The Leader News
BREAKING
Top Ad
Opinion

ගල් අඟුරුත් කෙසෙල්ගෙඩි වගේ-ලූ | කුසල් පෙරේරා

T

The Leader Desk

April 24, 2026 • 3:24 PM

ගල් අඟුරුත් කෙසෙල්ගෙඩි වගේ-ලූ | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “වචනවල හිර වෙලා රට හදන්න බැහැ - බාල ගල් අඟුරු ගෙනාවෙ නැහැ.....ගෙනා ගල් අඟුරු බාල වුනා...”
  • මේ කතා අස්සෙ ඇත්තේ මාස 16 ක් 17 ක් තුල එතෙක් අවුරුදු 76 ක් මේ රටේ කිසිදු ආණ්ඩුවක් යටතේ සිදු නොවුනු දැවැන්ත දූෂණ තොගයකි.
  • මුල් කාලයේ මේවා පිළිබඳව සමාජයේ කතා වූයේ ඔවුන්ට රාජ්‍ය පාලනය සම්බන්ධ අත්දැකීම් නොමැති හේතුවෙන් එවැනි දේ සිදුවන බවය.
  • අතුරුදහන් වූ බහළුම් 323 සම්බන්ධව පැවති පරීක්ෂණයේ වාර්තාව ඉල්ලූ විට එය නොදෙන්නේ, නොදන්නා කමට නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර - ජා.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වාධීන රූපවාහිනි වැඩසටහනකදී එළෙස කියූ බව, අප්‍රේල් 23 වන දින දහවල “ඒෂියන් මිර” පුවත් අඩවිය වාර්තාකර තිබුණි.

“ගමේ ලොරියට පට වනකොට ඔය කෙසෙල් ඉස්තරම්.... ශෝක් එකට තිබුණා. මෙහෙ බාන කොට ඔය තැලිලා සවුත්තු වෙලා.....” කලකට පෙර පිටකොටුවේදී කණ වැකුණකි.

මේ කතා අස්සෙ ඇත්තේ මාස 16 ක් 17 ක් තුල එතෙක් අවුරුදු 76 ක් මේ රටේ කිසිදු ආණ්ඩුවක් යටතේ සිදු නොවුනු දැවැන්ත දූෂණ තොගයකි. මේ මාලිමා ආණ්ඩුව බලයට පත්ව දෙමසක් යත්ම, 2025 ජනවාරියේ රේගුව බාරයේ තිබී අතුරුදහන් වූ බහළුම් 323 කින් පටන් ගෙන, සීනි, සහල්, දිය ලුණු සමග වන දැවැන්ත ගල් අඟුරු වංචාව හරහා පසුගිය සතියේ වාර්තා වූ මහ භාණ්ඩාගාරයේ ඩොලර මිලියන 02.5 ක වංචාව දක්වා දූෂණ වංචා පිළිබඳ පැමිණිලි, චෝදනා වැළක් ඇත.

මුල් කාලයේ මේවා පිළිබඳව සමාජයේ කතා වූයේ ඔවුන්ට රාජ්‍ය පාලනය සම්බන්ධ අත්දැකීම් නොමැති හේතුවෙන් එවැනි දේ සිදුවන බවය. එහෙත් ඔවුන් පොරොන්දුවූ වගවීම, පාරදෘශ්‍යභාවය අහළකවත් නැත්තේ ආණ්ඩු පාලනයේ ආධුනිකත්වය, නොදන්නාකම නිසා නොවේ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සේවක විස්තර ඉල්ලු විට, ඒ විස්තර කිසිත් නොදෙන්නේ නොදන්නාකමට නොවේ. අතුරුදහන් වූ බහළුම් 323 සම්බන්ධව පැවති පරීක්ෂණයේ වාර්තාව ඉල්ලූ විට එය නොදෙන්නේ, නොදන්නා කමට නොවේ. ඉන්දියාව සමග අත්සන් කළ ද්විපාර්ශවීය එකඟතා ගිවිසුම් කිහිපය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකරන්නේ අනුවණ කමට නොවේ. මැතිවරණ වේදිකාවල හා “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි වගවීම, පාරදෘශ්‍යභාවය පොරොන්දු වූයේ ඉන් අර්ථවත් වන්නේ කුමක්දැයි නොදැන නොවේ.

