ගම්මානවලින් නගරවලටත්, පවුල් සම්බන්ධතා වලින් දෛනික වෘත්තීය ජීවිතයටත් සමාජය නැවත හැරෙමින් පවතී. උත්සවීය සංවේදනය මඳක් පහව යන මේ අවස්ථාව දේශපාලනයේ සිදුවීම් ගැන සන්සුන්ව සිතීමට සුදුසු කාලයකි.
ආණ්ඩුවේ අයත් අවුරුද්ද සමරණ තැනට අන්තිමේදී පත්වීම ඉතා වැදගත් කාරණයක් බව පැවසිය යුතුය. මුළින්ම අවුරුදු නැකතක්වත් තිබුනේ නැත. පසුව ඒ තත්වය සමහන් වූ අතර ගිය අවුරුද්දේ මෙන් නොසිට රටේ ජනාධිපතිතුමා ද අවුරුද්දට වෙනත් අයෙකුගේ නිවසට ගොස් අවුරුදු සැමරුවේය. නොනගතය හෙවත් නැකතක් නැති අවස්ථාවේ අලුතින් සැදු නිවසකට ගොස් ඒ නිවස විවෘත කළේය. ඒවා නැකතට අනුව හොද දැයි මා දන්නේ නැත. එහෙත් සාමාන්‍යයෙන් රටම අවුරුදු සමරන වෙලාවක කොහේ හරි නොපෙනී සිටිනවාට වඩා මෙහෙම එකකින්වත් ජනතාවට අභි මුඛවීම වැදගත් ය.

එහෙත් මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නට යන්නේ බක් මහේ සිරිත් විරිත් පිළිබඳ නොවේ. අවුරුදු පටන් ගන්නට පෙර පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වූ බලශක්ති ඇමති ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ඒ සමඟ මතුවූ දේශපාලන, ආචාරාත්මක සහ පද්ධතිමය ගැටළු කිහිපයක් මෙවර විමර්ශනයට ලක් කරමි.
බක් මහේ විරුවෝ දේශපාලන අර්ථකථනය

ප්‍රධාන මාතෘකාවට පිවිසීමට පෙර, බක් මහේ මතකයක් පිළිබඳව සටහන් කළ යුතුය. පසුගිය සතිය දක්වාම රටේ බොහෝ නගරවල “බක් මහේ විරුවන්” ලෙස හඳුන්වමින් 1971 කැරැල්ලේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා රැස්වීම් සංවිධානය කළේ රාජ්‍ය අනුග්‍රහයක් පෙන්වන පරිදිය. මෙය සාමාන්‍ය සංස්කෘතික ක්‍රියාවක් නොව, දේශපාලන ඉතිහාසයක් නැවත අර්ථකථනය කිරීමට කරන උත්සාහයක්ය. එය පැරනි දේශපාලන කථාවක් යලිත් මතු කර ගැනීමකි.
71 කැරැල්ල සිහිපත් කිරීමේ වැරැද්දක් මා දකින්නේ නැත. එය ජවිපෙ විසින් 1994 න් පසුව බොහෝ අවුරුදුවල සිදුකළ එකකි. 1989 කාලයේ ජවිපෙ කවුරුවත් 71 කැරැල්ල සිහිපත් කළේ නැත. එසේ නොකළා පමණක් නොව 71 පැරනි ජවිප නායකයින් සැළකුවේ විරුද්ධ කාරයන් ලෙසින් ය. 89 අරගලයේ අයට කියන්නේ ඉල් මහේ විරුවන් කියා ය. ඉල් මහේ විරුවන් විසින් බක් මහේ විරුවන් ව එලව එලවා වෙඩි තැබූ කාලයක් ද වූ බව අපේ මතකයේ තිබෙනවාය. බක් මහේ විරුවෙක් වන ජී අයි ඩී ධර්මසේකර ඉල මගේ විරුවන්ගේ වෙඩි පහරින් බේරුණේ අනු නමයෙනි. ඒ ගැන ධර්මසේකර පසු කාලයේ ලියා ඇත. මගේ විවේචනය ජවිපෙ බක් මහේ විරුවන් සැමරීම නොවේ.
