(මේ කරුන පිලිබඳව සංවාදයක් ඇතිකිරීමේ අරමුණින් යුතුව මෙම ලිපිය මෙසේ පලකරමි.)
 
විද්‍යාව පිලිබඳ දර්ශනයේ පරස්පරයන් මිත්‍යාවට පාර කපන හැටි ! - 
 
ශ්‍රී ලංකාව ගොඩගත නොහැක්කේ ඇයි?
 
ලංකාව ගොඩගන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය බොහෝ උගතුන් අතර මුවග රැව්දෙන ප්‍රශ්නයකි. පසුගිය ජනාධිපති මැතිවරනයෙදී බොහෝ දනන් රට ගොඩනැගීම සඳහාම තම ඡන්දය ලබා දුන් බව සත්‍යයකි. 
 
ජනාධිපතිවරනයෙන් පසු එලෙසට රට ගොඩගැනීමට මහත්වු බලාපොරොත්තු තැබු මිනිසුන් අද වික්ෂිප්ත භාවයට පත්ව සිටින්නේ තමන් දැල්වු බලාපොරොත්තුව සුන්වන සෙයක් මේවන විට පෙන්වන නිසාය. 
 
එසේම පසුගිය දශක 7 තිස්සේ සිදුවුවාක් මෙන්ම පවතින ආණ්ඩුව ජන අපේක්ෂා බිඳ දමන කල එයට දෙස් දෙවොල් තබා හුදු ආන්ඩු පෙරලියකට විපක්ෂය දැන් දැන් සුදානම් වන සෙයක්ද පෙනේ. 
 
එලෙස තවත් අලුත් ආන්ඩුවක් පිහිටුවන ලද්දේ වුවද රට එතැනම යයි ඉන් පසුවද එසේ පෙරලීමට කර දුන් ජනයා අතින් නිතැනින්ම කියවෙනු නියතය. 
 
සුද්දා අපට රට භාර දී ගිය දා සිට අප විසින් අත් විඳින ලද්දා වු තාර්කික තෝරාගැනීම (rational choice) නාමයෙන් ඇතුලත්වී සිටින විශම චක්‍රය වන්නේ මෙයයි.
 
එම නිසා රටක් වශයෙන් අප අපගේ චින්තනයන් තුල සුසමාදර්ශී වෙනසක් ඇති කොට නොගෙන රට ගොඩ ගැනීම පිලිබඳව කතා කිරීම හා ඒ සඳහා වන තෝරාගැනීමක් (choice) පිලිබඳව සිතීම පවා මිත්‍යාවක් පසු පස යෑමක් වන්නේය.
  
එම නිසා එවැනි සුසමාදර්ශී වෙනසකට උරදිය හැකි එක් සාධකයක් පිලිබඳව සිතන්නට යමක් මෙම ලිපිය මගින් ඉදිරිපත් කොට සිටිමු. ඒ අපගේ විද්‍යාත්මක දැනුම පිලිබඳව පවතින දුගී භාවයයි. විද්‍යාත්මක දැනුම කාලයට හා අවකාෂයට සාපේක්ෂ වන නමුත් එය තාර්කික විසසීමක ප්‍රතිපලයක් වන්නේය.
 
 
එලෙසට තාර්කික විමසීමෙන් දුගීවන සමාජ මානසිකත්වයකට මානව වාදය, ප්‍රජාතන්ත්‍රවාදය හෝ සංවර්ධනය කිසි ලෙසකවත් ලඟා කරගත නොහැකි වන්නේය. අපගේ නොහැකියාවේ ඉතිහාසය මගින් කියවෙන්නේ අපගේ තාර්කික විමසීමක් නොමැතිකමේ ඉතිහාසයයි.
 
නුතන මානව සමාජය තුල, සංවර්ධන කතිකාවේදී, ප්‍රතිපත්ති සම්පාදනයේ සහ පොදුවේ සැලකූ විට සමස්ත සමාජ ක්‍රමය තුළ බහුලව භාවිතා කෙරෙන ඥානය ගොඩ නැගීමේ ක්‍රමය නම්, විද්‍යාත්මක තාර්කික විමසුමයි. 
 
