අනුරාධපුර සංරක්ෂණ ප්‍රදේශයට අයත් භූමිය පුළුල් කිරීම ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් ඇතුළත් ආණ්ඩුවේ ගැසට් පත්‍රය මුල් කොට ඇතිවූ කලබැගෑනිය මේ වනවිට අධිකරණය වෙත යොමු වී ඇත. ලංකාවේ බුද්ධාගම, සිවුරු සහ භික්ෂුව යනු සත්තකින්ම ආගම් භක්තියට එහා ගිය සංවේදී කාරණාවක් බවට පත්වුණේ සියවස් ගණනකට ඉහතය. වෛතුල්‍යවාදීන් ථේරවාද ශාසනයට කළ බලපෑම් හරහා ආරම්භ වූ බෞද්ධ භික්ෂුව සම්බන්ධ වැදගත් සිද්ධියක් වන්නේ ගෝඨාභය රජු විසින් වෛතුල්‍යවාදය මැඩ පැවැත්වීමේ කොටසක් හැටියට භික්ෂූන් පිරිසකගේ පිටේ හණ තබා ඔරුවක නංවා රටෙන් පිටුවහල් කිරීමත්, මහසෙන් රජු මහා විහාර භූමිය සමතලා කොට උඳු වැපිරීමත් බරපතල ප්‍රතික්‍රියාවන්ට මුහුණ දුන් අධිකරණ ක්‍රියාවන් බව සිහිපත් කළ යුතුවේ.
අනුරාධපුර සංරක්ෂණ ප්‍රදේශයට අදාළ ආන්දෝලනාත්මක ගැසට් පත්‍රයේ විෂය පථය නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකට කිසිවෙකු පවරා නැති හෙයින් එකී ක්‍රියාව රටේ නීතියට පටහැනි බවට කතිකාවක් ගොඩනැගෙමින් පවතී. ඊට හේතුව නිත්‍ය වශයෙන් නගරයක් නොවූ සුවිශේෂී නීතියක් යටතේ මායිම් ලකුණු කළ අනුරාධපුර ශුද්ධ භූමි සංරක්ෂණ කලාපය, පුරාවිද්‍යා ආඥා පනතේ දැඩි රැකවරණයට යටත් වන හෙයින් එකී ප්‍රදේශය සම්බන්ධ නෛතික බලය අමාත්‍ය බිමල් රත්නායක විසින් අත්පත් කර නොගත යුතු බවය.
අනුරාධපුර ශුද්ධ භූමියේ නීතිය ක්‍රියාත්මක වූ හැටි
නීති තත්වය එසේ අර්බුදයක්ව තිබියදී, රුවන්වැලි සෑය ආසන්නයේ සත්යග්රහ කළ භික්ෂූන් ප්රමුඛ බෞද්ධ පුරවැසියන්ට පහර දී පලවා හරින බවට ප්‍රකාශ කොට සහ පිරිවරින් පැමිණ රංචු ගැසී ප්‍රදේශයේ සාමය කඩ කරමින් හැසිරෙමින් ක්‍රියා කළ කිසිදු පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට නොගැනීම පිළිබඳ අනුරාධපුර මහේස්ත්‍රාත් ගරු සියපත් පසිඳු වික්‍රමරත්න ප්‍රශ්න කළ පසුව එකී තක්කඩියන් අත්අඩංගුවට ගනු ලැබීය.
කාගේදෝ ආරක්ෂාව යටතේ දැඩි සූදානමකින් පැමිණ කලහකාරී ලෙස හැසිරුණු පිරිස අත්අඩංගුවට ගෙන නීතිය අනුව පියවර නොගැනීම ගැන අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එන සතියේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට නියමිතය. තඹුත්තේගම භික්ෂුව ඇතුළු කල්ලියට නිදැල්ලේ යාමට ඉඩ දීමට හේතු පාදක වූ මූලාශ්‍රය පිළිබඳ කතිකාව නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතල මාතෘකාවක් වෙමින් පවතී. අනුරාධපුර මහේස්ත්රාත්වරයාටද වහා ක්‍රියාත්මක වන ස්ථාන මාරුවක් නිකුත් විය හැකිය.
