ලොව පුරා බුද්ධි අංශ ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීමට, භූ- දේශපාලන උපායමාර්ග ප්‍රවර්ධනයට, සහ තම තරගකාරී විරුද්ධවාදියාට එරෙහිව ක්‍රියාත්මක වීමට වෙනත් රටවල දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වෙනවා. මෙය වර්තමානය වන විට ආර්ථික, ආයෝජන සහ ගෝලීයකරණ උපාය මාර්ග ආදිය වටා වැඩි වශයෙන් කේන්ද්‍ර වෙමින් තියෙන බව පේනවා. මෙම ක්‍රියාකාරකම්වලට වෙනත් රටවල මැතිවරණවලට මැදිහත්වීම, සමාජ මාධ්‍ය ඔස්සේ දුෂ් තොරතුරු සහ ජනතාව මුලා කරන තොරතුරු ප්‍රචාරයට පහසුකම් සැලසීම, තමන්ට බලයට ගේමට අවශ්‍ය දේශපාලන කණ්ඩායම සඳහා අරමුදල් සැපයීම, තාක්ෂණික පහසුකම් සැලසීම, පුහුණු කිරීම, දේශපාලන උපායමාර්ගය සැකසීමට පහසුකම් සැලසීම, කුමන්ත්‍රණවලට සහායදීම සහ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීම ආදිය ඇතුළත්.
නිදසුන් වශයෙන් ඇමරිකාවේ මධ්‍යම ඔත්තු සේවය (CIA) ගෝලීය දේශපාලනයේ වඩාත් ක්‍රියාකාරී බුද්ධි අංශවලින් එකක්. CIA සංවිධානය විසින් 1953 දී ඉරානයේ දී, 1954 දී ගෝතමාලාවේ දී, 1973 දී චිලි හිදී, 1980 දී ඇෆ්ඝනිස්ථානය, 2000-2024 දී රුසියාව, යුක්‍රේනේ, තායිවානය, චීනය වැනි රටවල සහ මැද පෙරදිග මැදිහත්වීම් සිදුකර තිබෙන බව වාර්තා වෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්
සෝවියට් දේශයට/ රුසියාවට අයත් ඔත්තු සේවය (KGB/FSB/SVR) නැගෙනහිරි යුරෝපයේ ක්‍රිමියාව, යුක්රේනය, පෝලන්තය, හංගේරියාව, ජර්මනිය, ඇෆ්ඝනිස්ථානය, සහ මැද පෙරදිග රටවල මැදිහත්වීම් කර තිබෙනවා. 2016 වසරේදී ඇමෙරිකානු ජනපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ගෙන ඒම සඳහා රුසියානු ඔත්තු සේවා සහ තොරතුරු තාක්ෂණය යොදාගත් බව සඳහන් වෙනවා.
ඊශ්‍රායලයේ මොසාඩ් රහසිගත මෙහෙයුම් සඳහා ප්‍රසිද්ධ ඔත්තු සේවයක්. පලස්තීනය, සිරියාව, ඉරානය සහ ඩුබායි වැනි රටවල මොසාඩ් ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රබලයි. බ්‍රිතාන්‍යයේ M 16 රහස් සේවය විදේශීය මැදිහත්වීම් කෙරෙහි දීර්ඝ ඉතිහාසයක් ඇති සංවිධානයක්. එය බොහෝවිට ඇමෙරිකානු ඔත්තු සේවා සමඟ එක්ව ඉරාකය, ඉරානය, ලිබියාව සහ රුසියාව වැනි රටවල මැදිහත්වීම් සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ලොව පුරා චීන බලපෑම් ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන ආයතනයක්. චීනය විසින් තායිවානයට දේශපාලන බලපෑම් කිරීමට දුෂ් තොරතුරු ප්‍රචාරය සහ සයිබර් මෙහෙයුම් භාවිතා කර තිබෙන බව වාර්තා වෙනවා. අප්‍රිකානු සහ ආසියානු කලාපයේ රටවල යටිතල පහසුකම් සංවර්ධනය, ණය ලබාදීම, සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ මාධ්‍ය ආයතන ආදිය මගින් මෙම ආයතනය විසින් මැදිහත්වීම් සිදුකර තිබෙන බව සඳහන්.