මෙහි මූලික ගැටළුව වන්නේ ජනමතය සහ පක්ෂ අර්ථකථනය අතර ඇති පරස්පරයයි. වත්මන් ආණ්ඩුවට ජන්දය දුන් ජනතාවගෙන් බොහෝ දෙනා 1971 කැරැල්ලේ දේශපාලන මාර්ගය හෝ කොමිනිෂ්ට් විප්ලවවාදය පිළිගන්නා අය නොවේ. ඒ වෙනුවට ඔවුන් බලාපොරොත්තු වූයේ දූෂණ විරෝධය, පාලන සාධාරණභාවය සහ ආර්ථික ස්ථාවරතාවයයි.

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශය පෙන්වා දුන්නේත් ලිබරල් පාලන ආකෘතියක් මිස සෝවියට් දේශය තිබෙන කාලයේ සිදු කළ කොමිනියුෂ්ට් පන්නයේ විපලවයක් සමග සම්බන්ධතාවක් ඇති බවක් නොවේ. එවැනි පසුබිමක, පක්ෂ අභ්‍යන්තර තීරණ මගින් ජනමතය නැවත අර්ථකථනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියට පාවාදීමකි. ජනතාව දුන් අර්ථය වෙනස් කර ගැනීම යනු ජනතාවගේ විශ්වාසය භාවිතා කරමින් එය විකෘති කිරීමකි.
ජනමතය සහ සමාජ සම්මුතිය රනිල් ගේ IMF ආකෘතියේ යන ලිබරල් එකකි. ඒත් නගරයක් ගානේ සිහිපත් කරන්නේ කොමිනියුෂ්ට් ක්‍රමයක් හදන්නට ගිය අසාර්ථක 71 සටනය. මේ දෙක අතර ඇත්තේ විසංවාදයක් බව වත් නොතේරේන්නේ අහංකාරකම නිසාදැයි මා දන්නේ නැත.
විශ්වාසභංගය අනතුරේ ආරම්භයක්ද?
බලශක්ති ඇමති ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව ජයගත් බව නිල වශයෙන් ප්‍රකාශ කළද, එය දේශපාලනික වශයෙන් ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිද යන්න ප්‍රශ්නසහගතය. මගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට, මෙය ජයග්‍රහණයක් නොව, ආණ්ඩුවේ නෛතික සහ දේශපාලන සුජාතභාවය දුර්වල කළ turning point එකක් යැයි කීම නිවැරිදිය. අනුර දිසානායක ජනාධිපතිවරයා වුවත් පෞද්ගලිකව සාධාරණව සිතුවොත් මා කියන දෙයට එකග වනවා ඇත.
මෙහිදී වැදගත් වන්නේ විගණකාධිපති වාර්තා මගින් කලින්ම අනාවරණය කර තිබූ ගැටළුය. බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තා වලින් නිරන්තරයෙන්ම පෙන්වා දී ඇත්තේ පද්ධතිමය අසාර්ථකත්වයකි. ඒ අතර PUCSL වාර්තාව සහ විගනකාධිපතිනියගේ නිරීක්ෂන මගින් පෙන්නුම් කරන්නේ ගල් අගුරු මිළදී ගැනීම සහ එසේ මිළදී ගැනීමේදී බාල ගල් අගුරු මිළ දී ගැනීම හේතුවෙන් දූෂනයක් සිදුවී ඇති බවයි. මේවාට අමතරව විශේෂයෙන්ම,
* විදුලි බල මිලදී ගැනීම් තරඟකාරී නොවන ක්‍රමවේදයන් මත සිදු වීම
* හදිසි මිලදී ගැනීම් හේතුවෙන් ඉහළ වියදම් ඇතිවීම
* ඉන්ධන සැපයුම් ගිවිසුම්වල විනිවිදභාවය නොමැතිකම
* දීර්ඝකාලීන බලශක්ති සැලසුම් නොමැතිව කෙටි කාලීන තීරණ මත රට පවත්වාගෙන යාම
විගණකාධිපති වාර්තා වල තවත් වැදගත් observation එකක් වන්නේ decision-making process එක තුළ accountability framework එක දුර්වල වීමයි. කවුද තීරණ ගන්නේ? කවුද වගකිව යුතුද? මේවා පැහැදිලි නැති පද්ධතියක් තුළ අක්‍රමිකතා සිදුවීම ස්වභාවිකය.
