“භාෂණයේ නිදහස කියන්නේ ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට ඇති නිදහස නොවේ”
“මේ ආණ්ඩුව කිසිසේත්ම මර්දනීය ආණ්ඩුවක් නොවේ”
“ඇතිව තිබෙන සංහිඳියාව රැකගැනීම සාහිත්‍යකරුවන්ගේ වගකීමක්”

මේ උදෘත, දකුණේ සම්මානලාභී ප්‍රවීණ, සිංහල සාහිත්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ වලින් ලබා ගත් උදෘත ය. අපගේ හා දකුණු ඉන්දියානු දෙමළ සමාජයේ ඉහළ ඇගයුමක් ලබන, කිලිනොච්චියේ තරුණ ගුරුවරයෙකු වන දෙමළ සාහිත්‍යධර තීපචෙල්වන් ප්‍රතීපන් ගේ සාහිත්‍ය නර්මාණ කෘති සතරක පිටපත් 360 ක් මෙරටට ගෙන්වා ගැනීමේදී රේගුව විසින් ඉකුත් මාර්තු මාසයේ අවසාන දිනෙක ඒවා රඳවා ගෙන, ආරක්ෂක අංශයට යොමුකර ඇත. ඒ සම්බන්ධව සිංහල සාහිත්‍යවේදීන් කිහිප දෙනකුගේ පටු කුහකත්වය මැන ගැනීමට ඔවුන්ගේ ප්‍රතිචාර එළෙස උපුටා දක්වන්නට සිතුනි.

ඒ සම්බන්ධව අවධාරණයෙන් යුතුව කිව යුත්තේ, එම කෘතීන් නිදහස් නොකර රඳවා තබා ගෙන ඇති හෙයින්, මේ රටේ සිංහල පාඨකයින්ට පමණක් නොව දෙමළ පාඨකයින්ටද, තීපචෙල්වන් ගේ ඒ නිර්මාණ කියවන්නට තබා ඒවායේ පිටකවරය දකින්නටවත් අවස්ථාවක් නොලැබෙන්නට ඇත. ජාතික සමගියට අහිතක්වේ යැයි සිතන්නට එනිසා රේගුවටද හේතුවක් නැත. ඒවා රඳවා තබා ගන්නට නීතියක් ඇත්තේද නැත. එවැනි වටපිටාවක රේගුව විසින් එම කෘතීන් රඳවා ගැනීම අනුමත කෙරෙන ආකාරයේ ප්‍රකාශ කිරීමේ සිංහල සාහිත්‍යවේදීන් සතු සදාචාරය කුමක්දැයි නොඅසා සිටිය නොහැක.
“සිවිල් හා දේශපාලන අයිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” (ICCPR) 2007 දී නීතිගත කිරීමට දසක ගණනාවකට පෙර, එවැනි අයිතිවාසිකම් කොළඹ විද්වතුන්ගේ හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ සංවාදයට හසු වන්නටත් පෙර, 1973 නොවැම්බරයේ දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් පිටු 206 කින් යුත් “බව තරණය” කෘතිය ලියා පළ කළේය. එය බෞද්ධ සාහිත්‍යයේ අර්ථ ගැන්වෙන සිදුහත් චරිතය ලෞකික දෘෂ්ඨියකින් ප්‍රතිඅර්ථ දැක්වීමක් විය. මාර්ටින් වික්‍රමසිංහ “බව තරණය” කෘතියෙන් සිදුහත් චරිතයට හා බෞද්ධාගමට අපහාස කර ඇතැයි ඊට එරෙහිව සංඝයා අතරින් පමණක් නොව, සිංහල බෞද්ධ සමාජයෙහිද දැඩි විරෝධයක් මතු විය. “බව තරණය” කෘතිය තහනම් කරන්නටද ආණ්ඩුවට බලපෑම් කෙරිණ. එතෙක් සිංහල සමාජයේ මාර්ටින් වික්‍රමසිංහට තිබූ පිළිගැනුමට, ගෞරවයට ඉන් බරපතල පහරක්ද එල්ල විය.
ඒ සියලු ගාලගෝට්ටි හමුවේ වුවද, පැවති ආණ්ඩුව ඊට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. එහෙත් යක්කඩුවේ ප්‍රඥාරාම හිමි ඊට එරෙහි “මතවාදී” ප්‍රහාරයක නිරත වූහ. වික්‍රමසිංහගේ “බව තරණය” කෘතියට පමණක් නොව, ඔහුගේ නිර්මාණකරනයටද සාහිත්‍ය ජීවිතයටද දැඩි විවේචන හා ගැරහීම් ඇතුළත් කොටස් සතරකින් යුත් කෘති පෙළක් උන් වහන්සේ පළ කළහ. එනමුත් වික්‍රමසිංහගේ “බව තරණය” කෘතිය හෝ ඊට එරෙහිව යක්කඩුවේ ප්‍රඥාරාම හිමි ලියූ කෘතීන් හෝ ඒ කාලයේ “බව තරණය” සම්බන්ධව පළ කෙරුණු වෙනත් ලිපි කිසිවක් හෝ සමාජයෙන් ඉවත්කර තැබීමට සංස්කෘතික අමාත්‍යාංශය හා සාහිත්‍ය අනුමණ්ඩල පියවර ගත්තේ නැත. ඒවායේ ගුණදොස් ඇගයීමට ලක් වූයේ “බව තරණ වාද” යැයි ලේබල් වැදුණු විවෘත සමාජ විවාද ඔස්සේය.