ගම්පහ මහේස්ත්‍රාත් මාරුව සහ පොලිස්පතිගේ ක්‍රියාකලාපය
විනිශ්චයික ක්‍රියාවලිය අතර, නීතියේ උත්තරීතරභාවය පිළිබඳ ජනතාව තුළ සැක සංකා දුරු කිරීමේ වගකීම අධිකරණ නිලධාරීන්ට පැවරී ඇත. නීතිය ක්‍රියාත්මක වෙනවා පමණක් නොව එසේ ක්‍රියාත්මක වන බව පෙනී යා යුතුය.
පසුගිය දිනෙක, පැමිණිල්ල විසින් ඔප්පු කිරීමට අසමත් චෝදනා මත නිර්දෝෂී පුද්ගලයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට නඩු පැවරීම සම්බන්ධව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අවධානය යොමු වුණේ නීතිය ක්‍රියාත්මක වෙනවා පමණක් නොව එසේ ක්‍රියාත්මක වන බව පෙනී යා යුතු නිසාය. නිර්දෝෂී පුද්ගලයන්ට නඩු පැවරීමෙන් පොලිස් නිලධාරීන් වැළැක්විය යුතු බව අවධාරණය කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධිකරණය දුන් නියෝගය පොලිස්පතිවරයා විසින් නොතකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් හැටියට ගම්පහ මහේස්ත්‍රාත්වරයා තීන්දු කිරීමෙන් තමන්ට අසාධාරණයක් වී නම් පොලිස්පති ගම්පහ මහාධිකරණය වෙත ගොස් ප්රතිශෝධන ඉල්ලීමක් ගොනු කර කරුණු දැක්විය යුතුවේ.
ඒ වෙනුවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යාම හේතුවෙන් පිළිගත් නෛතික අභ්‍යාසයක් අධිකරණ නිලධාරීන්ගේ පරිපාලකයන් හෙවත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අමු අමුවේ අවමානයට ලක් කරනු ලැබීය. මහේස්ත්රාත්වරයෙකු මාරු කිරීම ගැන ජනතාවට කරුණු දැක්වීමට කොමිෂම බැඳී නැතද, විනිසුරු මාරු කිරීමෙන් අධිකරණ නියෝගයක් අවසන් වීමේ පූර්වාදර්ශ හෝ නෛතික රෙගුලාසි තිබේද?
බොරු නඩු නිසා දිවි නසාගත් අහිංසකයාගේ ඛේදවාචකය
එකී සිද්ධිය ගැන අධිකරණ සේවා කොමිෂම වෙනුවෙන් පෙනී සිටි සමාජ මාධ්‍ය ක්රියාකාරකයන් දිවයිනටම බලපාන චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියෝග කිරීමේ බලාධිකාරයක් අභිමතයක් මහේස්ත්‍රාත්වරයෙකුට පවතීද යන්න ප්‍රශ්න කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාව ගත් තීරණය නිවැරදි බව කීහ. එහෙත් නිර්දෝෂී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට නඩු පැවරීම සිදු වුණේ ගම්පහ ප්‍රදේශයේ පමණක් නොවේ. පසුගිය මාසයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ එක් දිනයක් තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධව පැවරූ නඩු ගණනාවක් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා අදාළ සැකකරුවන් නිදහස් කළ බව සමාජ මාධ්‍යයට කතා කළ එවැනි එක් නඩුවක චුදිතයන් වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයෙක් කළ ප්‍රකාශයක් මෙහිලා වැදගත් වේ.
එකී ප්‍රකාශය අනුව, චෝදනා ඔප්පු නොවීම නිසා අධිකරණය විසින් නිදහස් කළ එක් නඩුවක චුදිතයෙකු එදින අධිකරණයට පැමිණ සිටියේ නැත. මත්ද්‍රව්‍ය වරදට ඇප සඳහා නියම කළ මුදල සොයා ගත නොහැකිව මාස හයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හෙතෙම පසුව තමන් සතු ඉඩමක් විකුණා ලබා ගත් මුදල් ඇපයට තබා නිවසට පැමිණ එකී සිත් තැවුලෙන් සිය නිවස තුළදීම ගෙල වැළලාගෙන දිවි නසා ගත් බව ඥාතීන්ගේ අදහස විය. මේ ඛේදජනක සිද්ධිය අර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ විවෘත අධිකරණයේ ප්‍රකාශ කළ නීතිඥවරයා තමා නිදහස් බවට ප්‍රකාශ කළ නඩු තීන්දුව ඇසීමට ඒ මිනිසා ජීවත්ව සිටියා නම් අධිකරණය කෙරෙහි ඔහු තුළ පවත්නා විශ්වාසය ගෞරවය කොතරම් වේදැයි සිහිපත් කර තිබිණ.