එනම්, පර්යේෂණ, නිරීක්ෂණ, නිගමන මත පදනම් වූ මූලික “විද්‍යාත්මක දැනුම” ගොඩ නැගීමේ ආකෘතියයි. වෙනත් යම් දැනුම් ක්‍රම ඉතිරි වී තිබිය හැකි වුවද (ජෝතිශ්‍ය්‍ය, භාවනාමය විදර්ශනාව ආදී), එක්කෝ, ඒවායේ දැනුම් නිෂ්පාදන ක්‍රමවේදය කිසිවකු නොදනී. 
 
 mnbv
ජෝතිෂ්‍යය ගැන තත්ත්වය එයයි. එම ශාස්ත්‍රයේ සත්‍ය හෝ අසත්‍ය බව කෙසේ වුවත්, එහි දැනුම ගොඩ නැගෙන්නේ කෙසේ දැයි කීම කිසිවකුට නොහැකිය. 
 
 
නිදසුනක් ලෙස යම් ග්‍රහ මාරුවක් යමකුට මෙසේ බලපානා බව කියන්නේ මින් පෙර යම් ඍෂිවරයකු ප්‍රකාශ කර ඇති බැවින් මිස, එකී බලපෑම සිදු වනනේ කුමන අකාරයටද, කුමන ශක්තියක් පදනම් කරගෙන ද ආදිය හෝ එයින් මිදීමට නිර්දේශ කරන පූජා කර්මවල බලපෑම සැබවින්ම ලැබෙන්නේ කෙසේදැයි කීමට හැකි කිසිවකු නැත.
 
 එහි අර්ථය නම්, එවන් ශාස්ත්‍ර යම් දැනුමක් ගැබ් කරගෙන සිටිනවා විය හැකි වුවද, ඒවායේ දැනුම් නිෂ්පාදන විධික්‍රමය පුර්ණ වශෙයන්ම අහිමි වී ගොස් ඇති බවයි.
 
අනෙක් අතට, භාවනාව හෝ කුණ්ලීනී ආදී වෙනත් දැනුම් ලබා ගැනීමේ විධික්‍රම යැයි යෝජනා කෙරෙන විධික්‍රම පැවතුණ ද ඒවා කිසිවක් ලෝකයේ සංවර්ධන කතිකාව හෝ අධ්‍යාපන ක්‍රමය ආදී ප්‍රධාන ධාරාවේ නැත. 
 
ස්වෙදේශීක දැනුම හෝ විකල්ප සංවර්ධන මාදිලි යෝජනා කරන කිසිවකු ද එවන් විධික්‍රම භාවිතය ප්‍රධාන විය යුතු යැයි යෝජනා නොකරති. එබැවින්, විකල්ප දැනුම් පද්ධතීන් හෝ ඥානය ගොඩනැගීමේ විධික්‍රම අපගේ සැලකිල්ලට භාජනය කිරීම අනවශ්‍ය වේ.
 
ඒ අර්ථයෙන් සැලකූ  විට, වර්තමාන ලෝකයේ දැනුම ගොඩ නැගීමට පදනම් සකසා ඇත්තේ විද්‍යාත්මක චින්තනයයි.
 
 එමෙන්ම, දැනට භාවිත කෙරෙන එකම දැනුම් නිශ්පාදන විධික්‍රමය නම් විද්‍යාත්මක ක්‍රමයයි. විද්‍යාව යනුවෙන් අප හුවමාරුකර ගන්නා වටිනාකම එහි කොටසක් වන්නේය.
 
 
ශ්‍රී ලාංකික සමාජය විද්‍යාත්මක දැනුම අතින් ගත් කලද එකී දැනුම භාවිතයට යෙදවීම අතින් ගත් කලද විද්‍යාත්මක දැනුම තීන්දු තීරන ගැනීම සඳහා උපයෝගීකර ගැනීමේදීද එකී දැනුම එදිනෙදා ජීවිතයට උපයෝගීකර ගැනීමේදීද පසුවන්නේ අතිශය පසුගාමී තැනක බව කීම අතිශෝක්තියක් නොවේ. 
  
ඒ සඳහා හේතු සාධක සපයන සමාජ-සංස්කෟතික මෙන්ම ආර්ථික සාධකද දාර්ශනික පදනම්ද බොහෝමයකි.
 
