තරග නැරඹීමට පැමිණෙන පිරිස ඉතා අඩුවීම හේතුවෙන් බොහෝ තරග ක්‍රීඩා කෙරෙන්නේ හිස් ක්‍රීඩාංගණවල වීම එක් ගැටළුවක්. නමුත් මීට වඩා වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ දෙවැනි ප්‍රශ්නයටයි. ඒ, අමෙරිකාව මුහුණ දෙමින් සිටින අධි උෂ්ණ කාලගුණය යි.
අධික තාපයෙන් යුත් මේ දේශගුණික තත්ත්වය විසින් අනතුරු ඇඟවීමේ සීනු හඬවා තිබෙන්නේ විශේෂයෙන් ලබන වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අමෙරිකාවේ පැවැත්වෙන්නේ ද මේ කාලයේ නිසා.
ඉහළ නගින උෂ්ණත්වය සම්බන්ධයෙන් වැඩිම හයියෙන් කතා කළේ ඇට්ලෙටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායමේ Marcos Liorente. යුරෝපීය ශූරයින් වන පැරිස් සැන්-ජමෑන් කණ්ඩායම හමුවේ තම කණ්ඩායම ගෝල් 4-0ක පරාජයක් ලැබූ තරගය අතරතුර ඔහු දේශගුණික තත්ත්වය පිළිබඳව අසතුටට පත්ව සිටි බව පැහැදිලිව පෙනුනා.
| Marcos Liorente
“මේ ග්‍රීෂ්මයේ ක්‍රීඩා කිරීම හරිම අපහසුයි” කැලිෆෝනියාවේ රෝස් බෝල් (Rose Bowl) ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් පසුව Liorente කියා සිටියා. “උණුසුම ඉතාම දරුණුයි. මගේ කකුලේ ඇඟිලි හරියට රිදෙනවා. පා ඇඟිලිවල නියපොතු පවා රිදෙනවා. මට නවතින්නවත් දුවන්න පටන් ගන්නවත් බැරිවුනා. ඒක විශ්වාස කරන්න බැහැ. නමුත් මේක හැම දෙනාටම පොදු දෙයක් නිසා ඒ ගැන පැමිණිලි කිරීමෙන් වැඩක් නැහැ.”
මේ තරගය පැවැත්වෙන අතරතුර සෙන්ටිග්‍රේඩ් අංශක 32ක උෂ්ණත්වයක් තිබූ බවට වාර්තා වන අතර අනෙක් තරග සඳහා ද තිබුනේ මේ සමාන තත්ත්වයක්. රෝස් බෝල් හි පැවති තරගය අතරතුර අධික උණුසුම යටතේ තිබූ දිගු පෝලිම්, සෙවණ ගෙනෙක ප්‍රදේශ නැතිකම හා ක්‍රීඩාංගණයට ඇතුළු වීමේදී තිබු ජලය ලබා ගැනීමේ සීමාවන් පිළිබඳව ද ක්‍රීඩා ලෝලීන් පැමිණිලි කර තිබුනා.
මේ පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලිය කර්කශ දේශගුණයේ බලපෑමට මුහුණ දී සිටීම අරුමයක් නොවන්නේ ජූනි යනු අමෙරිකාවේ ග්‍රීෂ්ම සෘතුවේ මාසවලින් එකක් වන බැවින්. දේශගුණය පාලනය කරන වහල නැති විවෘත ක්‍රීඩාංගණවල තරග ක්‍රීඩා කිරීම මේ කාරණය තවත් සංකීර්ණ කර තිබෙනවා. ඕලෑන්ඩෝ නගරයේ Camping World, ලොස් ඇන්ජලීස් නගරයේ Rose Bowl සහ ෂාලට් නගරයේ Charlotte’s Bank of America යන ක්‍රීඩාංගණ මීට ඇතුළත්.
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කාලයේ දේශගුණය මීට වඩා එතරම් වෙනසක් ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නැහැ. මේ දැවැන්ත තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන්නේ අමෙරිකාවේ ක්‍රීඩාංගණ 11ක්, කැනඩාවේ 2ක් සහ මෙක්සිකෝවේ ක්‍රීඩාංගණ 3ක් හරහා. නමුත් මේ ක්‍රීඩාංගණ 16න් වහලක් තිබෙන්නේ ක්‍රීඩාංගණ 5ක පමණයි. අනෙක් ක්‍රීඩාංගණ සියල්ලම විවෘත ඒවායි. ලබන වසරේ දේශගුණය මේ සියලු ස්ථාන හරහා එක සමානව කර්කශ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

තරග පැවැත්වෙන වේලාවන් ද මේ අවාසනාවන්ත තත්ත්වය වැඩිකර තිබෙනවා. සමහර තරග සවස් භාගයේ ඇරඹෙන අතර විවිධ භූගෝලීය තත්වයන් හි කාල වෙනස නිසා තරග කාලසටහනට අනුව බොහෝ තරග ආරම්භ වන්නේ කළින් වේලාවකයි.
මේ තරග කාලසටහන වෙනස් කරන ලෙසට ලෝක ක්‍රීඩකයන්ගේ සංගමය (FIFPRO) දැනටමත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ට කියා තිබෙනවා.

“අනිවාර්ය සිසිල් විරාමයන්, වඩාත්ම දරුණු උෂ්ණත්වය මඟහැරීම පිණිස තරග ආරම්භක වේලාවන් වෙනස් කිරීම හා ක්‍රීඩකයන්ට බරපතල සෞඛ්‍ය අවදානමක් ගෙන දෙන තත්ත්වයන් හි දී තරග කල්දැමීම ඇතුළු ග්‍රීෂ්මයෙන් ආරක්ෂා වන පරපූර්ණ ක්‍රමවේදයන් වෙනුවෙන් FIFPRO දිගටම කතා කර තිබෙනවා” යනුවෙන් එම සංගමය ප්‍රකාශ කරනවා.
“තරගවලින් ගහන කාලසටහනක් හා ඔ්ලැන්ඩෝ සහ මයාමි වැනි උණුසුම් දේශගුණයක් තිබෙන ස්ථානවලින් සමන්විත Club World Cup වැනි තරගාවලියන්හිදී වෘත්තීය පාපන්දුවේ වැඩිවෙමින් තිබෙන සෞඛ්‍ය හා ආරක්ෂාවේ වැදගත් කාරණාවක් බවට අධික උෂ්ණත්වය පත්වනවා.”
“සැලකිල්ලට ගන්නා අනෙක් දේවලට වඩා ඉහළින් ක්‍රීඩකයන්ගේ සුබ සිද්ධියට මූලිකත්වය දීමේ අරමුණින් FIFPRO ඉදිරි සතිවලදී දැඩි අවධානයකින් යුතුව මේ තත්ත්වය නිරීක්ෂණය කරනවා.”
වර්තමානයේ, තරගයක එක් භාගයකට එක් අනිවාර්ය විරාමයක් බැගින් ලබා දෙමින් තරග සංවිධායකයින් තෙතමනය හා අධික ග්‍රීෂ්ම තත්ත්වයන් නිරාකරණය කර ගනිමින් සිටිනවා. එහෙත් එය ප්‍රමාණවත් බවට තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, FIFA මේ පිළිබඳව කරදර නොවන බවක් දිස්වන්නේ පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ පූර්ණ ජාත්‍යන්තර තරග කැලැන්ඩරයේ රේඛාවන් මත සහ දැනටමත් ස්ථානගත කර තිබෙන ප්‍රමාණවත් ක්‍රියාපටිපාටියන්ට අනුව යන මතයේ සිටිමින්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