නඩු ඉලක්ක සපුරා ගැනීමේ දේශපාලන උවමනාව
පුරවැසියන් හැටියට අප තේරුම් ගත යුත්තේ මේ තත්වය ගම්පහ, ගල්කිස්ස ආදී අධිකරණ බල ප්‍රදේශවල පමණක් නොව රට පුරාම පවත්නා සාමාන්‍ය තත්වයක් බවය. නීතිය ක්‍රියාත්මක කිරීම, දූෂණ වංචා නැති කිරීම රටකට යහපතක් වුවද, එහි ප්‍රගතිය දැක්වීමට එක් මසකට එක් පොලිස් කොට්ඨාසයක් විසින් පැවරිය යුතු නඩු සංඛ්‍යාව නියම කිරීමෙන් මෙවැනි තත්වයන් නිර්මාණය වන බව රහසක් නොවේ. අධිකරණ නියෝගය අනුව පොලිස්පති උක්ත උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් නොකළේ නිර්දෝෂී පුද්ගලයන්ට නඩු පැවරීමේ එකඟතාවක් ඒ වනවිට පැවතීම නිසා විය හැකියැයි කෙනෙකුට තර්ක කළ හැකිය.
ගම්පහ මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිට කළ අධිකරණ නියෝගය සිය තරාතිරම විෂය පථය ඉක්මවා යාම යම් ප්‍රමාණයකට කරුණු දැක්වීමක් විය හැකිය. එහෙත් එක් නිර්දෝෂී පුද්ගලයෙකු හෝ අනියමින් බන්ධනාගාර ගත කර නඩු පැවරීම නීතිය අතට ගැනීම ඉහතින් දැක්වූ ප්‍රකට ආප්තයට පටහැනි නොවේදැයි සාධාරණ මිනිසෙකුට සිතෙයි නම් එය බෙහෙවින් බරපතල වේ. ගම්පහ මහේස්ත්‍රාත්වරයා තරාතිරම ඉක්මවා දුන් නියෝගය සද්භාවී කල්පනාවක් විය හැකි වුවද, ඔහුට වහා ස්ථාන මාරුවක් ලබා දීමෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිගත් නෛතික භාවිතයන්ට අභියෝග කිරීමක් මිස කිසිසේත් සද්භාවී නැඹුරුවක් නොවන්නා සේම සිය තරාතිරම ඉක්මවා යමින් රටේ සකල නීති පද්ධතියම අඩපණ කිරීමකි.
ගලගොඩඅත්තේ හිමි සහ පොලිස්පති අතර වෙනස
එනම් අධිකරණ නියෝගයකින් අතෘප්තියට පත් අයෙකු විසින් අනුගමනය කළ යුතු පිළිගත් නෛතික ක්‍රියාවලිය කඩා බිඳ දැමීමකි. ගම්පහ මහේස්ත්‍රාත් තමාට දුන් නියෝගය සීමා ඉක්මවා යාමක් නම්? ගලගොඩඅත්තේ භික්ෂුව මෙන් ශෂී වීරවංශ මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කළ යුතුව තිබුණේ මහාධිකරණයට ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කොට තමන්ට සිදුවූ අසාධාරණය ගැන කරුණු දක්වා සහන ලබා ගැනීම මිස මහේස්ත්‍රාත් මාරු කරවීම නොවේ. පොලිස්පති එකී සම්මතයට අනුගතව ක්‍රියා කළා නම් වර්තමාන පොලිස්පතිවරයා නීතියට ඉහළින් සිටින්නෙකු හැටියට සැලකෙන්නේ නැත. මේ සංසිද්ධිය නීතිඥ වෘත්තිකයන් දකින්නේ පොලිස්පතිගේ දෝෂයක් හැටියට නොවේ. අධිකරණ සේවා කොමිෂන් සභාව රට පුරා විසිරී සිටින අධිකරණ නිලධාරීන් හෙවත් පාරිභාෂික වචනය පාවිච්චි කරයි නම් සකලවිධ නඩුකාරයන්ට "සෙල්ලම් දැම්මොත් බලාගෙනයි" යනුවෙන් කළ අනතුරු ඇඟවීමක් හැටියටය.