 මේ ලිපියෙන් උත්සාහ දරන්නේ විද්‍යාව නොතකන සමාජ සංස්කෟතියක් ගොඩනැගීමට ඉවහල් වී ඇති දාර්ශනික පදනම් පිලිබඳ විවරනයක යෙදීමටය. 
 
නමුත් ඊට හේතු සාධක සපයන කරුනු පිලිබඳව ද නොකියා බැරිය.
 
අධ්‍යාපනය අතින් ගත් කල උසස් පෙලට උගන්වන පාසල් 2000 අතරින් විද්‍යාව හා ගනිතය උගන්වන්නේ පාසල් 800 ක පමණි. එසේම සමස්ත අධ්‍යාපන පද්දතිය ගත් කලද ඒ තුලින් මානවයකුට ලබා දිය යුතු STEM දැනුම එනම් විද්‍යාව තාන්ෂණය, ඉංජිනේරුමය සංකල්ප හා ගනිතය පිලිබඳ සාක්ෂරතාවය පවතින්නේද ඉතා අවම මට්ටමකය. 
  
ඒ නිසාම අපගේ තීන්දු තීරන ගන්නා බවතුන්ද (රාජ්‍ය හා දේශපාලන කේෂේත්‍රවල) දර්ශනය පිලිබඳ මතවාද සකස් කරන්නන්ද විද්‍යාත්මක පසුබිමක් සහිතව ඤානය සම්පාදනය (cognitive thinking) නොකරන බව අපගේ තර්කයයි. 
 
nalinde
 මහාචාර්ය නලින් ද සිල්වා 
 
 
එසේ විද්‍යාත්මක සාක්ෂරතාවයකින් හෙබි විද්‍යාත්මක අධ්‍යාපනික පසුබිමකින් ඉදිරියට පැමින වර්තමානයෙහි දාර්ශනික අදහස් පල කරන නලින් ද සිල්වා මහතා පල කරන්නේ ද විද්‍යාවට එරෙහිවය.
  
සමස්තයක් වශයෙන් ගත් කල විද්‍යාවට එරෙහි සමාජ සංස්කෟතියක් අප රට තුල ගොඩනැගී ඇතිවාක් මෙන්ම එය සමාජයේ ආධිපත්‍ය මතය බවටද පත්ව ඇතයි කීම අතිශෝක්තියක් නොවේ. 
 
එම නිසා විද්‍යාව උගත් පුද්ගලයන් විද්‍යාව වෙනුවෙන් පෙනීසිටිමට මැලි කමක් දක්වනවා පමනක් නොව විද්‍යාව එදිනෙදා ජීවිතයට කිසිසේත්ම අදාල කරනොගැනීමටත් අපගේ විද්‍යාධරයන් කටයුතු කරනු පෙනේ. එය වර්තමාන සමාජ යථාර්තයයි.
 
සමාජයතුල පවතින විද්‍යාවට එරෙහි ආධිපත්‍යදාරී මෙම ප්‍රවනතාවයේ රෝග ලක්ෂන පෙන්වනු ලබන ප්‍රකට එරීනාව වන්නේ මාධ්‍ය හා නිර්මානකරනයයි. ප්‍රවෟත්ති පත්‍රයක් තුල විද්‍යාව පදනම් කරගත් රචනාවක් තබා ප්‍රවෟත්තියක් පලවන්නේ කලාකුරකිනි. නිර්මාන රචනය තුල science-fiction පිළිබඳව ලාංකීය සාහිත්‍ය ලෝකය හඳුනන්නේ නැති තරම්ය.
 
එම නිසා ලාංකීය සමාජීය තලයේ මෙන්ම දාර්ශනික තලයේ පවතින මෙම දෟෂ්ඨිවාදය හේතු කොට ගෙන රට තුල විද්‍යාත්මක සංස්කෟතියක් ගොඩනොනැගීමට එනම් යම් දෙයක්/ ප්‍රපංචයක් තර්කනයෙන් විමසීමට ඇති පෙලඹුමට බාදාවක් වී තිබේ. 
 
එය අප රට තුල බලපවත්වනු ලබන සියලු ආකාරයේ පසුගාමීත්වයට හේතුවක් වී තිබෙන්නේය යන්න අපගේ මතයයි.
 
