නලින් ද සිල්වා කියනවා මුලින් ආවේ “කිකිළි ද බිත්තරේ ද ප්‍රශ්නය අහන්නේ රේඛීය චින්තනයේ” කියා.

ඒ ප්‍රකාශය සාධාරණද? මෙයට අදාළ පළමු ලිපියට කිසිදු සාධාරණ ප්‍රතිතර්කයක් තවම ලැබිලා නැහැ. නලින් සර්ගේ ගෝලයන් කීවේ “නලින් කියන දේ මට තේරෙන්නේ නැති” බවයි. තමන්ගේ ප්‍රකාශය වැරදි බව සාධාරණව පෙන්වූ විට සාමාන්‍යයෙන් හැමෝම වගේ කියන කතාව ඒකනේ. අනුජ මංචනායක කියනවා නලින් ද සිල්වා මැවීම් සංකල්පය කියලා ගන්නේ “විශ්වයට ආරම්භයක් ඇත යන රේඛීය විශ්වාසය අනුව පමණී” කියා. ඒ කාරණය මාගේ ලිපියේ පැහැදිලිව දක්වා එයත් බිඳ දමා ඇති නිසා නැවත කියන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ලිපිය පටන් ගන්න ඒ රේඛීය vs චක්‍රීය චින්තන ප්‍රශ්නයම ගන්නවා.

 

මහාචාර්ය නලින් ද සිල්වා

 

නැවත ප්‍රශ්නයට ආවොත් කිකිළිද බිත්තරේද ප්‍රශ්නය ගැටලුවක් වෙන්නේ චක්‍රීය චින්තනයේදී. ඒකම චක්‍රීය ප්‍රශ්නයක්. නමුත් රේඛීය චින්තනයේදී ඒ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් තියෙනවා. මුලින් ආවේ කිකිළියවත් කිකිළි බිත්තරයවත් නොවෙයි. මුලින් ආවේ කිකිළියගේ පූර්වජයා සහ බිත්තරයේ මුල් අවස්ථාවක්. කිකිළිය කියන්නේ එක පාරට ඔය අද දකින කටුව සහිත බිත්තරයක් කඩාගෙන ආ සතෙක් නොවෙයි. කිකිළිය හැදෙන්නේ පරිණාමය වීමෙන්. අහම්බෙන් වෙන ජාන විකෘති ඊළඟ පරම්පරාවට යෑමෙන් ටිකෙන් ටික දීර්ඝ කාලයක් තිස්සේ වෙන පරිණාමයේ එක් අවස්ථාවක් තමයි ඔය කිකිළිය. අද ඔය මස් පිණිස හදන බ්‍රොයිලර් කිකිළිය මීට වසර සියයකට කලින් හිටියේ නැහැ. උන්ව හදලා තියෙන්නේ අර ස්වභාවික පරිණාම ක්‍රියාවලිය කෘත්‍රිමව වේගවත් කරලා.

 

human evolution 186450364 57c199a65f9b5855e519b7b9

මිනිසා පරිණාමය වෙන්නේ වඳුරාගෙන් නොවෙයි. මිනිසා සහ වඳුරා දෙන්නාම පරිණාමනය වෙලා තියෙන්නේ එක පොදු පූර්වජයෙකුගෙන්. ඒ අවස්ථාවේ පවතින පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දීලා තමන්ගේ ජාන ඊළඟ පරම්රාවට දීගත්තොත් ඒ ජාන ඉදිරියට යාමේ සම්භාවිතාවය වැඩියි. නියැන්ඩර්තාල් සහ සේපියන් මානවයන් එක යුගයක සමකාලීනව ඉඳලා තියෙන බවට පොසිල සාක්ෂි දරනවා. නමුත් නියැන්ඩර්තාල් වඳ වුණා. සේපියන් බේරුණා. නමුත් ඔබ තුළ නියැන්ඩර්තාල් ජාන ටිකක් තියෙනවා. ඒ ඔබේ ආදිතමයන් නියැන්ඩර්තාල් සමග නිදිවැදුණු නිසා. ඩාවින් දෙවියන්වහන්සේව විශ්වාස කළත් නැතත් එයා යෝජනා කළ පරිණාමවාදය නිසා මැවුම්කාර ඊශ්වර දෙවියා නෂ්ට වුණා.

නලින් ද සිල්වා කියන ඊනියා බටහිර ආධිපත්‍ය ආබ්‍රහමික මැවුම්වාදයට ලොකුම පහර වැදුනේ පරිණාමවාදයෙන්. මොකද මැවුම්කාර දෙවියෙකු නැතිව ජීවය පැහැදිලි කරන්න පරිණාමවාදයෙන් පුළුවන් වුණා. අද පල්ලියට තියෙන ලොකුම හිසරදය තමයි පරිණාමවාදය.