ගලගොඩඅත්තේ භික්ෂුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ හැසිරුණු තක්කඩි ආකාරය පිළිබඳව එකී මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය වෙනස් කිරීමට එවකට පැවති අධිකරණ සේවා කොමිෂන් සභාව ක්‍රියා කළේ නැත. ගලගොඩඅත්තේ භික්ෂුව අධිකරණ සම්මතය තුළ රැඳෙමින් නඩුවට මුහුණ දී වැරදිකරු කළ නියෝගය ඉහළ අධිකරණයේ අභියෝගයට ලක් කළේය. පසුව දඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාවද ලැබීය. නැවත යළි සිර දඬුවම් විඳිමින් සිටින්නේය. එදා ගලගොඩඅත්තේ භික්ෂුව හැසිරුණේ නීතියට යටත්වය. මෙදා රටේ පොලිස්පති වෙනුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව ගම්පහ මහේස්ත්‍රාත්වරයා මාරු කිරීම යනු ගලගොඩඅත්තේ භික්ෂුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නැටූ නැටුමට වඩා නිර්ලජ්ජී රංගනයකි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ දෙබිඩි පිළිවෙත
නීතියට ඉහළින් සිට තමාට එරෙහිව නියෝග නිකුත් කළ ලංකාවේ 37 වෙනි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යටතේ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස සේවය කරන නිලධාරියා ශුද්ධ භූමියේ පැවති සාමකාමී උපවාසය හෝ සත්‍යග්‍රහයට බාධා කළ රාජාංගනේ සද්ධාතිස්ස නමැත්තා සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව අධිකරණයට කැඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගය දුන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ස්ථාන මාරු නොකොට නීතියෙන් ගැලවී නිදැල්ලේ සිටි පාලකයන්ගේ කලහකාරී ඉත්තන් අත්අඩංගුවට ගැනීමෙන් සමාජය තේරුම් ගත යුත්තේ කුමක්ද? පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කෙරෙහි දක්වන බය පක්ෂපාතිත්වය ඇල්ම, අධිකරණ සේවා කොමිෂන් සභාව සකල පොලිස් සේවය කෙරෙහි නොදක්වන බවය. එනම් මෙහිදී සිදුවන්නේ ගලගොඩඅත්තේ, ශෂී වීරවංශ සහ වර්තමාන අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බ්‍රාහ්මණගේ යන තිදෙනාටම වඩා වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සුවිශේෂී චරිතයක් හැටියට පිළිගැනීමකි.
මේ උත්සාහ කළේ අධිකරණ සේවා කොමිෂන් සභාවට අවලාද නැගීම නොවේ. අධිකරණ සේවා නිලධාරීන් මෙන්ම රාජ්‍ය සේවා නිලධාරීන්ද ජනතාවගේ බදු මුදලින් යැපෙන රාජ්‍යයේ සේවකයන් වන හෙයින් ඔවුන්ට පැවරුණු වගකීම වෙනුවෙන් පෙනී සිටීමය. අධිකරණ නිලධාරීන් පූර්ණ කාලීන විනිශ්චයකරුවන් වන අතර, රාජ්‍ය නිලධාරීන් අර්ධ විනිශ්චයකරුවන් හැටියට සැලකෙති. රාජ්‍ය නිලධාරීන් සිදු කළ රාජකාරියකින් අසාධාරණයක් සිදු වී යැයි සිතන පුරවැසියෙකුට අධිකරණයට යා හැකිය. ඒ ක්‍රියාව හරියටම ගලගොඩඅත්තේ භික්ෂුවට මෙන් ශෂී වීරවංශට ලැබුණු ප්රතිශෝධන අභියාචනා අයිතියට සමානය. එවැනි අවස්ථාවක රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරීමට පෙර ප්‍රශ්නගත රාජ්‍ය නිලධාරියා එකී තීරණය ගත් හේතුව සම්බන්ධව සිවිල් නඩු විධාන සංග්‍රහයේ නියමය අනුව ලිඛිතව කරුණු විමසා තිබිය යුතුවේ.