එකී මතවාදය බිහි වීමට ඉවහල් වී ඇති ප්‍රධාන දාර්ශනික පදනම් දෙකක් පවතින අතර ඒ පිලිබඳව අප මෙතැන් සිට විමසමු.
 
 
Karl Popper
 
 
ඉන් පලමු වැන්න වන්නේ ලාංකික දාර්ශනික සමාජයේ ඇතමුන් කකුලෙන් අල්ලාගෙන ඇති ඔස්ට්‍රියානු දාර්ශනිකයකු වු කාල් පොපර් ගේ මාතවාදයයි. 
 
ඔහු ගේ දර්ශනය කකුලෙන් අල්ලා ගත් ලාංකික දාර්ශනික අංකුර බොහෝමයක් විද්‍යාව යන වචනයම ගර්හාවට ලක් කරමින් විද්‍යාව යනුවෙන් සංකල්පයක් නැතැයිද එය මිත්‍යාවක් යයි ද කියන්නට පෙලඹී තිබේ.
 
දෙවැන්න වන්නේ කොන්ටම් භෞතික වාදයෙන් බිඳී ආ quantum mysticism ගුරුකුලයෙන් ආභාෂය ලබමින් යථාර්තයක් (reality) යනුවෙන් ග්‍රහනය කල හැකි ප්‍රපංචයක් නොමැති බව කියන්නාවු ගුරුකුලයයි. එම ගුරුකුලය ආභාෂය ලබන ලාංකික චින්තන ධාරාව තවදුරටත් පවසන්නේ බටහිර විද්‍යාව යනු මිත්‍යවක් බවයි.
 
සම්භාව්‍ය අර්තයෙන් විද්‍යාව යන වචනය අප ස්වභාවික විද්‍යාවන් (natural sciences) හා සමාජ විද්‍යාවන් (social sciences) යන ක්ෂේත්‍රයන් හැඳින්වීම සඳහා යොදා ගනිති.
 
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව විද්‍යාව යනු තොරතුරක් තර්කනයෙන් විමසීම යනුවෙන් අදහස් කරයි.
 
 නමුත් එම තර්කනය විද්‍යාත්මක විධි ක්‍රමයක් ඔස්සේ සිදු කරන්නේ කෙසේද යන්න පලමුව ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රැන්සිස් බේකන් (Francis Bacon) විසිනි. 
 
frensis bekon
ප්‍රැන්සිස් බේකන්
 
  
බේකන්ගේ විධි ක්‍රමය වුයේ ප්‍රපංචයක පැවැත්ම හෝ නොපැවැත්ම පිලිබඳ කල්පිතයක් එම ප්‍රපංචයට පිටතින් සිට (කාටසියානු තාප්පයෙන් මෙහා සිටිමින්) පරීක්ෂණය හා නිරීක්ෂණය කොට ඒතුලින් නිගමනයකට පැමිනීමයි.
 
ක්වොන්ටම් භෞතික විද්‍යාව කරලියට පැමිනෙන තෙක්ම සෑම විද්‍යාත්මක සොයාගැනීමකටම පදනම වු විධි ක්‍රමය වුයේ බේකන්ගේ විද්‍යාව පිලිබඳවු මෙම විධි ක්‍රමයයි. 
 
ස්වභාවික විද්‍යාවන්ගේ මුලය වන භෞතික විද්‍යාව විශයෙහිද මෙය සත්‍යයක් විය. 
 
 Isaac Newton
අයිසැක් නිවුටන්
 
  
සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි පියා ලෙස සැලකෙන අයිසැක් නිවුටන් (Isaac Newton) ගේ ගුරුත්වාකර්ෂනය පිලිබඳ නියාමයද සොයාගනු ලැබුයේ මෙම විද්‍යාත්මක පදනමින්ම වන අතර එම ගුරුත්වාකර්ෂන නියාමය භාවිතා කොට රොකට්ටුව මානවයා විසින් ප්‍රායෝගිකව නිර්මාණය කොට භාවිතා කරන ලද්දේය යන්නද සත්‍යයක් වන්නේය.
 
