මෙම මැතිවරණයේදී AKD මතවාදී වෛරස්කරු සහ වාහකයා වෙමින් මුහුණු පොතේ, මඟ තොටේ, කාර්යාලවල කොටින්ම මහජන අවකාශයේ (Public Sphere) සාමස්ථික ආධිපත්‍යය - හෙජමොනිය ගොඩනගනු ලැබුවේ සමාජයේ බහුතරය බවට පත්වී සිටින පහළ මධ්‍යම පංතිකයා විසිනි.

2015 දී “යහපාලනය” නාමයෙන්ද 2019 “සිංහල බෞද්ධ රාජ්‍යය” නාමයෙන්ද ක්‍රියාත්මක වූ අයහපත් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිඵල සහිත අසාර්ථක ව්‍යාපෘතිවලදී මෙම භූමිකාව ඉටුකරනු ලැබුවේද ඔහු විසින්මය.
ඒ සෑම අවස්ථාවකදීම ඔහු තමන්ගේ මැදිහත්වීම හේතුවෙන් රටවැසියාට, සහ සමාජයට ගෙවන්නට සිදු වූ වන්දිය ගෙවීමේ වගකීම භාරගන්නවා වෙනුවට පහළ මධ්‍යම පන්තිකයාගේ සැබෑ මුහුණුවර පෙන්නමින් අතුරුදහන් වී නැවතත් ඊළඟ මැතිවරණයේදී තවත් ඕපපාතික මතවාද බල ව්‍යාපෘතියක් කරපින්නාගෙන මහජන අවකාශයට පිවිස පරණ භූමිකාවම ඉටුකළේ මැතිවරණ සමයේ ඡන්දය ලබා ගැනීමට මහජනතාව අතරට පැමිණ පසුව අතුරුදහන් වන මන්ත්‍රීවරයෙකු පරිද්දෙනි.

එනයින් බලන විට පහල මධ්‍යම පාංතිකයා සහ දෙසිය විසි පහට අයත් වන මහජන නියෝජිතයින් හැසිරීමෙන් එක සමාන නොවන්නේද?
පහළ මධ්‍යම පාංතිකයා සමාජයේදී පහසුවෙන් හඳුනා ගන්නේ කෙසේද? ආචාර්ය, වෛද්‍ය ,කථිකාචාර්ය, ඉංජිනේරු, නීතිඥ, හෙද, කාර්මික නිලධාරි, කළමනාකරු, ගුරු, ටියුෂන් ගුරු, සංවර්ධන නිලධාරි, සංවර්ධන සහායක, කනිෂ්ඨ විධායක, විධායක, ක්‍රීඩක , කලාකරු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික, තැරැව්කරු ආදී නිල නාම, ඒවායේ සංකේත හා ඇඳුම් පැළඳුම් සමගින් පෙනී සිටියදී මෙම කණ්ඩායම සමාජයේදී ඔබට මට හමු වේ.

1977 විවෘත ආර්ථික සමාජ දේශපාලන තරගකාරී වෙළඳ පොලේ පාරිභෝගිකයෙකු ලෙස හැදී වැඩුණු මොවුන්ගෙන් බහුතරය රජයේ පාසල් වලින් අධ්‍යාපනය ලබා නගරවලට, අර්ධනාගරික ප්‍රදේශවලට සහ විදේශවලට සංක්‍රමණය වූවන්ය. ඔවුන්ගේ එක් සිහිනයක් වන්නේ තරඟකාරී වෙළඳපොලේ පාරිභෝගිකයෙක් ලෙස හැසිරෙමින් උපරිම ලාභය, උපරිම වාසිය, උපරිම සන්තෘෂ්ටිය(Pleasure), උපරිම කැපී පෙනීම තමන් සතු කර ගැනීමයි.
අන් අයගේ නිවසට වඩා විශාල නිවසක්, වාහනයක් තමන් සතු කර ගැනීම, ළමයා ලොකුම පාසලට දමා ගැනීම, ලොකුම තනතුරක් (බොහෝ විට පස්ස දොරෙන්), ලොකු වැටුපක්, ලොකු ආදායමක් තමන් සතු ගැනීමේ සිට තමන්ගේ දරුවාගේ ප්‍රතිඵල පාසල් ඉදිරිපිට බැනර් වල ප්‍රදර්ශනය කිරීම, ලොකුම හෝටලයෙන් අන් අයට නොලැබෙන කෑමක් කා එහි පොටෝ එක, දරුවාගේ ප්‍රතිඵල ලේඛනය, තමන්ගේ උපන්දිනය, විවාහ සංවත්සරය තමන්ගේ අලුත්ම ඇඳුම, අන් අයට යන්න බැරි තැනකට ගොස් එහි ඡායාරූපගත කර තමන්ගේ කයිවාරු ගැසීම ආදී මෙකී නොකී සියල්ල මුහුණු පොතේ දමා ගැනීම සහ වට්ස්-ඇප් ගෲප් වල හුවමාරු කර ගැනීම ආදිය මෙම පහළ මධ්‍යම පංතිකයාගේ මතුපිට පෙනෙන රෝග ලක්ෂණවලින් කිහිපයකි.