ඉන්දියාවේ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය (RAW) කලාපීය ආරක්‍ෂාව සහ ඉන්දියාවේ ජාතික ආභිලාෂයන් කෙරෙහි අවධානය යොමු කරමින් අසල්වාසී රටවල දේශපාලනයට බලපෑම් කරන ඔත්තු සේවයක්. රෝ ඔත්තු සේවය 1971 බංගලිදේශයට නිදහස ලබා ගැනීමේදී,1980 දශකයේ ලංකාවේ යුද ගැටුම්වලදී මෙන්ම නේපාලය, භූතානය, මියම්මා සහ පාකිස්ථානය වැනි රටවල චීනයේ වර්ධනය වන බලපෑමට එරෙහිව බලපෑම් කර තිබෙන බව කියවෙනවා.
AKD -ඉන්දු පුරාවෘත්තය
AKD විසින් ආසියානු කලාපයේ ආර්ථික බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව දෙපසින් තියාගෙන වැල් පාලමකින් පාපැදියක් පදවා ගෙන යන කාටූන් එකක් ළඟදි දවසක පත්තරේක පල වෙලා තිබුණා. එහි AKD පස්ස හරවගෙන හිටියේ චීනය පැත්තට. මේ අතර අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ ආධාරයක් ලෙස ලැබුණ පාසල් නිල ඇඳුම් භාර ගැනීමේ උත්සවයේදී චීනයට ස්තුති කිරීම වෙනුවට චීනයේ පරම සතුරා වන තායිවානයට ස්තුති කර තිබුණා. ඊට සමගාමීව AKD තම ප්‍රථම විදේශ සංචාරයට ඉන්දියාව තෝරා ගෙන තිබුන අතර එහිදී රාජතාන්ත්‍රික මට්ටමෙන් එළැඹුණ ගිවිසුම් ගැන වගේම රහසිගත එකඟතා ගැන AKD ව්‍යාපෘතියේ පණිවිඩකරුවන් වූ මෙරට පහළ මධ්‍යම පන්තිකයන් අතර වීක්‍ෂිප්තභාවයක් ඇතිවී තිබෙන බව පේනවා.
AKD ජනපතිවරණයට පෙර කරපු විදේශ සංචාර අතරින් ඉන්දියාවේ කරනු ලැබූ සංචාරය විශේෂ තැනක් ගත්තා. AKD ගේ එම සංචාරය ආසන්නයේ ඉන්දියාවේ ප්‍රාදේශීය පුවත්පතක් ශ්‍රී ලංකාවේ කරනු ලැබූ ජනමත සමීක්ෂණ වාර්තාවක ප්‍රතිඵල වාර්තා කරමින් ළඟ එන මැතිවරණය AKD ජයගන්නා බව සඳහන් කර තිබුණා. ඊට පස්සෙ මේ ප්‍රතිඵලය හින්දු පුවත්පත ද වාර්තා කර තිබුණා. මෙම සමීක්ෂණය සිදුකළ ආයතනය වශයෙන් සඳහන් වූයේ වෛද්‍යවරුන්ගේ ආයතනයක්. එහි ක්‍රමවේදය, නියැදිය සහ සුජාතභාවය පිළිබඳ බරපතල විවේචන පර්යේෂණ විශේෂඥයන් විසින් ඉදිරිපත් කර තිබුණා. මෙය ව්‍යාජ සමීක්ෂණ වාර්තාවක් මගින් මෙරට ජනමතය AKD දෙසට නැඹුරු කිරීමේ උපායමාර්ගයක් බවට විචාරකයන් පෙන්වා දී තිබුණා. ඉහත සිදුවීම් පිටුපස රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක වූ බවට තර්ක ඉදිරිපත් වෙනවා.
පසුගිය මැතිවරණවලදී නැගී ආ දේශපාලනය තාරකාවන් තුනටම ඉන්දියානු භූමියේ මුල් තිබෙනවා. අගමැතිනි ආචාර්ය අමරසූරිය ද්විතීක පාසල් අධ්‍යාපනය මෙන්ම ප්‍රථම උපාධිය ද ලබා තිබෙන්නේ ඉන්දියාවෙන්. එම පක්ෂයේ ලේකම්වරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දියානු කාර්යාලයක සේවය කළ බව සඳහන්. ඔවුන්ගේ කඳුරට තාරකාව අම්බිකා ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක්. සජබට විශාල බලයක් තිබුණු උතුරේ දී මෙන්ම කඳුරටදීද පසුගිය මහ මැතිවරණයේදී සජබ පරාජය වී NPP ජය ගැනීම ප්‍රාතිහාර්යයක් වගේ දෙයක්. උතුරේදී ඩයස්පෝරාවේ සහාය ලබා ගන්න වගේම කඳුකරයේ අලුත් පරම්පරාවේ, උගතුන්ගේ, සහ තලවර්වරුන්ගේ ක්‍රියාකාරීත්වය NPP ජයග්‍රහණය සඳහා ලබා ගන්නත් ඉන්දියානු මැදිහත්වීම තිබුණු බව උඩරට ජේෂ්ඨ දේශපාලන නායකයෙකු මා සමග පැවසුවා.

ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍යයන්හි දේශපාලනයට මැදිහත්වීමට වර්තමානයේ බහුලව භාවිතයට ගන්නේ මෘදු බලපෑම් (soft power) මෙවලම්. නිදසුනක් වශයෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ පුහුණුවීම් වැනි උපායමාර්ග. නිදසුනක් වශයෙන් “අරාබි වසන්තය” නමින් මැද පෙරදිග රටවල් ගණනාවක සිදුවූ රෙජීම පලවා හැරීමේ ක්‍රියාන්විතය සඳහා බටහිර රටවල් යොදාගත්තේ සමාජ මාධ්‍ය. චීනය, විදේශ අසන්නන් ඉලක්ක කර ගත් ජනමාධ්‍ය ජාල වගේම ශිෂ්‍යත්ව, සංස්කෘතික හුවමාරුව, පුහුණුවීම්, සංචාරක අවස්ථා ආදිය භාවිතයට ගනිමින් ලෝකයේ වෙන රටවල චීන ප්‍රතිරූපය ගොඩනැගීමට උත්සහ කරනවා.
පසුගිය ජනපතිවරණ ජයග්‍රහණය සමාජ මාධ්‍ය මෙහෙයුමක් ඔස්සේ සිදුවූවක් බව පොදුවේ පිළිගත් කාරණයක්. එවැනි සමාජ මාධ්‍ය මෙහෙයුමක් කරන්න විශේෂඥභාවයක්, අත්දැකීම් තාක්ෂණය, සහ මුදල්, වීදී සටන්වල හිටපු ජනතා විමුක්ති පෙරමුණට තියෙන්න පුළුවන්කමක් නැහැ. මේ හැකියාව තියෙන්නේ ඉන්දියාවට සහ ඇමරිකාවට. ඒවගේම ජනාධිපතිවරණ සමයේදී මෙරට තිබෙන ඉන්දීය සම්භවයක් සහිත විශාලතම රූපවාහිනී ජාල දෙකම AKD හොරණෑව බවට පත්වෙලා තිබුණා.
ඉන්දියානු සහ AKD බල ව්‍යාපෘතියේ අභිලාෂයන් අභිසාරි වීම

ඉන්දියාව සහ ජනතා විමුක්ති පෙරමුණු ඓතිහාසිකව පස මිතුරන්. ඉන්දු ලංකා ගිවිසුම, පළාත් සභා ක්‍රමය, ඉන්දීය සාම සාධක හමුදා පැමිණීම, ඉන්දියාව විසින් ගුවනින් ආහාර හෙළීම ආදී ඉන්දියාව විසින් මෙරටේ කරනු ලැබූ මැදිහත්වීම්වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් 87-89 කාලවකවානුව තුළ මෙරට දියත් කළ "ඉන්දියානු ව්‍යාප්තවාදය" නැමැති සටන් පාඨය මේ කෙරෙහි මූලික වශයෙන් බලපානු ලැබුවා. මෙම මෙහෙයුම් නිසා ඉන්දියාවට තම අග්‍රාමාත්‍යවරයා වූ රජීව් ගාන්ධි අහිමිවූ අතර ඉන්දීය සාම සාධක හමුදාවට සිදුවූ පාඩුව සුළු පටු නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ මෙම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදිහට මෙරට තරුණ තරුණියන් හැට දාහක් පමණක් මියගිය බව සඳහන්.