සම්භාව්‍ය විද්‍යාව හා භෞතික විද්‍යාව පිලිබඳව අපට අද මෙසේ කතා කරන්නට සිදුවී ඇත්තේ වර්තමාන ආන්ඩුවද, ආන්ඩුවේ කේන්ද්‍රීය චින්තනයට පසුබිම සලසන ජාතික චින්තන මතවාදයද, එයට ලැදි මාධ්‍යද රට තුල ගොනු කරන දේශපාලනය මගින් සියුම් ලෙස අවධාරනය කරමින් සිටින දේශපාලනික දෟෂ්ඨියක් හේතු කොට ගෙනය. 
  
ඔවුන් කියා සිටින්නේ බටහිර විද්‍යාවන්ට ගෝචර නොවන දැනුම් පද්දතියක් පවතින බවය. එය අපටම අනන්‍යබවය. එය අප සොයා යාතු බවය. එය ප්‍රතිශ්ඨාපනය කල යුතු බවය.
 
කෙසේ නමුත් මෙම මතවාදය වර්තමාන ආන්ඩුවටම අනන්‍ය වන්නේ නැත. මෙරට තුල වසර ගනනාවක් තිස්සේ සංසරනය වන ජාතික චින්තන මාතවාදී ධාරාවට දාර්ශනික පදනම සපයන්නේද මෙම දෟෂ්ඨිය මගින්මය.
 
මෙම දෟෂ්ඨිය යෝජනා කරන්නේ එම අනන්‍ය දැනුම් පද්දතිය හා සසඳන කල නවීන විද්‍යාව පදනම් කරගත් ගෝලීය දැනුමද එම දැනුම මත පදනම්ව අප මේ වනතෙක් අප උසුලාගෙන යන රාජ්‍ය පාලන හා සංවර්ධන ප්‍රවිශ්ඨයන් හා විධික්‍රමයන් නිවැරදි නොවන බවය.  
 
වර්තමාන ආන්ඩුව පිටුපස එම දෟෂ්ඨියේ පහස ලබන්නන් සිටිති. ඔවුන් එය තම  බල ව්‍යාපෟතියේ දෟෂඨිමය පදනම ලෙස සලකති. 
 
එ අනුව ඔවුන් දැන් සිදු කරන්නේ එකී ඊනියා දෟෂ්ඨිය ඔවුන්ගේ විවිධාකාර බල දේශපාලනික අවශ්‍යතා සඳහා යොදාගැනීමයි. 
 
එම අවශ්‍යතා මිත්‍යාවන්ගේ සිට අසත්‍ය හෝ අර්ධ සත්‍ය වන්නාවු කල්පිතයන් මත පදනම් වන්නේ වුවද ඒවා පරම සත්‍ය  හෝ යතාර්තයක් ලෙස සමාජය තුල ස්තාපිත කිරීමට මෙම දෟෂ්ඨිමය විධි ක්‍රමය භාවිතා කරමින් සිටී. (පරස්පරය: යතාර්ථයක් නැතැයි තම දෟෂ්ඨිය මගින් ඔවුන්ම ගෙන හැර දක්වන අතරම)
 
සැබවින්ම මෙම ප්‍රවනතාවය ලාංකික ජනතාවගේ ප්‍රගතිශීලී ප්‍රගමනයට පවතින සැබෑ බාදාවකි. එය ශ්‍රී ලාංකික සමාජ මානසික භාවය තුල සිදුවිය යුතු ස්වභාවික සංඤානනය මොට කරන බව අපගේ හැඟීමයි.
 
එම දෟෂ්ඨිය පිටු පස පවතින ඤාණය ගොඩනැගීම සඳහා යෝජනා කරන ක්‍රමවේදය දෙස බලන කල ඉහත කී  මතවාදය සඳහා මුලික අභාෂය සපයා තිබෙන්නේ ද කාල් පොපර්ගෙන් නයට ගත් එනමුදු විකෟති කරන ලද මතයකි.
 
එනිසාම කාල් පොපර් කියන්නේ කුමක්දැයි ප්‍රථමව සොයා බැලිය යුතුව තිබේ. 
 
කාල් පොපර් ගේ. දර්ශනය මගින් විද්‍යාත්මක පර්යේෂනය තුල පවතින සම්භාව්‍ය අනුමානය පදනම් කරගත් මතය (classical inductivist views) ප්‍රතික්ෂේප කල බව සැබෑවකි.
 
