The Leader News
BREAKING
තෙල්-ගෑස් ගැටුමෙන් COP31 දේශගුණ සමුළුව අර්බුදයක●සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය 27%කට සීමා වූයේ ඇයි?●අයවැය විසඳුම් නැතැයි කියමින් වෛද්‍ය සංගමය වෘත්තීය සටනකට සැරසෙයි●කබැල්ලෑවා ඝාතනය කළ වීඩියෝව ඔස්සේ හඹා ගිය පොලිසිය තිදෙනෙකු අල්ලයි●අධිකරණය පොලිසියට බයද? නීතියේ ආධිපත්‍යය අර්බුදයක●නාමල්ගේ හිඩැස පුරවන ලිමිණි සහ කංචන | ආචාර්ය මහේෂ් හපුගොඩ●බඹරා නිරිත දිගින්ම ආවේ ඇයි? | අජිත් පැරකුම් ජයසිංහ●කමින්ස්ගේ නායකත්වයට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලයෙන් ඒකමතික අනුමැතිය●යතුරුපැදි මරණ අවම කරන්නට නගරයෙන් බැහැර මාර්ගවලට වෙනම මංතීරුවක්●දිරිය දියණියකට ගරු කරන්න අසුනින් නැගිට්ට රුහුණේ කුලපති හිමි●
Top Ad
විදේශ

තෙල්-ගෑස් ගැටුමෙන් COP31 දේශගුණ සමුළුව අර්බුදයක

Pasan

Pasan

November 21, 2026 • 9:03 PM

තෙල්-ගෑස් ගැටුමෙන් COP31 දේශගුණ සමුළුව අර්බුදයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුර්කියේ ඇන්ටාලියා (Antalya) නගරයේ පැවැත්වෙන COP31 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේ සාකච්ඡා මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.
  • සමුළුවේ නව සහ අවසන් ගිවිසුම් කෙටුම්පත සෙනසුරාදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
  • "ෆොසිල ඉන්ධන ගැන වචනයක්වත් නැති දේශගුණ ගිවිසුමක් අපට කිසිසේත්ම පිළිගන්න බැහැ," යනුවෙන් පැනමාවේ පරිසර අමාත්‍ය ජුවාන් කාලෝස් නවාරෝ ප්‍රකාශ කළේය.
  • කර්මාන්තශාලාවලින් පිටවන දුම පොළොව යට තැන්පත් කිරීමේ තාක්ෂණයට (Carbon Capture) මුවාවී, තවදුරටත් තෙල් හා ගෑස් දහනය කිරීමට රටවලට අවසර නොදිය යුතු බව ප්‍රංශ පරිසර අමාත්‍ය මොනික් බාබට් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තුර්කියේ ඇන්ටාලියා (Antalya) නගරයේ පැවැත්වෙන COP31 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේ සාකච්ඡා මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. සිකුරාදා රාත්‍රිය පුරා පැවති තීරණාත්මක සාකච්ඡාවලින් පසුවත් නව ගෝලීය ගිවිසුමකට එකඟ වීමට ලෝක නායකයින් අපොහොසත් විය.

ගල් අඟුරු, බොරතෙල් සහ ස්වාභාවික වායු වැනි ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම පිළිබඳ වගන්ති කෙටුම්පතෙන් ඉවත් කිරීම මෙම බෙදීමට ප්‍රධාන හේතුවයි.

සමුළුවේ නව සහ අවසන් ගිවිසුම් කෙටුම්පත සෙනසුරාදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

තෙල් නිෂ්පාදකයින් සහ යුරෝපය අතර බල අරගලය

සෞදි අරාබිය ප්‍රමුඛ තෙල් නිෂ්පාදන රටවල දැඩි බලපෑම මත, ෆොසිල ඉන්ධනවලින් ඉවත් වීමේ වගන්ති අදාළ ලියවිල්ලෙන් කපා හැර තිබේ. ඊට එරෙහිව ප්‍රංශය, පැනමාව, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ෆින්ලන්තය සහ කුඩා දූපත් රාජ්‍යයන් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටී.