උක්ත අරමුණුවලට යන්නට සහ ඒවා නඩත්තු කරන්නට AKD බල ව්‍යාපෘතිය විසින් මුලිනුපුටා දමනවා යැයි කියන අකාර්යක්ෂමතාවය, අල්ලස් දීම, හොරකම් කිරීම, වංක බව, ව්‍යාජත්වය , පින් අනුමෝදන් කිරීම, ගොනාට ඇන්දවීම, Image editing සහ ප්‍රතිරූප ගොඩනැංවීම ආදී ය ඔවුන්ට නැතුවම බැරිය.

පහළ මධ්‍යම පංතිකයාගේ පැරඩොක්ස්(Paradox) ජීවිතයේ “සින්තටික් සිහිනය” වන්නේ, තමන්ගේ පාසලේ, ටියුෂන් පන්තියේ හෝ විශ්වවිද්‍යාලයේ ගුරුවරයා විසින් එසේ නැතහොත් තමන්ගේ පරමාදර්ශී චරිතය විසින් සීනි තවරා සංස්කෘත වචන යොදා තමන්ගේ මනසේ වගා කරන ලද “පරමාදර්ශී සමාජය” නැමැති ප්‍රපංචයට තමන් විසින් ම එහෙන් මෙහෙන් අහුලා ගත් “පරමාදර්ශී පුරවැසියා” “පරමාදර්ශී රට” නැමැති සංකල්ප එක් කර සමාජ මාධ්‍ය මෙවලමක් ලෙස යොදා ගනිමින් ආකර්ශනීය දවටනයකින් සරසා “තමන්ගේම මතවාදී භාණ්ඩයක්” ප්‍රතිනිෂ්පාදනය කර සෑම මැතිවරණයකදීම නිවසේ දී, කාර්යාලයේදී, මග තොටේදී හෝ ගමේදී තම දායක සභාවට අලෙවි කරමින් පරමාදර්ශී පුරවැසියෙකු බවට පත්වීමයි.
ඔවුන්ගේ සින්තටික් සිහිනය එසේ වුවද යථා ලෝකයේ හීනය එය නොවේ. එම සිහින අතර පරස්පරතාවය අතික්‍රමණය කිරීමද ඔහුගේ අරමුණයි. තමන් මැදිහත් වූ ව්‍යාපෘතිය තුළ තමන් විසින්ම පවරාගත් කොන්ත්‍රාත්තුව ඔහුගේ සැබෑ යථාර්ථවාදී සිහිනය වන තරගකාරී වෙළඳපොලේ උපරිම ලාභය තමන් සතු කරගැනීමෙන් අවසන් කිරීමටද පහළ මධ්‍යම පංතිකයා සමත්ය.

අමුවෙන්ම කියන්නේ නම් පහළ මධ්‍යම පංතිකයාගේ සින්තටික් සිහිනයට ඔහුගේ පාරිභෝගික හීනය අභිසාරි වන්නේ තමන් අලෙවි කරන ලද භාණ්ඩයෙන් ලැබෙන "බලය" නැමැති "ලාභය" මහජන අවකාශය (Public Sphere) තුළ මෙන්ම කුටුම්භය තුළද භුක්ති විදිමින් සමාජ දේශපාලන තරගකාරී වෙළඳපොලේ උපරිම සන්තෘෂ්ටිය (Pleasure) තමන් සතු කර ගනිමින්ය.
ඔහු විටෙක එම ලාභය- “බලය අල්ලා ගැනීම” , “ප්‍රදර්ශනය වීම”,”දේශපාලන පත්වීම් ලබා ගැනීම” සහ “වරප්‍රසාද ලබා ගැනීම” වැනි පාරිභෝගික සිහින තුළ ද ස්ථානගත කිරීමට සමත්ය.
(මතු සම්බන්ධයි)
(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.
pnweera@yahoo.com