මෙතෙක් ඉතිහාසයේ දූෂිතම පාලනය යැයි කියන්නාවූ රාජපක්ෂ පාලනය විසින් හෝ ආණ්ඩු පාලනයෙහි ගනුදෙනු සම්බන්ධ තොරතුරු විස්තර, මෙලෙසින් වසන් කෙරුවේ නැත. මේ ආණ්ඩුවේ ගනුදෙනු සියල්ල වසන් කර ගැනීමේ ප්‍රධානම පියවර වූයේ, ජනාධිපති අනුර කුමාර ඔහුගේ ඉතාම විශ්වාසවන්ත පාක්ෂික හිතවතුන් නීති රීති, සම්මතයන් සම්ප්‍රදායන් නොතකා රාජ්‍ය සේවයේ ඉහළ සංවේදී තනතුරු සඳහා පත් කිරීම ය.

මහ භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය සේවයේ ඉතා සංවේදී ඉහළ තනතුරු හැමකටම මෙන් පත්වීම් ලබා දී ඇත්තේ ජනාධිපති අනුර කුමාරගේ නිර්දේශ සමග පැලවත්තේ ජ.වි.පෙ කාර්යාලයයේ ලේඛන වලින් ය. එවැනි දේශපාලන පත්වීම් අතුරෙන් එක බරපතල පත්වීමක් වූයේ 2024 නොවැම්බරයේදී මාලිමා ආණ්ඩුව පත්වූ විගස පුණ්‍ය කුමාර ජයකොඩි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් යෝධ ප්‍රසම්පාදන කටයුතු කෙරෙන බල ශක්ති අමාත්‍යාංශය ඔහුට බාර දීම ය. ඊට අවුරුදු 10 ට පමණ පෙර ජාතික පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන කලමනාකරු ලෙස රුපියල් මිලියන 08 ට වැඩි වංචාවකට වරදකරු වී, ජයකොඩිට රැකියාව අහිමි වූ බැව් හොඳින්ම දැන සිටිය යුතු වූයේ අනුර කුමාර ය.

ඊළගට හර්ෂණ සූරියප්පෙරුමවද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඔහුව මූල්‍ය හා සැළසුම් නියෝජ්‍ය ඇමති ධූරයට පත් කරනු ලැබිණ. මහ භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් මහින්ද සිරිවර්ධන 2025 ජුනි මස විශ්‍රාම ගිය සැණෙන්, ජනාධිපති අනුර කුමාරගේ තීන්දුව මත හර්ෂණ සූරියප්පෙරුමව මන්ත්‍රී ධූරයෙන් හා නියෝජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය හා මහ භාණ්ඩාගාර ලේකම් ධූර වලට පත් කළේය.

බාල ගල් අඟුරු සම්බන්ධ යෝධ මගඩියේ අර්ථික බලපෑම ජනතාවට එසැණින් කර ගසන්නට සිදුවූයෙන් කුමාර ජයකොඩි ඇමතිට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඒ සමාජ විරෝධය, පැලවත්තේ පක්ෂ කාර්යාලයටද කඩා වැදුණු හෙයිනි. එහෙත් පසුගිය ජනවාරියේ සිදුවූවක් යැයි සඳහන්වන ඩොලර මිලියන 02.5 ක මහ භාණ්ඩාගාර මුදල් වංචාවේ බර සාමාන්‍ය ජන ජීවිතයට නොතේරෙන හෙයින්, මහ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට එරෙහිව සමාජ විරෝධයක් ගොඩ නැගී නැත. ඒ අතරතුර, අදාල මුදල ඕස්ත්‍රේලියානු රාජ්‍ය ආයතනයකට ගෙවිය යුතුව තිබූ ණය වාරිකයක් බැව් කොළඹ ඉන්නා ඕස්ත්‍රේලියානු මහ කොමසාරිස් විසින් ඔහුගේ නිල “එක්ස්” (කලින් ට්විට) ගිණුමෙහි ඊයේ (අප්‍රේල් 23) සටහනක් තබා තිබිණ.

මේ ණය මුදල පියවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැකසූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළසුමට අනුව කෙරුණක් නොවේ. මෙය ණයක් ලෙස ගෙවීමේ ගනුදෙනුව කුමක්දැයි කොතැනකවත් සඳහන් වන්නේද නැත. ලේකම් සූරියප්පෙරුම සමග මුදල් අමාත්‍යාංශය හා මහ භාණ්ඩාගාරය කියන්නේ එය “හැකර්” කෙනෙකුගේ, විද්‍යුත් ගැටකපන්නෙකුගේ වැඩක් යැයි කියා ය.