එසේම මේ කියන සමාගම ගල් අගුරු සැපයීමට රජයේ ලියාපදිංචි වී සිටි සමාගමක් නොවන බව විගනකාධිපතිනියගේ නිරීක්ෂවල පැහැදිළිවම දක්වා ඇත. වාර්තාවේ 101 පිටුව බැලුවහොත් මේ කාරණය සිංහලෙන් ඉතාමත් පැහැදිලිව දක්වා ඇත.
සභාපති දුරකථන සංවාදය
මෙම සිදුවීම් අතර මහත් අවධානයට ලක් වූයේ ගල් අගුරු මිළදි ගැනීමේ දී සංස්ථාවේ සභාපතිවරයා හා අදාළ කොම්පැනියේ අයෙක් සමග සිදුවී ඇති ප්‍රසිද්ධ වූ දුරකථන සංවාදයයි. එය සරල leak එකක් ලෙස බැලිය හැකි දෙයක් නොවේ. එය පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ සජීවී දර්ශනයක් විය. මේ සංවාදය නිවැරිදිව සිදුවූවක් බව කෝල් සමාගමේ සභාපතිවරයාම පසුව වෙනත් ලිපියකින් පිළිගෙන තිබේ.
එම සංවාදයෙන් පෙනී ගියේ,
* රාජ්‍ය ආයතන ස්වාධීනව ක්‍රියා නොකරන බව
* දේශපාලන බලපෑම් තීරණ ගන්නා ක්‍රියාවලියට සෘජුවම බලපාන බව
* නිලධාරීන් අතර වගකීම් සීමා සහ පාලන රීති පැහැදිලි නොවීම වැනි කාරණාය.
මෙය පුද්ගලික වැරැද්දක් ලෙස පමණක් විස්තර කළ නොහැක. මෙය systemic failure එකකි. ආයතනික ව්‍යුහය දුර්වල වූ විට, පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් ගැටළුව විසඳා ගත නොහැක.
එපමණක් ද නොවේ. මෙය ආණ්ඩුවේ යාන්ත්‍රණය දැනුවත් ව සිදු දෙයක් බව ඉතාමත් පැහැදිළිය. දැන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසිල් ගසමින් ජන්දය දෙමින් ජයකොඩි මන්ත්‍රීවරයාව බේරා ගැනිමේ තේරුම වන්නේ කුමක්ද?. එහි තේරුම වන්නේ “ඔව් මෙතන දූෂනයක් තිබෙනවා තමයි. එය විගනකාධිපති තහවුරු කර තිබෙනවා තමයි. එය සභාපති ගේ ටෙලිෆෝන් සවාදයෙනුත් තහවුරු වෙනවා තමයි. ඒත් අපිට වැදගත් ආණ්ඩුවේ ඇමතිවරයා මිසක් ඔය එකක්වත් නොවේ” වැනි එකකි.
සිවිල් සමාජය ගල් ගැසී ඇත
මෙම සිදුවීම් සමඟම ආණ්ඩුවට ආධාර කළ සිවිල් සමාජය ගල් ගැසී ඇති බව පැහැදිලිය. මා මිත්‍ර මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ප්‍රකාශය ඒ සඳහා හොඳ උදාහරණයකි. ඔහු වත්මන් ආණ්ඩුවේ බුද්ධිමය ආරක්ෂකයන්ගෙන් එක් අයෙකි. ඔහු තරම් බරපතළ ආකාරයෙන් මේ ආණ්ඩුව ආරක්ෂා කරන වෙනත් මහජන් බුද්ධිමතෙක් නැති තරම් ය. මේ ආණ්ඩුවට කඩේ යමින් සිටින සමහර මහාචාර්ය ලියන අප්පුලා නැතිවා නොවේ. එහෙත් පක්ෂ විපක්ෂ කාගෙත් යම් ආකාරයක පිළිගැනීමක් තිබෙන නිර්මාල් ගේ ආණ්ඩු ආරක්ෂණය ඒ සියල්ලටම වඩා බරපතළ එකක් ය. ඒ මැදිහත්වීමට පවා ‘ආණ්ඩුවේ ජයකොඩි ආරක්ෂාව’ හරහා බලපැමක් සිදුවී ඇති බව පැහැදිළිය.