ඉන් වසර 14 ට 15 ට පමණ පසු 1989 දී ඉස්ලාම් ලෝකයේ සම්මුති විරහිත ගැරහුමකට හා “ෆත්වා” නියෝගයකට යටත් කෙරුණු සල්මාන් රුෂ්ඩිගේ ආන්දෝලනාත්මක “සේටනික් ව(ර්)සස්” (Satanic Verses) නිර්මාණය රටවල් ගණනාවක තහනම් කරනු ලැබූවකි. එය මෙරටට ගෙන්වූ අවස්ථාවේ එය තහනම් කරන මෙන් ඉල්ලීම් තිබුණි. එහෙත් “සේටනික් ව(ර්)සස්” කෘතිය ලංකාවේ කෙදිනකවත් තහනම් නොවුනි.
එවැනි ඉතිහාසයක් ඇති ලංකාවේ ඉහළ පෙළේ වත්මන් සිංහල සාහිත්‍යවේදීන් දැන් එකත්පස්ව සිට කතා කරන්නේ සාහිත්‍ය කලා නිර්මාණ ඇගයීම් ආරක්ෂක අංශයට බාරදීම පිළිගනිමින්ය. ඉකුත් අප්‍රේල් 17 වන සිකුරාදා, කොළඹ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත ඇමති ආචාර්ය සුනිල් සෙනෙවි විසින් කිලිනොච්චියේ සිට කැඳවනු ලැබූ තීපචෙල්වන්ට රේගු ප්‍රධානීන්, කලා මණ්ඩලයේ සාමාජිකයින්, රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ හා තවත් සාහිත්‍යධරයින් පිරිසක් හමුවේ, දැනුම්දී ඇත්තේ, ඔහුගේ නිර්මාණ කෘති ගැන තීරණය ගනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් හෙයින් ඔවුන්ගේ තීරණය අනුව රේගුව එම කෘතීන් නොපමාව නිදහස් කරනු ඇති බව ය. ඒ වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයට කළ හැකි කිසිත් නැති නමුත් ගැටළුව අප්‍රමාදව විසඳෙනු ඇතැයි ඔහු විශ්වාස කරන බව ඇමති සුනිල් සෙනෙවි පවසා ඇතැයි වාර්තා විය. තීපචෙල්වන්ට පෙරළා කිලිනොච්චි යාමට සිදුවූයේ ඒ හිස් පොරොන්දුව සමගින්ය.
සාහිත්‍ය කලා නිර්මාණ ඇගයීම ආරක්ෂක අමාත්‍යාංශයට බාරදීම සම්බන්ධව ඇමති ඇසුරෙහි ඉන්නා කලාකරුවෙකු කියන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින් අහෝසි කිරීමට පොරොන්දු දී පැමිණි මේ මාලිමා ආණ්ඩුවේ නායකයින් ඇප නොමැතිව ඇතැම් චූදිතයින් එකී පනත යටතේ රඳවා ගැනීමට අත්සන් තබන නමුත් මේ ආණ්ඩුව මර්දනීය ආණ්ඩුවක් නොවේ යැයි කියා ය. තවත් අයෙකුගේ කතාවට අනුව, ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ නිදහසක් නැති අතර, ප්‍රකාශනයෙහි දිග පළල ආරක්ෂක අංශය විසින් තීන්දු කිරීමේ වරදක් නැති බවය. තවත් සාහිත්‍ය විශාරදයෙකු ලජ්ජා නැතිව කියා තිබුණේ වෙන ආණ්ඩුවක් තිබුණා නම් තීපචෙල්වන් හිරේ දමන බවය. මේ ආණ්ඩුව එසේ නොකිරීම අගය කළ යුතු බවක් ඉන් කියන්නකි.
ඔවුන්ගේ නිවටකම් විවෘතව ඔසවා තබමින් රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජිකාවක් වූ කල්පනා ඇම්බ්‍රොස් එකී අනු මණ්ඩලයෙන් ඉල්ලා අස්වූයේ “නිර්මාණකරුවාගේ ප්‍රකාශනයේ නිදහසත් පීඩිතයාගේ අයිතියත් පිළිබඳ අප සියලු කල්හි දරණ මතයට, රේගුව හා ආරක්ෂක අමාත්‍යාංශය දීපචෙල්වන්ගේ කෘති ‘විමර්ශනය කිරීම’ සහ තවදුරටත් රඳවා තබා ගැනීම හරහා ලබා දෙන පණිවුඩය, පරස්පර බැවිනි” යැයි, ඇයගේ “එක්ස්” (කලින් ට්විට) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමෙනි.