පරිපාලන අධිකරණ ක්‍රියාවලිය තුළ එවැනි අවස්ථාවක රාජ්‍ය නිලධාරියා එකී අර්ධ විනිශ්චයික තීරණය ගැනීමට මුල් වූ පාදක අභිමතය නිවැරදිද යන්න සොයා බලනු මිස කුඩු කාරයන් සේ සලකා මාංචු දමා ගෙනැවිත් ඇප නොදී රිමාන්ඩ් කර නඩු අසන්නේ නැත. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරීමට පළමුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ නියමය අනුව කරුණු විමසීම අත්‍යාවශ්‍ය බව පිළිගෙන තිබේ. ඒ සද්භාවී අයිතිය ආරක්ෂා කිරීම සඳහාය.
ප්‍රභූත්වයට වඩා පුරවැසි සාධාරණත්වය
මේ අනුව නිර්දෝෂී පුරවැසියන්ට ඇප දිය නොහැකි නීති විරෝධී මත්ද්‍රව්‍ය චෝදනා නගා බන්ධනාගාර ගත කර පදනම් විරහිත නඩු පැවරීම් පිළිබඳව සද්භාවී තීන්දු තීරණ ගැනීමේ හැකියාව මහේස්ත්‍රාත්වරයෙකුට තිබිය යුතු අතර, එවැනි අවස්ථාවක වැදගත් වන්නේ එකී මහේස්ත්රාත්වරයාගේ නිගමනයට හේතුවූ කරුණු කාරණා මිස එකී නියෝගයෙන් අපහසුවට පත් වුණ පුද්ගලයාගේ ප්‍රභූත්වය නොවේ. යම් පුද්ගලයෙකුට එරෙහි නියෝගයකින් බහුතරයක් පුරවැසියන්ට සහනයක් සාධාරණයක් සැලසීම ගම්පහ මහේස්ත්‍රාත්ගේ සද්භාවී අභිප්‍රාය කිසිසේත් තරාතිරම ඉක්මවා යාමක් විය නොහැකිය.
අනුරාධපුර මහේස්ත්‍රාත් ගරු සියපත් පසිඳු වික්‍රමරත්න, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට නියෝග කළේ ජනතාව නගන ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීමටය. එහෙත් පොලිස් අධිකාරි ඒ නියෝගය අතට ලැබීමටත් පළමුව අර අදාන්ත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පැමිණවීම නීතියේ ආධිපත්‍යය තහවුරු වීමක් වුවද, ගම්පහ මහේස්ත්‍රාත් ගරු බන්දුල ගුණරත්නගේ නියෝගයේ ප්‍රතිඵලය නිවැරදි පුද්ගලයන්ට නඩු පැවරීම සම්බන්ධව දිවයිනට බලපාන චක්‍රලේඛයක් නිකුත් කිරීම නොව මහේස්ත්‍රාත්ට ස්ථාන මාරු නියෝග නිකුත් වීමය. එයින් ගම්‍ය වන්නේ, ජනතාව රැවටීමට පොලිසිය වැටලීම් දැඩි කර වැඩි නඩු ගොඩක් පැවරූ බව දැක්වෙන සංඛ්‍යා ලේඛන සැකසීමේ දේශපාලන උවමනාවට පොලිස් දෙපාර්තමේන්තුව චේතනාන්විතව ක්‍රියා කරමින් සිටින බවය.
රාජ්‍ය සේවය යනු මුදලාලිකරණයක් නොවේ
මහජන බදු මුදලින් නඩත්තු කරන රාජ්‍ය සහ අධිකරණ යන සේවාවන් වගකිව යුත්තේ ආණ්ඩුවට නොව රාජ්‍යයට සේවය කිරීමය. කොළඹ මහේස්ත්‍රාත් ගරු පසන් අමරසේන, සුගීශ්වර බණ්ඩාරට ඇප නියම කිරීමේදී විශේෂ කරුණු හැටියට එකී තැනැත්තාගේ සෞඛ්‍ය තත්වයට වඩා සලකා බලන ලද්දේ සුගීශ්වර බණ්ඩාරට එරෙහි විමර්ශන පිළිබඳ අනවශ්‍ය මන්දගාමී ස්වරූපයයි. එය විනිශ්චයික නිලධාරීන් සතු අභිමතය වේ. මෙහිදී ශානි අබේසේකරලාට අවශ්‍ය නම් මහාධිකරණයට කරුණු දැක්වීමටද නීති ප්‍රතිපාදන නැතිවා නොවේ.