 නමුත් උත්සාහ කරන ලද්දේ ඒ තුලින් විද්‍යාව මගින් වර්තමානයට වඩාත් විශ්වාසනීයවු දැනුමක් අත්පත් කරගත හැකි චින්තන විධි ක්‍රමයක් හඳුන්වාදීමටය. 
 
ඒ සඳහා දාර්ශනික පදනම ඔහු විසින් ගොඩනඟන ලද්දේ ඔහූගේ theory of falsification යන දර්ශනය මගිනි. 
 
පොපර් කිසිවිටකත් විද්‍යාව (එනම් යමක් තර්කනයෙන් විමසීම) බොරුවක් බව ප්‍රකාෂ නොකල අතර ඔහු උත්සාහ කරන ලද්දේ යම් තොරතුරක් තර්කනයෙන් විමසීම විද්‍යාව වන කල එම විමසීමට ලක්වන විද්‍යාත්මක දත්තය තහවුරු කිරීම සඳහා උපයෝගී කරගන්නා එතෙක් පිලිගත් සම්භාව්‍ය විධි ක්‍රමය පදනම් වු බේකන් ගේ න්‍යායේ පවතින ගර්හිත භාවය පෙන්වා දීමටය.
 
 
ශ්‍රී ලාංකික සමාජ මානසික භාවය තුල සිදුවිය යුතු ස්වභාවික සංඤානනය මොට කරන ඉහත කී දෟෂ්ඨිය සකස් කරලීමට පාදක කොට ගෙන ඇති අනෙක් දාර්ෂනික ආභාෂය ලබාගෙන ඇත්තේ ක්වොන්ටම් භෞතිකවාදය තුල ගොඩනැගුනු කල්පිතයක් තුලය. 
 
එම නිසා ඒ පිලිබඳවද සැකෙවින් විමසිය යුතුව තිබේ. 
 
NielsBohr Max Planck Albert Einstein
නීල්ස් බෝර් - මැක්ස් ප්ලෑන්ක් - ඇල්බර්ට් අයින්සටයින්
 
  
ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මුලික නියාමයන් පලමුව සොයාගනු ලැබුවේ නීල්ස් බෝර් (Neils Bohr) සහ මැක්ස් ප්ලෑන්ක් ( Max Plank) විසිනි. තුන්වැන්නා ලෙස ක්වොන්ටම් න්‍යායට එක්වන්නේ ඇල්බර්ට් අයින්සටයින් (Albert Einstein) ය. 
.
මෙලෙස සොයාගනු ලැබු ක්වොන්ටම් භෞතික වාදය විසින් සම්භාව්‍ය ස්වභාවික විද්‍යාවේ (classical sciences) සහ සම්භාව්‍ය භෞතික විද්‍යාවේ (classical physics) පදනම් කුඩු පට්ටම් කර දමනු ලැබීය. 
 
ක්වොන්ටම් වාදය මගින් කියවෙන්නේ පරමානුවක න්‍යෂ්ඨිය තුල පවතින පදාර්තය හා ශක්තිය පිලිබඳ විශ්ලේෂනයයි. එම විශ්ලේෂණයේ ප්‍රතිපලය වුයේ ශක්තිය යනු තොරතුරක් පමනක් බවත් යතාර්තය යනු මිත්‍යාවක් බවත් එය ශක්තියෙම ප්‍රභවයක් බවත් යතාර්තය සැම විටම කාලයට හා ප්‍රවේගයට සාපේක්ෂව ස්තානගතවන බවත්ය.
 
කොන්ටම් භෞතිකවාදය විසින් ගොඩනඟන මෙම තර්කය ලෝකය පමනක් නොව විශ්වය තේරුම් ගැනීම පිලිබඳ නව මානයක් ගෙන ආවා පමනක් නොව අපගේ පරිකල්පනයන් ද වාස්තවික (objective) නොවන බවත් ඒවා විශය මුලික වන බවත් එය අපගේ මනසට සාපේක්ෂව අත්විඳින බවත් තහවුරු කොට තිබේ. 
 
ඒ අනුව හොඳ-නරක පිලිබඳ විශ්වාසය (conscience) බුද්ධිය ( intelligence) අධ්‍යාතමිකභාවයන් ( spirituality) අපගේ මනසට සාපේක්ෂව ඇතිවන සංකල්පයන් බවත් පිලිගන්නට සිදුව ඇති බවට තර්කනයක් ගොඩනැගුනි.
 