මහ භාණ්ඩාගාරයේ ගිණුම් පද්ධතියට විද්‍යුත් ගැටකපන්නෙකු කඩා වැදී ඇත්තේ 2025 සැප්තැම්බරයේදී යැයි වාර්තා ඇත. ඒ විද්‍යුත් ගැටකපන්නා ලබාගත් තොරතුරු ඩොලර මිලියන 400 ට අලෙවි කරන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබුණේ යැයිද වාර්තා විය. එදා සිට මේ ඩොලර මිලියන 02.5 ක විද්‍යුත් ගැටකැපීම සිදුවූ 2026 ජනවාරි දක්වා සිව් මසක කාලයේ ජනාධිපති අනුර කුමාර යටතේ පවතින මුදල් අමාත්‍යාංශයත් විද්‍යුත් ආර්ථික අමාත්‍යාංශයත් මහ භාණ්ඩාරගාරයත් ඔවුන්ගේ විද්‍යුත් ගිණුම් පද්ධතිය සුරක්ෂාකර ගැනීමට කිසිදු පියවරක් නොගෙන තිබූ බැව් හෙළි කරන්නකි.

ඒ එක කතාවකි. වඩා වැදගත් වන්නේ මේ සියලු ගනුදෙනු මුදල් නෝට්ටු ලෙස නොව අන්තර්ජාලයේ මෘදුකාංගයක් ලෙස පවත්වා ගන්නා ගිණුම් පද්ධතියක ඉලක්කම් එහා මෙහා කිරීමකින් සිදු කෙරෙන්නක් වීමය. විද්‍යුත් ගැටකපන්නෙකුට එනිසා මහ භාණ්ඩාගාරයට ඇතුළු වී එහි ඇති මුදල් පොදි බැඳගෙන යා නොහැකිය. විද්‍යුත් ගැටකැපීම යනු කූඨ විද්‍යුත් දැන්වීම් මගින් නොදන්නා වෙනත් ගිණුමකට මුදල් බැර කර ගැනීමකි. මෙහි සිදුව ඇත්තේද එවැන්නකි.

ගිණුම් විස්තර වෙනස් වන්නේ නම්, ණය ලබා ගැනීමේ ගිවිසුම් අත්සන් කළ මුදල් අමාත්‍යාංශය හා මහ භාණ්ඩාගාරය සියල්ලට පෙර කළ යුත්තේ එවැනි වෙනස්වීමක් සිදු කර ඇත්තේ අදාල විදේශ ආයතනය මගින්ද යන්න තහවුරු කර ගැනීමය. අනෙක කවර ගිණුමකට මුදල් බැර කෙරුණත් මුදල් අමාත්‍යාංශයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් මහ භාණ්ඩාගාරයත් ණය කලමනාකරණ කාර්යාලයත් එම ගෙවීම් අනුමත කළ යුතු වන්නේය. ඒ සමස්ථ ක්‍රියාවලියට පුද්ගලයින් හත් අට දෙනෙකෙු හවුල් වන්නකි. අවසානයේදී එහි වගකීම බාර ගත යුතු වන්නේ මහ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ය. ඒ සමස්ථ ක්‍රියාවලියෙහි පුද්ගලයින් සියල්ලන්ට හොරෙන්, විද්‍යුත් ගැටකපන්නෙකු මහ භාණ්ඩාගාරයේ මුදල් පොදි බැඳන් ගොස් ඇතැයි කීම පැහැදිලිවම වංචාවකි.

එය එවැන්නක් යැයි සිතන්නට ඉඩ දෙන මහ භාණ්ඩාගාර ලේකම් සූරියප්පෙරුම ගේ හැසිරීමක් ගැන දිවයින පුවත් පතේ (අප්‍රේල් 24) මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය සමගවන පෙර දින මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවෙහි විස්තර කතනයෙහි ඇත. එයට අනුව, එකී ගෙවීමට ලේකම් වශයෙන් ඔහු අනුමැතිය ලබා දුන්නේදැයි ඇසූවිට, එයට උත්තරදීම ඔහු මග හැර ඇත. සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔහු මහ භාණ්ඩාගාර ලේකම් ධූරයෙන් ඉවත් වන්නේදැයි ඇසූ විටද, ඔහු පිළිතුරු දී නැත.          

පළමු වරට 1994 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කළ ජ.වි.පෙ, අවුරුදු 30 ට පසු අනුර කුමාර විධායක ජනාධිපති බලය හා එහි මුක්තිය බුක්ති විඳිමින් සියලු පොරොන්දු කඩමින් ගෙන යන දූෂිත ආණ්ඩු පාලනය වැඩිමනත් ප්‍රතික්ෂේප කරන්නේ මෙතුවක් කල් “මොනවා උනත් මේගොල්ලෝ හොරකම් කරන්නේ නැහැ” යැයි කියූ සිංහල මැදපංතියේ බහුතරය විසින් ය. සමාජ මාධ්‍ය ජාලවල “මාලිමාවට ඡන්දය දෙන්න කියලා මං කිව්ව නිසා ඡන්දය දුන්න හැමෝගෙන්ම මං සමාව අයදිනවා” යැයි දැන් සටහන් තබන්නේ ඒ පිරිස් ය.        