"ෆොසිල ඉන්ධන ගැන වචනයක්වත් නැති දේශගුණ ගිවිසුමක් අපට කිසිසේත්ම පිළිගන්න බැහැ," යනුවෙන් පැනමාවේ පරිසර අමාත්‍ය ජුවාන් කාලෝස් නවාරෝ ප්‍රකාශ කළේය.

කර්මාන්තශාලාවලින් පිටවන දුම පොළොව යට තැන්පත් කිරීමේ තාක්ෂණයට (Carbon Capture) මුවාවී, තවදුරටත් තෙල් හා ගෑස් දහනය කිරීමට රටවලට අවසර නොදිය යුතු බව ප්‍රංශ පරිසර අමාත්‍ය මොනික් බාබට් පෙන්වා දෙයි.

කෙසේ නමුත් සාකච්ඡා සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇති බව පවසමින් ඇතැම් යුරෝපා රටවල් මෙම විරෝධතා කණ්ඩායමට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.

පාලනයෙන් ගිලිහෙන ගෝලීය උෂ්ණත්වය

මෙම සමුළුවේදී ඉදිරිපත් වූ 'ඇන්ටාලියා සම්මුතිය' (Antalya Accords) හරහා ඉතිහාසයේ පළමු වරට බරපතළ පිළිගැනීමක් සිදු කර තිබේ. ඒ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ක ආරක්ෂිත සීමාව තුළ රඳවා ගැනීමේ ඉලක්කය මේ වන විට ලෝකයෙන් ගිලිහී ගොස් ඇති බවයි.

ලෝකය දැන් "අධි-උෂ්ණත්ව කාලපරිච්ඡේදයකට" (Overshoot) ඇතුළු වෙමින් සිටින බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. මෙම සීමාව ඉක්මවා යාමත් සමඟ මුහුදු මට්ටම ඉහළ යාම සහ දරාගත නොහැකි උණුසුම හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක ජනතාවක් දැඩි අවදානමකට ලක්වනු ඇත.

දිළිඳු රටවලට ලැබෙන මුදල් කප්පාදුව

සාකච්ඡා මෙහෙයවන ඕස්ට්‍රේලියානු අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ පිරිසිදු බලශක්තිය වෙත මාරුවීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. 2035 වන විට තම බලශක්ති භාවිතයෙන් 35%ක් විදුලි බලය (Electricity) බවට පත් කිරීමට තෙල් නිෂ්පාදන රටවල් එකඟ වුවහොත්, ෆොසිල ඉන්ධන වගන්ති ඉවත් කිරීමට විකල්ප යෝජනාවක් ද ඉදිරිපත්ව තිබේ.

මෙම විකල්ප යෝජනාවෙන් දියුණු වෙමින් පවතින රටවල් මුහුණ දෙන මූල්‍ය අර්බුදයට විසඳුමක් නොලැබේ. 2035 වන විට දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා (Adaptation) දිළිඳු රටවලට ලබා දීමට යෝජිතව තිබූ ඩොලර් බිලියන 120ක මුදල නව කෙටුම්පතෙන් ඉවත් කර ඇත.

"අපි මෙහි ආවේ හිඟා කන්න නොවෙයි; දියුණු රටවල ක්‍රියාකාරකම් නිසා පීඩා විඳින අපේ ජනතාවට සාධාරණව හිමි විය යුතු දේ ඉල්ලා ගන්නයි."
- සැනෙටෝර් අග්යෙමන් රෝලින්ස් (ඝානා පරිසර අමාත්‍ය සහ අප්‍රිකානු කණ්ඩායමේ සභාපති)

ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන්ට ද මෙම තීරණ ඍජුවම බලපානු ඇත. අධික වැසි, නියඟය සහ වෙරළ ඛාදනය හමුවේ ගොවිතැන සහ ජන ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලැබීම මෙම ගිවිසුමේ අවසන් තීන්දුව මත රඳා පවතී.

වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය:

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළු නිල වෙබ් අඩවිය (UNFCCC COP31)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...