බටහිර දැනුමට හසුනොවන දැනුම් පද්දතියක පැවැත්ම හෝ නොපැවැත්ම පිලිබඳ තර්කනය එලිපිටට පැමිනෙන්නේ මෙතැන් සිටය. 
 
 Werner Heisenberg Erwin Schrodinger
 වර්නන් හයිසන්බර්ග් - අර්වින් ශොටන්ගර්
 
  
ජර්මානු ක්වොන්ටම් භෞතික විද්‍යාඤයන් වන අර්වින් ශොටන්ගර් (Erwin Schrödinger) සහ වර්නන් හයිසන්බර්ග් (Werner Heisenberg) විසින් ක්වොන්ටම් න්‍යාය හොඳ-නරක පිලිබඳ විශ්වාසයන්ට, බුද්ධියට අධ්‍යාත්මික බාවයට අදාල බවට අර්ථ විවරනයට ගෙන එන ලදී. 
 
නමුත් ක්වොන්ටම් වාදයේ මුල් උරුම කරුවන් තිදෙනා අතරින් දෙදෙනකුම එනම් මැක්ස් ප්ලෑන්ක් සහ ඇල්බට් අයින්සටයින් මෙම ප්‍රවාදය බැහැර කල අතර නීල්ස් බෝර් පමනක ඒ බව අනුමත කලේය.
 
එතැන් පටන් මෙම මතය වෙනම ගුරුකුලයක් ලෙස ක්‍රියාත්මක වු අතර එය විද්‍යා ලෝකය තුල හඳුන්වන්නේ ක්වොන්ටම්  ගුඨ වාදය quantum  mysticism යනුවෙනි. එම ගුරුකුලය ද ලෝකය තුල ප්‍රබල මතවාදයක් ලෙස පවතී. 
 
එමගින් ලෝකය තුල පැවති බොහෝ පාර භෞතික පරිකල්පනයන්  (meta physical imaginations) ක්වන්ටම් කරනයට ලක් කරන ලද්දේ වුවද ඒවා සැබෑ ක්වන්ටම් භෞතික වාදී න්‍යාය තුල හඳුන්වනු ලැබ ඇත්තේ අවිද්‍යාවක් (pseudoscience) හෝ කපටි ශාස්ත්‍රයක් (quackery ) ලෙසටය. 
 
එසේ හඳුන්වාදීමට පදනම වී ඇත්තේ මනස නිර්මානය වී ඇත්තේ කුමන පදාර්තයක් හෝ ශක්තියක් මතද යන්න නිර්ණය කරගැනීම ක්වොන්ටම්වාදය අදාල කරලැනීමේ පුර්ව කොන්දේසියක් වීමයි.
 
ඒ අනුව ලංකාව තුල බටහිර දැනුමට ගෝචර නොවන දැනුම් පද්දතියක් පවතින්නේ යයි තර්ක කරනු ලබන දෟෂ්ඨිය කරලියට පැමිනෙන්නේ මෙම ක්වොන්ටම් ගුඨවාදයේ ආභාෂයෙනි. එම දෟෂ්ඨිය මේ වන විට ලංකාව තුල හඳුන්වාදෙන්නේ  ක්වොන්ටම් න්‍යාය හරහා ගොඩනැගුන තාර්කික සංකල්පයක් ලෙසටය. 
 
නමුත් නූතන ක්වොන්ටම් භෞතික විද්‍යාව තුල  මනස යතාර්තයක් නොවේය යන කල්පිතය සැලකෙන්නේ තාර්කික විමසීමකට ලක් කල නොහැකි පැවැත්මේ හෝ නොපැවැත්මේ කර්කයක් නොමැති පාර භෞතික පරිකල්පනයන් ලෙසටය. එසේ නම් ලාංකික මෙම දෟෂ්ඨියද තවමත් පවතින්නේ කල්පිතයක් ලෙසටමය.
 