ඇය නිවැරදිව සටහන් කර ඇති අයුරු, සාහිත්‍ය නිර්මාණ ඇගයීම හා ඒවා සම්බන්ධව තීන්දු ගැනීම, රේගුව හා ආරක්ෂක අමාත්‍යාංශය සතු රාජකාරියක් හෝ වගකීමක් නොවේ. සාහිත්‍ය කෘති රඳවා ගැනීමේ කිසිදු නෛතික බලයක් නැති රේගු නිලධාරීන්ගේ “සිංහල” දේශප්‍රේමය, සාහිත්‍ය නිර්මාණ ඇගයීමේ නිර්ණායකයක් නොවේ. රටේ සංහිඳියාව සම්බන්ධව ඇත්ත ගැටළුවක් ඔවුන්ට මතු වූයේ නම්, එම සාහිත්‍ය නිර්මාණ ඔවුන් යොමු කළ යුතුව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයට නොව, සංස්කෘතික අමාත්‍යාංශයට යැයි මම කියමි. රටේ සංහිඳියාව සම්බන්ධව තීන්දුගත යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය නොවේ. ඒ සම්බන්ධව තීන්දුගත යුත්තේ සංස්කෘතික අමාත්‍යාංශයත් අධ්‍යාපන හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් හවුලේ ය. සාහිත්‍ය කලාකරුවන් ඉල්ලා සිටිය යුත්තේ අවශ්‍ය වූ විටෙක එවැනි ඒකාබද්ධ කමිටුවක් පත්කර ගැනීමේ නෛතික අවසරයක් සංස්කෘතික අමාත්‍යවරයාට ලබා දෙන ලෙසය.
ආරක්ෂක අමාත්‍යාංශය සිවිල් සමාජයේ පැවැත්මට අදාල නොවන බැව්, 2009 මැයි මාසයේ යුද්ධය අවසන් කෙරුණු පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් “2002 සටන් විරාම ගිවිසුමේ සිට 2009 මැයි මස යුද්ධය අවසන් කෙරෙන තෙක්” ඊට හේතුවූ කරුණු කාරණා හා පැවති තත්ත්වයන් ගැන විමර්ශනයකර නැවත එවැනි අසමගි, නොරිස්සුම් හෝ ගැටුම් ඇති නොවන්නට ගත යුතු පියවර නිර්දේශ කිරීමට විශ්‍රාමික නීතිපති, ජනාධිපති නීතිඥ සී.ආර්. ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත් කළ “උගත් පාඩම් හා සංහිඳියාව” සම්බන්ධ විශේෂ ජනාධිපති කොමිසම අවධාරණය කළ ප්‍රධාන නිර්දේශයකි.
එම කමිටු නිර්දේශය වූයේ විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් සමග සෙසු පළාත්ද නොපමාව පූර්ණ සිවිල් පාලනයකට පරිවර්තනය කළ යුතු බවය. පූර්ණ සිවිල් පාලනයක් යනු සාමාන්‍ය දෛනික ජීවිතයෙන් ආරක්ෂක අංශ ඉවත් කෙරුණු රාජ්‍ය සේවයකි. ආරක්ෂක අංශ හවුල්කර ගන්නා රාජ්‍ය සේවාවක් සමග සංහිඳියාවක් පවත්වා ගත නොහැකි යැයි ඔවුන් ඉතා දැඩිව විශ්වාස කළ බැව්, ඔවුන්ගේ අවසන් කොමිසම් වාර්තාවේ භාෂාවෙන්ද අවධාරණය වන්නකි. අවුල වූයේ සමාජය එළෙසින් “සිවිල්කරණය” කිරීමට ඒ වෙනුවෙන් සමාජ මතවාදයද සිවිල්කරණය විය යුතු මුත්, එය ආණ්ඩු පාලනයේ දේශපාලන තීන්දුවක් නොමැතිව සිදු නොවන්නක් වීමය.

මේ සන්දර්භය තුල සාහිත්‍ය කලාකාමීන්ගේ අද සමාජ වගකීම වන්නේ, පෞද්ගලික තනතුරු වාසි වෙනුවෙන් පාලකයින්ගේ සපත්තු ලෙව කෑම නොවේ. බාර නොගත්තත් ඔවුන්ගේ වගකීම වන්නේ අදහස් ප්‍රකාශ කිරීම සමග සාහිත්‍ය නිර්මාණ සතු විය යුතු නිදහස, සිවිල් සමාජීය අයිතියක් ලෙස තහවුරු කර ගැනීම ය. සංහිඳියාව ශක්තිමත් කිරීම පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාකර ගැනීමත් සමාජයේ වාද විවාද සමගින් සිදුවිය යුත්තක් ලෙස බාර ගැනීම ය. ඒ සමාජ වගකීම අතහරින්නේ නම්, සංස්කෘතික දෙපාර්තමේන්තුවක් හා සාහිත්‍ය කලා මණ්ඩලයක් අවශ්‍ය නැත. ඒ රාජකාරිද ආරක්ෂක අංශයට බාර දිය හැක.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 අප්‍රේල් 21 වන දින




