ජයන්ත ශ්‍රී නිස්සංක සිලෝන් ටුඩේ කර්තෘ සමයේ මම දිගු කලක් මව්බිමෙහි ප්‍රවෘත්ති හා ලිපි සිලෝන් ටුඩේට පරිවර්තනය කළෙමි. එහෙයින් මා කිසි දිනෙක මව්බිම මිලදී ගෙන නැතත්, එහි ලිපි කියවා ඇත්තෙමි. එහි බොහෝ වටිනා අන්තර්ගතයන් තිබිණි. අවාසනාවකට ඒ වැඩි හරියක් යන්ත්‍ර මගින් කියවිය හැකි ආකෘතිවලින් අන්තර්ජාලයට එන්නේ නැත. එහෙයින් ඒවා සොයාගත හැකි වන්නේ ලේඛනාගාරයකින් පමණි.
මුද්‍රිත පුවත්පත් වැසී යාම වර්තමානයේ ස්වාභාවික සංසිද්ධියකි. බහුමාධ්‍ය අන්තර්ගතයන් පළ කළ හැකි ඉන්ටනෙට් නැගී ඒම සමග මෙම ඉරණම රූපවාහිනියට පවා අත්වෙමින් තිබේ. මගේ නිවසේ ඇති රූපවාහිනියෙහි පියෝ ටීවී ඇතත්, අප හතර දෙනා අතරින් ඉඳහිට හෝ ප්‍රවෘත්ති හෝ චිත්‍රපටයක් රූපවාහිනියෙන් බැලීම කරන්නේ මා පමණි. ඒ වෙනුවෙන් වැය කරන මුදල පවා අපතේ යාමකි.
සිංහල පුවත්පත් අන්තර්ගතයන් ඉන්ටනෙට් වෙත නොපැමිණීම හේතුවෙන් සිංහල භාෂාවෙන් නිර්මාණය වන දැනුමෙන් ඉන්ටනෙට් ඥාන කෝෂය පෝෂණය වීම අඩාල වේ. එය කෘත්‍රිම බුද්ධි යුගයේදී පවා සිංහල බසින් කරන කටයුතුවලට බාධාවකි. සිංහල අන්තර්ගත නිර්මාණකරුවන් මුදල් ගැන නොසිතා තම අන්තර්ගතයන් ඉන්ටනෙට් වෙත එකතු කළ යුතු බව මගේ අදහසයි. එසේ කරන අන්තර්ගත නිර්මාණකරුවන් වෙනුවෙන් කෝපි කෝප්පයක්වත් සපයන්නට සිංහල භාෂා ප්‍රේමීන් සිතට ගත යුතුය. සියල්ල නිකම්ම කෙළවාගැනීම සිංහලකම නොවිය යුතුය.
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com
උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්...
සබැඳි පුවත් :
දිනපතා 'මව්බිම' සහ Ceylon Today හෙට සිට ඩිජිටල් අවකාශයෙන් පමණයි




