‍ය වරප්‍රසාද සහ ආරක්ෂාව ලබා දෙයි. මෙම ද්විත්ව බලපෑමට හසුවන සාමාන්‍ය වැසියා, තමා සූරාකෑමට ලක්වන බව පවා වටහා ගත නොහැකි මානසික වහල්භාවයකට පත් වේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ සමාජයක ආර්ථික සෞභාග්‍යය පමණක් නොව සදාචාරාත්මක සහ බුද්ධිමය සමතුලිතතාව ද බිඳ වැටීමයි.

වංචාව සහ කපටිකම සාධාරණීකරණය කරන නායකයන් දෙස බලා සමාජයේ පහළ ස්ථර ද එම මාවතම තෝරා ගැනීමෙන් සදාචාරාත්මක පිරිහීමක් ඇති වේ. ඒ අතර, නිවැරදි පුද්ගලයන් තෝරා ගැනීමට ඡන්දදායකයා අපොහොසත් වීම නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල වේ. එමෙන්ම ආදර්ශවත් නායකත්වයක් නොමැති වීම නිසා තරුණ පරපුර රට හැර යාම හෝ කලකිරීමට පත් වීම මෙහි ඇති බරපතළම සමාජ බලපෑමකි. මෙම තත්ත්වය බෞද්ධ සාහිත්‍යට අයත් දීඝ නිකායේ කූටදන්ත, චක්කවත්ති සීහනාද ආදී සූත්‍ර මඟින් මනාව විස්තර කර තිබේ.

ලෞකිකවාදය සහ රාජ්‍ය-ආගමික වෙන්වීම

බටහිර දේශපාලන ඉතිහාසය තුළ හමුවන “ආගම සහ දේශපාලනය වෙන් කිරීම” හෙවත් පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීමේ (Separation of Church and State) සංකල්පය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම පදනමකි. මෙහි මූලික අරමුණ වන්නේ රජයේ පාලන තන්ත්‍රය සහ ආගමික ආයතන එකිනෙකින් ස්වාධීනව පවත්වාගෙන යාමයි. මෙහිදී ලෞකිකවාදය (Secularism) ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අතර, රජය කිසිදු නිල ආගමක් වැළඳ නොගෙන සියලුම ආගමික විශ්වාසයන්ට සහ අවිශ්වාසයන්ට සමාන ලෙස සැලකීම එහි පදනම වේ. මෙමඟින් නීතියේ ආධිපත්‍යය ආගමික ඉගැන්වීම් මත නොව, පොදු එකඟතාවන් සහ මානව හිමිකම් මත පදනම් වන අතර, බහුතරයේ ආගමික බලපෑමෙන් තොරව ජීවත් වීමට සුළුතර ආගමික කණ්ඩායම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු වේ.

ස්වාධීනත්වයේ ප්‍රතිලාභ සහ අනාගත අභියෝග

3065782 2000x1000 2500

දේශපාලනය සහ ආගම වෙන් වීම තුළින් සමාජමය ප්‍රතිලාභ රැසක් අත් වේ. විශේෂයෙන්ම ආගමික ආයතන දේශපාලනයෙන් වෙන් වූ විට, පුද්ගලයන්ට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති නිදහස මෙන්ම ආගමික නිදහස ආරක්ෂා වේ. එමෙන්ම ආගමික නායකයන්ගේ අභිමතය පරිදි නොව, ජනතා පරමාධිපත්‍යය අනුව තීරණ ගැනීමට රජයට ස්වාධීනත්වයක් ලැබෙන අතර, අප රටේ නිරතුරුව සිදු වන අන්දමට දේශපාලන බල අරගලවලට ආගම ඈඳා ගැනීමෙන් ආගමික සාරධර්ම පිරිහීම වළක්වා ආගමේ පිරිසිදුභාවය ආරක්ෂා කර ගැනීමට ද මෙයින් අවස්ථාව සැලසේ.

කෙසේ වෙතත්, මෙම වෙන් කිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වේ. ශ්‍රී ලංකාව වැනි රටවල ඉතිහාසය සහ සංස්කෘතිය ආගම සමඟ දැඩි ලෙස බැඳී පවතින බැවින් පූර්ණ වෙන් කිරීමක් සිදු කිරීම සංකීර්ණ කාර්යයකි. එමෙන්ම දේශපාලනඥයන් සිය තීරණ සඳහා බොහෝ විට ආගමික පසුබිම භාවිතා කිරීම ද දැකිය හැකිය.

අවසාන වශයෙන් සාරාංශ කළහොත්, “දෙවියන්ගේ දේ දෙවියන්ටත්, සීසර්ගේ දේ සීසර්ටත් ලබා දෙන්න” යන ජේසුස් වහන්සේගේ ප්‍රකාශය (මතෙව් 22:21) මඟින් අවධාරණය කෙරෙන්නේ ආගම යනු පුද්ගලික විශ්වාසයක් ලෙසත්, දේශපාලනය යනු පොදු පාලන යාන්ත්‍රණයක් ලෙසත් වෙන් ව පැවතිය යුතු බවයි. ඒ කෙසේ හෝ අනාගතයේ රට හමුවේ ඉදිරිපත් වන සමාජ ආර්ථික අර්බුද හමුවේ ජනතාව ආගම්වල පටලවා ඇඟ බේරා ගැනීමේ දේශපාලන කූටෝපාය විවිධාකාරයෙන් යළි බලගැන්වීමේ පහසු ඉඩක් පවතී. එනිසා අප ඒ සම්බන්ධයෙන් වඩාත් සංතීක්ෂණ විය යුතුය.

z PraneethAbayasundara(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය
 
(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...