මාලිමාවට ඡන්දය දෙන්න යැයි පෙරැත්ත කළ නාගරික මැදපංතිකයින්ගේ හැඟීම් බර ඉල්ලීමක් වූයේ අනුර කුමාරගේ ජ.වි.පෙ ට “දීලා බලමු....” යැයි වන ඉල්ලීම ය. මෙතෙක් ඔවුන්ට ආණ්ඩු බලය නොදී, කිහිප වර එ.ජා.පට හා එ.ජා.ප ප්‍රධාන සන්ධාන වලටත් ශ්‍රී.ල.නි.ප හා ඔවුන්ගේ සන්ධාන වලටත් වරින් වර ආණ්ඩු බලය දීමෙන් රටට යහපතක් නොවුනේ යැයි ඔවුහු කීහ.

රටට යහපතක් විය හැකි යැයි සිතන්නට තරම් කිසිවක් ජ.වි.පෙ ඉතිහාසයෙන් සොයා ගත නොහැකි යැයි ඒ හැම විටම මම ඔවුන්ට කීවෙමි. ජ.වි.පෙ ඉතිහාසයෙහි ඇත්තේ 1986 දෙසැම්බරයේදී ස්වාධීන ශිෂ්‍ය සංවිධානයේ ප්‍රධානී, කොළඹ විශ්ව විද්‍යාලයයේ දයා පතිරණ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමෙන් ආරම්භ කෙරුණු, විරුද්ධවාදීන් තුච්ඡ ලෙස ඝාතනය කිරීමේ ඉතිහාසයකි. ඒ ඉතිහාසයෙහි ඇත්තේ කාන්තාවන්ගේ රත්තරන් කණකර බලහත්කාරයෙන් ගලවා ගෙන යාම, බැංකු හා ඉන්ධන හල් කොල්ලකෑම, විදුලි පරිණාමක, රජයේ ගොඩනැගිලි, මගී ධාවන බස් විනාශ කිරීමේ සාපරාධි ක්‍රියාවන් ය.

ඔවුන්ට බලය දීලා බලමු යැයි කියූ අයට මා කියුවේ, 2004 අප්‍රේල් වල සිට ජනාධිපතිනි කුමාරණතුංග ගේ ඇමති මණ්ඩලයේ ඇමතිකම් 04 ක් අවුරුද්දකුත් දෙමසක් ඉසිලූ අනුර කුමාර, විජිත හේරත්, ලාල්කාන්ත හා චන්ද්‍රසේන විජේසිංහ යන සිව් දෙනාගේ හැකියාවන් කතා කරන විට, ඔවුන්ට අගමැති ප්‍රේමදාසගේ උදාගම් ව්‍යාපෘතිය, ගාමිණි දිසානායක මෙහෙයවා ගත් මහවැලි සංවර්ධනය, ලලිත් ඇතුලත්මුදලි පිහිටවූ මහපොල ශිෂ්‍යත්ව අරමුදල වැනි කිසිවක් නැත. ඔවුන් කතා කරන්නේ, අමාත්‍යාංශයේ වාහන හා ඉන්ධන අවභාවිතා නොකිරීම, මුදල් නිස්කාරණේ වැය නොකිරීම වැනි අමාත්‍යාංශ ලේකම් විසින් වගකිව යුතු පරිපාලනයට සම්බන්ධ කතා ය.  

“දෙන්න පුළුවන්. ඒත් බලන්න මොනවත් ඉතිරි වෙන එකක් නැහැ” යැයි 2024 මැතිවරණ කාලයේ “දීලා බලමු” යැයි කියූ කොළඹ මැදපංතික උගතුන්ට මම කිහිප විට එවැනි හේතු දැක්වීම් කළෙමි.

ජනාධිපති අනුර කුමාරගේ ජ.වි.පෙ ප්‍රධාන මාලිමා ආණ්ඩු පත්කර අවුරුද්දකුත් සය මසක කාලයක් යන්නටත් කලියෙන් මගේ අනාවැකිය නිවැරදි වන්නේ යැයි සිතෙන විට, ඇත්තටම මේ රට ගැන ඇති වන්නේ කම්පාවකි.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


2026 අප්‍රේල් 24 වන දින

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...