එහෙත් මේ වන විට ඉන්දියාවේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ද අභිලාෂයන් ප්‍රතිනිෂ්පාදනය වී තිබෙනවා. ඉන්දියාවේ අඛණ්ඩ භාරත ව්‍යාපෘතිය සමඟ සබැඳි ආර්ථික, ආයෝජන, මානව ප්‍රාග්ධන සංක්‍රමණ අවශ්‍යතා, සහ චීන බල තරගය වටා ඉන්දියාවේ අභිලාෂයන් කේන්ද්‍ර වෙමින් තිබෙන බව පේනවා. අඛණ්ඩ භාරත ඉතිහාසයට අනුව ඇෆ්ගනිස්ථානය, බංගලිදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ටිබෙටය ඉන්දියාවේ කොටසක් වූ අතර ඒවා එක ජාතියක් බව පැවසේ.
ජනතා විමුක්ති පෙරමුණේ අභිලාෂයන් බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය විසින් ප්‍රතිනිෂ්පාදනය කර තිබෙනවා.

ඉන්දියාව විසින් මෑත කාලීන ශ්‍රී ලංකාවේ කරනු ලබන මැදිහත්වීම් ආර්ථික සහ ආයෝජන ප්‍රතිලාභ කේන්ද්‍ර වෙමින් තිබෙන බව පැහැදිලියි. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය (ECT), ත්‍රිකුණාමලය තෙල් ටැංකි ව්‍යාපෘතිය, මන්නාරම සහ පුනරීන් සුළං බලාගාර ව්‍යාපෘතිය, සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, ස්වභාවික වායු බලශක්ති ව්‍යාපෘතිය, ඛනිජ සම්පත් ගවේෂණය, සංචාරක ව්‍යාපාරය, කෘෂි නිෂ්පාදන, දියර කිරි කර්මාන්තය, ඉන්දියාව සහ ලංකාව අතර තෙල් නල පද්ධතියක් එලීම, සේද සමුද්‍රන් ව්‍යාපෘතිය, ඉන්දියාව සහ ලංකාවේ රාමේශ්වරන් සහ තලෙයි මන්නාරම අතර මුහුදු යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම, විදුලි සංදේශ, ටෙලිකොම් සමාගම් අත්පත් කර ගැනීම, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ බෙදා හැරීම, මානව ප්‍රාග්ධනය සහ නුපුහුණු ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය, පොදු මුදල් ඒකකයක් භාවිතය මෑත කාලීනව ඉන්දීය ආයෝජන ක්ෂේත්‍රයන් හා සම්බන්ධ වී තිබෙනවා. මීට අමතරව මෝටර් රථ (Toyota, Mahindra, Bajaj) සහ ඖෂධ වෙළඳපොළ ඉන්දීය සමාගම් යටතේ පවතිනවා.
පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව ලංකාවේ කරනු ලබන ආයෝජන කෙරෙහි දැඩි විරෝධයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඔවුන්ගේ උපායමාර්ගය වුණේ ජර්මන් රාජතාන්ත්‍රික විශේෂඥයෙකු වන බිස්ස්මාක් විසින් ඉදිරිපත් කළ බලය පෙන්වා තමන් වෙත නැඹුරු කර ගැනීමේ සිද්ධාන්තය. ඉන්දියාවට ඕන උනේ තමන්ට අවනත පාලනයක් ලංකාවේ පවත්වාගෙන යෑම. තමන්ගේ සාම්ප්‍රදායික අනෙකාට (Other) උදව් කිරීමෙන් තමන්ගේ සමකාලීන ජාතික අභිලාෂයන් කරා පහසුවෙන් ලබා ළඟාවෙන්න පුළුවන් බව ඉන්දියාව කල්පනා කළ බව පේනවා.

“AKD” තෝරා ගැනීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු විරෝධය සහ චීන නැඹුරුව මෙන්ම, ඉන්දියානු මැදිහත් වීම් වලට විරුද්ධව මෙරට වීථි සටන්වලින් එන විරෝධය ද, මෙරට පහළ මධ්‍යම පංතියේ ඉන්දීය විරෝධයද තමන්ට වාසි සහගත ලෙස කළමනාකරණය කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.
මෙරට ආර්ථික සහ ආයෝජන මෙහෙයුම් ඉන්දීය ආධිපත්‍යය යටතේ පවත්වාගෙන යෑම සඳහා ඉන්දියාව උනන්දුවක් දක්වන බව පේනවා. 2011- 2014 චීනය ශ්‍රී ලංකාව තුළ කළ මැදිහත්වීම් වලට එරෙහිව 2021-2024 කාලය තුළ ඉන්දියාව විසින් ලංකාවේ ආනයන -අපනයන වෙළඳාම, ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධනය ආදී ක්ෂේත්‍රවල කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන බව පේනවා.