රජයෙන් ඉදි කළ කුලී නිවසක ජීවත්වූ අඩු ආදායම් ලාභී පුරවැසියෙකු වසර කිහිපයක් එක දිගට බදු කුලිය ගෙවීම් පැහැර තිබිණ. ඒ අතර අදාළ නිවසේ වහල සෙවිල්ල පුපුරා යාම නිසා වර්ෂා කාලයේ නිවසේ ජීවත්වීම දුෂ්කර වූ නිසා කැඩුණු වහල පිළිසකර කර දෙන ලෙස කළ ඉල්ලීම් ඉටු කිරීමේ මූලික සුදුසුකම අඛණ්ඩව මාසික බදු කුලිය ගෙවා තිබීම වන අතර එය එසේ නොවන්නේ නම් අදාළ ඉල්ලීම ඉටු කිරීමට ආයතනය බැඳී නැත. වගකිව යුතු නිලධාරියා වූ මේ ලේඛකයා කුලී නොගෙවීම ගැන නොතකා වහල පිළිසකර කර දීම සම්බන්ධව ඉහළ බලධාරීන් මගෙන් නිදහසට කරුණු විමසීය. මගේ පිළිතුර වුණේ රාජ්‍යය යනු කුලී එකතු කිරීම මුල් කොට සේවා සපයන මුදලාලියෙකු නොවන අතර, පුරවැසියෙකුට ලබා දුන් නිවසේ වහලය දිරාපත් වීම සපුරා ලීමේදී කොන්දේසි විරහිතව වගකිව යුතු හෙයින් එකී පියවර ගත් බවය. ප්රශ්නය එතැනින් අවසන් විය.
වරක් මහනුවර මහාධිකරණයේ මනුෂ්‍ය ඝාතන නඩුවක පැමිණිල්ලේ සාක්ෂිකාරිය බොරු සාක්ෂි දුන් බවට හෙළිවීම නිසා අධිකරණයට අපහාස කිරීම යටතේ රිමාන්ඩ් භාරයට පත් කළේය. එදිනම නීතිඥයෙකු එකී තැනැත්තිය එකොළොස් මසැති කිරි දෙන සිය දරුවා නිවසේ සිටියදී සාක්ෂි දීමට පැමිණි බවට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා එකී තැනැත්තිය ශරීර ඇපයක් මත මුදා හැර, ඊළඟ නඩු දිනයේදී ඒ දරුවාගේ මව බවට ලිඛිතව කරුණු තහවුරු කළ යුතු බවට නියෝග කළේය.
රාජ්‍ය බලය ජනතාව සතුයි
මේ සියල්ල පෙළ ගස්වමින් අවධාරණය කර සිටින්නේ රාජ්‍ය බලය කිසිදු පාලකයෙකුට අත්පත් කරගත නොහැකි ජනතාවගේ අයිතියක් වන අතර, ජනතා අයිතීන් සුරක්ෂිත කිරීමට රාජ්‍ය සේවය සහ අධිකරණ සේවය කොන්දේසි විරහිතව බැඳී සිටින බවය.
ගම්පහ මහේස්ත්‍රාත් ස්ථාන මාරු කිරීමෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවද, කස්සප ඇතුළු කණ්ඩායම පමණක් අත්අඩංගුවට ගෙන එක් පාර්ශවයකට වෙනස්ව සැලකීමෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකද ලාල් කාන්ත ඇමතිලා දකින සිහින තුළ ජීවත්වීමට උත්සාහ කිරීම බෙහෙවින් මුග්ධ සිතුවිල්ලක් බවය. 1971 අප්‍රේල් 5 දින රාත්‍රියේ අගමැති බණ්ඩාරනායක මැතිනිය අල්ලා ගෙන ඝාතනය කොට සහ 1987 අගෝස්තු 18 වෙනි දින ලංකා පාර්ලිමේන්තුවට බෝම්බ ගසා රාජ්‍යය අල්ලා ගැනීමට උත්සාහ කළ ජවිපෙයට රටේ බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දුන් ජනතාව කිසි විටෙකත් තමන් සතු රාජ්‍ය බලය කොල්ල කෑමට කිසිවෙකුට ඉඩ නොදෙන අතර රාජ්‍ය බලය මාලිමාව අල්ලා ගැනීමට ඉඩ දුන්නොත් පළමුව ගුටි කන්නේ ගමේ ග්‍රාම නිලධාරි බව සිහිකර ගත යුතුවේ.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