අනෙක් අතට සිවිල් සමාජය යනු ආණ්ඩුවකට legitimacy එක ලබා දෙන ප්‍රධාන මූලාශ්‍රයයි. පාර්ලිමේන්තු බහුතරය බලය ලබා දෙන නමුත්, සිවිල් සමාජය එයට නෛතික හා ආචාරාත්මක සාධාරණභාවය ලබා දෙයි. එය ගල් ගැසීම යනු ආණ්ඩුවේ moral authority එක දුර්වල වීමක් ලෙසින් තේරුම් ගැනීම නිවැරිදිය. ආණ්ඩුවේ තිබෙන අහංකාරය නිසා එසේ තේරුම් නොගැනීමේ ඉඩක් තිබෙන බව ද පැහැදිළිය. එහෙත් ඒ මෝඩකම විපක්ෂයට වාසියක් ලැබෙන එකක් බව නම් සැබෑවක් ය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානය ආරම්භ වූයේ 20 වන සංශෝධනය සමඟය. එය නීතිමය වශයෙන් සම්මත වුවද, දේශපාලන වශයෙන් විශ්වාසය බිඳ දැමූ turning point එකකි.අභ්‍යන්තර විවේචන නොසලකා හරිමින්, පුද්ගලික තීරණ ප්‍රමුඛ කරගැනීම, සහ සංනිවේදන අසාර්ථකත්වය එම ආණ්ඩුවේ පරාජයට මූලික විය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැටෙන්නට පටන් ගත්තේ 20 සංශෝධනය ව්‍යවස්ථාවට ගෙන ඒමත් සමගය. විමල්, උදය, ගෙවිදු අභ්‍යන්තරිකව ඒ ආණ්ඩුව තුළ සංවාදයක් ගොඩ නැගුවේ බැසිල් පාර්ලිමේන්තුවට ගේන්නන්ට ව්‍යවස්ථාව වෙනස් කරනවා කියාය. ඒ වෙලාවේ ආණ්ඩුව කළේත් අද ජවිපෙ ආණ්ඩුව කළ දේමය. ආණ්ඩුව අනතුරට දමා 20 සංශෝධනය ගේන එක හොද යැයි ඒ මොහොතේ ආණ්ඩුව කළ්පනා කළේය. එපමණක් ද නොවේ. ආර්ථිකය සහ සංනිවේදනය යන ක්ෂ්‍රේත්‍ර දෙකම ගෝටාභය යටතේ අන්තිමටම අර්බූදයට ගියේ ය.
දූෂණ විරෝධය අහිමිවිම

මෙම ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණ විරෝධය ප්‍රධාන දේශපාලන මුදලක් ලෙස භාවිතා කරමින්ය. නමුත් විශ්වාසභංගය හා ගල් අගුරු සිදුවීම් සමඟ එම මුදල දැඩි ලෙස අගය අඩු වී ඇත.
දූෂණ විරෝධය යනු slogan එකක් නොව, institutional practice එකකි. එය පවත්වාගෙන යාමට නම් transparency, accountability සහ rule of law අවශ්‍යය. මෙවැනි සිදුවීම් එම මූලධර්මවලට විරුද්ධය.
සුක්කානම අතහැර පැදවීම
මෙම සියලු සිදුවීම් එකට ගත් විට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව දේශපාලන නාවිකයා ලෙස සුක්කානම අතහැර රිය පැදවීමක් සිදු කරමින් ඇති බවයි. මාර්ගය පාලනය කිරීම වෙනුවට, ප්‍රවණතාවයන්ට ගලා යාමට ඉඩ දී තිබේ. දේශපාලනයේ සාර්ථකත්වය යනු බලය රැක ගැනීමෙන් පමණක් නොව, එය භාවිතා කරන ආකාරයෙන් තීරණය වේ. විශ්වාසය නැති වූ බලය කාලයත් සමඟ කඩාවැටීම අනිවාර්යය.
(සටහන | මහාචාර්ය චරිත හේරත්)charith9@yahoo.com
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)
(උපුටා ගැනීම - ලංකාදීප)