 

1200px The Creation of Adam
නලින් ද සිල්වා කියන චක්‍රීය චින්තනය ඇත්තටම තියෙන්නේ මැවුම්වාදය තුළයි. යුදා-ක්‍රිස්තියානි මැවීම චක්‍රීයයි. ඔවුන් විශ්වාස කරනවා දෙවියන්වහන්සේ සමග ඔවුන් නැවත ඒකාත්මික වෙනවාය කියා. සදාකාලික ජීවනය ස්වර්ගයෙන් පෘථිවියට නැවත පෘථිවියෙන් ස්වර්ගයටත් යනු තනිකරම චක්‍රීය චින්තනයක්. ඒ වගේම තමයි පෙරදිග චින්තනයේ වෛදික මැවුම්වාදයත් චක්‍රීයයි. මැවීම-පැවතීම-විනාශය හෙවත් බ්‍රහ්ම-විෂ්ණු-ශිව සංකල්පය චක්‍රීයයි. අග්ගඤ්ඤ සූත්‍රයෙන් බ්‍රහ්ම මැවුම්වාදය බැහැර කරන ගමන් බුදුන්වහන්සේ කරන දේශනාවත් චක්‍රීයයි. කාලයක් ගිහිල්ලා ලෝකය විනාශ වෙනවා → ආභස්සර බ්‍රහ්ම ලෝකයේ අරුපී සත්ත්වයන් උපදිනවා → ලෝකය නැවත හැදෙනවා → බ්‍රහ්ම ලෝකයේ සත්ත්වයන් නැවත මෙහි උපදිනවා → ඒ සත්ත්වයන් ලෝක ධාතුව ආහාරයට ගනිමින් පරිණාමය වෙනවා → කාලයක් ගිහිල්ලා ලෝක විනාශය වෙනවා. මේක චක්‍රයක් වගේ යනවා. (අග්ගඤ්ඤ සූත්‍රය, එහි කියන සත්ත්වයා සහ පරිණාමය ගැන වෙනම කතා කළ යුතුයි.) මගේ තර්කය තමයි නලින් ද සිල්වා කියන හැටියට ඊනියා බටහිර වේවා පෙරදිග වේවා, මැවුම්වාදය අනිවාර්යෙන් රේඛීය චින්තනය මත පදනම් වෙන්නේ නැත යන්න.

 

skull 5

එතකොට පරිණාමවාදය රේඛීයද? ඔව් සහ නැහැ. සරල අණු වලින් සංකීර්ණ අණු හැදිලා, පූර්වජකුගෙන් ජනිතයන් පරිණාමය වීම රේඛීයව ගන්න පුළුවන්. නමුත් පරිණාමය කියන ක්‍රියාවලිය චක්‍රීයයි. ජාන වෙනස් වෙනවා → සත්ත්වයා උපදිනවා → ජාන වෙනස් වෙනවා. ඒ චක්‍රය නැතුව පරිණාමය වෙන්න බැහැ. එතකොට රේඛීය චින්තකයෙකුය කියන ඩාවින් කොහොමද මේ පරස්පර චක්‍රීය ක්‍රියාවලිය දැක්කේ? 

මම අහනවා නලින් ද සිල්වාගෙන් පටිච්චසමුප්පාදය රේඛීයද? චක්‍රීයද? චතුරාර්ය සත්‍යය රේඛීයද? චක්‍රීයද? ප්‍රථම ධ්‍යානයෙන් පටන්ගෙන පියවරෙන් පියවර සඤ්ඤාවේදයිත නිරෝධයට යන්නේ රේඛීයවද? චක්‍රීයවද? පුනර්භවය “අවසන්” කරමියි කියා බෝධිසත්වයන් කරන අධිෂ්ඨානය රේඛීය චින්තනයක්ද? චක්‍රීය චින්තයක්ද?

 

rwow8CCG3C3GrqHGiK8qcJ 1200 80
නලින් ද සිල්වා කරන්නේ අනවශ්‍ය ලෙස සහ වැරදි ලෙස මේ අදහස් එයාම ලේබල් අලවගත්ත දුඹුරු බෝතල්වලට දමා විකිණීමක්. ආරම්භයක් ගැන හිතුවොත් ඒක රේඛීයයි… අවසානයක් ගැන හිතුවොත් ඒක රේඛීයයි... එහෙම හිතුවේ නැත්නම් චක්‍රීයයි… අතාර්කික දෘෂ්ටි ගැනීමක්. නලින් ද සිල්වා කියනවා එයා “දන්නේ” අගක් මුලක් නැති විශ්ව විකාශයක් ය කියා. කොහොමද එයා ඒක “දන්නේ”? ඊනියා දෙවියන් නැහැමයි කියලා කාටවත් “දැනගන්න” බැරි නම් නලින් කොහොමද “දන්නේ” විශ්වයට අගක් මුලක් නැහැ කියලා? අගක් මුලක් තිබේ යැයි විශ්වාස කිරීමත්, අගක් මුලක් නොතිබේ යැයි විශ්වාස කිරීමත් දෙකම එකම දෘෂ්ටිවාදයක්. බුදුන්වහන්සේ දේශනා කළේ ඔය අන්ත සියල්ලෙන් මිදෙන්න කියලයි.

ධර්මය අපට මග වේවා!

සරල රේඛාව සහ නලින් ද සිල්වා ගැන ඊළඟ ලිපියෙන්.

සබැඳි ලිපිය :
මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම - (එරන්ද ගිනිගේ)

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024 පෙබරවාරි 21


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image