ක්වොන්ටම් භෞතික විද්‍යාව හේතුවෙන සම්භාව්‍ය ස්වභාවික හා භෞතික විද්‍යාවේ ඇතිවී ඇති පෙරලිය මෙන්ම කාල් පොපර් ගේ දාර්ශනික තර්කනයන්ද  අප රට තුල ස්වදේශික අනන්‍යතා දේශපාලනයේ නිරත වන්නන් ද පශචාත් මාක්ස් වාදීන්ද ප්‍රායෝගික උපයෝගීතාවාදීන්ද එකිනෙකට පරස්පර ලෙස පරිකල්පනය කරමින් එනමුත් රට තුල විද්‍යාව පදනම් කරගත් තාර්කික විමසිම ගොඩනැගෙන සංස්කෟතියක් ගොඩනැගීම පරාජය කොට තිබේ.
  
khunවිද්‍යාවේ විධික්‍රමය පිළබඳව විසිවන සියවසෙහි වැදගත්ම දායකත්වය ඇතැයි සැලකෙන තෝමස් කූන්ගේ (Thomas Kuhn) විද්‍යාවේ සුසමාදර්ශ පිළිබඳ අදහස ද ශ්‍රී ලංකාවේ විද්‍යා විරෝධීන් සහ විකල්ප විද්‍යා මතවාද ප්‍රචලිත කරන්නවුන් විසින් අවභාවිත කොට ඇති තවත්. සංකල්පයකි. 
 
එය ඔහු විසින් ඉදිරිපත් කරන ලද්දේ, වර්ෂ 1962දී ප්‍රකාශිත The Structure of Scientific Revolutions ග්‍රන්ථයෙනි. 
 
විද්‍යාව තුළ දැනුම ගොඩ නැගෙනුයේ හුදෙක් ඒක රේඛීය විද්‍යාත්මක් පර්යේෂණ ජයග්‍රහණ මාලාවක ප්‍රථිඵලයක් ලෙස නොව, යම් සාම්ප්‍රදායික සහ විප්ලවීය යුග මගින් සිනිටුහන් වූ යුග දාමයක් අනුව බවයි, තෝමස් කූන්ගේ මූලික සංල්පය. 
 
විද්‍යාත්මක දැනුම් සුසමාදර්ශයක් ලෙස ඔහු හඳුන්වන්නේ මෙකී විප්ලවීය යුග දෙකක් අතර කාල රාමුවයි.
 
 නිදසුනක් ලෙස, නිව්ටෝනියානු සුසමාදර්ශය සහ අයින්ටයිනියානු සුසමාදර්ශය හැඳින්විය හැකිය. 
 
එක් සුසමාදර්ශයක් බිඳ වැටනුයේ එකී සුසමාදර්ශයේ මූලික පිළිගැනීම් (න්‍යාය) මගින් විස්තර නොකළ හැකි අත්දැකීම් කිහිපයක් එක්තැන් වූ විටදීය. 
 
කෙසේ වෙතත්, කිසිදු විද්‍යාත්මක සුසමාදර්ශයක් භෞතිකවාදයෙන්, එනම්, ලෝකය භෞතික සංසිද්ධීන්ගේ ප්‍රතිඵලයක් නොවන බව තෝමස් කූන් සඳහන් කොට නැත. 
 
එහෙත් ශ්‍රී ලංකාවේ ඇතමනුගේ තර්කය වී ඇත්තේ, තෝමස් කූන්කී පරිදි, විද්‍යාවේ දැනුම එක් සුසමාදර්ශයක් පමණක් වන බවයි. ඒ අනුව, සංසකෘතික, ආගමික හෝ වෙනත් දැනුම් සුසමාදර්ශ පැවතිය හැකි බව ඔවුන් විසින් යෝජනා කෙරෙයි. මෙය හුදෙක් කූන්ගේ මතය එහි තාර්කික සීමාවෙන් ඔබ්බට විස්තාරණය කිරීමේ ප්‍රතිඵලයකි. 
  
මිත්‍යාවට තාර්කික ස්වරූපයක් ගෙන දීම පිණිස විද්‍යාවේ විධික්‍රමය පිළිබඳ දැනුම විකෘති කිරීමකි.
 
රට ගොඩ ගන්නට නම් රටට අවැසි නව චින්තනයක් ගොඩනැගිය යුතුව තිබේ. එහි පදනම විය යුත්තේ තාර්කික විමසීමට ඉඩ සලසන විද්‍යාවට තැන දෙන සමාජ සංස්කෟතියයි.
 
 
Shiral Lakthilaka(ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන විශ්ලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
 

 

THE LEADER TV 
 

සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ? 

 

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්