මෙම වකවානුව තුළ දුම්රිය, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, සංස්කෘතික, ආදී ක්ෂේත්‍රවල යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දියාව දායකවී තිබෙනවා. අසුව දශකයේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව තුළ කළ මැදිහත්වීම් “බලහත්කාරකමක්” ලෙස මෙරට ජනතාව කල්පනා කළ නිසා ඉන්දියාව කෙරෙහි මෙරට ජනයා තුළින් විරෝධාකල්පයක් මතු වුණා. එහෙත් මෙවර මෙම සුභසාධන ව්‍යාපෘතිවලට මැදිහත්වීමෙන් ලාංකීය ජනතාවගේ හිත දිනා ගැනීමේ උපක්‍රමයකට ඉන්දියාව මාරුවී තිබෙන බව පේනවා.
උතුරේ නිවාස සහ දුම්රිය මාර්ග සංවර්ධනය කරමින් සහ වතුකරේ වතු නිවාස සංවර්ධනයට මැදිහත් වෙමින් දෙමළ ජනයාගේ හිත දිනා ගැනීමටත්, ත්‍රිකුණාමල ආර්ථික කලාපය දී නැගෙනහිර ජනතාවගෙන් එල්ලවන විරෝධය මැඩ පැවැත්වීම සඳහා නැගෙනහිර සංවර්ධනයට ගිවිසුම් අත්සන් කරමින් නැගෙනහිර ජනතාවගේ හිත දිනා ගැනීමටත් ඉන්දියාව සමත් වී තිබෙන බව පේනවා.
මෙරට ආර්ථික අර්බුදය හමුවේ විදේශ සංචිත ශක්තිමත් කිරීමට ණය පහසුකම් සැපයීම, ආහාර, ඉන්ධන සහ ඖෂධ ලබාදීම, චීන ණය උගුලෙන් සහ බහු පාර්ශවීය ණයකරුවන්ගේ මිදීම සඳහා අතරමැදි භූමිකාවක් ඉටුකිරීම ආදිය ඔස්සේ දකුණේ සිංහල ජනයාගේ හිත දිනා ගැනීමටත් ඉන්දියාව උපක්‍රමශීලී වී ඇති බව පේනවා.

බොහෝ විට ජාතික ආරක්ෂාව සහතික කිරීමේ මුවාවෙන් වෙනත් ජාතීන්ගේ දේශපාලනයට බලපෑම් කිරීමට ලොව පුරා රහස් ඔත්තු සේවා ක්‍රියාත්මක වෙනවා. ඒවායේ සදාචාරාත්මක බව, රටක ස්වෛරීභාවය, දේශපාලන අසාධාරණ බව, මහජන විශ්වාසය නොමැති වීම මෙන්ම ආර්ථික, දේශපාලන, සමාජ කැළඹීම් මගින් එම රටවල සංවර්ධනය අඩාල කිරීම ද සිදු වෙනවා. එමඟින් කුඩා රාජ්‍යයන්ට බලවත් රාජ්‍යයන් මත යැපෙන්නට සිදුවීම (පරායාර්ථතාව) වැනි අයහපත් ප්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදුවෙනවා.
ශ්‍රී ලංකාවේ දැන් සිදුවෙමින් පවතින්නේ එයයි. ඉදිරි වසර පහේ මෙරට දේශපාලන න්‍යායපත්‍රයේ තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇත්තේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” නැමැති සටන් පාඨයයි. මෙම සටන් පාඨයේ හිමිකාරත්වය අත්පත් කරගන්නා දේශපාලන බලවේගය විසින් රටේ මීළඟ ආණ්ඩුව පිහිටවනු ඇත.
| ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.
pnweera@yahoo.com
සබැඳි ලිපි :
AKD සාමස්තිකාධිපත්‍යය බලකායේ භූමිකාව නොහොත් ප්‍රතිවාදියා වින්දිතයා කර ජයගැනීමේ කලාව -(ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ)
AKD බල ව්‍යාපෘතිය: දේශපාලන වෙළෙඳ දැන්වීම් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ! -(ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ)
AKD බල ව්‍යාපෘතිය නොහොත් දෙබිඩ්ඩාගේ පාරිභෝගික හීනය සහ සින්තටික් පුරවැසි සිහිනය - (ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)



